බුමුතුරුණු

කකුළුවන්ගේ කෙළින් ගමන

Posted in Uncategorized by shan on August 14, 2009

cambodia_killing-field-skulls
බඩගින්නේ මියගිය ද ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ දෑත ශක්තිමත් කිරීමට ජනතාව අවසන් තීරණයක් ගෙන තිබේ.කැපුවත් කොළ පාට ලේ ගැලූ මිනිසුන් සිටින ප්‍රදේශ පවා මැතිවරණයන්හි දී ආණ්ඩුව ජය ගන්නේ එබැවිනි. ඒ අර්ථයෙන් ආණ්ඩුව ශක්තිමත් වී ඇත්තේ පුදුමය උපදවමිනි.
එහෙත් තැන තැන නොසිදුවිය යුතු දෑම සිදුවේ.

පුතුගේ වයසේ තරුණයකුගේ ශරීරය මත නැග තම දේහ මස් මාංශයන්ගේ බර කිරීමට ගිය ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ බිරියක් ගැන පසුගිය දා වාර්තා වුණි. එසේම තරුණ පාසල් ශිෂ්‍යාවකගේ පෙම්වතා දුන් ජංගම දුරකථනය නවාතැන් හිමිකාරියගේ ඇස ගැටුණ බව ඇසීමෙන් නුවර ප්‍රධාන පෙළේ බාලිකාවක විදුහල්පතිනියකගේ හිරිඔතප් බිදුනේ ද ඊට කලින් සතියේ ය. තම සන්තකයේ ඇති ගිනි අවි පෙන්වීමට ගොස් එවන් ගිනි අවි හීනෙන් හෝ දැක නැති පොලිස් නිලධාරීන් ඉදිරියේ ලය පැලී මිය යන පාතාලයන් ගැන යහමින් වාර්තා වූයේ ද මේ අතරතුරේ දී ය.

එපමණක් නොවේ,

ජංගම දුරකථනයක් නිසා පාසල් සිසුවියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ අතර ඒ නිසා පාසල් තුළ ජංගම දුරකථන තහනම් කළේ හදිසියේවත් ස්ත්‍රී දූෂණයක් වුවහොත් පුරුෂ ලිංගය කපා ඉවත් කිරීමේ වාසිය ද තබා ගැනීමේ අධිෂ්ඨානයෙනි. එසේම පෝස්ටර් අලවමින් සිටි ශිෂ්‍ය නායකයන් රුසක්ම අත් අංගුවට ගැනුණේ ඒවා හි සදහන් වැකිවල අක්ෂර වින්‍යාසයේ වැරුද්දක් තිබූ බැවින් විය හැකිය.

මේ අපරාධ වැළැක්වීමට නම් නීතියේ ආධිපත්‍ය යළි පිහිටුවිය යුතුය.එහෙත් මේ අපරාධයන් ද ඒ අපරාධයන් පිටුපස ඇති නීතියේ ආධිපත්‍යය බිදවැටීම ද අමතක කරමින් අපට සිදුවී ඇත්තේ ඒ පිටුපස ඇති උපහාසය හා හාස්‍ය, රස වීදීමට ය. එහෙත් ඒ කළ යුත්ත නොදැන නොවේ. කළ යුත්ත දැන දැනම නොකළ යුත්ත කිරීමට බල කරන්නේ ද මේ රටේ ජනතාවමයි. දහසක් අසාධාරණයන් මැද රාජපක්ෂයන්ගේ දෑත ශක්තිමත් කිරීමට ජනතාව පෙරට එද්දී සාධාරණය වෙනුවෙන් කටයුතු කිරීම දේශද්‍රෝහීයකු වී සදාකාලික නින්දට යෑමට හේතුවක් වෙද්දී සිදුවන ඔනෑම අපරාධයක උපහාසය හා හාස්‍ය රසවිදීම හැර කළ හැකි අනෙකක් ද නැත.

