කොම්ප්‍රදෝරු බුද්ධිමතුන්ගේ බරවා තර්ක
1948 දී සුදු අධිරාජ්‍යවාදීන් විසින් සිංහල බෞද්ධයන්ගේ තනි උරුමයට නතු කර දුන් ශ්‍රී ලංකා රාජ්‍යයේ කොළඹ කේන්ද්‍රීය ආධිපත්‍යයට කිසියම් ආකාරයක අභියෝගයක් එල්ල කිරීමට සමත් වූයේ ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ කැරලිකාර සංවිධානත් පමණි. ඒ සියළුම අභියෝගයන් මිලිටරිමය වූ අතර ජනතා පදනමක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී අභියෝගයන් රාජ්‍යයේ පදනමට එරෙහිව පැන නැගුනේම නැති තරම් ය. නො එසේනම් එසේ පැන නැගුන ජනතා අභියෝගයන් කඩා කුඩු පට්ටම් කර දැමීමට රාජ්‍යය නොපැකිලුණි.
ශ්‍රී ලංකා රාජ්‍යයට එල්ල වූ මිලිටරිමය අභියෝගයන් පවා කලක් අල්ලාගෙන යා හැකි මට්ටමකින් දියත් කළේ දෙමළ සන්නද්ධ ව්‍යාපාර විසින් පමණක් වීම ද සුවිශේෂ කරුණකි.ඒ අනුව දශක තුනකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා රාජ්‍යයේ බල කේන්ද්‍රය වෙනස් කිරීමටත් එම බල කේන්ද්‍රයේ න්‍යාය පත්‍රය තීරණය කිරීමේ බලය ඩැහැ ගැනීමටත් දෙමළ සන්නද්ධ ව්‍යාපාර සමත් වුණි. රාජ්‍යය හැසිරවීමේ බලය විටින් විට ලබාගත් සිංහල බෞද්ධ වීරයන් කොළඹ රාජ්‍යයේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී උතුර දෙස විච්කිච්ඡාවෙන් බැලුවේ මේ දෙමළ සන්නද්ධ ව්‍යාපාරයන්ට ප්‍රබල ශක්තියක් තිබූ බැවිනි. එම බලය නිල නොලත් රාජ්‍යයක තත්ත්වයට (de facto)වර්ධනය වී තිබීම ශ්‍රී ලංකා රාජ්‍යයේ කෙන්ද්‍රගත බලයේ කළමනාකරණය සම්බන්ධයෙන් උද්ගත වූ ප්‍රබල ප්‍රශ්නයකි. පසු ගිය මැයි මාසයේ දී වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූල ඝාතනය කිරීමත් සමග ශ්‍රී ලංකා රාජ්‍යයේ බල ආධිපත්‍යයට එල්ල වූ අභියෝගය නිහඩ වුණි. ඒ සමගම ශ්‍රී ලංකා රාජ්‍යයට තිබූ ප්‍රබල ගැටලුවක් විසදීම රාජ්‍යයේ බලය දරන්නන්ට ඇති කළේ ඉස්පාසුවකි.
රාජ්‍යයේ බල ආකෘතියට එල්ල වූ අභියෝගයන්ගෙන් මිදීම නැවතත් රාජ්‍යය ප්‍රජාතන්ත්‍රීකරණය කරා යෑමේ ගමනේ ආරම්භය යැයි බොහෝ දෙනෙක් සිතුව ද රාජපක්ෂ රෙජීමයට අවශ්‍ය වූයේ රාජ්‍යය ප්‍රතිසංස්කරණය කරමින් එය නවීන රාජ්‍යයක් බවට පත් කිරීම නොවන බව දැන් ඉතා පැහැදිලි කරුණකි. යුද ජයග්‍රහණයන්ගෙන් උන්මාදයට පත් වූ රාජපක්ෂ සිහින මැව්වේ රාජාභිෂේකවීමටය.ඔහු සිහින දුටුවේ ජන සම්මතවාදී රාජ්‍යය නායකයකුවීමට නොව වැඩවසම් රජෙකුවීමටය. රාජ්‍යය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමට නොව ඒකාධිපති රාජ්‍යයක් කිරීමටය. ඒ අනුව රාජ්‍යයේ ආධිපත්‍යයට එල්ල වූ මිලිටරිමය අභියෝගය ජය ගැනීමට සමත් වුවද දේශපාලන අභියෝගය ජය ගැනීමට රෙජීමය අසමත් වුණි.
කලක් ශ්‍රී ලංකා රාජ්‍යයට නොබෙදුනු ජාතීන් අතර තිබුණේ විශිෂ්ට පිළිගැනීමකි. ප්‍රමාණයෙන් කුඩා වුවද ස්වාධින රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සතුව තිබූ බලය හා ශක්තිය අති මහත්ය. තවදුරටත් ශ්‍රී ලංකාවට නොබෙදුනු රාජ්‍යයක භූමිකාව රග දැක්විය නොහැක්කේ ලෝක දේශපාලන හැඩ තල ඉදුරාම වෙනස් වී ඇති බැවිනි. කලක් මහ බලවතුන් දෙදෙනෙකුගේ ආධිපත්‍යයට යටත්ව තිබූ ලෝකය පසුව තනි බලවතෙකුගේ ආධිපත්‍යයට නතු වුණි. දැන් එම තත්ත්වය ද වෙනස් වී බලවත් කලාප බිහි වෙමින් තිබේ. මේ දේශපාලන ධ්‍රැවීකරණයන් තුළ ශ්‍රී ලංකාව ද තම භූමිකාව වෙනස් කළ යුතුව තිබුණි. රාජ්‍යයේ භූමිකාව වෙනස් විය යුතුව තිබුණේ ධනාත්මකව වුවද වෙනස් වූයේ ඝෘණාත්මකවයි. ලෝකයේ නවීකරණය වෙමින් තිබූ රාජ්‍යයන් සමග ගැටුම් ඇති කර ගනිමින් නව මිතුරන් සොයා ගියේ මිලිටරි ඒකාධිපති හා අශිෂ්ට රාජ්‍යයන් වෙතටය. එසේම රාජ්‍යයේ පුරවැසියන්ගේ පුද්ගලික නිදහසට ද ලැබුණේ අඩු සැලකිල්ලකි. සියළු ප්‍රජාතන්ත්‍රීය නිදහස අහිමි කරමින් ද යහ පාලනය විනාශ කරමින් ද රාජ්‍යයේ ආකෘතියේ මුහුණුවර මුළුමනින්ම අශිෂ්ට සළුපිළිවලින් හැඩ ගැන්වීය.
ඒ අර්ථයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සමූල ඝාතනයත් සමග ශ්‍රී ලංකා රාජ්‍යය තල්ලු වූයේ නව යුගයකටය. මෙතෙක් රාජ්‍යයට එරෙහිව අභියෝගයන් එල්ල වුණේ බාහිරින් වුවද දැන් අභියෝගයන් එල්ල වන්නේ අභ්‍යන්තරයෙනි. ශ්‍රී ලංකා රාජ්‍යය නවීන රාජ්‍යයක් බවට පරිවර්ථනයවීමට අසමත් වීමේ ප්‍රථිපලය වී ඇත්තේ රාජ්‍යයට එරෙහිව රාජ්‍යය තුළින්ම සතුරන් මතුවීමයි. රාජ්‍යයේ ආකෘතිය වෙනසකට ලක් නොකර එය වඩාත් ජන සහභාගී ආයතනයක් බවට පත් නොකර යන ගමනේ අවසානය වන්නේ ඒකාධිපති ආඥාදායක අවදියකට රට තල්ලුවීමයි.මහින්ද රාජපක්ෂ දේශපාලන නායකයකු වූ පමණින් ඔහු නායකත්වය දරන රෙජීමය මගින් ශ්‍රී ලංකා රාජ්‍යය මිලිටරිකරණය නොවේ යැයි කිසිදු විශ්වාසයක් ඇති වන්නේ නැත. රාජ්‍යයේ ආකෘතිය ඒකාධිපති ස්වරූපයක් ගන්නේ නම් එහි හැඩ තල මිලිටරිමය සංස්කෘතියකින් තීරණය කරන්නේ නම් එම රාජ්‍යය තවදුරටත් ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් නොවේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ යුද නායකයකු නොවී දේශපාලන නායකයකු වීම රාජ්‍යයේ නවීනත්වයට කිසියම්ම වූ ආකාරයකින් ධනාත්මක දායකත්වයක් ලබා නොදෙයි. ඒ නිසා ශ්‍රී ලංකා රාජ්‍යයේ අනාගත නායකත්වය සිවිල් නායකයකු හෝ මිලිටරිමය නායකයකු හෝ අතට පත්වීම මත රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී අඛණ්ඩ පැවැත්ම පිළිබද මත දැක්වීම අර්ථ විරහිත බව අවිවාදිතය.
එහෙත් රාජ්‍යය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමත් නවීකරනය කිරීමත් වහාම කළ යුතු බවට අදහස් පළ කරන විද්වතුන් මේ කාරණය සැලකිල්ලට ගන්නේ නැත. ඔවුහු මතු පිටින් පෙනෙන දේශපාලන කාරණා මත යැපෙමින් තීන්දු තීරණ ගනිති. ලාංකික බුද්ධිමතුන් වැඩි කැමැත්තක් දක්වන්නේ ස්වාධින ආස්ථානයක් දැරීමට වඩා තමන් ප්‍රිය කරන්නාවූ දේශපාලන පක්ෂයක් සමග කදවුරු බැද ගැනීමටය. ඒ නිසා ඔවුන් අදහස් පළ කරන්නේ ද තමන් කදවුරු බැදගත් පක්ෂයේ මතවාදයට හානි නොවන පරිදිය. ලාංකික බුද්ධිමතුන්ගේ මේ හැසිරීමට හේතුව පේරාදෙනිය විශ්ව විද්‍යලයේ ජේෂ්ඨ කතිකාචාර්ය සුමනසිරි ලියනගේ ලාංකික සිවිල් සමාජය විග්‍රහ කිරීමට යොදා ගත් මාක්ස්වාදී වදනකින් අර්ථ දැක්විය හැකිය.ඔහුගේ විවේචනය වෙනත් කරුණක් සදහා වූ බුද්ධිමතුන්ගේ හැසිරීමට අදාළ වුවද ඒ විවේචනය ලාංකික බුද්ධිමතුන්ගේ සියළුම හැසිරීම් වලට අදාළ කර ගැනීම අසාධාරණ නොවේ.ඒ අනුව ලාංකික සිවිල් බුද්ධිමත් සමාජයේ අක්‍රියභාවය හා පටු පාක්ෂිකභාවය කොම්ප්‍රදෝරු සිවිල් සමාජයකට ආවේනික හැසිරීමක් බව සුමනසිරි ලියනගේගේ මතයයි.
රාජපක්ෂ රෙජීමය රාජ්‍යයේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ වරක් දෙවරක් නොවේ. එමෙන්ම ප්‍රජාතාන්ත්‍රික යහ පාලනය නොරිස්සුම් සහගතව ප්‍රතික්ශේප කළේ ද වරක් දෙවරක් නොවේ. පුරවැසියන්ගේ මූලික නිදහස අහිමි කිරීමට ද කටයුතු කළේ වරක් දෙවරක් නොවේ. එසේනම් රාජ්‍යයක නවීනත්වය රදා පවතින්නේ රාජ්‍ය නායකයා සිවිල් පුද්ගලයෙක් ද මිලිටරිමය පුද්ගලයෙක් ද යන්න මත නොව රාජ්‍යයේ දේශපාලන සංස්කෘතිය මත බව අවධාරණයෙන් පැවසිය යුතුය.
pic: thank for indi.ca
දෙකක් කඩ තොළු සාදා ගැනීමේ “ආචාරී ප්‍රශ්නය”

ශ්‍රී ලංකා රාජ්‍ය ඒකාධිපතිවාදී ආයතනයක් ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම සවිමත් වූයේ 1978 දී ය. ඒ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සිදුවූයේ ආර්ථික අවශ්‍යතාවන් මත යැයි කිවහොත් වඩා නිවැරුදි වේ. රාජ්‍යයත් මහජනතාවත් අතර පවතින සම්බන්ධය ඉවත් කර රාජ්‍යය මුළුමනින්ම ගෝලීය ධනේශ්වරය මත යැපීම අවශ්‍ය වූයේ ප්‍රාග්ධනයේ නිදහස් සංචරණය මනා ලෙස සිදුවීමටයි. ඒ අනුව නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණයන් වඩා හොදින් තහවුරු කිරීමට නම් ධනපති ප්‍රජාතන්ත්‍රවාදය අත්හල යුතු බව ඒ වනවිට ගෝලීය ධනේශ්වරය තේරුම් ගෙන තිබුණි.
1978 දී ඇති කළ මේ ප්‍රතිසංස්කරණයන් තවදුරටත් පෝෂණය වෙමින් අතිශයෙන් ශක්තිමත් ඒකාධිපති ආයතනයක් ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය අද වන විට නව මුහුණුවරක් ගෙන තිබේ. 2005 දී රාජ්‍යයේ ඒකාධිපති හරය වර්ගවාදී ස්වරූපයකින් ශක්තිමත් කළේ රාජපක්ෂ රෙජීමය විසින් ආයතන ගත කළ මහින්ද ච්න්තන වැඩ පිළිවෙල මගිනි. මහින්ද ච්න්තනයේ මූලික අවශ්‍යතාව වූයේ රාජ්‍යය බහුත්වවාදයෙන් ඉවතට ගෙන වර්ගවාදී ආස්ථානයකට ඇද දැමීමයි. ජාතිකවාදයේ මුවාවෙන් පටු වර්ගවාදයට යට වී උද්දච්ච මනෝභාවයකින් රාජ්‍යයේ හැඩ තල නිර්මාණය කර ගත්තේ ඒ සදහායි. ඒ තුළ පුද්ගල නිදහස, ප්‍රකාශනයේ නිදහස හා ප්‍රජාතාන්ත්‍රිකව සංවිධානය වීමේ ඉඩ කඩ අහිමි වේ. ඒ සදහා රාජ්‍යය මිලිටරිමය මුහුණු වරක් ගත යුතු වූ අතර ඒ මගින් සමාජය මිලිටරිකරණය කිරීමට ද අවශ්‍ය වුණි. රාජපක්ෂ රෙජීමය තුළ රාජ්‍යයේ ස්වාභාවය එහි නායකයන්ගේ ශරීර භාෂාවෙන් තේරුම් ගත හැකිය. ඒ අනුව රෙජීමයට පක්ෂපාත වන්නා දේශප්‍රේමියෙක් වන විට රෙජීමයට විරුද්ධ වන්නා දේශද්‍රෝහියකි. මෙම මතවාදය අනුව ඊයේ දේශප්‍රේමියා හෙට දේශද්‍රෝහියකුවීමටත් විශාල ඉඩකඩක් පවතී. එහි කූට ප්‍රාප්තිය වූයේ ජනරාල් සරත් ෆොන්සේකා එක රුයෙන් දේශද්‍රෝහියකු වීමයි.
