යූ.එන්.පී දේශපාලනයේ බිල්ලා මවා පා මහින්ද චින්තනයේ යක්ෂයා ආරක්ෂා කිරීම.


Sri Lankaමහින්ද ච්න්තනය විසින් ප්‍රාණවත් කළ, කොළඹ අගනාගරික සිංහල බෞද්ධ ලිබරල් ච්න්තනයේ කදිම සූත්‍ර ගත කිරීමක් පසුගිය හත් වැනි දින රාවය පත්‍රයේ පළ කර තිබුණි. සර්පයා දෙවැනියා වී දෙයියා අන්තිමයා වීමේ එජාප දේශපාලනය මැයෙන් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ උපදේශක චරිත හේරත් ලියූ මෙම වියමනේ හරය මෙසේ සාරාංශ ගත කළ හැකිය.

(අ) මෙරට දෙමළ සමාජයේ අභිලාෂයන් පිළිබද ප්‍රශ්නය සහ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යන දෙක එකක් ලෙස සිතීම බොළද කමකි.

(ආ) එල්.ටී.ටී.ඊ. පරාජය යනු දෙමළ සමාජයේ විනාශය යැයි තර්ක කිරීම අනියම්ව සේවය කරන්නේ එල්.ටී.ටී.ඊ. ය පරාජයෙන් බේරා ගැනීමේ උත්සාහයකට මිස වෙන දෙයකට නොවේ.

කොළඹ අගනාරික සිංහල බෞද්ධ සමාජ තීරුව මේ මොහොතේ ස්ථාන ගතව ඇත්තේ පෙර කී සාරාංශ ගත දේශපාලන ප්‍රපංචයන් සමගිනි. ඒ අර්ථයෙන් මේ ස්ථාන ගත වීම අලුත් දෙයක් වුවද මේ දෙශපාලන අදහස නම් සිංහල සමාජයට අලුත් නැත. කෙසේ හෝ වේවා මේ සිංහල බෞදධ සමාජ තීරුවේ දෙශපාලන ගමනේ ඓතිහාසිකය විමර්ශනය කිරීම වත්මන් සමාජ ආරවුල විසදා ගැනීමට අත්වැලක් විය හැකිය.

අනූව දශකය ආරම්භය වනවිට සිංහල සමාජය අත්දැකීමෙන් ද පරිණතකමින් ද යම් යම් ගැඹුරු දේශපාලන යථාර්තයන් තේරුම් ගනිමින් තිබුණි. එහෙත් සිංහල බෞදධ සමාජයේ දේශපාලන පක්ෂ මේ යථාර්තයන් තේරුම් ගනිමින් සිටියේ ලෙයින් හා යකනේ ලැබූ අත්දැකීමෙනි. දෙමළ විමුක්ති ව්‍යපාරය සමග දේශපාලන ගනුදෙනුවක් ආරම්භ කිරීමට සිංහල සමාජයේ ප්‍රකාශකයා වූ ශ්‍රී ලංකා රජය පෙළඹුණේ ද ඒ අර්ථයෙනි.

දෙමළ සමාජයේ විමුක්තිය උදෙසා මෙරටේ සමාජ ව්‍යාපාරයක් පවතින බවද එම අරගලයේ එන්දීය ප්‍රකාශකයා එල්.ටී.ටී.ඊ. ය බවද අනූව දශකයේ දශ්‍රී ලංකා රජය තේරුම් ගැනීමම අසාර්ථක ගමනක යෙදුන ශ්‍රී ලංකා රාජ්‍ය ලැබූ යෝධ ජයග්‍රහණයකි. දෙමළ අරගලයට ප්‍රජාතන්ත්‍රවාදී විසදුම් දිය යුතු බවද ඒ සදහා එල්.ටී.ටී ඊ ය සමග දේශපාලන ගනුදෙනුවක් ආරම්භ කළ යුතු බවද ශ්‍රී ලංකා රාජ්‍ය තේරුම් ගනිමින් සිටියහ.

