බිත්තර නොබිද ඔම්ලට් කෑම


ගිය 19දා අය වැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්ච් කළේ බොහෝ වගාඩම්බර කියමිනි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බංඩාරනායකගේ සිට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකකාරකාදීන් ජ.වි.පෙ.ට කළ කෙනහිළිකම් ගැන අනුර කුමාර සහෝදරයා හැඩුම්බරව තම අභාවවාචක අද්දැකීම් විස්තර කළේ අනුකම්පා උපදවමිනි. එදා ජ.වි.පෙ. ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නේ ඒ සියල්ලට පළිගසමිනි.

අය වැයේ කිසිම වෙනසක් සිදුනොවී තිබියදී 19 වන දා ගත් තීරණය14 වනදා වෙනස් කරන්නේ කුමකටදැයි විමසමින් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන බවට ජ.වි.පෙ. පොරොන්දු වුනේ පොළොවේ හැපෙමිනි. එහෙත් ගෙවී ගියේ යන්තම් දින විසි පහකි. අය වැය සම්බන්ධයෙන් තම ස්ථාවරයට බලපාන්නාවූ කිසිම දේශපාලන වෙනසක් නොවී තිබියදීත් ආණ්ඩුවට පහසුවෙන්ම ජයගත හැකිවනසේ, ජ.වි.පෙ. ඡන්දය පාවිච්ච් කිරීමෙන් වැලකිණි.
ජ.වි.පෙ.පසුගිය 19 වනදාත් 14 වනදාත් යන අවස්ථා දෙකෙහි දීම දැරුවේ කිසිසේත්ම අය වැයටඅදාළ ස්ථාවරයක් නොවේ. දෙවන වර කියවීමේ දී ඊට පක්ෂව ඡන්දය දීමට ඉදිරිපත් කළ කොන්දේසි අතර කිසිම ආර්ථික කාරණාවක් අඩංගු නොවූ අතර ඒ සියල්ල පදනම්ව තිබුණේ ගුවන් ගත දේශපාලන කරුණු මතය.
බෙදුම්වාදී ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන බටහිර න්‍යාය පත්‍රයකට අනුව ආණ්ඩුව කටයුතු කරන බව කියමින් එය පරාජය කිරීම සදහා තමන් ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක කරන ලෙස අය වැය දෙවනවර කියවීමේ දී ජ.වි.පෙ. ආයාචනා කළේ ඊට පක්ෂව ඡන්දය දීම සදහා කොන්දේසි වශයෙනි. තුන්වනවර කියවීමේ දී ආණ්ඩුවට වක්‍ර සහායක් දුන් පසු ඊට කරුණු බදිමින් විජිත හේරත් සහෝදරයා බී.බී.සී. සංදේශයට කීවේ ආණ්ඩුව පෙරලීමේ බටහිර කුමන්ත්‍රණයක් තිබූ බවත් එය පරාජය කිරීම සදහා තම පක්ෂය මෙවැනි තීරණයක් ගත් බවත්ය.
මෙය පුදුමාකාර වූ දේශපාලන තීන්දුවකි. එක් ආකාරයක බටහිර කුමන්ත්‍රණයක් පරාජය කිරීමට ගිය 19 වනදා අය වැයට විරුද්ධව ඡන්දය දුන් ජ.වි.පෙ. තවත් ආකාරයක බටහිර කුමන්ත්‍රණයක් පරාජය කිරීමට යැයි පවසා 14 වනදා ආණ්ඩුවට වක්‍ර සහායක් ලබා දෙමින් ඡන්දය දීමෙන් වැළකිණි.ජ.වි.පෙ. පැවසුවේ ආණ්ඩුව 19 වනදා කටයුතු කළේ බටහිර න්‍යාය පත්‍රයකට අනුව බවයි.එසේනම් බටහිර සුරතලුන් ගේ එවැනි ආණ්ඩුවක් පෙරලා දැමීමට14 වනදා වන විට ඒ බටහිර රටවල්ම කටයුතු කරන්නේ ඔහුන්ගේ න්‍යාය පත්‍රයෙන් ආණ්ඩුව ඉවත් වී ඇති නිසාද? නොයෙසේනම් 14 වනදා බටහිර ගැති වූ ආණ්ඩුවක් 19වනදා වනවිට ආරක්ෂා කිරීමට තරම් ජ.වි.පෙ. ඉදිරියට ආවේ ඔහුන්ද මේ කුමන්ත්‍රණයට හසුවූ නිසාද?
කුමන්ත්‍රණ හෙළිදරව්කිරීමට ජ.වි.පෙ. තරම් දක්ෂ තවත් දේශපාලන පක්ෂයක් ලෝකයේ නොමැති තරම්ය. එසේම කුමන්ත්‍රණකිරීමට ද ජ.වි.පෙ. තරම් දක්ෂ දේශපාලන පක්ෂයක් ලෝකයේ නොමැති තරම්ය. දේශපාලන කුමන්ත්‍රණ ගැන අද කැහි සොටු පෙරමින් නහයෙන් ඇඩුවත් 2003 දී පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබූ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පෙරලීමට ජනාධිපති චන්ද්‍රිකා බංඩාරනායක සමග එදා කුමන්ත්‍රණය කළේ ද මේ ජනතා විමුක්ති පෙරමුණයි.
Advertisements