වැරද්ද කර ඇත්තේ ජේෂ්ඨ පොලිස් අධිකාරී වාස් තිලකරත්න, ඔහුගේ බිරින්දෑ හා පුත්‍රයා නොවේ. එසේත් නැතිනම් බාලිකා විද්‍යාලයන්හි විදුහල්පතිනියෝ ද නොවේ. ඊනියා වැරදිකරුවන් අත් අංගුවට ගත් පොලිස් නිලධාරීහු ද නොවේ. එහෙත් තරුණයන් දෙදෙනෙකු අත් අංගුවට ගෙන අමු අමුවේ මරා දැමූ පසු අගුලානේ කුපිත වූ ජනතාව ලෙයට ලෙයින් පලි ගැසීමට උත්සාහ ගත්තේ ද පොලිස් නිලධාරීන් ගෙනි. Do not kill the messenger (පණිවුකරුවා නොමරනු) යැයි කියමනක් ඇත. එහෙත් අපේ මිනිස්සු මරන්න උත්සාහ ගන්නේම පණිවුකරුම ය.

නීතිය අතට ගනිමින් නීතියේ හයිය සමාජයේ පීඩිතයන්ට පෙන්වීමට බලය අත දරන්නන්ට හැකිවී ඇත්තේ එම බලධාරීන්ගේ විනය පිළිබද ප්‍රශ්නයක් නිසාම නොවේ. සමාජයේ නීතියට ඇති ආධිපත්‍ය බිදවැටීම, රාජ්‍ය පාලනයේ විනයක් නොමැතිවීම පිළිබද ප්‍රශ්නයකි. රාජපක්ෂ රෙජීමය ආරම්භ වූ දා පටන් රාජ්‍ය පාලනයේ විනය බිදවැට්ටවීමට රාජ්‍ය පාලකයන්ම කටයුතු කළ අවස්ථා බොහොමයකි. ඒ අතරිනුත් රෙජීමයේ ඉහළම නායකයන් පිළිකුලකින් තොරව ඊට සම්බන්ධවීම කනගාටුදායක ය. එවැනි පිළිකුල් සහගත ක්‍රියා කිහිපයක්ම මෙසේ පෙල ගැස්විය හැකිය.

1. ජනාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම,
2. අමාත්‍ය මර්වින් සිල්වා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී බලහත්කාරකම් කිරීම හා හැකි සෑම විටම බලහත්කාරය පෑම,
3. පළාත් සභා මැතිවරණයන්හි දී රෙජීමයේ බහුතරයක් දේශපාලකයෝ මැරවර ක්‍රියාවන්හි යෙදීම,
4. බලය දරන සියළුදෙනා දරන්නා වූ බලයේ ප්‍රමාණයට නීතිය නොතකා කටයුතු කිරීම.

නීතියේ ආධිපත්‍යය පිළිගත යුත්තේ මුළු මහත් සමාජය පමණක් නොවේ. රාජ්‍ය පාලකයන් ද නීතියේ ආධිපත්‍යය පිළිගත යුතුය. එහෙත් ලාංකික සමාජයේ අත්දැකීම වන්නේ පාලකයන් නීතියේ ආධිපත්‍ය නොපිළිගැනීමයි. එවන් අවස්ථාවන්හි දී නීතියේ උත්තරීතරභාවය රුක ගැනීමට රාජ්‍යයේ කිසිවෙක් උත්සාහ දරා නොමැත. අවසානයේ සිදු වන්නේ සමාජය නීතිය අතට ගැනීමයි. එහි භයානකත්වය දැකිය හැකි කිසිවෙක් රෙජීමය තුළ සිටී නම් මෙවන් අවස්ථාවන් හි දී සමාජයේන් ලැබෙන පණිවුය තේරුම් ගත යුතුය.

1. අමාත්‍ය චමල් රාජපක්ෂයන්ට කුරුණෑගල ප්‍රදේශයේ දී වරක් ගල් මුල් වලින් පහර දීම,
2. අමාත්‍ය මර්වින් සිල්වාට ජාතික රූපවාහිනී පරිශ්‍රයේ දී පහර දීම,
3. අමාත්‍යවරුන්ට, මන්ත්‍රීවරුන්ට හා රජයේ උසස් නිලධාරීන්ට විවිධ අවස්ථාවන් හි දී පිළිකුල් සහගත ප්‍රතිචාර ලැබීම.
4. අගුළාන පොලීසිය වටලා ඊට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීම.