1994 දී චන්ද්‍රිකා බණ්ාරනායක කුමාරණතුංග මෙන්ම ගාමිණී දිසානායක ද බලය බෙදීමේ සියුම් වැපිළිවෙලක් සහිතව මැතිවරණයට ඉදිරිපත් වූයේ ඒ අර්ථයෙනි.සිංහල බෞද්ධ පසුගාමීන්ගේ කකුළෙන් ඇදීම් මැද වුවද චන්ද්‍රිකා බණ්ාරනායක කුමාරණතුංග එම ගමනේ යම් දුරක ඇවිද ගියාය.එසේම බටහිර න්‍යාය පත්‍රයක සිටිමින් වුවද 2002 දී රනිල් වික්‍රමසිංහ ද එම ගමනේ යම් දුරක ඇවිද ගියේය.

සිංහල සමාජයේත් ශ්‍රී ලංකා රාජ්‍යයේත් මේ දේශපාලන නම්‍යශීලිත්වයට සිංහල බෞද්ධ උද්දච්ච සටකපටකම් ආරූ කළේ මහින්ද ච්න්තනයයි. චරිත හේරත්ගේ මේ සූත්‍රගත ප්‍රස්තුතය උත්සාහ ගන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ වර්ථමාන උද්දච්ච සටකපට ප්‍රතිපත්තියට ලිබරල් සළු පිළි ඇන්දවීමටය. කොළඹ අගනාගරිකයන්ට යහමින් සිහින දකිමින් රාත්‍රිය ගත් කිරීමට හැකි වුවත් මේ දේශපාලන සූත්‍රය අවම වශයෙන් දෙමළ ධනපති ඉහළ සමාජ තීරුවවත් නොපිළිගන්නේ නම් මේ සිහින රාත්‍රිය ඉතා කෙටි විය හැකි බවට තවත් සාක්ෂි අවශ්‍ය ද?

අධ්‍යයන විෂයක් ලෙස විද්‍යාව හදාරන විට ඝන මාධ්‍යයට ඇත්තේ ඊට අනන්‍ය ස්වභාවයක් වුවද තරලයට ඇත්තේ එය අංගු බදුනේ ස්වභාවය යැයි ඉගැන්වේ. කොළඹ අගනාගරික සිංහල බෞද්ධ උගත් සමාජ තීරුවේ ස්වභාවයද තරලයක ස්වභාවය ගන්නා බව අවබෝධ කර ගැනීමට චරිත හේරත්ගේ වියමනේ හරය කදිම අත් වැලකි.

චන්ද්‍රිකා බණ්ාර්නායක කුමාරණතුංග විසින් සිංහල බෞද්ධ සමාජයේ ඇති කළ මතවාදී කලම්බනය නිසා 1994 වනවිට කොළඹ අගනාගරික සිංහල බෞද්ධ උගත් සමාජයට ලිබරල් පිටපොත්තක් ලැබුණි. එහෙත් 2005 දී මෙම සමාජ තීරුවට මුළුමනින්ම ෆැසිස්ට් පිටපොත්තක් ලබා දුන්නේ මහින්ද ච්න්තනයයි. ඒ අර්ථයෙන් මේ සමාජ තීරුව ධ්‍රැවීකරණය වන සමාජ දේශපාලන බල කදවුර අනුව තම හැය තීරණය කරගනී.

තම හැය තීරණය කර ගැනීමට මේ අගනාගරිකයන් දරන තැත කෙතරම් බොළද ද යන්න තේරුම් ගැනීමට චරිත හේරත් පසු ගිය පළාත් සභා මැතිවරණ ප්‍රථිපල විග්‍රහ කරන අන්දමම සෑහේ.