මෙවැනි හැඩ තලයන් ලෝක දේශපාලනයේ දී පෙන්වා ඇත්තේත් පෙන්වමින් සිටින්නේත් ඒකාධිපති රටවල්ය. එසේත් නැත්නම් මිලිටරි ජුන්ටාවන් මගින් පාලනය වන රටවල්ය. ශ්‍රී ලංකා රාජ්‍යය දැන් මිතුරන් ලෙස ආශ්‍රය කරන්නේ ද එවැනි රටවල් ය. ඉරානය, ලිබියාව, පකිස්තානය, මියන්මාරය හා ඊශ්‍රායලය වැනි රටවල් ශ්‍රී ලංකාවේ මිතුරන් බවට පත්වීමෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යයේ ආකල්පයන් තේරුම් ගත හැකිය. බටහිර රාජ්‍යයන්ට ශිෂ්ට භාෂාව ඉක්මවමින් ග්‍රාම්‍ය මැරයකු සේ බැන අඩ ගැසීම ද ඒ නායකයෝම බටහිර රාජ්‍ය නායකයන් කරා ගොස් ආධාර ද රාජ්‍ය නායක සමුළු පැවැත්වීමේ අවස්ථාවන් ද ඉල්ලති මේ නිවට නියාළු විදේශ ප්‍රතිපත්තිය රාජ්‍යයේ ස්වභාවයට ආවේනික ලක්ෂණයකි.
ශ්‍රී ලංකා රාජ්‍යය ඒකාධිපති, වර්ගවාදී, ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආස්ථානයක් කරා රූපාන්තරණය වුවද ගෝලීයව සිදුවෙමින් පවතින්නේ එහි පරස්පරයයි. නව ලිබරල්වාදය විසින් ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවමින් අන්ත ඒකාධිපති රාජ්‍යය පාලන ක්‍රමවේදයක් අනුගමනය කළ ද නව ලිබරල්වාදය අසාර්ථකවීමත් සමග ගෝලීය ධනේශ්වරය නව ක්‍රමවේදයන් සොයමින් ඒකාධිපති ස්වරූපයෙන් මේ මොහොතේ දී බැහැර වෙමින් සිටී.ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ධූරයට බරක් ඔබාමා පත් වන්නේ ඒ එතිහාසික කාර්ය වේගවත් කිරීමේ මෙහෙවර ඔහුට පැවරී ඇති නිසාය. යුද්ධය අවුළුවමින්, ඒකාධිපතිත්වය වර්ධනය කරමින් උද්දච්ච අධිපතිවාදයක් කරා ගමන් කරමින් තිබූ ලෝකය දැන් එහි ගමන් මග මාරු කර තිබේ. ලෝකයේ බොහෝ රාජ්‍යයන් දැන් අතීත අභාවවාචක අත්දැකීම් මත පාඩම් ඉගන ගනිමින් නව ගමනක් අරඹා තිබේ. ඒ සංස්කෘතිය තුළ තවදුරටත් ඒකාධිපතිවාදයට, පටු වර්ගවාදයට හා පුද්ගල නිදහස අහිමි කිරීමට ඉඩක් නැත.
නමුත් රාජපක්ෂ රෙජීමය තුළ ශ්‍රී ලංකා රාජ්‍යය ගමන් ගනිමින් සිටීන්නේ ලෝකය ගමන් ගනිමින් සිටින මාවතට පරස්පර වූ දිශාවකටය. ඒ මගෙහි යන්නේ ද අතලොස්සක් වූ මිලිටරිමය රාජ්‍යයන් කිහිපයකි. ඒ අනුව බහුත්වවාදී ප්‍රජාතාන්ත්‍රික ලෝකය තුළ, වර්ගවාදී හා මිලිටරිමය ශ්‍රී ලංකා රාජ්‍යය ගෝලීයව තනිවෙමින් සිටීන මොහොතක රාජ්‍යයේ සුක්කානම මෙහේය වීම සදහා පවත්වන ජනාධිපතිවරණය අතිශයෙන් වැදගත් බව ශ්‍රී ලාංකික සමාජය තේරුම් ගත යුතුය.
ඡායා: Internet කාරුණික අනුග්‍රහයෙනි
මහා සංස්කෘතියක චූල අත්දැකීම් – ශ්‍රී ලංකා රාජ්‍යයේ අර්බූදය
වර්ගවාදය ද ජාතිකවාදය ද අතර දෝලනය වෙමින් පැවැති සිංහල බෞද්ධ මූල ධර්මවාදී මතයන්ට නිල පිළිගැනීමක් ලැබුණේ මහින්ද රාජපක්ෂයන්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමගිනි. එතෙක් අවශ්‍ය අවස්ථාවන්හි දී අවශ්‍ය පරිදි යොදා ගත් මේ මූල ධර්මවාදය අනතුරුව රාජ්‍යයේ ක්‍රියාකාරී සැලස්මේ පදනම බවට ද පත් වුණි. එය කොතෙක් ආන්තීක අදියරකට පැමිණියා ද කිවහොත් රාජ්‍යයේ හමුදා නායකත්වය පවා දේශපාලන මත ප්‍රසිද්ධියේ පළ කරමින් ප්‍රකාශ කළේ සුළු ජාතීන් මහ ජාතියේ කැමැත්ත මත ජීවත් විය යුතු බවකි. ඒ අදහස රාජ තාන්ත්‍රිකව කොතෙක් හානිකර වුවද එය ප්‍රතික්ශේප කිරීමට රාජපක්ෂ රෙජීමය උනන්දු නොවූයේ මේ අතිශය වර්ගවාදී මතය ශ්‍රී ලංකා රාජ්‍යයේ නිල මතය බවට පත්ව තිබූ නිසාය.
ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය දරන බහුතරය ඒ සදහා ජනවරමක් ලැබූවෝ නොවෙති. සමහර ව්‍යවස්ථාදායක නියෝජිතයෝ හාස්‍යජනක ලෙස තේරී පත්වූවෝ වෙති.සමහරු පක්ෂමාරු කර මැතිවරණයක දී නොලැබූ බලයක් ක්‍රියාත්මක කරමින් සිටින්නෝ වෙති. රාජ්‍ය පාලනය සදහා ජනවරමක් ලැබී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සංධානයට වුවත් රාජ්‍යයේ තීන්දු තීරණ ගන්නා වූ තීරක මර්මස්ථානයන්හි බලය පවතින්නේ ඒ සදහා ජනවරමක් නොලැබූවන් අත බව ඒ අනුව පැහැදිලි ය.එසේම වර්තමානයේ ශ්‍රී ලංකා රාජ්‍යයේ පාලන බලය දරන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතයන් විසින් නොවන බව කවුරුත් දන්නා කරුණකි. එසේම ශ්‍රී ලංකා රාජ්‍යයේ ආකෘතිය තීරණය කිරීමේ ලා වැදගත් වන මේ නොහික්මුණු මතවාදයට ජනවරමක් ද ලැබී නැත. ඒ අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදී හැඩ තලයන්ට එකග නොවන මේ වර්ගවාදී මතය පාලක පන්තියේ අන්තනෝමතික තීරණයකින් රාජ්‍ය මතවාදය බවට පත් කර වූවකි.
බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදී හැඩතලයන්ගෙන් පරිපූර්ණ විය යුතු ශ්‍රී ලංකා රාජ්‍යයේ ආකෘතිය ඒකීයවාදී මූල ධර්මවාදී හැඩයකින් යුක්ත ආක්‍රමණශීලීත්වයකට රූපාන්තරණය වූයේ ස්වය සිද්ධව නොවේ. කාලාන්තරයක් තිස්සේ මෝරමින් පැවති ආර්ථික දේශපාලන ආකෘතියක් තව දුරටත් මෝරා යෑමට ඉඩකඩක් නොවීමේ කූටප්‍රාප්තිය වූයේ රාජ්‍යය මූලධර්මවාදීවීම බව පැහැදිලි කරුණකි. 1978 දී හදුන්වා දුන් නව ලිබරල් ආර්ථික දේශපාලන රාමුව ශ්‍රී ලංකා දේශපාලනයේ මේ ආන්තික ධ්‍රැවීකරණයට වැඩි දායකත්වයක් දරා ඇත. ලෝකය පුරාම දුප්පතුන් තවදුරටත් දුප්පත් කරමින් ද පොහොසතුන් තවදුරටත් පොහොසත් කරමින් ද සංවර්ධනය වූ නව ලිබරල් ආර්ථිකය ධනේශ්වර ක්‍රමයේම අභ්‍යන්තර සතුරකු බව ධනේශ්වර බුද්ධිමතුන් අතර සාකච්ඡා වෙමින් පවතී.
සමාජයේ බහුතරයකට දරා ගැනීමට අපහසු ආර්ථික කම්පනයන් ඇති කරන නව ලිබරල්වාදය නිසා පීඩාවට පත්වූවන් විමුක්තිය සොයා වර්ගවාදී පිළිකණු කරා පසු බැස්සේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. බටහිර ධනපති ප්‍රබල රටවලත් ලෝකයේ අනෙකුත් රටවලත් ජාතිකවාදී නැගිටීම් මතුවෙමින් සමාජය වෙනත් ආකෘතීන් සෙව්වේ නව ලිබරල්වාදයට එරෙහි අලුත් සමාජ සැකැස්මක් නිර්මාණය කර ගැනීමට ය. එහෙත් කෙන්ද්‍රයේ රටවලත් පරිධියේ රටවලත් මේ ධ්‍රැවීකරණය සිදුවූයේ එකම ආකාරයෙන් නොවීම ද විශේෂ සිදුවීමකි. නව ලිබරල්වාදයට එරෙහි සමාජ බල මුළු ගැන්වීම් කේන්ද්‍රයේ රටවල දී ජාතිකවාදය මත පදනම් වෙමින් සිදුවූ අතර පරිධියේ රටවල දී වර්ගවාදය මත පදනම් වෙමින් සිදුවුණි. පරිධියේ රටවල වර්ගවාදී ප්‍රවනතා මතු වුවද ධනේශ්වර සංවර්ධනය විසින් ඇති කර තිබූ බුද්ධිමය සංස්කෘතිය ඒවා ජාතිකවාදී ප්‍රවනතා තුළ ශූන්‍ය කිරීමට සමත් වුණි.
ආර්ථික අසමතුළිතතාවන් ඇති වන්නේ ලෝකයේ සම්පත් ප්‍රබල ධනේශ්වරයේ සූරා කෑමට ලක්වීම නිසා බව මාක්ස්වාදයේ ප්‍රබුද්ධ මතවාදයයි. නමුත් නව ලිබරල්වාදයෙන් පළමුව ආශ්වාදයට පත්ව සිටි ජාතීන් පසුව ඉන් පීඩනයට පත්වන විට මෙම ප්‍රශ්නය විග්‍රහ කළේ වෙනස් අන්දමකිනි. 1978 දී ආර්ථික ප්‍රතිසංස්කරණයන් සමග ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇතිවූ ඇදහිය නොහැකි සංවර්ධනය නිසා පළමුව ලාංකික සමාජය වික්ශිප්ත වුණි.ඉන් අනතුරුව 1987 වර්ෂය පමණ වන විට ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ සමාජය පුරා පැතිරී යෑම ඇරඹුණි. මේ සමාජ අර්බූදය ඇති වන්නේ කෙසේදැයි විග්‍රහ කරගැනීමට ශක්තිමත් සමාජ දේශපාලන න්‍යායක් ලාංකික සමාජයේ ප්‍රබලව නොතිබුණි. එහෙත් මතු වෙමින් තිබූ අර්බූදයට ක්ෂණික විසදුමක් ද සමාජයට අවශ්‍ය වුණි. ඒ නිසා බුර බුරා පැන නැගී ආර්ථික අර්බුදය ඇතිවූයේ සුළු ජාතීන් විසින් සිංහල ජාතියේ සම්පත් උදුරා ගැනීම නිසා යැයි සිංහල බෞද්ධ සමාජය තුළ මතයක් රෝපනය කිරීමට සමහර වර්ගවාදීන්ට හැකි වුණි. ඒ මතය ප්‍රති විරුද්ධ ලෙස ඊටත් වඩා ප්‍රබලව දෙමළ වර්ගවාදීන් විසින් ද දෙමළ සමාජය තුළ ඒ වනවිටත් රෝපණය කර තිබුණි. ජාතීන් දෙකේම වර්ගවාදිහු එකිනෙකාට එරෙහිව වර්ගවාදී මත තහවුරු කරමින් එකම කාර්යක නිරතවෙමින් ආර්ථික පීඩනයේ අර්බූදය විග්‍රහ කළහ.
ලෝකය පුරාම බොහොමයක් පරිධියේ රටවල් නව ලිබරල්වාදයේ ආර්ථික අර්බූදයන් කළමනාකරණය කර ගැනීමට උපක්‍රමයන් සෙව්වේ ශ්‍රී ලංකාවේ අත්දැකීම් වලට සමාන ලෙසින් යැයි පැවැසිය හැකිය. එහෙත් ධනේශ්වර දියුණු කේන්ද්‍රයේ රටවල් අර්බූදයන් කළමනාකරණය කර ගැනීමට උපක්‍රමයක් ලෙස භාවිතා කළේ පරිධියේ රටවලට වෙනස් ක්‍රමයකි. ඔහුන් තමන්ගේ සතුරා දැක්කේ තම රට තුළින් නොවේ. ඔවුහු සතුරා ලෙස දැක්කේ තම කලාපයේ ආර්ථික බලවතා ය.තමන් ආර්ථික දරිද්‍රතාවයට පත් වන්නේ කලාපීය බලවතාගේ සූරාකෑම නිසා බවත් ඒ අභියෝගයට මුහුණ දීමට ජාතියක් වශයෙන් නැගී සිය යුතු බවත් ඔවුහු තේරුම් ගත්හ. ඒ නිසා බටහිර බොහොමයක් රටවල් නව ලිබරල්වාදයට මුහුණ දුන්නේ ජාතිකවාදය උපක්‍රමයක් ලෙස යොදා ගනිමිනි.
