බුමුතුරුණු

වටම ගොසින් ගෙට එන කල උගෙ හනියා

Posted in Uncategorized by shan on August 3, 2009

50823281_de3056da4a
බලය ලබාගැනීමේ උන්මාදනීය ප්‍රමෝදයෙන් පෙළෙන එක්සත් ජාතික පක්ෂය තවත් වටයකින් ඒ සදහා උත්සාහයක් දරමින් සිටී. ඒ රාජපක්ෂ රෙජීමයටත් වඩා දේශප්‍රේමීවීමට තැත් කරමිනි. ශ්‍රී ලංකා රාජ්‍යය, බලය බෙදීමේ ප්‍රතිසංස්කරණයකින් නැවත ආකාරගත කර දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වලට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට ප්‍රයත්න ගත් පක්ෂයක් දැන් කතා කරන්නේ සිංහල මහා සම්මතවාදයක් ගැනය.

එක්සත් ජාතික පක්ෂය දැන් කල්පනා කරන්නේ රාජපක්ෂ රෙජීමයටත් වඩා පටු වර්ගවාදී ස්ථාවරයකින් බලය ලබා ගැනීමේ මාර්ගයන් ගැනය. ශ්‍රී ලාංකික හැගීමකින් හා ශ්‍රී ලාංකික දැක්මකින් මැතිවරණයන්ට ඉදිරිපත් වූ නිසා බලය අහිමි වූවා යැයි ඔවුහු සිතති. සිංහලකම, බෞද්ධකම හා දේශීයත්වය අමතක කළ නිසා මැතිවරණ පරාජය වූවා යැයි එ.ජා.ප.යේ දඩි බිඩි දේශපාලකයන් කන් කෙදිරි ගාන්නේ එබැවිනි. එහෙත් ජනාධිපතිවරණයේ දී 50% කට ආසන්න ඡන්ද ලබා ගත්තේත් බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී කොළඹ මෙට්‍රෝපොලිටීනය ජය ගත්තේත් එක්සත් ජාතික පක්ෂය බව මේ දඩි බිඩිකාරයෝ අමතක කරති.

මහින්ද රාජපක්ෂයන් සිංහල බෞද්ධ ඡන්ද වලින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරද්දී රනිල් වික්‍රමසිංහ පරාජය වූයේ ශ්‍රී ලාංකික ඡන්ද ලබා ගනිමිනි. එසේම සිංහල බෞද්ධ බහුතරයක් සිටින ප්‍රදේශ වලින් එ.ජා.ප.ය අන්ත පරාජයක් ලබද්දී කොළඹ මෙට්‍රොපොලිටීනයෙන් පළාත් මැතිවරණය දිනූවේ විශිෂ්ඨ ලෙසිනි. ඒ අනුව ලාංකික සමාජයේ ධනේශ්වර ඡන්ද පදනම තවමත් එ.ජා.ප.ය වටා රුදී තිබෙන බව පැහැදිලි ය.

මේ සංදර්භය තුළ සිංහල බෞද්ධ ජාතිකවාදී හැගීම්වලට ආමන්ත්‍රණය කරමින් මැතිවරණ දිනීමට එජා.ප.ය උත්සාහ ගැනීම හාස්‍යජනකය. එකී හැගීම් වලට ආමන්ත්‍රණය කරන්නා වූ දේශපාලන ව්‍යාපාරයක් බලයේ සිටිය දී බලය නොමැති දේශපාලන ව්‍යාපාරයක් වටා ඡන්දදායකයන් ගොනුවේ යැයි එ.ජා.ප.ය සිතීම ඊටත් වඩා හාස්‍යජනක ය. බලය ලබාගෙන රාජපක්ෂ රෙජීමයේ අන්තේවාසිකයන්ටත් වඩා දරුණු ලෙස රාජ්‍ය දේපල කොල්ලකෑමට සිහින දකින එ.ජා.ප.යේ දඩි බිඩියන්ට මේ දේශපාලන කාළගුණ තත්ත්වයන් තේරෙන්නේ නැත.

එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම මැතිවරණයන් පරාජය වූයේ රාජපක්ෂ රෙජීමයට විකල්පව දේශපාලනයක් කිරීමට නොහැකි වූ නිසා මිස අනෙකක් නිසා නොවේ. එය රෙජීමයේ ප්‍රතිපත්ති වලට ඝෘජුව විරුද්ධ නොවී ය. එහෙත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යෑමේ දී මතුවන ගැටළු වල දී ආන්තික ලෙස රෙජීමය විවේචනය කළේ ය. රෙජීමයේ දේශපාලන ඉලක්කයන්ට පක්ෂ වී ඉලක්කයන්ට යන්නා වූ මාර්ගයන්ට විරුද්ධ වීම සහයෝගීතාවාදී දේශපාලනයකි.මේ නිසා රාජපක්ෂ රෙජීමයේ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේ දී පීඩනයට පත් වූ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට එ.ජා.ප.යට නොහැකි වුණි.