එහෙත් මේ කිසිම අවස්ථාවක දී සමාජයට සංවේදීවීමට රෙජීමය සමත් වන්නේ නැත. ඒ නිසා නැවත නැවතත් නීතියට අභියෝග කිරීම ඉහළම නායකයන් විසින් හෝ ඔහුන්ගේ ආශීර්වාදය මත හෝ සිදුවීම ස්ථිර ය. 1994 දී පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් බලයට පත් වූ පසුත් පැවැති එ.ජා.ප ආණ්ඩු සමය තුළ සිදුවූ අමිහිරි දෑ සමහරක් එළෙසින්ම සිදුවූයේ ද මේ අන්දමින්ම ය. ඒ අවස්ථාවේ එම අපරාධයන්හි වගකීම චන්ද්‍රිකා රෙජීමය මත පැටවීමට ලාංකික අගනාගරිකයෝ අකමැති වූහ. අද මෙන්ම එදාත් පණිවුකරුගෙන් පලි ගැසීමට ඔවුහු පෙළගැසුණහ. පැරණි එ.ජා.ප ආණ්ඩුවේ සාරය උරා බී වැඩුණු සමහර රාජ්‍ය නිලධාරීන් චන්ද්‍රිකා රෙජීමය අපහසුතාවට පත් කිරීමට ඒ අන්දමින් කටයුතු කරතැයි යන මතය කොළඹ අගනාගරිකය පුරා පලමුවත් ගම් මට්ටමින් දෙවනුවත් ප්‍රචාරය කළහ. ඒ ඉතිහාසය ආ පිට කැරකැවෙමින් තිබේ. දැන් මේ සිදුවන අපරාධයන් සිදුකරන්නේ ද රාජපක්ෂයන් අපහසුතාවයට පත් කිරීමට මාන බලන්නන් යැයි ඔවුහු පවසති.

කැබිනට් තීරණ දැනුම් දීමේ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී එය දෙවනක් කරමින් මාධ්‍යවේදීහු සටන් කළේ රාජපක්ෂයන් මේ කුමන්ත්‍රණයෙන් ගලවා ගැනීමට මිස අනෙකක් සදහා නොවේ. එහෙත් රාජ්‍යයේ ඉහළම අනුදැනුම මත හෝ ආශීර්වාදය මත හෝ සිදුවන නීතිය බිද දැමීම් පවා රාජපක්ෂයන් අපහසුතාවට පත් කිරීමට කරන්නාවූ කුමන්ත්‍රණ යැයි පැවසීම විහිලුවකි.

රාජපක්ෂ රෙජීමය විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණනය කිරීමත්, අමාත්‍ය මර්වින් සිල්වා වැන්නන් නීතිය නොතකා කටයුතු කිරීමත් වැනි අවස්ථාවන් හි දී නිහව සිටින ඊනියා මාධ්‍යවේදීහු රාජ්‍ය නිලධාරීන් නීතිය නොතකා හැරීමේ දී පමණක් අතාර්කික ප්‍රශ්න මතු කරති. ඒ අර්ථයෙන් ඔවුහු නපුංසක මාධ්‍යකරණයක යෙදී සිටිති.

නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට ක්‍රියා කිරීම දේශපාලනික කටයුත්තකි. එහෙත් විපාක්ෂික දේශපාලනයක් නොමැති සමාජයක රාජ්‍යයේ ආධිපත්‍යයම අවනීතිය වීම ස්වභාවිකය.

6 Responses

Subscribe to comments with RSS.