ඉන්දියාව පවා අර්බූදයේ මූලයන් සෙව්වේ ඉන්දීය ජාතිකවාදය මුවහත් කරමිනි. භාරතීය ජනතා පක්ෂය මුළුමනින්ම අසාර්ථක වූයේ එහි හරයාත්මක වර්ගවාදී පසුබිම නිසාය. එහෙත් ක්‍රමයට හානියක් නොවී උපායන් මගින් ක්‍රමය ආර්ක්ෂා කිරීමට ඉන්දීය කොන්ග්‍රසය සමත් වී තිබේ. ඉන්දියාව කලාපයේ බැබළෙන තරුව බවට පත් කරමින් ආචාර්ය මන් මෝහන් සිං විශිෂ්ට ධනපති නායකයෙක් ලෙස කීර්තියට පත් වෙමින් සිටින්නේ ලෝක දේශපාලන උපමාරුන් ද සමාජ උපාය උපක්‍රමයන් ද මනා ලෙස ප්‍රගුණ කර ඇති බැවිනි. ආචාර්ය මන් මෝහන් සිං ගේ ප්‍රතිපත්තිය ඉන්දියාවේ මහා සංස්කෘතියේ දායාදයකි. ඒ විශාල ධනපති සංස්කෘතිය නොවැදගත් දේශපාලනඥ්ඥයන්ගේ මොනර නැටුම් වලට ඉඩ දෙන්නේ නැත. ඒ නිසා බහුත්වවාදී, ප්‍රජාතාන්ත්‍රික හා සමෘද්ධිමත් ඉන්දීය රාජ්‍යය පෞරුෂවත් කේසර සිංහයකු සේ ලෝකයා අභමුඛ නැගී සිටී.
නිවැරදි නොවුනත් අවම වශයෙන් හෝ ජාතිකවාදී කතිකාවකින් අර්බුදයේ මූලයන් බේරුම් කර ගැනීමට යෑම සදහා ලාංකික සමාජය සූදානම් නොවූයේ එවැනි දේශපාලන පරිනත භාවයක් ලබාගැනීමට තරම් සමාජය මෝරා නොතිබූ බැවිනි. එහෙත් ශ්‍රී ලංකාවේ නොදියුණු ධනපති වෙළෙද පන්තියේ සිතිවිලි ලාංකික සමාජයේ වර්ගවාදී අතලොස්සකගේ නොමේරුම්කම හා මනා ලෙස ගැලපුණි.එහි ප්‍රථිපලයක් ලෙස රාජපක්ෂ රෙජීමය ශ්‍රී ලංකා රාජ්‍යයේ ආකෘතිය මූල ධර්මවාදීවාදී න්‍යායකින් වෙස් ගැන්වීමත් සමග රාජ්‍යයේ බහුත්වවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී හැඩතල ඉදුරාම වෙනස් වුණි.
දැන් ලාංකික රාජ්‍යය වර්ගවාදී, ඒකාධිපති හා මිලිටරිමය ස්වරූපයකින් ශක්තිමත් වී තිබේ.
කොට එළදෙන පසුපස යෑමේ අවසානය කොහේද?

එතෙක් සැගවුණු අශිෂ්ඨ මානව ලක්ෂණයක් ලෙස ග්‍රාම්‍යව පැවැති ඒකීයවාදී සිංහල බෞද්ධ සීමාන්තික දේශපාලන මතවාදයට නිල වශයෙන් රාජ්‍ය පිළිගැනීමක් ලැබුණේ 2005 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙනි. රාජපක්ෂ රෙජීමය මේ දක්වා සුවිසල් මැතිවරණ ජයග්‍රහණයන් ලැබුවේ ද සමාජයේ මේ ධ්‍රැවීකරණය වූ දේශපාලන සීමාන්තිකයන් පෝෂණය කරමිනි. යුද්ධය මනා ලෙස කළමනාකරණය කරමින් ඒ ගමනේ කූට ප්‍රාප්තියට ආ රාජපක්ෂ රෙජීමයට දැන් අලුත් සතුරකු නිර්මාණය වී තිබේ. සිංහල බෞද්ධ රාජ්‍යයේ පැවැත්මට භොතිකව අභියෝග කළ අයෝමය සතුරා වෙල්ලමුල්ලවෙක්කාල් වැල්ලේ දී නිහඩ වූයේ අලුත් සතුරකු නිර්මාණය කරමින් යැයි පැවැසිය හැකිය. යුද්ධයේ අඛණ්ඩ පැවත්ම වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය විසින් ආමන්ත්‍රණය කළ ඒ සමාජ තීරුව මේ වනවිට දෙකට බෙදෙමින් පවතින අතර එහි වගකීම රෙජීමයේ අලුත් සතුරාට හිමිවන බව නොකිවයුතුමනාය.
ලාංකික සමාජය අලුත් දේශපාලන මානයන්ගෙන් ධ්‍රැවීකරණය වනවිට ඒ දේශපාලන බලමුළු ගැන්වීමට අභියෝග කිරීමට සමත් ශක්තිමත් සමාජ දේශපාලන ව්‍යාපාරයක් මෙරටේ නොතිබුණි. සමාජ බලයක් හිමි සියළු දේශපාලන ව්‍යාපාර රෙජීමයේ මතවාදයම පුනරුඡ්චාරණය කළහ. නැතහොත් එය යථා පරිදි නියෝජනය නොකරන්නේ යැයි රෙජීමයට චෝදනා කරමින් එම මතවාදයේ සැබෑ නියෝජිතයා වීමට උත්සාහ ගත්හ. ඒ අර්ථයෙන් එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් රාජ්‍යය හා එක පෙලට සිට ගනිමින් රෙජීමය ආමන්ත්‍රණය කරන සමාජ තීරුවේ වඩා ශක්තිමත් නියෝජනය සදහා පොර බැදුනහ. දැන් ඒ සටන අභියෝගකාරී අවසානයක් කරා එමින් පවතී. ඒ අර්ථයෙන් ජනරාල් සරත් ෆොන්සේකා බල කේන්ද්‍රයෙන් ඉවතට ගනිමින් නව බල කේන්ද්‍රයක් නිර්මාණය කිරීමේ කාර්යයට සම්බන්ධ කර ගැනීමට විපක්ෂ සංධානයට හැකිවීම සුවිශාල ජයග්‍රහණයකි.
ලාංකික දේශපාලනයේ මතුවී එන මේ ප්‍රවනතා සම්බන්ධයෙන් සමගාමී බවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ගෝලීය දේශපාලන හැසිරීම් අතර පවතින බවක් දක්නට නොලැබේ. නොබෝදා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් යුද්ධය කාලයේ සිදුවූ විශාල මිනිස් ඝාතන ඇතුලත් මානව හිමිකම් කඩ කිරීම් ගැන බරපතල චෝදනාවක් එල්ල කළේ ය. එහෙත් ශ්‍රී ලංකා රාජ්‍යයට ගෙවුම් ශේෂ ප්‍රශ්නයන් විසදා ගැනීමට විශාල මූල්‍ය පහසුකමක් ලබාදුන් අන්තර් ජාතික මූල්‍ය අරමුදල, ලාංකික සමාජයේ මානව හිමිකම් සම්බන්ධයෙන් උනන්දුවීම රටේ ආර්ථික ස්ථාවරත්වයට හානිකර යැයි ප්‍රකාශ කළේය. බලය බෙදීමේ ශක්තිමත් දේශපාලන යෝජනාවක් ගෙන එන්නෙමියි කියමින් රාජපක්ෂ රෙජීමය විසින් ඉන්දියාව නොමග යැව්ව ද අද ත් ඉන්දීය මධ්‍යම රජය උත්සාහ ගන්නේ දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වලට රාජපක්ෂ රෙජීමයෙන් යම් සහනයක් ලබා දීමටය. ඒ අනුව ලාංකික දේශපාලන හැසිරීම් සම්බන්ධයෙන් මානවවාදී හැගීමක් හෝ සමාජ සාධාරණය සම්බන්ධයෙන් අවංක හැගීමක් හෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උනන්දු වන විදෙස් ප්‍රජාවනට ඇතැයි පැවසිය නොහැක. ගෝලීය දේශපාලනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැහැදිලි තීන්දු තීරණ ගන්නේ ප්‍රාග්ධනයේ නිදහස් සංසරණයට හානි වන්නේ නම් පමණි. නො එසේනම් ඔවුන් තුළ මතුවන්නේ අපැහැදිලි, එකිනෙකට පරස්පර, ආත්මාර්ථකාමී හා අශිෂ්ට අදහස් ගොන්නකි. ලාංකික සමාජයේ දේශපාලන නැඹුරුව කෙසේ විය යුතුද යන්න හා දේශපාලන සැකැස්ම කෙසේ ස්ථානගත විය යුතු ද යන්න සම්බන්ධව මේ මොහොතේදී ත් ගොලීය දේශපාලනයට ශක්තිමත් හා පැහැදිලි දැක්මක් නොපවතී. එහෙත් ප්‍රබල බටහිර රටවල් කිහිපයක්ම රෙජීමයේ වෙනසක අවශ්‍යතාව දකිමින් ජනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් බලාපොරුත්තු සහගත අපේක්ෂාවෙන් සිටිති.
දේශපාලන ගනුදෙනුවේ සුළු සුළු හැල හැප්පීම් නිවාරණය කර ගැනීම සදහා රෙජීමය වෙනස් කිරීමට බටහිර රාජ්‍යයන් තීන්දුවක් ගෙන ඇත්නම් එය ලාංකික සමාජයේ කොයියම් හෝ ධනාත්මක සංවර්ධනයකට හේතු වේ යැයි පැවසීම දුෂ්කර කරුණකි. ජනරාල් සරත් ෆොන්සේකා යොදා ගනිමින් විපක්ෂ සංධානය අපේක්ෂා කරන්නේ රාජපක්ෂ රෙජීමයේ තීරක සමාජ බලවේග පමණක් ආමන්ත්‍රණය කරන්නට නම් එය ද වත්මන් අර්බුදයන් නිවාරණයේ ලා සමාජය ඉල්ලා සිටින්නා වූ විසදුමට පිටු පා යෑමකි. රාජපක්ෂ රෙජීමයේ සමාජ සම්මුතීන් අනුව පුළුල් ශ්‍රී ලාංකික සමාජ කණ්ඩායමක් ආමන්ත්‍රණය කිරීමට එයට නොහැකිය. යම් යම් පුද්ගල සාධකයන්ට ඒ සදහා අවශ්‍යතාවක් තිබුණ ද රෙජීමයේ පදනම් සමාජ තීරූන් හා එකගතාවක් නොමැතිව අවශ්‍යතා තෘප්ත කරන්නට යෑම ප්‍රති විරෝධතා ඇති කිරීමට හේතු වේ. නො එසේනම් රෙජීමය නැවත ස්ථාන ගත වීමක් මගින් අලුත් සමාජ සම්මුතීන් කරා ගමන් කළ යුතුය. මේ මොහොතේ සිදුවන දේශපාලන පෙල ගැස්වීම් අනුව මේ කිසිවක් කිරීමට රාජපක්ෂ රෙජීමය අසමත් වේ. එසේනම් විවරවන සමාජ දේශපාලන ඉඩකඩ හමුවේ ජනරාල් ෆොන්සේකාට ඇත්තේ සුවිසල් අවස්ථාවකි.
දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට කල් පවත්නා විසදුමක් ලබාදීමේ දී පුළුල් සමාජ සම්මුතියක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. එය සිංහල බෞද්ධ සමාජ තීරුවේ සීමාවන් ඉක්මවන දෙමළ, මුස්ලිම් හා අනෙකුත් ජාතීන් ද සතුටට පත් කරන්නා වූ වැඩ පිළිවෙලකින් පරිපූර්ණ විය යුතුය. ජනරාල් ෆොන්සේකාට එවන් හැකියාවක් ඇත්නම් එය සතුටට කරුණකි. එහෙත් ඔහුගේත් එක්සත් ජාතික පක්ෂයේත් ජනතා විමුක්ති පෙරමුණේත් සමාජ පදනම් පටු අභිලාෂයන්ගෙන් පරිපූර්ණ සරළ දැක්මකින් යුක්තය. එහෙත් ලාංකික අර්බූදයට විසදුම් සොයන ගෝලීය දේශපාලනය ද මේ විෂය සම්බන්ධයෙන් අවශ්‍ය තරම් බර තබා කටයුතු කරන බවක් නොපෙනේ. පසුගිය දා ස්විට්සර්ලන්තයේ පවත්වන ලද එල්.ටී.ටී.ඊ. නොවන සියළු දෙමළ නායකයන් ආරාධනා ලත් සමුළුව හා බලය බෙදීමේ දේශපාලන වැඩ පිළිවෙලකට ජනාධිපති රාජපක්ෂ එකග කර ගන්නා වූ උත්සාහයක් වැනි යමකින් සතුටට පත් වනවා හැර ඉන් එහා යන විෂයානුබද්ධ අවශ්‍යතාවක් ගෝලීය දේශපාලනයට ද නොමැත. මේ රික්තය තුළ පීඩිත ජාතීන් නැවත හුදකලා වන අතර වර්ගවාදී මහ ජාතිවාදී දේශපාලන බල මුළු ගැන්වීම් මත පරපෝෂිතයකු ලෙස අවස්ථාවාදය වැළද ගැනීම හැර වෙනත් විකල්පයක් ඔහුන්ට ඉතිරි නොවේ. මහ ජාතිවාදී ලෙස සිංහල සමාජය ධ්‍රැවීකරණය වීමත් පීඩිත ජාතීන් හුදකලාවීමත් නැවතත් ලාංකික දේශපාලනය හැල හැප්පීම් වලින් ගහණ ප්‍රති විරෝධතාවන්ගෙන් යුත් වඩා සුවිශාල අර්බූදයකට තල්ලු කරයි.