උද්ගතව ඇත්තේ ධනවාදය හෝ සමාජවාදය හෝ පිළිබද ගැටළුවක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස හා නීතිය නොතකා හැරීම පිළිබද ගැටළුවකි. ඒ අර්ථයෙන් ආණ්ඩුවේ ගමන් මගට විරුද්ධව ශක්තිමත් විකල්ප දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නොනැගූ නිසා එක්සත් ජාතික පක්ෂයේ පරාජය තහවුරු වූ බව මේ ලියුම්කරුගේ හැගීමයි. පසු ගිය සිව් වසර පුරා එ.ජා.ප.ය හාන්සි පුටු දේශපාලනයක යෙදෙමින් හාස්‍යජනක ලෙස රෙජීමය විවේචනය කළා මිස විකල්ප දේශපාලන ප්‍රතිපත්තියක් ඔහුන් අත නොවීය. එය කෙතරම් බරපතල ඝෘණාත්මක සාධකයක්දැයි කිවහොත් පහත සදහන් සෑම අවස්ථාවක දී ම කැට කැබැළිති වලින් රෙජීමයට පහර දුන්නා මිස එය හා එක පෙලට සිට ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් කිසිම පිළිකුලක් එ.ජා.ප.ය.ට ඇතිවූයේ නැත.

(i) ජන ඝාතක යුද්ධයක් දියත් කරමින් පුරවැසියන් මරා දැමීම.

(ii) ආර්ථිකය කඩා වැටීම.

(iii) සමාජයේ පරිධියේ ජීවත්වන්නන් නොතකා හැරීම.

(iv) ආණ්ඩුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම.

(v) වර්ගවාදී, අන්තවාදී හා මහ ජාතිවාදී වෙමින් ඒකාධිපති ක්‍රමයක් කරා රාජ්‍ය ගෙන යෑම.

(vi) පුරවැසියන්ගේ මානව හිමිකම් වලට ගරු නොකිරීම/ජාත්‍යන්තර සම්මුතීන් නොපිළිගැනීම.

දේශපාලන හීනමානයට හා අපේක්ෂා භංගත්වයට පත් පක්ෂ කිහිපයක් එකතු කර ගනිමින් සංධානයක් ගොඩ නැගීමට තැත් කිරීම රාජපක්ෂ රෙජීමයේ ගමන් මග අත් හිටුවා සමාජය නව මාර්ගයක ගෙන යෑමේ මේ මොහොතේ පවතින අවශ්‍යතාවට කුමන ආකාරයක හෝ ධනාත්මක දේශපාලන දායකත්වයක් දරන්නේ නැත. ඒ නිසා ගොඩනැංවීමට තැත් කරන සංධානය පිළිබදව මහ ජනතාව තුළ ප්‍රබෝධයක් ඇතිවන්නේ ද නැත. අවසානයේ දී එක්සත් ජාතික පක්ෂයට පරාජයම මිස අනෙකක් හිමි වන්නේ නැත.

ජාතිකත්වයක් ගැන කතා කරමින් වර්ගවාදය දෝතින් වැළද ගැනීමත් දේශප්‍රේමිත්වයක් ගැන කතා කරමින් රාජ්‍ය දේපල කොල්ල කෑමට සූදානම් වීමත්, මහා සම්මත සිංහලවාදයක් ගැන කතා කරමින් ලෝකයාගෙන් හුදකලාවීමට තැත් කිරීමත් සමාජයට ගෙන එන්නේ දරුණු විපත්තියකි. රාජපක්ෂ රෙජීමය ඒ සම්බන්ධයෙන් කරන්නා වූ හානිය හොදටම ප්‍රමාණවත් ය.

