කුකුල් පොර වාද, පිට කසා ගැනීම් හා ගිරියේ හයිය
දයාසිරි ජයසේකරට අවසන් පිළිතුරක්
බුමුතුරුණු බ්ලොග් අඩවිය මා පවත්වාගෙන යන්නේ විනෝදයට නොවේ. මගේ කාන්සිය මකා ගන්නටවත් නොවේ. එසේම අභාවවාචක අත්දැකීම් නිසාවත් නොවේ. මා මහන්සි වී කළ අත්දැකීමක ප්‍රතිථලයන් තුළින් සමාජය විනිවිද දැකීම මගේ උත්සාහයයි. එවිට මට මුහුණදීමට වූයේ මිහිරි අත්දැකීම් වලට පමණක් නොවේ. රටෙන් මුළු බහුතරය යුද්ධය වෙනුවෙන් එක පෙළට පෙනී සිටීද්දී මා යුද විරෝධියෙක් වූයේ දේශපාලන ප්‍රශ්නයකට දේශපාලන විසදුමක්ම අවශ්‍ය බව තරයේ විශ්වාස කළ බැවිනි. ඒ නිසාම මට දහසකුත් එකක් කයි කතන්දර ඇසීමට ද මරණ තර්ජනයන්ට ඇහුන්කන් දීමට ද සිදුවුණි. එහෙත් මට ඒවා විෂය නොවූයේ මා දේශපාලකයකු නොවූ බැවිනි.
යුද කාලයේ දී සිදුවූ මානුෂික අයිතීන් කඩ කිරීම් ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධි දෑ සම්බන්ධයෙන් නිකුත් වූ දරුස්මාන් වාර්තාව ලාංකිකයන්ගේ හෘදය සාක්ෂිය නැවත කියවීමට දැරූ බලවත් උත්සාහයක් ලෙස හැදින්වුවහොත් එය වඩා නිවරුදිය. මේ වාර්තාව නිකුත්වීමත් සමග ලාංකීය දේශපාලනය අලුතින් ධ්‍රැවීකරණය වුණි. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ හැසිරීම විග්‍රහ කිරීමට මා ලියූ ලිපිය රාවය පුවත් පත පළ කර තිබුණි. ඒ නිසා එම ලිපියට වැඩි ප්‍රසිද්ධියක් ලැබුණි. කුරුණෑගල දිස්ත්‍රික් එ.ජා.ප මන්ත්‍රී දයාසිරි ජයසේකර වල්ගෙ ගිනි ගත් හනුමන්තා ලෙස මට පිළිතුරු දීමට ඉදිරියට ආවේ මෙම ලිපිය දැකීමෙනි. එහෙත් මා මතු කළ දේශපාලන කාරණාවන්ට පිළිතුරු දීමට වඩා දයාසිරිට අවශ්‍ය වූයේ මගේ ලිපියෙන් පාර්ශ්විකව මතු වූ හා මතුවේ යැයි ඔහු බලාපොරුත්තු වූ අදේශපාලනික කාරණා කිහිපයක් ඉදිරියට ඈදා ගනිමින් ඒ ඔස්සේ පිළිතුරු බැදීමටයි.
ඒ නිසා ඔහුගේ පිළිතුරු ලිපිය නිසා මගේ දේශපාලන කරුණු වලට යම් අගතියක් වුවද ඒවා නොතකා හැර දේශපාලනිකව වැදගත් වන කරුණු කිහිපයක් ඉදිරියට ගැනීමට මගේ පිළිතුරු ලිපියෙන් උත්සාහ ගත්තෙමි. එහෙත් දෙවැනි වරට ද දයාසිරි උත්සාහ ගෙන ඇත්තේ මා මතු කළ දේශපාලනික කාරණාවන් සංවාදයට ලක් කිරීමට වඩා ඔහුගේ පෞද්ගලික දේශපාලන ප්‍රතිරූපයට සුදු හුණු ගා ගැනීමටයි.2011.05.15 දින රාවයේ පළ වූ එම දෙවැනි පිළිතුරෙහි යුනිකොඩ් මෘදු පිටපත ගෙන්වා ගැනීමට දෙවරක්ම ඊ මේල් පණිවුඩ යැව්ව ද පිළිතුරක් නොලැබුණි. ඒ නිසා ඔහුගේ පිළිතුර මගේ බ්ලොග් අඩව්යේ පළ නොකර ඊට පිළිතුරු දීමට මට සිදුවී තිබේ.
මේ සංවාදය රූපවාහිනී චැනලයන්හි කුකුල් පොරයක් හෝ සිංහල පත්තර වල පිට කසා ගැනීමේ සම්මුඛ සාකච්ඡාවක් හෝ පාර්ලිමේන්තුවේ කරන්නා වූ ගිරියේ ශක්තිය පෙන්නුම් කරන වාදයක් හෝ වනවා දකින්නට මා කැමැති නැත. ඒ නිසා දයසිරිගේ පුද්ගලික දේශපාලන අවශ්‍යතා සමග තර්ක කිරීමට මට අවශ්‍ය නැත. මා මතු කළ දේශපාලන කරුණු මග හැර යෑමට දයාසිරි කොතෙක් ලොල් කරනවාදැයි කියනවානම් සටන් විරාමය බිද වැටීමට එක්සත් ජාතික පක්ෂය ද වගකිව යුතු යැයි මා කළ චෝදනාවට පවා මේ වනතුරු පිළිතුරක් දී නොමැත. ඔහුට අවශ්‍ය වූයේම තමන්ගේ පුද්ගලික දේශපාලන ජීවිතය සුදු පිරියම් කර ගැනීම පමණි. ඒ සදහා වැල්වටාරම් ද කරුණු විකෘති කිරීම් ද අසත්‍යයන් ද හිතළූන් ද බොළද තර්කයන් ද ඇති පදම් ගෙන එයි.