ලාංකීය දේශපාලන සමාජ සංවර්ධනයේ පලදායි මැදිහත්වීමකට ගෝලීය දේශපාලන බලධාරීන් පෙළඹෙන්නේ නැත. ඒ ඔහුන්ට ඒ සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් නොමැති බැවිනි. ගෝලීය බලධාරීන්ට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා භූමියේ සන්සුන්තාවයි. ඒ හැරෙන්නට මානවවාදී හැගීමක් ලාංකික දේශපාලනය සම්බන්ධයෙන් ඔහුන්ට ඇතිවන්නේ නැත. නමුත් ප්‍රාග්ධනය පොම්ප කරමින් ක්‍රමයේ පැවැත්ම රුක ගැනීමට ද ක්‍රමයේ තුල්‍යතාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් දේශපාලන නායකත්වය මාරු කිරීමට ද ඔවුහු පසුබට නොවෙති. මේ මොහොතේ දීත් ගෝලීය බලධාරීන් ඉන්නේ එවැනි ස්ථාවරයකය යන්න වඩාත්ම පැහැදිලි කරුණකි.
මේ සම්බන්ධයෙන් වඩා පුළුල් හා සාරගර්භ සංවාදයක් ආරම්භ කිරීමට නම් ශක්තිමත් ධනපති ච්න්තකයන් ලාංකික දේශපාලන භූමියේ සිටිය යුතුය. එහෙත් ඒ තබා ශක්තිමත් ධනපති පංතියක් වත් ශ්‍රී ලංකාවේ නොමැත. ධනපති පාලකයන් හා කේවල් කළ හැකි ශක්තිමත් වාමාංශයක් ද නොමැතිවීම වඩා කණගාටුදායකය. මේ තත්ත්වය තුළ තවත් සැලකිය යුතු කාලයක් ලාංකික දේශපාලනය අයාලේ යෑම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකි කරුණකි.
ඡායා: lankaenews කාරුණික අනුග්‍රහයෙනි.
ගස් නොදැක කැලය දැකීම
අචේ සන්නද්ධ සටන්කාමීන් ඉන්දුනීසියානු රජයත් සමග එකගතාවකට ආවේ සුනාමි ව්‍යසනයත් සමගය. නේපාලයේ මාවෝවාදී සටන්කරුවෝ ද ඒකාබද්ධ විපක්ෂය හා එකගව යම් අතර මැදි විසදුමකට විත් රාජ්‍ය බලය ද ලබා ගත්හ. නොබෝදා එල්.ටී.ටී.ඊ. සංවිධානය ලෙයින් හා යකඩෙන් මර්දනය කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සමත් වුණි. නියැදියක් ලෙස මේ සන්නද්ධ ව්‍යාපාර තුනෙහි අවසානය සලකා බැලූ විට ඒවා සියල්ල ගෝලීය දේශපාලනය හා අත්‍යයන්තයෙන්ම බැදුණු සිද්ධින් බව පැහැදිලි කරුණකි.
අචේ සාම ගිවිසුම ඇතිවීම කෙරෙහි යුරෝපා ප්‍රජාව ඇතුලත් බටහිර ධනේශ්වරයේ ඝෘජු සම්බන්ධයක් තිබුණු අතර නේපාල මාවෝවාදීන්ගේ පාර්ලිමේන්තු ආගමනය කෙරෙහි ද බටහිර ප්‍රජාවේ මැදිහත්වීමක් තිබුණි. එසේම ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද බලයෙන් මර්දනය කිරීමේ මෙහෙයුම පිටුපස ද බටහිර ධනේශ්වරයේ සහ සම්බන්ධතාව කැපී පෙනුණි. මේ අර්ථයෙන් බැලූ විට මෙකී සන්නද්ධ සටන් ව්‍යාපාර තුනම ආකාර තුනකින් ශූන්‍ය කිරීමට විවිධ අත්හදා බැලීම් ඔස්සේ වුවද බටහිර ධනේශ්වරයට හැකිව තිබේ.
අචේ හා නේපාල ප්‍රශ්නයන් කුමන අවශ්‍යතාවකට කාගේ කැමැත්තට විසදුන ද ඒවා ජය – ජය ප්‍රතිලාභ ලබාදෙමින් ශූන්‍ය වුණි. එහෙත් ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ශූන්‍යත්වයට පත් වූයේ එම සංවිධානයට මාරාන්තික විනාශයක් ද රජයට අසීමිත ජයග්‍රහණයක් ද ලබා දෙමිනි. සන්නද්ධ සංවිධාන ශූන්‍යත්වයට පත් කිරීමේ මෙහෙයුම් වලදී ශ්‍රී ලංකාවේ දී අනුගමනය කළේ වෙනස් ක්‍රමවේදයක් වන අතර එය කෲර හා අමානුෂික ක්‍රමෝපායක් විය. ඒ නිසාම එමගින් සමාජයට අත්කර දුන්නේ විශාල විනාශයකි. සටන්කාමී ව්‍යාපාරයන් ශූන්‍ය කිරීමේ දී සමාජයට අත් වන්නේ සහනයක් ද විනාශයක් ද යන්න නොවිමසා කොයි ආකාරයෙන් හෝ ඒවා කරළියෙන් ඉවත් කිරීමට ගෝලීය බලවතුන් තීන්දු තීරණ ගත්තේ 2001 එක්සත් ජනපදයට දී එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයෙන් පසුවය. ඒ අනුව එක්සත් ජනපද ජනාධිපති ජෝජ් බුෂ් ලෝකයේ සියළු සටන්කාමී ව්‍යාපාර ශූන්‍ය කිරීමේ මහා මෙහෙයුමට පණ පෙව්වේ ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටන ආරම්භ කරමිනි.
ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතීන්ට ගරු කිරීම, බහුත්වවාදය හා පුද්ගලික නිදහස වැනි සමාජ සාරයන් මත පෝෂණය වූ ලෝකය මෙතැන් පටන් වැඩි අවධානයක් යොමු කළේ රාජ්‍ය ආරක්ෂාව, රාජ්‍ය ස්වාධිනත්වය හා ඒකීයත්වය වැනි ප්‍රපංචයන් කෙරෙහි ය. ලෝ පුරා එකි නෙකා ඇන කොටා ගනිමින් යුද වැදුන අතර නොසන්සුන්තාව දිගින් දිගටම වර්ධනය වුණි. එක් අතකින් යුද්ධ ව්‍යාප්ත වූ අතර ගෝලීය ධනවාදයේ හානිකර ප්‍රතිවිපාකයන් අනෙත් අතින් ලෝකය පුරා මතු වුණි. මෙම ධ්‍රැවීකරණයන් සමග ලෝකය මිනිස් වාසයට නොගැළපෙන මට්ටමට ක්‍රමයෙන් වෙනස් වුණි.
අචේ හා නේපාල නියැදියන් ඇතුළු ලොව පුරා බොහොමයක් අත්දැකීම් වලට වෙනස්ව එල්.ටී.ටී.ඊ. සංවිධානය ශූන්‍ය කිරීමට අතිශය අමානුෂික, කෲර හා විනාශකාරී ක්‍රමෝපායන් තේරුවේ කුමක් නිසාදැයි පැහැදිලි නැතත් ඒ විනාශයට එම සංවිධානයේ දැක්මක් නැති අඥාණ තීන්දු තීරණ බලපෑ බව නම් පැහැදිලිය. 2002 දී රනිල් වික්‍රමසිංහයන් හා අත්සන් කළ සටන් නැවත්වීමේ ගිවිසුම් කාලය තුළ එල්.ටී.ටී.ඊ.ය අනුගමනය කළ දේශපාලන තීන්දු එතරම් නම්‍යශීලී වූයේ නැත. එසේම ගෝලීය දේශ්පාලන උපමාරූන් හා සමපාත වූයේ ද නැත. එල්.ටී.ටී.ඊ. දේශපාලන න්‍යයාචාර්ය ඇන්ටන් බාලසිංහගේ අභාවයෙන් පසුව ඒ තීන්දු තීරණ තවත් උද්දච්ඡ් මනෝභාවයකින් සංයුක්ත වුණි. අවසානයේ සියළු තීන්දු තීරණ ගත්තේත් ක්‍රියාත්මක වුණේත් ගෝලීය දේශපාලන ධ්‍රැවීකරණයන් නොතකමින් හුදු දෙමළ ඩයස්පෝරාව කෙරෙහි වූ අනවශ්‍ය හා ළාමක විශ්වාසය මත පදනම් වෙමිනි.
ලාංකික දේශපාලන භූමිය සන්සුන් කිරීමේ ගෝලීය අවශ්‍යතාව මේ වනවිට සාර්ථකව නිමා වී තිබේ. එහෙත් දෙමළ දේශපාලනය තුළ මතු වී ඇත්තේ විශාල රික්තයකි. මේ අවකාශය කාලයක් තිස්සේ පුරවන ලද්දේ එල්.ටී.ටී.ඊ.ය ද අයත් අවි ගත් සටන්කාමී සංවිධාන විසිනි. ඒ මිලිටරිමය බලය දැන් නිහඩ කර ඇතත් අත්‍යවශ්‍යයෙන්ම සමනය කළ යුතු දෙමළ දේශපාලන සීමාසහිතකම් කෙරෙහි කිසිවෙක් සංවේදීභාවයක් දක්වන්නේ නොමැත. දෙමළ ජනතාවගේ දේශපාලන අරගලයට කවදත් සිංහල සමාජය උනන්දු වූයේ එය සිංහල ජනතාවගේ හිසේ කැක්කුමක් වූ නිසා මිස සහෝදර ජාතියක මිනිස් අයිතීන් පිළිගැනීමේ පුළුල් අර්ථයෙන් නොවේ. ඒ නිසා දෙමළ සන්නද්ධ ව්‍යාපාරයක් තවදුරටත් නොමැති පරිසරයක දෙමළ දේශපාලන ප්‍රශ්න විසදීමට සිංහල සමාජය ස්වයං සිද්ධව පෙළඹේ යැයි කොහෙත්ම සිතිය නොහැක. එහෙත් සිංහල සමාජයට ප්‍රජාතන්ත්‍රවාදී තෙරපුමක් එල්ල කළ හැකි ශක්තිමත් දෙමළ දේශපාලන ව්‍යාපාරයක් ඉතිරිව නැති අතර පවතින කවන්ධ ව්‍යාපාරයන් ද සිංහල රාජ්‍ය විසින් කර ඇඹීමකට ලක් කරමින් පවතී.
එල්.ටී.ටී.ඊ ය ශූන්‍ය කරමින් ප්‍රාග්ධනයේ නිදහස් සංසරණයට තිබූ බාධක වැට කඩොළු ඉවත් කිරීම පමණක් ගෝලීය දේශපාලන අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ශක්තිමත් දායකත්වයක් නොසපයයි. එහෙත් දෙමළ ප්‍රශ්නයට ලාංකික කොදෙව්ව තුළින්ම විසදුමක් නිර්මාණය වේ යැයි කල්පනා කිරීම කිසිසේත්ම අතීත අත්දැකීම් මත පදනම් වීමේ ච්න්තන සම්ප්‍රදාය හා එකග නොවන සිතුවිල්ලකි. ශ්‍රී ලංකා කොදෙව්ව ධනේශ්වරකරණය කිරීමේ ව්‍යපෘතිය තුළ දෙමළ ප්‍රශ්නයට කල් පවත්නා විසදුමක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය හා අත්හල නොහැකි සාධකයක් බව ගෝලීය දේශපාලන බලවතුන් මේ මොහොතේ තේරුම් ගත යුත්තේ එබැවිනි.
(ඡායාරූපයෙන් දැක්වෙන්නේ වන්නි දිස්ත්‍රික් දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රී කිෂෝර්, ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ උපන් දිනයේ දී ඔහුට පතන අයුරුයී. ඡායා:lankaenews අනුග්‍රහයෙනි.)
තීරණාත්මක වන්නේ “ලොකු තාත්තාගේ” කාර්ය භාරයයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මර්මස්ථානයන්ට අල්කයිඩා ප්‍රහාර එල්ලවීමත් සමග මුළු ලෝකයම “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට ” පෙළ ගැසී තිබුණි. තවදුරටත් සාමකාමී දේශපාලන විසදුමකට අවස්ථාවක් ලබා නොදී යුදමය ලෙස “ත්‍රස්තවාදය” මුලුනුපුටා දැමීමට උපාය උපක්‍රම වෙනස් කෙරිණි.බලය බෙදා කල් පවත්නා දේශපාලන විසදුමක් ජාතික ප්‍රශ්නයට ලබාදීමට 2003 දී ගත් අවසන් උත්සාහයද එල්.ටී.ටී.යේත් චන්ද්‍රිකා – රනිල් හවුලේත් පටු දේශපාලන දැක්ම නිසා අහෝසි වුණි. එල්.ටී.ටී.ඊ සංවිධානය ද දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් කළ යුතු බවට ගෝලීය ධනේෂ්වරය ඒ වනවිට එකගතාවකට පැමිණ තිබුණි.ඒ එතිහාසික අවශ්‍යතාව ඉෂ්ඨ කිරීමේ වගකීම පැවරුණේ මහින්ද රාජපක්ෂට ය.වර්ෂ 2005 දී මහින්ද රාජපක්ෂ බලයට පත් කරවන එකම අවශ්‍යතාව එල්.ටී.ටී.ඊ.ය යුදමය ලෙස විනාශ කිරීම සදහා යැයි කිවහොත් එය වඩා නිවැරදි ය.
වර්ෂ 2006 දී රාජපක්ෂ රෙජීමය හා ගිවිසුමක් අත්සන් කරමින් එක්සත් ජාතික පක්ෂය පෙන්නුම් කළේ ගෝලීය ධනවාදයේ බලාපොරුත්තුවට තමන් එකග බවකි. ඒ එකගතාව කොතෙක් ශක්තිමත් දැයි වූවාදැයි කිවහොත් එක අකුරක්වත් නොදුටු 2007 අය වැය යෝජනා වලට සම්පූර්ණ සහාය දීමට ද සූදානම් යැයි ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. සුවිශාල පන්ති ඉවකින් යුත් වික්‍රමසිංහයන්ගේ මේ දේශපාලන තීන්දුව තේරුම් ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ අපොහොසත් වුණි. ඔහු පන්ති දැක්මකින් දේශපාලනය දකින්නේ නැතිව කට්ටිවාදීව දේශපාලනය තේරුම් ගත්තේය. එම වියවුල් දැක්ම රජයේ මතවාදය වූ නිසා රාජපක්ෂයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නන් ගේ ද මතවාදය වූයේ පක්ෂයක් වශයෙන් එ.ජා.ප.යේ සහාය ලබා නොගෙන එ.ජා.ප මන්ත්‍රීවරුන් සමූහයකගේ සහායෙන් රෙජීමය ශක්තිමත් කිරීම නිවැරදි බවයි.