  1. Abhaya said, on August 14, 2009 at 14:31

    මම නම් හිතන්නේ මේක තමයි යථාර්ථය කියලා. වහල් යුගයේ දී වහල් හිමියන්ට යි ප්‍රජතන්ත්‍රවාදය තිබුනේ. වහලුන්ට එහෙම දෙයක් තිබුනේ නෑ. ඒත් වහලුන්ගෙන් තෝරාගත් පිරිසක් වහලුන්ව මෙහෙයවන්න යොදා ගත්තා. ඔවුනට පොලු කෑල්ලක් දී ඒ මගින් වහලුන්ගේ ඔළු පළමින් වහලුන්ව තමන්ට අවශ්ය ආකාරයට මෙහෙයවා ගත්තා. ඒ පොලුකාරයෙකු අතින් වහලෙකු මැරුණත් ඒක එච්චර ප්‍රශ්නයක් වුනේ නෑ. ඊළගට වැඩවසම් යුගයේදී රදලයින්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තිබුණත් ප්‍රවේණිදාසයින්ට එහෙම දෙයක් තිබුනෙ නෑ. රදළයින් ප්‍රවේණිදාසයින්ගෙන් තොරගත් පිරිසකට (කටුපුල්ලේලා) ආයුධ දී ප්‍රවේණිදාසයින්ගේ ඔලු පලමින් වැඩ ගත්ත. අපි තාම ධනේශ්වර සන්වර්ධනය ළගා කරගෙන නැති නිසා අපි පත් කරගන්නා මහ රජාණන්ටත්, රාජකීය පවුලේ අයටත්, රාජ සභාවේ මැති-ඇමතිවරුන්ටත්, ඔවුන්ගේ කටුපුල්ලේලාටත් මිනිසුන්ගේ ඔලු පලන්නත්, මරලා දාන්නත් කාගේවත් අවසර ඕනේ නෑ.

  2. Palitha said, on August 14, 2009 at 14:51

    Do not kill the messenger (පණිවුකරුවා නොමරනු) යැයි කියමනක් ඇත. එහෙත් අපේ මිනිස්සු මරන්න උත්සාහ ගන්නේම පණිවුකරුම ය.
    හරිම වටින කියමනක් ශාන්…මං හිතන්නේ මුළු ලිපියෙම සමස්තය කැටිකරලා ගන්න පුළුවන් මෙන්න මේ පණිවිඩකාරයා හරියට අදුරගත්තොත්

  3. කසුන් said, on August 14, 2009 at 15:29

    ඛේදවාචකය වන්නේ මේ සිදුවන දේවල්ම නෙමෙයි. ඒවා ගැන සමස්ථයක් වශයෙන් සමාජය දක්වන ප්‍රතිචාරයන්.
    ගොඩක් අයට අනුව අපරාධකරුවන් සම්බන්ධයෙන් පොලීසිය අනුගමනය කරන ක්‍රමය නිවැරදියි. ඒ හැම කෙනාම වගේ හේතුව විදියට කියන්නේ උසාවියට ඉදිරිපත් කලත් නිදහස් වෙන නිසා, ඔය විදියට මරා දමන එකෙන් සාධාරණය ඉෂ්ඨ වෙනවා කියලා. එතනින් එහාට ඇත්තටම ‍මේ සිද්ධවෙන්නේ මොකක්ද කියල වටහා ගන්න ඒ කිසිකෙනෙකුට උවමනාවක් නැතිව වගේම මේ විදියට විහිළුවට ලක්වෙන්නේ නීතිහා හා එහි ආධිපත්‍යය කියන එකත්, එය නොවැලැක්විය හැකි ලෙස සමාජ ක්‍රමයේ යහපැවැත්ම සම්බන්ධයෙන් බලපාන බවට මේ අයට වගේ වගක් නෑ. ‘සමහරක්’ මේ ඝාතනයන් ගැන පොලිසීය ඉදිරිපත් කරන අමන තර්ක ගැන කියවලා ලොකු සතුටක් ලබනවා.
    ඒත් එක්කම, ඉතා සුළු කාලයක් ඇතුලත සිද්ධ වුනු අනිත් සිද්ධීන් ගත්තත් ඒවා කෙරෙහි වන සමාජීය ප්‍රතිචාරයන් අතිශයින්ම පසුගාමීයි.
    කණගාටුයි. එහෙත් විකල්පයක් පෙනෙන තෙක් මානයක නැහැ.

    සටහන ගැන ස්තූතියි!