දයාසිරි ජයසේකර තබා වෙන කිසිම දේශපාලන චරිතයක් ගෝලීය ප්‍රග්ධනය ක්‍රියාත්මක යුගයක තීරණාත්මක සාධයක් වන්නේ නැත. අනෙකක් තබා ලාංකීය කොදෙව්වේ ඊනියා මහජන මතය ද දේශපාලනය තීරණය කිරීමේ ලා වැදගත් නොවේ. ඒ නිසා පුද්ගලික චරිත විවේචනය සමාජය කිසියම් හෝ ධනාත්මක කාර්යක් නොකරන බව මා මගේ පළමු ලිපියෙන්ම කීවෙමි. එහෙත් දයාසිරි සිතන්නේම මට අවශ්‍ය වී ඇත්තේ දයාසිරිගේ පුද්ගලික දේශපාලන ජීවිතයට හානි කිරීමට අවශ්‍ය බවකි. ගැරඩින්ට පහර දී පව් සිද්ධ කර ගැනීමට මා අකමැති බව ප්‍රකාශ කිරීමට වෙනත් ගෞරවනීය වචන මගේ ශබ්ද කෝෂයේ නොවීම ගැන මා කම්පා වෙමි. මගේ උත්සාහය එවැනි පටු අවශ්‍යතාවකට කොටු කිරීමට යම් දවසක විහිළුවට හෝ මට අවශ්‍ය වුව ද ඒ සදහා මා දයාසිරි ජයසේකරව තෝරා නොගන්නා බව ස්ථිරය. මන්ද දයාසිරි ජයසේකර මට අනුව සීරියස් චරිතයක් නොවන්නා බැවිනි.
ඒ නිසා තවදුරටත් දයසිරි හා කුකුල් පොර වාදයක කොටුවීමට මට අවශ්‍යතාවක් නොමැත. මා මතු කළ කිසිම දේශපාලන කරුණකට ඔහු ඝෘජු පිළිතුරක් ලබා දී නොමැත. ජාතිය ඉක්මවූ සිංහල බෞද්ධ නායකයකු තැනීම වැනි නිශ්ථල හරසුන් කතා කියමින් සිටීම හැර වෙනත් වැදගම්මකට ඇති යමක් ඔහු ප්‍රකාශ නොකරයි. ඒ අර්ථයෙන් තව දුරටත් ඔහු හා වාද කරමින් මගේ වටීනා කාලයත් රාවයේ වටීනා ඉඩකඩත් නාස්ති කිරීමට මට අවශ්‍ය නොවේ.
May 19, 2011 at 01:43
දයාසිරි සහ ඔබේ ලිපි අතර සංවාදය ( ඊට සංවාදයක් කියා කිව හැකි නම්) සියල්ල රාවයෙන් කියවූයෙමි.ඊට කාලය කා දැමීම නතර කිරීමට ඔබ තීන්දු කොට තිබීම හොද දෙයකි.දයාසිරි යනු අමු අවස්ථාවාදියෙක් බව ( යුද්ධය පිලිබද ඔහු වසර හතරකට පෙර දැරූ ස්ථාවරය වර්තමාන ගැලරියට ගැලපෙන ලෙස හේ අර්ථනිරූපනය කරන අන්දමම එම අවස්ථාවාදිකම විදහා පායි) හා දේශපාලන විවාදයෙහි අසමත් ගැලරි චරිතයක් පමනක් බව තවත් තහවුරු වීම මිස ඉන් සිදුවූ වෙනත් ප්‍රයෝජනයක් නැති යැයි සිතමි.මේක තරමක් දේශපාලන පැත්තකට ගෙනියනවා නම් මෙසේ දයාසිරි හරහා එලියට පනින්නේ ලංකාවේ ධනේශ්වර දේශපාලනයේ බුද්ධිමය ශක්‍යතාවය නොවෙයිද?අපේ රටේ ඉන්නා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් කියන්නේ මේ වර්ගයේ ලොස් පොරවල්වලටය.මෙය මේ දවස්වල ලංකා පුව්තපතේ යන ජනතා විමුක්ති කතිකාව මැයෙන් වන සංවාදය හා සසදන්න.මෙතනින් එහාට සමාජය ඉස්සරහට ගෙනියන නායකත්වය දෙන්න පුලුවන් (ඓතිහාසික කාර්යභාරය?) වමටද දකුනටද කියන ප්‍රශ්නය එක්ක මේක සම්බන්ධ වෙනව කියන එක මගේ අදහසයි.
May 23, 2011 at 18:06
නැවත නැවතත් කිව යුතුව ඇත්තෙ කළින් මා දැරූ අදහසමය.. විදේශ සංචාරයෙන් පසු ආන්ඩුවට එකතු වූවද පුදුම වීමට කාරණයක් නොවන්නේමය.
රාමචන්ද්‍ර මහතාගේ අදහස පරිදි මෙය ධනෙශ්වර දේශපාලනයේ වරදක් නොව, වමේ හෝ දකුනේ හෝ වේවා අවංකකම පිළිබඳ ප්‍රශ්නයකි. වම නියෝජනය කරනා සියළුම නායකයින් ඔඩොක්කු කුක්කන් වී පන්සල් යන වර්ථමානයේ, එතුමා බලාපොරොතුවන වම කුමක්දැයි යන්න ගැටලුවකි..