ජාතික ධනේශ්වරය බල මුළු ගන්වා රාජපක්ෂ රෙජීමය ශක්තිමත් කරමින් දේශීයව අවශ්‍ය දේශපාලන යටිතලය සකස් කළේය. එසේම එල්.ටී.ටී.ඊයේ අවි ආයුධ ලබා ගැනීමේ සබදතා ද මුදල් එකතු කිරීමේ ජාලය ද ඇතුළු සියළු සැපයුම් ජාලයන් පිළිබද බුද්ධි තොරතුරු රාජපක්ෂ රෙජීමයට ලබාදීමට ගෝලීය ධනෙශ්වරය පසුබට නොවෙමින් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට ශ්‍රී ලංකාව ද සම්බන්ධ කර ගත්තේ ය. එපමණක් නොවේ. මූල්‍යමය ලෙස ද භොතිකමය ලෙස ද අවශ්‍ය සියළු ප්‍රාග්ධනය මෙරටට ලබාදුනි. ඉන්දියාවේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා ද චීනයේ සිට ජපානය දක්වා ද සියළු ධනපතීන් රාජපක්ෂ රෙජීමය ශක්තිමත් කිරීමට එක පෙළට සිට ගත්තේ ඒ අනුව ය.සම්ප්‍රදායි උදාහරණයකින් ඇති වූ දේ පැහැදිලි කළහොත් මතු වන්නේ මෙවැනි ච්ත්‍රයකි. දේශීයව එදා සිටියේද මේ හමුදාවම ය. මේ දේශපාලකයන්ම ය. එහෙත් වෙනස් වූයේ ගෝලීය දේශපාලන මතවාදයයි. ඒ මතවාදය ශක්තිමත් කරමින් එය මෙහේය වූ ගෝලීය දේශපාලන නායකත්වයයි. ඒ අර්ථයෙන් එල්.ටී.ටී.ඊ. විනාශ කිරීමේ ගෞරවය යා යුත්තේ ගෝලීය ධනේශ්වරයටයි.ඇත්තෙන්ම එල්.ටී.ටී.ඊ.ය විනාශ කළ රණකාමියා වන්නේත් දේශපාලන නායකයා වන්නේත් එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් බව නොරහසකි.
ගෝලීය ප්‍රාග්ධනයේ නිදහස් සංචලනයට බාධාවක් වූ එල්.ටී.ටී.ඊ.ය ද එහි නායකයා ද තවදුරටත් වලංගු දේශපාලන ප්‍රපංචයන් නොවේ. එය ලෙයින් හා යකඩෙන් මර්දනය කරමින් තම එතිහාසික පැවරුම සම්පූර්ණ කිරීමට රාජපක්ෂ රෙජීමය කටයුතු කළේ ගෝලීය ප්‍රාග්ධනය ද මවිතයට පත් වන අන්දමිනි. එල්.ටී.ටී.ඊ.යේ අවසානයත් සමගම ගෝලීය දේශපාලනයේ ද වෙනසක් ඇති වුණි. එතෙක් යුදවාදී දේශපාලනයට යටව තිබූ ලෝකය එම මතයෙන් ඉවත්වෙමින් වෙනස් දැක්මකින් යුතුව කටයුතු කරන්නට මුල් පියවර තබා තිබුණි. තවදුරටත් යුද දේශපාලන දැක්මකින් කටයුතු කිරීම ප්‍රාග්ධන සංචලනයට හානියක් බව ගෝලීය ධනේශ්වරය තේරුම් ගනිමින් සිටියහ. ඒ නිසා ගෝලීය දේශපාලනය වෙනස් කරමින් ජෝර්ජ් බුෂ් වෙනුවට බරක් ඔබාමා තීන්දු තීරණ ගනිමින් සිටී.

යුද දේශපාලනය විසින් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කරා රාජපක්ෂ රෙජීමය තල්ලු කරද්දී පවා යම් කිසි තිරිංගයන් කිහිපයක් මගින් රෙජීමය පාලනය කර තිබුණි. බලය බෙදීමේ දේශපාලන විසදුමක් වහා ඉදිරිපත් කිරීම, සරණාගතයන් හැකි ඉක්මනින් යළි තම ගම් බිම් හි පදිංච් කිරීම හා හැකි උපරිම අයුරින් මානව අයිතීන්ට ගරු කිරීම ඒ අතුරින් ප්‍රධාන කාරණා කිහිපයකි. එල්.ටී.ටී.ඊ ය මර්දනය කිරීම සදහා රාජපක්ෂ රෙජීමයට කොතෙක් වරදාන ලබාදුන්න ද යම් යම් සමාජ අගයන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රෙජීමය හා ගෝලීය ප්‍රාග්ධනය අතර ගැටුම් ඇතිවුණි. එහෙත් ප්‍රධාන ප්‍රස්තූතය ජය ගැනීමේ ඉලක්කයට ඉන් කිසිම හානියක් සිදු නොවුණි.
ගෝලීය දේශපාලනයේ වු්‍යහාත්මක වෙනස්කම් අවබෝධ කර ගැනීමට රාජපක්ෂ රෙජීමය අසමත් වීම නිසා පැවති සුළු සුළු අමනාපකම් දුර දිග යෑම කළමනාකරණය කර ගැනීමට ද එය අසමත් වුණි. යුද්ධය ජයග්‍රහණය කිරීම තුළින් ඇති වූ උද්දච්ඡ මනෝභාවය ද ඊට හේතු වන්නට ඇත. ඉන්දියාව කිහිපවිටක්ම රවටා ඇති අතර කලාපයේ ඉන්දියානු අභිලාෂයන් නොසලකා හරිමින් කලාපයේ බල තුලනය වෙනස් වන පරිදි ශ්‍රී ලංකාව තම විදේශ ප්‍රතිපත්තිය හසුරුවමින් සිටී. එසේම බටහිර රාජ්‍යයන්ට ඉහළම මට්ටමින් අභියෝග කරමින් ගෝලීය යුගයේ මුරණ්ඩු තරුණයාගේ චරිතය ශ්‍රී ලංකාව රග පාමින් සිටී. ඒ නිසා තමන්ගේ පැවරුම සාර්ථකව අවසන් කළ ද රාජපක්ෂ රෙජීමය සම්බන්ධයෙන් දැඩි තීරණයකට ගෝලීය ධනේශ්වරය පැමිණ ඇති බව පෙළ ගැස්වෙන දේශපාලන කාරණා පවසන ච්ත්‍රයයි. ගෝලීය ධනේශවරය එක් මතයක ද රාජපක්ෂ රෙජීමය තවත් මතයක ද සිටීමේ නොගැලපීම විසින් එම දැඩි තීරණය තවත් ශක්තිමත් කරමින් පවතී.
ජී.එස්.ටී ප්ලස් අර්බුදය මත යුරෝපා කොමිසම ඉදිරිපත් කළ වාර්තාව ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් නොසලකා හැරීම මත එක්සත් ජනපදයේ උනන්දුව පළ කළ වාර්තාව ද රෙජීමයේ දේශපාලන පදනමට ඉල්ල කළ ප්‍රබළ අභියෝගයන් ය. එවැනි විවේචනශීලී වාර්තාවක් මෑත කාලය තුළ විපක්ෂය තුළින් පවා ඉදිරිපත්ව නැත.එක් අතකින් එවැනි බරසාර විවේචනයකට යෑමට තරම් ජාතික ධනේශ්වරය මේ අවස්ථාවේ දී විචාරශීලී නැත. අනෙක් අතින් වාමාංශය එපමණකට හෝ ගෝලීය ධනේශ්වරය ගැන සබුද්ධික නැත. ජාතික ධනේශ්වරය මෙන්ම වාමාංශිකය ද වර්ථමානයේ දේශපාලනය කරන්නේ එදිනෙදා පැන නගින්නා වූ ගැටලු ඉලක්ක කර ගනිමිනි. එසේ නැතිව තමන්ගේම වූ වැඩපිළිවෙළක් තුළින් සංවර්ධන ඉලක්කයන් ජය ගැනීම සදහා වූ වැඩපිළිවෙළක් ඔවුන්ට නොමැත. මේ මොහොත තුළ ගෝලීය දේශපාලනය තේරුම් නොගෙන ජාතික දේශපාලනයේ යෙදීම හුදු හාස්‍යජනක නාඩගමක් වන්නේ එබැවිනි.
රාජපක්ෂ රෙජීමයේ අභ්‍යන්තරයට දැනෙන්නා වූ බලපෑමක් කිරීමට ජාතික දේශපාලනය තවමත් සමත්ව නැත. පොදු දේශපාලන වේදිකාව තුළින් එල්ල වන්නා වූ අභියෝගයන්ට මුහුණ දීමට තරම් රාජ්‍යයේ පදනම ශක්තිමත් ය. නව ලිබරල්වාදය කර පින්නා ගත් ගෝලීය ධනේශ්වරය ඒ පදනම් අවශ්‍ය තරමටත් වඩා ශක්තිමත් කර තිබේ. ඒ නිසා රෙජීමයේ පැවැත්මට සැබෑ ලෙස අභියෝග කළ හැක්කේ ගෝලීය දේශපාලනය සම්බන්ධයෙන් සබුද්ධික විකල්ප දේශපාලන හෙජමොනියකට පමණි. එහෙත් ඒ සදහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට ලාංකික ධනපති පන්තිය හා පීඩිත පන්තිය තවමත් තම මොළය වෙහෙසවීමට මැළිකමක් දක්වති. එනිසා රාජපක්ෂ රෙජීමය ඉවත් කර තමන්ට ගැලපෙන රෙජීමයකට ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය ලබාදීමට ගෝලීය ධනේශ්වරය කටයුතු කරමින් සිටින බවක් දක්නට ලැබේ.
මේ මොහොත තුළ තීන්දු තීරණ ගැනීමේ ලා ජාතික දේශපාලනයට ශක්තිමත් භූමිකාවක් නොමැත. මේ අර්ථයෙන් නිරීක්ෂණය කළ විට රාජපක්ෂ රෙජීමයේ හෙජමොනියට ශක්තිමත්ම අභියෝගයක් එල්ල කරන්නේ දේශීය දේශපාලනය තුළින් නොව ගෝලීය දේශපාලනය තුළින් බව අවධාරණයෙන් පැවසිය යුතුය.
කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ බල අරගලය කරා …………….

මැතිවරණයකින් තොරව තවත් විසි පස් අවුරුද්දකට මහින්ද රාජපක්ෂයන් ජනාධිපති ධූරයේ තබා ගත යුතු යැයි මල්වතු මහ නාහිමියන් යෝජනා කළේ මීට පස් මසකට කලිනි. ශ්‍රී ලංකා රාජ්‍යයට භෞතිකව අභියෝග කළ එල්.ටී.ටී.ඊ සංවිධානය ලෙයින් හා යකඩෙන් මර්දනය කළ පසුව සමාජයේ බහුතරයකගේ අදහස වූයේ ද රාජපක්ෂ රෙජීමය යාවජීවව පවත්වා ගත යුතු බවය. එහෙත් ඒ සොදුරු සිහිනයට අභියෝග කරමින් තැන තැන ඇති වූ කසු කුසුව රාජපක්ෂ රෙජීමයට එල්ල කළ ප්‍රබල පහරක් බවට පත් කළේ දකුණු පළාත් සභා මැතිවරණයෙනි.
පාලක පක්ෂය 67% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම හෝ එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට ලක්වීම හෝ රෙජීමයේ ජයග්‍රහණය සැමරීමට තරම් අති විශේෂ දේශපාලන කාරණා නොවන බව රෙජීමය විසින්ම තහවුරු කර ඇත. ඔවුන් දකුණෙන් බලාපොරුත්තු වූයේ 80% ඉක්මවන ජයග්‍රහණයකි. ඒ සදහා දකුණ තමන්ගේ නිජ බිම යයි ද දකුණේ මිනිසුන් අති විශේෂිතයන් බව ද පුන පුනා ප්‍රකාශ කළේ වැඩවසම් හැගීම් වලට ද නැවත පණ දෙමිනි. එසේම දකුණේ දිස්ත්‍රික්ක තුනටම රාජපක්ෂවරුන්ගේ සමීපතමයන් ඉදිරිපත් කළහ. එහෙත් මේ සියල්ල දකුණු පළාත් සභා මැතිවරණයේ දී ප්‍රතික්ශේප කෙරිණි.
රාජපක්ෂවරුන්ගේ සමීපතමයන් ප්‍රතික්ශේප කරමින් ද අන්ත වර්ගවාදී අපේක්ෂකයන් පරාජය කරමින් ද දකුණේ දී ජයග්‍රහණය කළේ සම්ප්‍රදායි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික අපේක්ෂකයන් හා සම්ප්‍රදායි වාමාංශික අපේක්ෂකයන් ය. ඒ අර්ථයෙන් රාජපක්ෂ රෙජීමයේ ක්‍රියාකාරී සැලස්ම වන මහින්ද ච්න්තනයට ද රාජපක්ෂ රෙජීමයේ මතවාදී දෘෂ්ඨිය වන ඒකීය වර්ගවාදය ද ප්‍රබල අභියෝගයක් දකුණෙන් ඉල්ල වී ඇත. ඒ අවිඥ්ඤාණික අභියෝගයට සවිඥ්ඤාණිකත්වයක් ලබා දීම අද දවසේ දේශපාලන අභියෝගය වුවත් ඒ අභියෝගය ජය ගැනීම සදහා ධනේශ්වරය මෙන්ම පීඩිතය ද කිසිම සූදානමක් නොදක්වන බව දෙපන්තියේම මහ පොදු සාධකයයි.
