ප්‍රතිවාදී මත නො ඉවසීම හා දකුණේ මතවාදී ත්‍රස්තවාදය.


dog2සමාජයක් ඉදිරියට ගමන් කරන්නේ මතවාදී වෙනස්කම් තුළිනි. එකම මතයක් පමණක් සමාජයක පවතී නම් එම සමාජය එක තැන පල් වීම වැළැක්විය නො හැක. දහසක් මත ගැටේවා දහසක් මල් පිපේවා යැයි මා‍ සේතූං සහෝදරයා පැවසුවේ ද ඒ අර්ථයෙන් විය හැකිය.

එසේම ප්‍රංශ ජාතික දාර්ශනිකයකු වූ හෙන් රි වොල්ටෙයර් මේ සම්බන්ධයෙන් දැරුවේ මෙවැනි අදහසකි. I disagree with what you say but I will defend to the death your right to say it.

එහෙත් මගේ බලොග් සටහන් වලට දක්වන ප්‍රතිචාර අනුව නම් අපේ සමාජය මෙවැනි පුරුෂාර්ථයන්ගෙන් පරිපූර්ණ යැයි පැවසිය නො හැක. මේ වනවිට පළමු වර්ෂය ගෙවෙන මගේ බලොග් සටහනට දක්වන ඇතැම් ප්‍රතිචාර මේ සමාජයේ සැබෑ නිරුවත හෙළිවේ යැයි මට සිතේ. එහි දක්වන ඇතැම් ප්‍රතිචාර මත ඒවා විග්‍රහ කිරීමට යෑම ජුගුප්සාජනකය. එහෙත් මෙවැනි මානසිකත්වයක් මේ සමාජයේ අංකුරයන්ට හිමිව තිබීම විග්‍රහ කිරීම නම් කිසිවිටකත් නොතකා හැරිය නො හැක.

මගේ බ්ලොග් සටහන් වලට දක්වන ප්‍රතිචාරයන් මෙසේ වර්ග කළ හැකිය.

(අ) අවබෝධයකින් යුතුව අනුමත කරමින් ප්‍රශංසා කිරීම.

(ආ) අවබෝධයකින් යුතුව එකග නොවෙමින් විවේචනය කිරීම.

(ඇ) පාදඩ අන්දමින් අසභ්‍ය වචන භාවිතා කරමින් නින්දා කිරීම.
(මෙවැනි ප්‍රතිචාරයන්හි ජුගුප්සාජනකභාවය නිසාම ඒවා බ්ලොග් සටහනින් ඉවත් කර ඇත.)

අවාසනාවකට මගේ අදහස් වලට ලැබෙන බොහොමයක් ප්‍රතිචාර මේ තුන්වන වර්ගයේ ප්‍රතිචාරයන් ය. ඉවසිය නොහැකි අන් මත හමුවේ මව මතක් කර හෝ පුද්ගලික ජීවිතයට බලපාන වෙනත් චෝදනාවකින් හෝ දමා ගසා ප්‍රතිවාදියා නිහ කිරීමට තැත් කරන්නේ නූගත් ගැමියන් ය. ප්‍රතිවාදියා නිහඩ කිරීමේ ග්‍රාම්‍ය උපක්‍රම දියුණු සමාජයකට නොගැලපෙන්නේ වුවද සයිබර් අවකාශයේ පාළු කපන නූතන රස්තියාදුකාරයන් ද අනුගමනය කරන්නේ එවැනි නොදියුණු ක්‍රමෝපායන් ය. දෙස් විදෙස් උපාධි සහතික වලින් හෝ නූතන තාක්ෂණයේ ස්පර්ශයෙන් හෝ මොළයේ ඝනත්වය වැඩි වන්නේ නැත. ඒ සදහා වෙහෙස විය යුතුය. සතත අභ්‍යාසය අවශ්‍ය ය. එහෙත් ජේ. ආර් ජයවර්ධන ගේ පාදඩ වෙළෙද පළ ක්‍රමය මෙරටට දායාද කර දී ඇත්තේ මිනිස් කවන්ධයන් ය.

සුළුතරයේ අදහස් බලහත්කාරයෙන් බහුතරයේ අදහස් බවට පත් කිරීමට තැත් කිරීම ත්‍රස්තවාදයකි. ඒ අර්ථයෙන් වේළුපිල්ලේ ප්‍රභාකරන්ට ත්‍රස්තවාදයේ දබරගිල්ල දිගු කරන දකුණේ සුපේශල ශික්ෂාකාමීන්ට අන් මත ඉවසිය නොහැක. මෙය දකුණේ මතවාදී ත්‍රස්තවාදය මිස අන් කවරක් ද?

ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ සමාජයේ හෘද සාක්ෂියට අද එල්ල වී ඇති අභියෝගය මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමයි

යමෙක් මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට මහන්සි වන්නේ නම් ඔහු අනිවාර්යෙන්ම සලකා බැලිය යුතු කරුණු කිහිපයකි මේ.

(අ) ජනාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් රට පාලනය කළ ද ප්‍රභාකරන්ට ප්‍රජාතන්ත්‍රවාදය ඉගැන්වීමට යෑම.

(ආ) දකුණේ දී සමූපකාර ඡන්දයක්වත් සාමකාමීව පැවැත්වීමට නොහැකිවුන් උතුරේ හිංසාව ගැන දුක් වීම.

(ඇ) මර්වින් සිල්වාගේ කුපාඩිකම් පාලනය කරගත නොහැකි වූවන් උතුරේ සිවිල් පාලනයක් ගැන කතා කිරීම.

යහ පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ ශිෂ්ට සම්පන්න අදහස් හුවමාරුවක් නැති තැන දියුණු සමාජයක් බිහි නොවේ. එහෙත් මේ සමාජ දියුණුව ඇති විය යුත්තේ පහළ සිට ඉහළට නොව ඉහළ සිට පහළට වීම අනිවාර්ය සාධකය කි. පොල් ගසෙන් තල් පතන්නට නොහැකිවාක් මෙන්ම වත්මන් පාලකයන්ගෙන් ද එවැන්නක් බලාපොරොත්තු විය නොහැක. ඒ තාක් දකුණේ සමාජය පුරා මතවාදී ත්‍රස්තවාදීන් රස්තියාදු ගැසීම ද වැළැක්විය නො හැක.

Advertisements

2 Comments

  1. රට ගමන් කරන අත පිළිබඳව කදිම විග්‍රහයක්. පවතින තත්ව‍‍ය අනුව පාලක පක්ෂයේ එකෙක් මොන ජඩ වැඩේ කලත් දේශප්‍රේමීත්වය.මැදහත් විවේචන හා තම මත‍ය ඉදිරිපත්කරන්නන් මේ අසීරු මොහොතේ රජය අපහසුවට පත් කරන දේශාද්‍රෝහීන්.

  2. මේකෙන් පේන්නේ සමාජයක් වශයෙන් අපේ ඇති චින්තන දරිදුතාවය. විවිධ මතවාද-සංවාද හරහා විවේචනාත්මකව ලෝකය දෙස බැලීමෙන් තොරව, පූර්ව නිගමන වලින් නිමාණය කරගත් රාමුවක් ඇසුරෙන් සියල්ල දෙස බැලීම එක් අතකට පහසු දෙයක්.

    අද වන විට අපේ සමාජයේ මතවාද අතර සංවාදයන් ඇති වෙනවා වෙනුවට සිද්දවෙන්නේ විවිධ අධිපතිමතවාද මූලික කරගත් ආවෘත සංවාදයන් විතරයි.
    තමන් හිතාගෙන ඉන්න රාමුවෙන් එපිටට සීතීමට නොහැකි කමත්, එසේ වන මතවාදයන් කෙරෙහි හුදු ප්‍රචන්ඩකාරී ලෙස හැසිරීමත් මේකේ රෝග ලක්ෂනයක්. ඇත්තටම කිව්වොත් අපි තුලද යම් තරමකට අඩු වැඩි වශයෙන් ඔය කියන ලක්ෂණ තියෙනවා.

    අවසානයේ දහසක් මත ගැටීම කොසේ වෙතත්, තමන්ගේ ව්‍යාපෘති වලින් ඔබ්බට යන සාකච්ඡාවන් දකින්නට නැහැ.

    මම දකින විදියට වත්මන් ලාංකීය සමාජයේ විශාලම මතවාදී අරගලයක් කරන කෙනෙක් තමයි නලීන් ද සිල්වා මහාචාර්්‍ය තුමන්. එහෙත් එයත් සංවාදයක් ‍ලෙස වර්ධනය වෙනවා වෙනුවට අනුගාමිකයන් පිරිවරාගත් නිකායක් ලෙස ගොඩ නැගෙනු ලෙස දැකිය හැකියි. 😦

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s