  4. පිටස්තරයා said, on August 14, 2009 at 21:33

    අද ඔය ප්‍රවෘත්තිය ගැන රත්තරං වාහිනියක කියපු නිවේදකයා ඊළඟ ප්‍රවෘත්තිය විදියට කිව්වේ ජනතාව ත්‍රස්තවාදයෙන් නිදහස් වෙලා සැබෑ නිදහස භුක්ති විඳිනවා කියලා.

    නපුංසක නෑ කියලා කොහොම කියන්නද?

    ඒ අතින් බලනකොට දේශප්‍රේමී මොන මාධ්‍යයද නපුංසක නොවුනේ?

  5. hakawati said, on August 15, 2009 at 11:52

    විග්‍රහය වැදගත් වගේම අර්ථාන්විතයි.

    ඒත් මේවා හරිතැන්වලට වදිනවද?

    අපි අපිම මේවා කියවල හිටියට වැඩක් වෙයිද? මට හිතෙන්නේ මේ ලිපි මීට වඩා බලපෑම් කළ හැකි මුද්‍රිත මාධ්‍ය කරා ද විහිදිය යුතුය කියලයි.

    ස්තුතියි.

  6. යුදවාදියා said, on August 17, 2009 at 20:51

    සන්ධාන කාරයෙකුගේ අදහස:

    මම නිකම්ම නිකන් සන්ධාන කාරයෙක්මි.මා වැන්නවුන් ඔබට කඩ පිල් වල ප්ලේන් ටී ගසමින් සිටින විට මුණ ගැසී ඇතැයි සිතමි.මේ මගේ දේශපාලනික මතය වන අතර මා කරන්නේ එලි පිටම සන්ධානය වෙනුවෙන් කඩේ යාමය.නොහොත් ජනතාවට එම පණිවිඩය ගෙන යාමය.ජනතා විමුක්ති පෙරමුණේ බසින් එය එලෙස හදුන්වනු ලබන්නේ ඔවුන් ජනතාව කඩයක් ලෙස සලකන නිසා විය යුතුය. ජනතා කඩේ තව දුරටත් දෙන්නම් කාසි වලට බඩු නොලැබෙන බව කාට කාටත් වැටහී ඇතැයි සිතමි.

    විපක්ෂය දුර්වල වන්නේ පවතින රජයේ වරදක් නිසා බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් පෙන්වන්නට වැර දරන තරමට දැන් ඇතැම් පක්ෂ කලබල වී ඇති බව පෙනෙයි.
    කලබල වූ විට දන්නා තර්කත් අමතක වෙයි.කොටින්ම කියතොත් ඡන්දය පැවැත්වෙන දිනය පවා අමතක වෙයි.එක්සත් ජාතික පක්ෂයට නම් ඒ හැටි කලබල වීමට හේතුවක් මම නොදකිමි.කොටි සමග පෙම් කෙලින්නට ගොස් සොඩ වැල සමග මඩේ එරී නැට්ට පිටින් සිටියත් නායකයා වෙනස් වී ඔහු වටා සිටින පොන්ගු තමිල් වල ඩිස්කෝ නැටූ කාල බහිරවයන් පක්ෂයෙන් චුත වූ දිනක යලිත් අලියා නැගිට කුන්ච නාද පවත්වනු ඇත.අපගේ ශ්‍රී ලන්කා නිදහස් පක්ෂය වැලලී යනු ඇතැයි එක්තරා යුගයක කී අනාවැකි පුහු වූවා සේම එක්සත් ජාතික පක්ෂයද යලි සුපුරුදු මහේශාක්‍ය ලීලාවෙන් නැගිටිනු ඇත.එසේ වේවායි මම හදවතින්ම පතමි. ඒ එම පක්ෂයේද කටින් බතල නොසිටවූ නායකයන් සිටි මතකය නිසාය.මුල් බැස ගත් දේසපාලන ප්‍රවාහයන් විනාශ කළ නොහැක යන්න පිලි ගත යුතු සත්‍යයකි.