සිව් අවුරුද්දක් පුරා රාජපක්ෂ රෙජීමය විසින් ලාංකික සමාජය තුළ ඇති කළේ බරපතළ විනාශකාරී නොගැලපීමකි. එය එක් අතකින් යුද්ධයක් දියත් කරමින් පුරවැසියන් මර දැම්මේ තොග වශයෙනි.එසේම මානව හිමිකම් වලට ගරු නොකළ අතර ජාත්‍යන්තර සම්මූතීන් පවා නොපිළිගැනිණි. ආර්ථිකය කඩා වැටුන අතර සමාජයේ පරිධියේ ජීවත්වන්නන් නොතකා හැරිණි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කළ අතර වර්ගවාදී, අන්තවාදී හා මහ ජාතිවාදී වෙමින් ඒකාධිපති ක්‍රමයක් කරා රාජ්‍යයේ හරය වෙනස් කරන ලදි. රෙජීමයේ මේ දේශපාලන පෙරලියට විකල්පයක් ඉදිරිපත් කිරීමට ලාංකික ධනේශ්වරයට කෙලෙසවත් හැකි වූයේ නැත. වාමාංශිකය ඒ සදහා මෝරා තිබුණේ නැත. මේ දෙපාර්ශවයම රාජපක්ෂ රෙජීමයේ වඩාත් සොදුරු විවේචකයා වූවා මිස විකල්පයේ භූමිකාවට රුච්කමක් නොදැක්වීය.
විසෙන් විස නැසීමේ දේශපාලන ක්‍රමවේදය පන්ති බාධා ඉක්මවමින් සාකච්ඡාවට ලක් වෙමින් ඇත්තේ මෙවන් මොහොතකය. එක්සත් ජාතික පක්ෂය ද ජනතා විමුක්ති පෙරමුණ ද පොදු අපේක්ෂකයා ලෙස ඉදිරියට ගැනීමට උත්සාහ කරමින් සිටින්නේ ජනරාල් සරත් ෆොන්සේකා ය. පෙල ගැස්වෙන දේශපාලන ධ්‍රැවීකරණයන් අනුව හුදු පක්ෂ පාට ඉක්මවමින් දේශපාලන බලවේගයන් ෆොන්සේකා වටා එක් වෙනු පෙනේ. දේශීය ධනේශ්වරයේ ඝෘජු නියෝජිතයා වන එක්සත් ජාතික පක්ෂය ද රුඩිකල් වාමාංශිකයේ ජව සම්පන්න නියෝජිතයා වන ජනතා විමුක්ති පෙරමුණ ද නන්නත්තාර වර්ගවාදීන් ද ෆොන්සේකාගේ ජයග්‍රහණය පතා එක්වෙනු නො අනුමානය.ඒ අර්ථයෙන් ඒකීය වර්ගවාදී මුල ධර්මවාදී රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සමාජ තීරුවට යම් බලපෑමක් කිරීමට ජනරාල් ෆොන්සේකාට හැකිවනු ඇත.
කෙසේ වෙතත් රාජපක්ෂ රෙජීමය තුළ දැන් අලුත් ආකාරයක අර්බූදයක් නිර්මාණය වී ඇත. රෙජීමයේ පැවැත්ම පිළිබද මෙතෙක් නොතිබූ බියක් දැන් නිර්මාණය වෙමින් පවතී. මෙතෙක් සමාජය තුළ කසු කුසු කතාවකට සීමා වී පැවති රෙජීමය විවේචනය කිරීමේ දේශපාලනයට දකුණු පළාත් සභා මැතිවරණයෙන් යම් සමාජ වලංගුභාවයක් ද ලැබී තිබේ.දිගින් දිගටම තමන් සමග ළාමක හා බොළද අරගලයක නිරත වූ රාජපක්ෂ රෙජීමය සදහා නව නායකත්වයක් බටහිර රාජ්‍යයන්ට ද අවශ්‍යව තිබුණි. එම අවශ්‍යතාව ශක්තිමත් සමාජ ව්‍යාපාරයක් දක්වා පුළුල් කිරීම ගෝලීය ධනේශ්වරයේ අද දවසේ න්‍යාය පත්‍රයේ පළමු කාරණාව බව හොදින් පැහැදිලි වෙමින් තිබේ.
ජනරාල් ෆොන්සේකා තම නිල තත්ත්වය ඉක්මවා දේශපාලන අදහස් ප්‍රකාශ කළ රාජ්‍ය නිලධාරියෙකි. ඔහුගේ දේශපාලන ආකල්ප අනුව ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයන්ගේ රටකි. සුළු ජාතීන් එහි වාසය කළ යුත්තේ මහ ජාතියේ අභිමතය අනුවය. බලය බෙදීම දිනා ගත් යුද ජයග්‍රහණයන් පාවා දීමකැයි ඔහු පුන පුනා පවසන්නකි. තමන් වෙත පැවරෙන්නා වූ මිලිටරිමය කාර්යභාරය රාජ්‍යයේ අවශ්‍යතාව මත ඉටු කිරීමෙන් නො නැවතී දේශපාලනඥයන්ගේ කාර්යට ද ඔහු අත ගැසීය.
ගොඩනැගෙන්නාවූ දේශපාලන බලවේගය මතවාදීමය වශයෙන් අතිශය වර්ගවාදී ආන්තික දක්ෂිණාංශික බලමුළු ගැන්වීමක් බව නොරහසකි. එම දේශපාලන බලවේගය සිංහල බෞද්ධ මතවාදී ඒකීය රාජ්‍යය තවදුරටත් ශක්තිමත් කරන්නකි. එසේම ආර්ථික සාධකයේ දී පරිධියේ සිටින්නන් තවදුරටත් දුර්වල කරන්නකි. ඒ අනුව එම බලවේගයට කිසිම අයුරකින් දෙමළ මුස්ලිම් සමාජ තීරුවේ ද ආර්ථික පීඩිතයන්ගේ ද විශ්වාසය දිනා ගත නොහැක.දෙමළ ජනතාව තවදුරටත් අනාථ කදවුරු තුළට ද සිංහල ජනතාව තවදුරටත් සිර කදවුරු තුළට ද ගාල් කිරීම හැර මේ නව දේශපාලන බලවේගයට වෙනත් යමක් ඉටු කළ නොහැක. ඒ අර්ථයෙන් ලාංකික සමාජය මුහුණ දෙන්නා වූ දේශපාලන අර්බූදයට ජනරාල් ෆොන්සේකාගේ නායකත්වයෙන් ගොඩනැගෙන දේශපාලන බලවේගය මගින් විසදුමක් ලැබෙන්නේ යැයි සිතීම සුන්දර සිහිනයක් පමණි.
කෙසේ වෙතත් ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ එතිහාසික කාර්ය භාරය අවසන් කළ යුතු යැයි ගෝලීය ධනේශ්වරය තීරණය කර ඇති බවක් පෙනෙන්නට තිබේ. දැන් ඔවුන් සොයමින් සිටින්නේ ඒ සදහා වූ විකල්පයකි. ජනරාල් සරත් ෆොන්සේකා ඒ කාර්ය භාරය සදහා තෝරා ගැනීමට නියමිතය. ගෝලීය ධනේශ්වරයේ මේ තීරණය ඒ ආකාරයෙන්ම පිළිගැනීම හැර ලාංකික ධනේශ්වරයට වෙනත් විකල්පයක් ද ඉතිරි වී නොමැත.
විධායක ජනාධිපති පාලන ක්‍රමය අහෝසි කිරීම – හිසේ රුදාවට පිටිකර බෙහෙත් බැදීම.

විධායක ජනාධිපති පාලන ක්‍රමය වහා අහෝසි කළ යුතු යැයි නැවතත් ප්‍රබල උද්ඝෝෂණයක් ආරම්භ වී තිබේ.මෙවර එහි විශේෂත්වය වන්නේ විධායක ජනාධිපති පාලන ක්‍රමය හදුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයත් මෙම උද්ඝෝෂණයේ ප්‍රබල හවුල්කරුවකුවීමයි. 80 දශකය පුරා එක්සත් ජාතික පක්ෂ විරෝධින්ගේ ප්‍රබල සටන් පාඨයක් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, තිස් වසරකට පසුව එක්සත් ජාතික පක්ෂය විසින් ද පිළිගැනීම දේශපාලනික වශයෙන් වැදගත් හැරුම් ලක්ෂ්‍යයකි.
අසූව දශකය පුරා විධායක ජනාධිපති පාලන ක්‍රමයේ දඩු අඩුවට අසු වූ සියළුම විරුද්ධ පාක්ෂිකයෝ එදා ඊට එරෙහි වුවද අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාලනයක් තුළ එහි නපුරුකම් ඉවසා සිටිති. ජනතා විමුක්ති පෙරමුණ 1994 දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට වූ චන්ද්‍රිකා කුමරණතුංග ගේ වියුක්ත පොරුන්දුවට රුවටුණහ. එසේ රුවටී තිබියදීත් මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීමට අවශ්‍ය වූ නිසා 2005 දී එහි අවශ්‍යතාව දැන දැනම අමතක කළහ.තිස් වසරක් පුරා විධායක ජනාධිපති ක්‍රමයේ බල පරාක්‍රමය ඉවසූ එක්සත් ජාතික පක්ෂය, තම ස්ථාවරය වෙනස් කරමින් දිගින් දිගටම සිදුවන පරාජයෙන් ගැලවීමේ උපක්‍රමයක් ලෙස දැන් විධායක ජනාධිපති පාලන ක්‍රමයට එරෙහි වෙති. ඒ අර්ථයෙන් සියළුම දේශපාලන පක්ෂ මෙම සටන් පාඨය හඩ තැලුවේත් හඩ තලන්නේත් කුහක වුවමනාවකින් බව බොහෝ දෙනෙක් පවසති.
ගෝලීයකරණය වෙමින් තිබූ නව ලිබරල් ආර්ථික ක්‍රමයට ශ්‍රී ලංකාව ගැට ගසනු ලැබුවේ 1978 දීය. සියළුම ආකාරයේ වූ ප්‍රාග්ධනය, කේන්ද්‍රයේ රටවලට සංකෙන්ද්‍ර ගත කරන්නා වූ නව ලිබරල් ආර්ථික ක්‍රමයට ආවේනික ප්‍රධාන ලක්ෂණය වන්නේ එය කිසිවිටෙක ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය හා සංවාස ගත නොවීමයි. ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය ආකෘතියක් ලෙසම නව ලිබරල්වාදයේ පැවැත්මට හානිකර විය. එනිසා රාජ්‍යය හා මහජනතාව අතර සම්බන්ධිකාරකයා වූ ආණ්ඩුව නැමැති ප්‍රපංචය බල රහිත කිරීම නව ලිබරල්වාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය විය.ලෝක ධනේෂ්වරය ආණ්ඩුව අහෝසි කිරීමට විවිධ උපක්‍රමයන් යොදා ගත් අතර තවදුරටත් මහ ජනතාව පාලනය කිරීමට යොදා ගත්තේ ජනතා නියෝජිතයන් නොමැති රාජ්‍ය යාන්ත්‍රණයයි.
1978 න් පසුව පැමිණි ධර්මිෂ්ඨ සමාජය තුළ ජනතා නියෝජිතයන් අවලංගු කාසි බවට පත් වූයේ එබැවිනි. පළාත් පාලන ආයතනයන්ට පළාත් සභාවන්ට හෝ ව්‍යවස්ථාදායකයට හෝ කිසිම බලයක් නොමැති අතර පවතින්නා වූ අල්පමය බලය ද විධායකයට ඝෘජු ලෙස හෝ වක්‍ර ලෙස හෝ යටත් ය. ජනතා නියෝජිත ආයතනයන් ශූන්‍ය කිරීමෙන් අනතුරුව විධායකය අතිශය බල සම්පන්න ප්‍රපංචයක් බවට පත් කළේ ද නව ලිබරල්වාදයට ආවේනික උපක්‍රම යොදා ගනිමිනි. ඒ අනුව වසර දොළහක කාලයකට විධායකය ඒකාධිපති ආයතනයක් බවට වේශ නිරූපනය වුණි. එය හුදකලා දේශපාලන සිදුවීමක් නොවූ අතර ඊනියා මහජන පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට පැවැරී ඇති මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම ඒකාධිපති මෙවලමක් බවට පත් කරන ලදි.
ලෝක ධනේශ්වරය මේ සියළු ප්‍රතිසංස්කරණයන් සිදු කරන ලද්දේ ගෝලීය ප්‍රග්ධනයේ නිදහස් චලනය මනා ලෙස සිදුවීම සහතික කිරීම සදහා ය. මාෆියා ආර්ථික මංකොල්ලය බාධාවකින් තොරව සිදුකිරීමට නම්, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රණය බිද දැමිය යුතුව තිබූ අතර එය ලෝක ධනේශ්වරයේ අවශ්‍යතාව හා උපක්‍රමශීලීතාව අනුව සතුටුදායකව සිදු කෙරිණි. 1978 දී සිදුවූ නව ලිබරල් ආර්ථික ක්‍රමයේ ලාංකික සම්ප්‍රාප්තියත් සමග විධායක ජනාධිපති පාලනයක් සහිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ද ස්ථාපිත කරන ලද්දේ එබැවිනි. නව ලිබරල් ආර්ථිකයේ ඒකාධිපති ආධිපත්‍ය බාධාවකින් තොරව ව්‍යාප්ත කිරීමට විධායක ජනාධිපති ක්‍රමය ලබා දුන්නේ විශාල සහායකි.
ඒ අර්ථයෙන් විධායක ජනාධිපති පාලන ක්‍රමය අහඹු ලෙස ඇති කළ දේශපාලන අවශ්‍යතාවක් නොවේ. එය ලෝක පරිමාණ නව ලිබරල්වාදය හා එකට ගැට ගැසුනු ධනපති පද්ධතියේ මෙවලමකි. දැන් මහින්ද රාජපක්ෂ රෙජීමය හැර මුළු මහත් විරුද්ධ පක්ෂයම මුළු වැර යොදා හඩ තලන්නේ නව ලිබරල්වාදයේ නොමිනිස්කම් පරාජය කිරීමට නොව එම පද්ධතියේ ඇණ මුරිච්ච්යක් ගලවා ඉවත් කිරීම සදහා පමණි. එය සමාන කළ හැක්කේ පිරී ඉතිරී යන මහා සෙනගක් පටවා ගෙන අනතුරු සහිත මාර්ගයක අධි වේගයෙන් ගමන් ගන්නා වාහනයක සුක්කානම ගලවා ඉවත් කිරීමට ගන්නා වූ උත්සාහයකට පමණි.
