මෙන්න තවත් ත්‍රස්තවාදීයෙක්


2003 දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අමාත්‍යංශ තුනක් එවකට හිටපු ජනාධිපතිනිය පවරා ගන්නා විට ඒ සදහා ගොඩනැගුවේ අපූරු තර්කයක්.සටන් විරාම ගිවිසුම නිසා ජාතික ආරක්ෂාව තර්ජනයකට ලක්වී ඇති බවත් රට පුරා පැතිරී යන මනුෂ්‍ය ඝාතන ඊට උදාහරණයක් බවත් ඒ තර්කයේ පදනමයි. පොලිස්පතිවරයාගේ වාර්ෂික වාර්තාවට අනුව එය අසත්‍යයක් වුවත් බලකාමී දේශපාලකයන්ගේ එම මොනර නැටුමට බොහෝ දෙනෙකුගේ ඇස් නිලංකාර වුණා. ඒ නිසාම අවසානයේ දී චන්ද්‍රිකා/සෝමවංශ සන්ධානයට 2004 දී ආණ්ඩු බලයද ලැබුණා.එදා එල්.ටී.ටී.ය ආණ්ඩුවේ ඔත්තුකරුවන් පසුපස හඹා ගියේ සටන් විරාම ගිවිසුම ගැන වගේ වගක් නැතිවයි.ඒත් එදා සාමාන්‍ය ජනතාව සමූහ ලෙස ඝාතනය වන යුද්ධයක් නම් රට තුළ තිබුණේ නැහැ. උතුරේ ජනතාවගේ ඔළු ගෙඩි මතට අහසින් ගොස් බෝම්බ අතහැරියේවත් ඊට ප්‍රතිචාර ලෙස දකුණේ බෝම්බ පිපුරුණේවත් නැහැ. ඒත් යුධකාමී මහින්ද/විමල්/චම්පික නඩයට වඩා වැදගත් වූයේ උතුරේත් දකුණේත් සමූහ ලෙස මිය යන ජනතාවගේ ජීවිත වලට වඩා භෞමික අඛණ්ඩතාව, ජාතික ආරක්ෂාව හා බෙදුම්වාදයට ඉඩ නොදීම වැනි ගුවන්ගත සංකල්පයි. විමල් වීරවංශ අදත් තම ගිරිය වෙහෙසවන්නේ 2004 දී රනිල්ගේ ආණ්ඩුව ගෙදර යැවීමෙන් බෙදුම්වාදය පසු බැස්සවීමට ඔහුන්ට හැකිවූ අයුරු පහදාදීමටයි.
ඒ අනුව රට පුරා පැතිරී ඇති ජන ඝාතක යුද්ධයට ඇත්තේ විසුළු ජනක ඉතිහාසයක් බව මහින්ද/විමල්/චම්පික නඩයට නම් කවදාවත් තේරුම් ගන්න බැරි වේවි.
ජන ඝාතක යුද්ධය සාධාරණීකරණය කිරීම සදහා මහින්ද/විමල්/චම්පික නඩය ගෙන ගිය ප්‍රචාරක සටනේ දී ද්‍රෝහීන්ගේ ගොඩට නොවැටුණු කෙනෙක් නොවූ තරම්. සාමය සදහා කතා කළේ කවුද, ඔහුගේ තරාතිරම නොබලා ඔහුව ඇද දැම්මේ ද්‍රෝහීන්ගේ ගොඩටයි. ඒ ප්‍රචාරක සටනේ දී ගෞතම බුදුන්ට, මහත්මා ගාන්ධිට පවා සමාවක් ලැබුණේ නැහැ. ඒ තරමට ඔහුන් දේශප්‍රේමීන් වුණා.
උතුරු නැගෙනහිර ඒකාබද්ධතාව අහෝසි කර පළාත් දෙකක් වශයෙන් ක්‍රියාත්මක වියයුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුවත් සමග ඒහි භික්ෂුභාවයෙන් දේශප්‍රේමියකුවීමට අගවිනිසුරු සරත් එන් සිල්වාට ද පසුගිය කාලයේ දී ලැබුණේ කදිම අවස්ථාවක්. ඒත් ඒ දේශප්‍රේමීත්වය දැන් කල් ඉකුත්වූවක්.
කොළඹ නගරයේ ක්‍රියාත්මක මාර්ග බාධක වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා තීරණය කළේ මූලික මානව හිමිකම් වලට තර්ජනයක් යැයි පවසමින්. ඒත් එදා සටන් විරාම ගිවිසුම යටතේ කොළඹ මාර්ග බාධක ඉවත් කළ විට එය ජාතික ආරක්ෂාවට තර්ජනයකැයි පොළොවේ හැපුණු මහින්ද/විමල්/චම්පික නඩය අද පසුවන්නේ කන් බිහිරිකරවන නිශ්ශබ්දතාවකයි.
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s