සබරගමුව පළාත් සභා මැතිවරණයේ දී සර්පයා දෙවැනියා වී දෙයියා අන්තිමයා වීම චරිත දකින්නේ අනාගත එජාප දේශපාලනයෙහි ගමනාත්තය සලකුණු කරන අවධි ලක්ෂයක් ලෙසිනි. එහෙත් මිනී මරුවන් ස්ත්‍රී දූෂකයන් නිදහස් සංධාන ලැයිස්තුවේ ඉහළට පැමිණීමවත්, අමාත්‍ය මර්වින් සිල්වා මහින්ද ච්න්තනයේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදීම පිළිබදවත් චරිතට වගේ වගක් නැත. එසේම වේළුපිළේ ප්‍රභාකරන්ව ප්‍රජාතන්ත්‍රවාදයට කැදවා ගැනිමට මානුෂීය මෙහෙයුම් කරන ශ්‍රී ලංකා රාජ්‍යයේ නායකයන් රටේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ගැන ඔහු කිසිවක් නොකියයි. සමස්ථ දේශපාලන සංස්කෘතියේ බිද වැටීම විරුද්ධ පක්ෂයේ ගමනාන්තය ලකුණු කිරීමේ අවධි ලක්ෂයකට ඌන නය කිරීම කොළඹ අගනාගරිකයේ ච්න්තනයේ දිළිදු කම ප්‍රකාශවීමකි.

ආණ්ඩු විරෝධි පුද්ගල ක්‍රියාකාරීත්වයන් ද සමාජ ක්‍රියාකාරීත්වයන් ද යූඑන්පි යේ ජයග්‍රණය දැකීමක් ලෙස අර්ථ දැක්වීමත් අවසානයේ යූඑන්පී බිල්ලා මවා පෑමත් මෙරට දේශපාලනයේ සුපුරුදු ලක්ෂණයකි. පළාත් සභා මැතිවරණ ප්‍රථිපල විග්‍රහ කරමින් යම් යම් පුද්ගල චරිත දක්වන ආණ්ඩු විරෝධි අදහස් යූඑන්පිය බලයට ගෙන ඒමේ උත්සාහයන් ලෙස චරිත හේරත්ට මතක් වන්නේ ද මේ දේශපාලන සම්ප්‍රදායට අනුවය.එහෙත් මේ අන්දමින් අමුතු යූ එන් පී විරෝධයක් කර පින්නා ගත් චරිත පෙරලා ආරක්ෂා කිරීමට උත්සාහ ගන්නේද යූ එන් පී දේශපාලනයේ අනෙකාය. ඒ අර්ථයෙන් ශ්‍රීලනිප දේශපාලනය ගැන අටුවා ටීකා අවශ්‍ය නොවේ.

1978 දී ජේ ආර් ජයවර්ධන ධනේෂ්වර වෙළෙද පළ ක්‍රමය තහවුරු කිරීමට ප්‍රතිසංස්කරණ හදුන්වා දුනි. රාජ්‍ය කේන්ද්‍ර ගත ග්‍රාම්‍ය සමාජවාදීන් මේ ප්‍රතිසංස්කරණ දුටුවේ දේශපාලන අර්ථයෙන් නොවේ. ග්‍රාමීය සමාජයේ ආර්ථික ආධිපත්‍ය හිමිකරගෙන සිටි මේ වැවසම්වාදීහු ජේ ආර් ජයවර්ධනගේ වෙළෙද පළ ප්‍රතිසංස්කරණ නිසා පැවැත්ම පිළිබද බරපතල ප්‍රශ්නයකට මුහුණ දුනි. ඒ නිසා තමන්ට අහිමි වන සමාජ පැවැත්ම ආරක්ෂා කර ගැනීම සදහා ක්‍රම විරෝධි විය. එම ක්‍රම විරෝධය දිය කර හැරියේ යූ.එන්.පී. විරෝධි ප්‍රගතිශීලී වේදිකා වලය. ඒ අනුව එම යූ.එන්.පී. විරෝධය ප්‍රගතිශීලී හරයකින් යුක්ත වුවද අන්ත පසුගාමී දේශපාලන ප්‍රපංචයක් බව පැවසිය යුතුය.