මේ උත්සාහයේ බරපතලකම ජනතා විමුක්ති පෙරමුණට නොපෙනීම ස්වාභාවිකය. ඔවුන්ගේ දේශපාලනයේ කිසිම පන්ති සම්බන්ධතාවක් නොමැති අතර පන්ති විග්‍රහයකින් යුතුව දේශපාලනයේ යෙදෙන්නේ ද නැත. ඒ අර්ථයෙන් එවැනි පක්ෂයක් ධනපති ක්‍රමයේ ඇණ මුරිච්ච් ගැලවීමකට පමණක් තම දේශපාලනය පටු කිරීම තේරුම් ගත හැක්කකි.
මහා පන්ති විඥ්ඥාණයකින් යුක්තව කටයුතු කළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති පාලන ක්‍රමය හදුන්වා දුන්නේ ඔහුම පැවැසූ පරිදි ඔහුට රකින්නට පරපුරක් සිටි නිසා නොවේ. තර කරන්නට බූදලයක් තිබූ නිසා ද නොවේ. එහෙත් ආරක්ෂා කරන්නට පන්තියක් නම් ඔහුට තිබුණි. ඔහු ලංකා ඉතිහාසයේ කිසිම නායකයෙක් කටයුතු නොකළ පරිදි ධනපති ක්‍රමයේ ආරක්ෂාව වෙනුවෙන් මහන්සි වුණි. ඒ මහන්සිය සවිඤ්ඤාණිකය. අවංකය. අධිරාජ්්‍යවාදීන් 1818 දී විශාල ප්‍රතිසංස්කරණයන් හදුන්වා දෙමින් ශ්‍රී ලංකාව ලෝක ධනේශ්වරය හා බද්ධ කළ පසුව පුළුල් අවබෝධාත්මක ඉලක්කයකින් යුතුව දේශපාලන ප්‍රති සංස්කරණ හදුන්වා දුන්නේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනයන් යැයි පැවසුවහොත් එය නිවරුදිය.එවැන්නෙක් පන්ති අවබෝධයකින් යුතුව නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය ධනපති පද්ධතියේ ඇණ මුරිච්ච් ගැලවීමට තරම් ලාමක වේ යැයි මොහොතකටවත් නොසිතිය යුතුය.
දුප්පත්කම, කුසගින්න හා මන්දපෝෂණය ව්‍යාප්තවීම ධනේශ්වරයේ නිවුන් සොහොයුරන් යැයි පැවසුන ද එක් අතකින් එය සාම්ප්‍රදායී හා යල් පැන ගිය නිර්වචනයකි. නව ලිබරල්වාදය තුළ ධනේශ්වරයට නව අර්ථකථන ලැබුණා යැයි පැවසිය හැක්කේ සමාජය තුළ යම් ධනේශ්වර දියුණුවක් ඇති කිරීමට නව ලිබරල්වාදය දායක වුණු බැවිනි. එහෙත් සමාජයේ ඇති නැති පරතරය සීඝ්‍ර ලෙස පුළුල් කිරීමට එය ඊටත් වඩා දායක වුණි. දුපත්කම සීඝ්‍ර ලෙස පැතිරෙමින් කුසගින්න, මන්දපෝෂණය හා ජනතාවගේ පෝෂණ ප්‍රශ්න ඇති වුණි. ක්‍රමයේ බිද වැටීම් ද අරාජිකවීම් ද බරපතල පාරිසරික ගැටලු ද ඇති වුණි. එනම් නව ලිබරල්වාදයට අදාළ සමාජ සංවර්ධනයත් සමගම ක්‍රමයට තවදුරටත් ඔරොත්තු නොදෙන්නා වූ බරපතල සමාජ ගැටළු පැන නැගුණි. එසේම සමාජ සංවර්ධනයට සාපේක්ෂව සමාජ පරිහානිය ද සිදුවුණි. .ඒ නිසා ලෝකය පුරාම යම් සමාජ සංවර්ධනයක් ඇති වෙමින් තිබියදීම සමාජය තුළින් අති ප්‍රබල ක්‍රම විරෝධි අරගලයන් ද පැන නැගුණි.
ලෝක ධනේශ්වර පද්ධතියේ තුල්‍යතාව බිදීමට තරම් ප්‍රබල වූ නව ලිබරල්වාදයේ මේ ආතතීන් තව දුරටත් නොපැවතිය යුතු බව ලෝක ධනේශ්වරය මේ වනවිට තේරුම් ගෙන තිබේ. ඇමෙරිකා එකසත් ජනපදයේ රාජ්‍ය පාලනය ඩිමොක්‍රැටික්වරුන් අතට යන්නේත් එය මෙහේයවීමට බරක් ඔබාමා තෝරා ගන්නේත් ඒ නිසා විය හැකිය. ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය කර ගැනීමේ උපාය උපක්‍රම ද ඊට සාපේක්ෂව පුළුල්වෙමින් තිබේ. ලෝකය පුරා ජාල ගත කර තිබූ සමස්ත ධනේශ්වර යාන්ත්‍රණය ගැන නැවත සිතා බැලීමට ලෝක ධනේශ්වරය පෙළඹී ඇත. ඒ අර්ථයෙන් නව ලිබරල්වාදී ධනෙශ්වර මෙහෙයුම් පද්ධතිය කේන්සියානු ක්‍රමය දක්වා පසු බැස්සවීමට තරම් ඔවුහු උපක්‍රමික අත්හදා බැලීම් කරමින් සිටිති.
මේ සංදර්භය තුළ විධායක ජනාධිපති පාලන ක්‍රමයේ පියවරුන්ම එය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටීම අරුමයක් නොවේ. තවදුරටත් විධායක ජනාධිපති පාලනය, ධනේශ්වර ක්‍රමයේ පැවැත්මට සාධනීය මෙහෙවරක් නොකරන බව දේශීය ධනපති පංතිය ද තේරුම් ගෙන ඇත. ගැටලුවකින් තොරව උපරිම දියුණු අවස්ථාව කරා ධනේශ්වර මෙහෙයුම් පද්ධතිය ගෙන යෑමට ලෝක ධනේෂ්වරය ගන්නාවූ පියවර ගැන දේශීය ධනපති පංතිය අවිඤ්ඤාණිකව හෝ සංවේදීවීම ප්‍රශස්තය. එහෙත් ක්‍රමයේ අවාසියට හේතු වන්නාවූ අර්බූද තාවකාලිකව හෝ කල්දමා ගැනීමට නම් මීට වඩා විද්‍යාත්මක වූ හා පුළුල් වැපිළිවෙලක් සහිත ප්‍රතිසංස්කරණයක් කරා දේශීය ධනෙශ්වරය යා යුතුව ඇත.
කකුළුවන්ගේ කෙළින් ගමන

බඩගින්නේ මියගිය ද ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ දෑත ශක්තිමත් කිරීමට ජනතාව අවසන් තීරණයක් ගෙන තිබේ.කැපුවත් කොළ පාට ලේ ගැලූ මිනිසුන් සිටින ප්‍රදේශ පවා මැතිවරණයන්හි දී ආණ්ඩුව ජය ගන්නේ එබැවිනි. ඒ අර්ථයෙන් ආණ්ඩුව ශක්තිමත් වී ඇත්තේ පුදුමය උපදවමිනි.
එහෙත් තැන තැන නොසිදුවිය යුතු දෑම සිදුවේ.
පුතුගේ වයසේ තරුණයකුගේ ශරීරය මත නැග තම දේහ මස් මාංශයන්ගේ බර කිරීමට ගිය ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ බිරියක් ගැන පසුගිය දා වාර්තා වුණි. එසේම තරුණ පාසල් ශිෂ්‍යාවකගේ පෙම්වතා දුන් ජංගම දුරකථනය නවාතැන් හිමිකාරියගේ ඇස ගැටුණ බව ඇසීමෙන් නුවර ප්‍රධාන පෙළේ බාලිකාවක විදුහල්පතිනියකගේ හිරිඔතප් බිදුනේ ද ඊට කලින් සතියේ ය. තම සන්තකයේ ඇති ගිනි අවි පෙන්වීමට ගොස් එවන් ගිනි අවි හීනෙන් හෝ දැක නැති පොලිස් නිලධාරීන් ඉදිරියේ ලය පැලී මිය යන පාතාලයන් ගැන යහමින් වාර්තා වූයේ ද මේ අතරතුරේ දී ය.
එපමණක් නොවේ,
ජංගම දුරකථනයක් නිසා පාසල් සිසුවියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ අතර ඒ නිසා පාසල් තුළ ජංගම දුරකථන තහනම් කළේ හදිසියේවත් ස්ත්‍රී දූෂණයක් වුවහොත් පුරුෂ ලිංගය කපා ඉවත් කිරීමේ වාසිය ද තබා ගැනීමේ අධිෂ්ඨානයෙනි. එසේම පෝස්ටර් අලවමින් සිටි ශිෂ්‍ය නායකයන් රුසක්ම අත් අංගුවට ගැනුණේ ඒවා හි සදහන් වැකිවල අක්ෂර වින්‍යාසයේ වැරුද්දක් තිබූ බැවින් විය හැකිය.
මේ අපරාධ වැළැක්වීමට නම් නීතියේ ආධිපත්‍ය යළි පිහිටුවිය යුතුය.එහෙත් මේ අපරාධයන් ද ඒ අපරාධයන් පිටුපස ඇති නීතියේ ආධිපත්‍යය බිදවැටීම ද අමතක කරමින් අපට සිදුවී ඇත්තේ ඒ පිටුපස ඇති උපහාසය හා හාස්‍ය, රස වීදීමට ය. එහෙත් ඒ කළ යුත්ත නොදැන නොවේ. කළ යුත්ත දැන දැනම නොකළ යුත්ත කිරීමට බල කරන්නේ ද මේ රටේ ජනතාවමයි. දහසක් අසාධාරණයන් මැද රාජපක්ෂයන්ගේ දෑත ශක්තිමත් කිරීමට ජනතාව පෙරට එද්දී සාධාරණය වෙනුවෙන් කටයුතු කිරීම දේශද්‍රෝහීයකු වී සදාකාලික නින්දට යෑමට හේතුවක් වෙද්දී සිදුවන ඔනෑම අපරාධයක උපහාසය හා හාස්‍ය රසවිදීම හැර කළ හැකි අනෙකක් ද නැත.
වැරද්ද කර ඇත්තේ ජේෂ්ඨ පොලිස් අධිකාරී වාස් තිලකරත්න, ඔහුගේ බිරින්දෑ හා පුත්‍රයා නොවේ. එසේත් නැතිනම් බාලිකා විද්‍යාලයන්හි විදුහල්පතිනියෝ ද නොවේ. ඊනියා වැරදිකරුවන් අත් අංගුවට ගත් පොලිස් නිලධාරීහු ද නොවේ. එහෙත් තරුණයන් දෙදෙනෙකු අත් අංගුවට ගෙන අමු අමුවේ මරා දැමූ පසු අගුලානේ කුපිත වූ ජනතාව ලෙයට ලෙයින් පලි ගැසීමට උත්සාහ ගත්තේ ද පොලිස් නිලධාරීන් ගෙනි. Do not kill the messenger (පණිවුකරුවා නොමරනු) යැයි කියමනක් ඇත. එහෙත් අපේ මිනිස්සු මරන්න උත්සාහ ගන්නේම පණිවුකරුම ය.
නීතිය අතට ගනිමින් නීතියේ හයිය සමාජයේ පීඩිතයන්ට පෙන්වීමට බලය අත දරන්නන්ට හැකිවී ඇත්තේ එම බලධාරීන්ගේ විනය පිළිබද ප්‍රශ්නයක් නිසාම නොවේ. සමාජයේ නීතියට ඇති ආධිපත්‍ය බිදවැටීම, රාජ්‍ය පාලනයේ විනයක් නොමැතිවීම පිළිබද ප්‍රශ්නයකි. රාජපක්ෂ රෙජීමය ආරම්භ වූ දා පටන් රාජ්‍ය පාලනයේ විනය බිදවැට්ටවීමට රාජ්‍ය පාලකයන්ම කටයුතු කළ අවස්ථා බොහොමයකි. ඒ අතරිනුත් රෙජීමයේ ඉහළම නායකයන් පිළිකුලකින් තොරව ඊට සම්බන්ධවීම කනගාටුදායක ය. එවැනි පිළිකුල් සහගත ක්‍රියා කිහිපයක්ම මෙසේ පෙල ගැස්විය හැකිය.
1. ජනාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම,
2. අමාත්‍ය මර්වින් සිල්වා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී බලහත්කාරකම් කිරීම හා හැකි සෑම විටම බලහත්කාරය පෑම,
3. පළාත් සභා මැතිවරණයන්හි දී රෙජීමයේ බහුතරයක් දේශපාලකයෝ මැරවර ක්‍රියාවන්හි යෙදීම,
4. බලය දරන සියළුදෙනා දරන්නා වූ බලයේ ප්‍රමාණයට නීතිය නොතකා කටයුතු කිරීම.
නීතියේ ආධිපත්‍යය පිළිගත යුත්තේ මුළු මහත් සමාජය පමණක් නොවේ. රාජ්‍ය පාලකයන් ද නීතියේ ආධිපත්‍යය පිළිගත යුතුය. එහෙත් ලාංකික සමාජයේ අත්දැකීම වන්නේ පාලකයන් නීතියේ ආධිපත්‍ය නොපිළිගැනීමයි. එවන් අවස්ථාවන්හි දී නීතියේ උත්තරීතරභාවය රුක ගැනීමට රාජ්‍යයේ කිසිවෙක් උත්සාහ දරා නොමැත. අවසානයේ සිදු වන්නේ සමාජය නීතිය අතට ගැනීමයි. එහි භයානකත්වය දැකිය හැකි කිසිවෙක් රෙජීමය තුළ සිටී නම් මෙවන් අවස්ථාවන් හි දී සමාජයේන් ලැබෙන පණිවුය තේරුම් ගත යුතුය.
1. අමාත්‍ය චමල් රාජපක්ෂයන්ට කුරුණෑගල ප්‍රදේශයේ දී වරක් ගල් මුල් වලින් පහර දීම,
2. අමාත්‍ය මර්වින් සිල්වාට ජාතික රූපවාහිනී පරිශ්‍රයේ දී පහර දීම,
3. අමාත්‍යවරුන්ට, මන්ත්‍රීවරුන්ට හා රජයේ උසස් නිලධාරීන්ට විවිධ අවස්ථාවන් හි දී පිළිකුල් සහගත ප්‍රතිචාර ලැබීම.