බිද වැටී ඇති ප්‍රජාතන්ත්‍රවාදී සාර ධර්මයන් නැවත ගොඩනංවා නීතිය හා සාමය ඇති කිරීමත්, යුද්ධයෙන් පීඩනයට පත්වූවන්ට සහනයක් සැලසීමත්, දරිද්‍රතාවයෙන් පෙළෙනවුන් ප්‍රධාන ආර්ථික ප්‍රවාහයට ඇතුළු කර ගැනීමේ වැඩ පිළිවෙලක් සකස් කිරීමත් මේ මොහොතේ වහා කළ යුතු කාර්යන් ය. දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වලට විසදුමක් ලැබෙන සේ රාජ්‍ය ප්‍රති සංස්කරණය කිරීමත්, යහපත් ආණ්ඩුකරණයක් නිර්මාණය වන්නා වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමත් ඒ හා බැදුණු සමාජ දේශපාලන අවශ්‍යතාවන් ය. මෙයින් විනිර්මුක්ත දේශපාලන සංධානයකින් සමාජයට කරන්නා වූ සේවයක් නොමැත.

වර්ගවාදී පිළිකනුවල මුළු ගැන්වෙමින් රාජ්‍ය බලය කොල්ල කෑමට උත්සාහ කිරීම පසුගාමී ධනේශ්වරයේ උපන් ගතියකි. ඉතිහාසය පුරාම එ.ජා.ප.යත් ශ්‍රී.ල.නි.ප.යත් කටයුතු කළේ එවන් වූ පසුගාමීත්වයක් දෝතින් ගෙන සිප වැළද ගනිමිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ශ්‍රී.ල.නි.ප.ය ද රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ද කලක් තම සුපුරුදු ගමන් මගින් ඉවත් වුණි. මහින්ද රාජපක්ෂ වේලාසනින්ම ඒ සුපුරුදු මගෙහි තම පක්ෂය රුගෙන ගියේය. එක්සත් ජාතික පක්ෂයේ දඩි බිඩිකරුවන් ද ප්‍රමාද වී හෝ මේ උත්සාහ ගන්නේ තමන්ගේ පක්ෂයත් ඒ මගෙහිම ඇදගෙන යෑමට ය.

ඒ දෙස උපේක්ෂා සහගතව බලා ඉදීම හැර වෙනත් යමක් මේ අවස්ථාවේ කළ යුතු නැත.

7 Responses

Subscribe to comments with RSS.

  1. පිටස්තරයා said, on August 4, 2009 at 12:02

    ජනතාවට තේරීමක් නැති වෙනකොට ඉතින් මොනව කරන්නද?

  2. Rohan said, on August 4, 2009 at 20:37

    ubalata terenawane aa made….

  3. කසුන් said, on August 5, 2009 at 10:38

    >වර්ගවාදී පිළිකනුවල මුළු ගැන්වෙමින් රාජ්‍ය බලය කොල්ල කෑමට උත්සාහ කිරීම පසුගාමී ධනේශ්වරයේ උපන් ගතියකි. ඉතිහාසය පුරාම එ.ජා.ප.යත් ශ්‍රී.ල.නි.ප.යත් කටයුතු කළේ එවන් වූ පසුගාමීත්වයක් දෝතින් ගෙන සිප වැළද ගනිමිනි.<
    true!

    නිදහසින් පසු ලාංකීය දේශපාලනය වෙත ආපසු හැරී බැලීමේදී මේ කරුණ වඩාත් හොඳින් සනාථ කර ගත හැකිය. ඉතිහාසසයේ සිද්ධින් වෙනත් අයුරකින් නැවත සිදුවෙමින් පවතී. දැන් අපි නැවතත් ඒ පුනරාවර්තනය වන ඉතිහාසය දෙස බලා සිටිමු.

  4. Palitha said, on August 9, 2009 at 10:23

    එජාපය ලංකාවේ විපක්ෂය ලෙස තමන්ගේ උපක්‍රමික දුර්වලතාවයන් හින්දා මේ වෙද්දි බිංදුවටම බැහැලා ඉන්නේ. ඒක ‍රටක් හැටියට අපිව අවධානමට පත්කරන දෙයක්.රාජපක්ෂගේ ගෝත්‍රිකවාදී දේශපාලනයට එරෙහිව කෙලින්ම ප්‍රතිරෝධය දක්වන්න පුළුවන් ප්‍රධාන ධාරාවේ එකම දේශපාලන පක්ෂය එජාපය විතරයි. මොකද ජවිපෙ රාජපක්ෂට හොදටම කඩේ ගිහිං දැන් රාජපක්ෂට දක්වන විරෝධයට මිනිස්සු එකතු වෙන්නේ නැහැ. මේ ප්‍රතිවිරෝධයක් නැතිව යන ගමන ඉතාම භයානකයි වගේම බලාපොරොත්තු තැබිය හැකි වූවක්.හේතුව එක් වර ප්‍රමාණාතමකව විශාල ප්‍රතිරෝධයක් ඇතිවීමයි.ඒත් එසේ ඇතිවෙතැයි සිතිය හැකි ප්‍රති‍විරෝධය නිවැරැදි දිශාවක් දක්වා අරං යෑමට තරම දේශපාලන දෘෂ්ඨියක් ඇති සමාජයක්, සංවිධානයක් තියෙනවාද යන්න සැකසහිතයි. මට හිතෙනවා ඉදිරියේ එතැයි සිතිය හැකි සමාජ විප්ලවයකට රට සූදානම් කිරීමට යම් ආකාරයක හෝ දායකත්වයක් දැක්වීමයි මේ අවස්ථාවේ අපට කළ හැකි හොදම දේ….