    එහෙත් ජනතා විමුක්ති පෙරමුණ නම් දැන් කලබල වූවාට වරදක් නැත.යූනියන් පෙදෙසේ කඩ කාමර ජවිපෙට දැන් අත වනයි.අවි ගැටීමෙන් ලබන විනාශයට වඩා බිය කරු විනාශයකට එම පක්ෂය දැන් මුහුණ දී සිටියි.එයින් එය ගොඩ ගත හැකි මට්ටමේ නායකත්වයක් ඔවුන් සතු සුවාසූ දහසක් වූ දේශපාලන මණ්ඩල වල හෝ කාරක සභා වල ඇතැයි නොසිතමි.සිරි ලක දේශපාලන ඉතිහාසය සහ පවතින නායකත්වයෙන් ඔබ්බට ජනතාව නායකයන්ගෙන් අපේක්ෂා කරනු ඇතැයි සිතන දේ ගෙන බලන කළ ල.ස.ස.ප යට ආරාධනා කරන මගුල් වලට ජවිපෙටත් බුලත් ලැබෙන දිනය වැඩි ඈතක නැත.එම නිසා මරු කියවීමේ පූර්ණ නිදහස ඔවුන්ට තිබේ.

    ඒවා එසේ වන්නාව, සන්නද්ධ කල්ලි සහ මර්ධන උපක්‍රම ගැන මෙපමණක් කියමි.මේ ටික මා පුද්ගලිකව විශ්වාස කරන කරුණු වන අතර වැරදි ඇතිවිය හැකි බව දනිමි.

    කිසිදු රජයකට 100% තමුන්නාන්සේලා දකින මනෝ ආතල් එක සමග සැබෑ ලොව තුළ එක පෙලට සිට ගත නොහැක.මක් නිසාද එය ප්‍රායෝගික නොවන බැවිනි.ආක්‍රමණිකයකු බිහි වන්නේ නම් මර්ධනයද අනිවාර්යෙන්ම සිදු විය යුතුය. කොටි නැටුම් නටන එක එකාගේ මානව හිමි කම් බණ හෝ නිදහස් බයිලා අසා “අනේ මේ හිරි මල් කැකුලු පොඩි වන් කොටි සාමාජිකයන් කෙසේ නම් තලමුද?” කියා සිටියා නම් උන් ජය ගෙන අප සමූහ පෝරක වලට දක්කන විට ඔය එක සිල් ගත් නරියෙක් වත් කටක් හොලවන්නේ නැති බව අපි දනිමු.එවිට සින්හල අපිට සිදුවන්නේ තොණ්ඩුවේ එල්ලී ගෙන ” කෝල් හෙලින්කෝ” කියන්නටය.මෙම රජය පමනක් නොව මීට පෙර පැවති රජයන්ද ගෙන ගිය මර්ධනයන් ගැන මේ නයින් සිතා බැලීම වටී.එහෙත් පිළිකාවක් කපන විට නිරෝගී සයිල ද කීපයක් විනාශ විය හැක.ඒ ගැන සොරි ඩොට්කොම් ය.කරන්නට දෙයක් නැත.අප දැන් මේ සිටින්නේ අපේ යුගයේ තිරිසන් ඝාතකයා අවීචියට යවන්න ට අප දේශීය සහ විදේශීය සතුරන්, සිල් ගත් වෘක රැහේ බණ කාරයන් සමග කල මාරක පොරයේ ගිනි දැල් යන්තමින් නිවී යන කාලයකය. මේ යුගයේ තාවතින්ස මොඩලයේ මානව ආතල් නොපැතුව මැනවි. මක් නිසාද රෝගය තව සුව කිරීමට තිබේ.එම ක්‍රියාන්විතයේදී අත් වැරදීම් එමට සිදු විය හැක.එහෙත් වගකීමෙන් එකක් කියමි.අපගේ ද්‍රෝණ ප්‍රහාරයන්ගෙන් ඇෆ්ගනිස්තානයේ හෝ ගාසා තීරයේ මෙන් දහස් ගණන් නැසුනේද , නසින්නේද නැත.හිලරි අක්කලා මිනීබෑන්ඩ් අයියලා ඒ ඉරාක ඇෆ්ගන් ජනතාවන්ට තිලිණ කල ” මානව සන්වේදී ලතෙත් යුගය” අප නම් දෙන්නේ නැත.


Leave a Reply