4. අගුළාන පොලීසිය වටලා ඊට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීම.
එහෙත් මේ කිසිම අවස්ථාවක දී සමාජයට සංවේදීවීමට රෙජීමය සමත් වන්නේ නැත. ඒ නිසා නැවත නැවතත් නීතියට අභියෝග කිරීම ඉහළම නායකයන් විසින් හෝ ඔහුන්ගේ ආශීර්වාදය මත හෝ සිදුවීම ස්ථිර ය. 1994 දී පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් බලයට පත් වූ පසුත් පැවැති එ.ජා.ප ආණ්ඩු සමය තුළ සිදුවූ අමිහිරි දෑ සමහරක් එළෙසින්ම සිදුවූයේ ද මේ අන්දමින්ම ය. ඒ අවස්ථාවේ එම අපරාධයන්හි වගකීම චන්ද්‍රිකා රෙජීමය මත පැටවීමට ලාංකික අගනාගරිකයෝ අකමැති වූහ. අද මෙන්ම එදාත් පණිවුකරුගෙන් පලි ගැසීමට ඔවුහු පෙළගැසුණහ. පැරණි එ.ජා.ප ආණ්ඩුවේ සාරය උරා බී වැඩුණු සමහර රාජ්‍ය නිලධාරීන් චන්ද්‍රිකා රෙජීමය අපහසුතාවට පත් කිරීමට ඒ අන්දමින් කටයුතු කරතැයි යන මතය කොළඹ අගනාගරිකය පුරා පලමුවත් ගම් මට්ටමින් දෙවනුවත් ප්‍රචාරය කළහ. ඒ ඉතිහාසය ආ පිට කැරකැවෙමින් තිබේ. දැන් මේ සිදුවන අපරාධයන් සිදුකරන්නේ ද රාජපක්ෂයන් අපහසුතාවයට පත් කිරීමට මාන බලන්නන් යැයි ඔවුහු පවසති.
කැබිනට් තීරණ දැනුම් දීමේ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී එය දෙවනක් කරමින් මාධ්‍යවේදීහු සටන් කළේ රාජපක්ෂයන් මේ කුමන්ත්‍රණයෙන් ගලවා ගැනීමට මිස අනෙකක් සදහා නොවේ. එහෙත් රාජ්‍යයේ ඉහළම අනුදැනුම මත හෝ ආශීර්වාදය මත හෝ සිදුවන නීතිය බිද දැමීම් පවා රාජපක්ෂයන් අපහසුතාවට පත් කිරීමට කරන්නාවූ කුමන්ත්‍රණ යැයි පැවසීම විහිලුවකි.
රාජපක්ෂ රෙජීමය විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණනය කිරීමත්, අමාත්‍ය මර්වින් සිල්වා වැන්නන් නීතිය නොතකා කටයුතු කිරීමත් වැනි අවස්ථාවන් හි දී නිහව සිටින ඊනියා මාධ්‍යවේදීහු රාජ්‍ය නිලධාරීන් නීතිය නොතකා හැරීමේ දී පමණක් අතාර්කික ප්‍රශ්න මතු කරති. ඒ අර්ථයෙන් ඔවුහු නපුංසක මාධ්‍යකරණයක යෙදී සිටිති.
නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට ක්‍රියා කිරීම දේශපාලනික කටයුත්තකි. එහෙත් විපාක්ෂික දේශපාලනයක් නොමැති සමාජයක රාජ්‍යයේ ආධිපත්‍යයම අවනීතිය වීම ස්වභාවිකය.
වටම ගොසින් ගෙට එන කල උගෙ හනියා

බලය ලබාගැනීමේ උන්මාදනීය ප්‍රමෝදයෙන් පෙළෙන එක්සත් ජාතික පක්ෂය තවත් වටයකින් ඒ සදහා උත්සාහයක් දරමින් සිටී. ඒ රාජපක්ෂ රෙජීමයටත් වඩා දේශප්‍රේමීවීමට තැත් කරමිනි. ශ්‍රී ලංකා රාජ්‍යය, බලය බෙදීමේ ප්‍රතිසංස්කරණයකින් නැවත ආකාරගත කර දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වලට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට ප්‍රයත්න ගත් පක්ෂයක් දැන් කතා කරන්නේ සිංහල මහා සම්මතවාදයක් ගැනය.
එක්සත් ජාතික පක්ෂය දැන් කල්පනා කරන්නේ රාජපක්ෂ රෙජීමයටත් වඩා පටු වර්ගවාදී ස්ථාවරයකින් බලය ලබා ගැනීමේ මාර්ගයන් ගැනය. ශ්‍රී ලාංකික හැගීමකින් හා ශ්‍රී ලාංකික දැක්මකින් මැතිවරණයන්ට ඉදිරිපත් වූ නිසා බලය අහිමි වූවා යැයි ඔවුහු සිතති. සිංහලකම, බෞද්ධකම හා දේශීයත්වය අමතක කළ නිසා මැතිවරණ පරාජය වූවා යැයි එ.ජා.ප.යේ දඩි බිඩි දේශපාලකයන් කන් කෙදිරි ගාන්නේ එබැවිනි. එහෙත් ජනාධිපතිවරණයේ දී 50% කට ආසන්න ඡන්ද ලබා ගත්තේත් බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී කොළඹ මෙට්‍රෝපොලිටීනය ජය ගත්තේත් එක්සත් ජාතික පක්ෂය බව මේ දඩි බිඩිකාරයෝ අමතක කරති.
මහින්ද රාජපක්ෂයන් සිංහල බෞද්ධ ඡන්ද වලින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරද්දී රනිල් වික්‍රමසිංහ පරාජය වූයේ ශ්‍රී ලාංකික ඡන්ද ලබා ගනිමිනි. එසේම සිංහල බෞද්ධ බහුතරයක් සිටින ප්‍රදේශ වලින් එ.ජා.ප.ය අන්ත පරාජයක් ලබද්දී කොළඹ මෙට්‍රොපොලිටීනයෙන් පළාත් මැතිවරණය දිනූවේ විශිෂ්ඨ ලෙසිනි. ඒ අනුව ලාංකික සමාජයේ ධනේශ්වර ඡන්ද පදනම තවමත් එ.ජා.ප.ය වටා රුදී තිබෙන බව පැහැදිලි ය.
මේ සංදර්භය තුළ සිංහල බෞද්ධ ජාතිකවාදී හැගීම්වලට ආමන්ත්‍රණය කරමින් මැතිවරණ දිනීමට එජා.ප.ය උත්සාහ ගැනීම හාස්‍යජනකය. එකී හැගීම් වලට ආමන්ත්‍රණය කරන්නා වූ දේශපාලන ව්‍යාපාරයක් බලයේ සිටිය දී බලය නොමැති දේශපාලන ව්‍යාපාරයක් වටා ඡන්දදායකයන් ගොනුවේ යැයි එ.ජා.ප.ය සිතීම ඊටත් වඩා හාස්‍යජනක ය. බලය ලබාගෙන රාජපක්ෂ රෙජීමයේ අන්තේවාසිකයන්ටත් වඩා දරුණු ලෙස රාජ්‍ය දේපල කොල්ලකෑමට සිහින දකින එ.ජා.ප.යේ දඩි බිඩියන්ට මේ දේශපාලන කාළගුණ තත්ත්වයන් තේරෙන්නේ නැත.
එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම මැතිවරණයන් පරාජය වූයේ රාජපක්ෂ රෙජීමයට විකල්පව දේශපාලනයක් කිරීමට නොහැකි වූ නිසා මිස අනෙකක් නිසා නොවේ. එය රෙජීමයේ ප්‍රතිපත්ති වලට ඝෘජුව විරුද්ධ නොවී ය. එහෙත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යෑමේ දී මතුවන ගැටළු වල දී ආන්තික ලෙස රෙජීමය විවේචනය කළේ ය. රෙජීමයේ දේශපාලන ඉලක්කයන්ට පක්ෂ වී ඉලක්කයන්ට යන්නා වූ මාර්ගයන්ට විරුද්ධ වීම සහයෝගීතාවාදී දේශපාලනයකි.මේ නිසා රාජපක්ෂ රෙජීමයේ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේ දී පීඩනයට පත් වූ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට එ.ජා.ප.යට නොහැකි වුණි.
උද්ගතව ඇත්තේ ධනවාදය හෝ සමාජවාදය හෝ පිළිබද ගැටළුවක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස හා නීතිය නොතකා හැරීම පිළිබද ගැටළුවකි. ඒ අර්ථයෙන් ආණ්ඩුවේ ගමන් මගට විරුද්ධව ශක්තිමත් විකල්ප දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නොනැගූ නිසා එක්සත් ජාතික පක්ෂයේ පරාජය තහවුරු වූ බව මේ ලියුම්කරුගේ හැගීමයි. පසු ගිය සිව් වසර පුරා එ.ජා.ප.ය හාන්සි පුටු දේශපාලනයක යෙදෙමින් හාස්‍යජනක ලෙස රෙජීමය විවේචනය කළා මිස විකල්ප දේශපාලන ප්‍රතිපත්තියක් ඔහුන් අත නොවීය. එය කෙතරම් බරපතල ඝෘණාත්මක සාධකයක්දැයි කිවහොත් පහත සදහන් සෑම අවස්ථාවක දී ම කැට කැබැළිති වලින් රෙජීමයට පහර දුන්නා මිස එය හා එක පෙලට සිට ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් කිසිම පිළිකුලක් එ.ජා.ප.ය.ට ඇතිවූයේ නැත.
(i) ජන ඝාතක යුද්ධයක් දියත් කරමින් පුරවැසියන් මරා දැමීම.
(ii) ආර්ථිකය කඩා වැටීම.
(iii) සමාජයේ පරිධියේ ජීවත්වන්නන් නොතකා හැරීම.
(iv) ආණ්ඩුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම.
(v) වර්ගවාදී, අන්තවාදී හා මහ ජාතිවාදී වෙමින් ඒකාධිපති ක්‍රමයක් කරා රාජ්‍ය ගෙන යෑම.
(vi) පුරවැසියන්ගේ මානව හිමිකම් වලට ගරු නොකිරීම/ජාත්‍යන්තර සම්මුතීන් නොපිළිගැනීම.
දේශපාලන හීනමානයට හා අපේක්ෂා භංගත්වයට පත් පක්ෂ කිහිපයක් එකතු කර ගනිමින් සංධානයක් ගොඩ නැගීමට තැත් කිරීම රාජපක්ෂ රෙජීමයේ ගමන් මග අත් හිටුවා සමාජය නව මාර්ගයක ගෙන යෑමේ මේ මොහොතේ පවතින අවශ්‍යතාවට කුමන ආකාරයක හෝ ධනාත්මක දේශපාලන දායකත්වයක් දරන්නේ නැත. ඒ නිසා ගොඩනැංවීමට තැත් කරන සංධානය පිළිබදව මහ ජනතාව තුළ ප්‍රබෝධයක් ඇතිවන්නේ ද නැත. අවසානයේ දී එක්සත් ජාතික පක්ෂයට පරාජයම මිස අනෙකක් හිමි වන්නේ නැත.
ජාතිකත්වයක් ගැන කතා කරමින් වර්ගවාදය දෝතින් වැළද ගැනීමත් දේශප්‍රේමිත්වයක් ගැන කතා කරමින් රාජ්‍ය දේපල කොල්ල කෑමට සූදානම් වීමත්, මහා සම්මත සිංහලවාදයක් ගැන කතා කරමින් ලෝකයාගෙන් හුදකලාවීමට තැත් කිරීමත් සමාජයට ගෙන එන්නේ දරුණු විපත්තියකි. රාජපක්ෂ රෙජීමය ඒ සම්බන්ධයෙන් කරන්නා වූ හානිය හොදටම ප්‍රමාණවත් ය.
බිද වැටී ඇති ප්‍රජාතන්ත්‍රවාදී සාර ධර්මයන් නැවත ගොඩනංවා නීතිය හා සාමය ඇති කිරීමත්, යුද්ධයෙන් පීඩනයට පත්වූවන්ට සහනයක් සැලසීමත්, දරිද්‍රතාවයෙන් පෙළෙනවුන් ප්‍රධාන ආර්ථික ප්‍රවාහයට ඇතුළු කර ගැනීමේ වැඩ පිළිවෙලක් සකස් කිරීමත් මේ මොහොතේ වහා කළ යුතු කාර්යන් ය. දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වලට විසදුමක් ලැබෙන සේ රාජ්‍ය ප්‍රති සංස්කරණය කිරීමත්, යහපත් ආණ්ඩුකරණයක් නිර්මාණය වන්නා වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමත් ඒ හා බැදුණු සමාජ දේශපාලන අවශ්‍යතාවන් ය. මෙයින් විනිර්මුක්ත දේශපාලන සංධානයකින් සමාජයට කරන්නා වූ සේවයක් නොමැත.
වර්ගවාදී පිළිකනුවල මුළු ගැන්වෙමින් රාජ්‍ය බලය කොල්ල කෑමට උත්සාහ කිරීම පසුගාමී ධනේශ්වරයේ උපන් ගතියකි. ඉතිහාසය පුරාම එ.ජා.ප.යත් ශ්‍රී.ල.නි.ප.යත් කටයුතු කළේ එවන් වූ පසුගාමීත්වයක් දෝතින් ගෙන සිප වැළද ගනිමිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ශ්‍රී.ල.නි.ප.ය ද රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ද කලක් තම සුපුරුදු ගමන් මගින් ඉවත් වුණි. මහින්ද රාජපක්ෂ වේලාසනින්ම ඒ සුපුරුදු මගෙහි තම පක්ෂය රුගෙන ගියේය. එක්සත් ජාතික පක්ෂයේ දඩි බිඩිකරුවන් ද ප්‍රමාද වී හෝ මේ උත්සාහ ගන්නේ තමන්ගේ පක්ෂයත් ඒ මගෙහිම ඇදගෙන යෑමට ය.
ඒ දෙස උපේක්ෂා සහගතව බලා ඉදීම හැර වෙනත් යමක් මේ අවස්ථාවේ කළ යුතු නැත.





6 comments