  5. Abhaya said, on August 10, 2009 at 22:51

    අද වන විට ධනේශ්වර ලෝකය මුහුණ පා ඇති අර්බුදය සමනය කර ගැනීමේ එකම මග වී ඇත්තේ ලොව මෙතෙක් භාවිතයට නොගත් සම්පත් උරා ගැනීමයි. එහෙත් ප්‍රශ්නය වන්නේ එසේ භාවිතයට නොගත් ස්වභාවික සම්පත් වැඩිහරියක් ඇත්තේ ගෝත්‍රිකයන් හෝ සුලුතර ජාතීන් වෙසෙන ප්‍රදේශවල වේ. මෙම පිරිස් තමන් වෙසෙන ප්‍රදෙශවල සාම්ප්‍රදයික ජීවන ක්‍රම අනුගමනය කරමින් ජීවත් වෙති. ඔවුහු ප්‍රග්ධනයෙන් සිදු වන සන්වර්ධනයට එතරම් එකගතාවක් නැත. මේ නිසා අද වන විට ගෝලීය ප්‍රාග්ධනයට මොවුන් ඉවත් කිරීමට අවශ්යව ඇත. මොවුන් මෙසේ සන්වර්ධනය වලක්වා අති ප්‍රදේශ බලහත්කරයෙන් අත්පත් කරගැනීම මේ අවදියේ ධනෙශ්වරයේ උවමනවයි.එම කටයුත්ත කිරීමට ඒ ඒ රටවල්වල හොන්දම ධනපති කල්ලිය බලයට පත් කිරීම ගෝලීය ධනෙශ්වරයේ උපායයි. එම උපාය නිසි ලෙස කිරීමට සමත් ධනපති කල්ලිය සමග සියලු ධනපතියන් අත්වැල් බැදගැනීම ස්වභවික තත්වයකි. ලන්කාවෙ දෙමලුන් දස දහස් ගනනක් මරා, ලක්ශ ගනනක් අවතන් කරමින්, වසර 30 කට වැඩි කලයක් මහවැලි ඇතුලු ගන්ගාවන් ගනනාවක ජලය සැපයු ප්‍රදෙශ වන උතුරැ-නැගෙනහිර බහුජතික සමගාම්වලට පැවරීමට හැකියාව එති දක්ශම කල්ලිය මහින්දගෙ කල්ලියයි. එයට එකග යුඇන්පී කාරයන් සියලු දෙනා දැන් මහින්ද සමග සිටිති. ඔහුගේ යුඇන්පී ඇතුලු සියලු ධනපති පක්ශවල සන්දානය ලන්කවේ ඇති දියුනුම ධනපති පක්ශය වේ. ලොකයෙන්ම කුල්ටූර් ධපතියන් අභිබවා පදඩ ධනපතියන් මතු වෙන මේ යුගයෙ තවදුරටත් යුඇන්පීයකින් වැඩක් නැති වනු ඇත. මෙම මැතිවරන ප්‍රතිපලවලින් පෙන්නුම් කෙරෙනුයෙද එයයි.

  6. Keerthi tennakoon said, on August 15, 2009 at 11:55

    I congradulate your effect. some of the points very much interesing. Keep up your good work.

  7. යුදවාදියා said, on August 17, 2009 at 20:56

    අනේ අපිට ඉන්න තියෙන්නේ මේක විතරයි.මේක යුද්ද කරල හරි අපි ටම ලැබුන කියල හිතන කෙනෙක් මම. බය නැතුව ඒක කියනවා.ඔය කියන සමාජ විප්ලව කරන්න ගිහින් තමයි අලිය දැන් හූනා වෙලා ඉන්නේ.

    ගොන් කම් අත් ඇරල නායකයො වෙනස් කරල, අර කොටින්ගෙ පොන්ගු තම්ල් පඩන්ගුවෙ කැබරේ නටපු උන් චුත කරල ආ දාට අලිය නැගිටිවි.


Leave a Reply