අගනාගරික සිංහල බෞද්ධ උගතුන් වර්ථමාන දේශපාලනය තුළ හැසිරෙන්නේ ද අසූව දශකය මුල දී ලාංකීය ග්‍රාමීය වැවසම්වාදීන් හැසුරුණු අන්දමින්මය. ආණ්ඩු විරෝධි ප්‍රවණතාවන් යූ.එන්.පී බිල්ලෙකු සේ හැදින්වුව ද මානව හිමිකම් කඩකරමින් ප්‍රජාතන්ත්‍රවාදී යහ පාලනය නොතකමින් කුසගින්න මර්දනය පතුරුවමින් වත්මන් ආණ්ුව ගෙන යන ඒකාධිපති පාලනය ගැන චරිත මුනිවත රකී. ඒ අනුව යූ.එන්.පී දේශපාලනයේ බිල්ලා මවා පාන චරිත මහින්ද ච්න්තනයේ යක්ෂයා ආරක්ෂා කරයි.

වත්මන් ආණ්ඩුව එල්.ටී.ටී.ය යකනේ හා ලෙයින් සමූල ඝාතනය කිරීමට යොදාගන්නේ මානුෂික මෙහෙයුම් ය. එම මෙහෙයුම් වල දී ඉහළ අහසේ සිට දෙමළ ඔළු වලට බෝම්බ අත හැරීම දෙමළ ශිෂ්ඨාචාරයේ හැරවුම් ලක්ෂයකි. දෙමළ ජනයා සමූල ඝාතනය කිරීමට අහසේ සිට බෝම්බ අත හරිද්දී එම ජනතාව එල්.ටී.ටී.ය නොතකමින් තම අභිලාෂයන් ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජය සමග එක් වේ යැයි සිතීමම විහිළුවකි. ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාව සම්බන්ධයෙන් යමක් තේරුම් ගත්තා නම් තේරුම් ගත්තේ දෙමළ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී හ තැළීම් නිසා නොව දෙමළ සමාජයේ ප්‍රචණ්ත්වය හමුවේ බව දෙමළ ජනතාව හොද හැටි තේරුම් ගෙන ඇත.

තම අරමුණු සාධනයේ ලා එල්.ටී.ටී.ඊ.ය ජන සංහාරක අරගලයක යෙදී සිටින බව ඇත්තකි. එය විමුක්තිවාදයත් ෆැසිස්ට්වාදයත් අතර දෝලනය වෙමින් පවතින බවද සත්‍යයකි. එහෙත් දෙමළ ජනතාවගේ විමුක්ති අරගලයෙන් එල්.ටී.ටී.ඊ.ය හුදකලා කිරීමට තරම් මේ කිසිවක් දෙමළ සමාජයේ හෘදය සාක්ෂියට බලපෑම් කරන්නේ නැත.

දෙමළ විමුක්ති අරගලයට කිසියම්ම වූ විසදුමක් අත නැති ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ.ය හුදකලා කිරීමට කතා කිරීමම දේශපාලන බංකොලොත්කමකි. එහෙත් යම් හෙයකින් එල්.ටී.ටී.ඊ.ය ලෙයින් හා ය‍ක‍‍ඩින් පරාජය කළ දිනක දෙමළ සමාජය කරා රුගෙන යාමට ශ්‍රී ලංකා රාජ්‍යයේ අත ඉතිරිව ඇත්තේ අමාත්‍ය මර්වින් සිල්වාගේ ප්‍රජාතන්ත්‍රවාදයත්, රණසිංහ ප්‍රේමදාසගෙන් සොරා ගත් ග්‍රාම රාජ්‍ය ක්‍රමයත් පමණක් බව චරිත හේරත්ට නොවැටහීම කණගාටුවට කරුණකි.

Advertisements