සිංහළ කො‍ටින් ත්‍රස්තවාදීන් නොවේද?


poli-leadශ්‍රී ලාංකීය දේශපාලන භූමිය තුළ අධිනිෂ්චය වී ඇති එකම දේශපාලන ප්‍රස්තුතය වී ඇත්තේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමයි. ඒ අර්ථයෙන් සුවිසාල ධනස්කන්දයක් වියදම් කරමින් යුද්ධයක් දියත් කර ඇති අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකික සමාජය පරදුවට නොතබා ඇති දෙයක් නොවන තරම් ය. භෞතික දෑ පමණක් නොව අධ්‍යාත්මික පුරුෂාර්ථයන් ද ශිෂ්ට සංස්කෘතික හරයන් ද අමතක කරමින් සිංහළ බෞද්ධ සමාජය රණකාමය වැළදගෙන ගෙන ඇත්තේ ත්‍රස්තවාදය පැරදවීමේ අභිමතාර්ථයෙනි.

එහෙත් මුලිනුපුටා දැමීමට අපේක්ෂිත ත්‍රස්තවාදය කුමක්දැයි ජන සමාජය පවා නිවැරුදිව හදුනාගෙන නොතිබීම කනගාටුවට කරුණකි. මේ වනවිට ත්‍රස්තවාදීන් ලෙස හදුනාගෙන ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව යුධමය ලෙස අභියෝග කරමින් සටන් වදින කණ්ඩායම් ය. එසේම ශ්‍රී ලංකා රාජ්‍යයේ පදනම වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකග නොවන්නන් ය.

එහෙත් රාජ්‍යයට යුධමය ලෙස නොවූවද ෆැසිස්ට්වාදීව අභියෝග කිරීමත් රාජ්‍යයේ පදනම වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත් ත්‍රස්තවාදය ලෙස හදුනාගෙන නැත. එසේම එසේ කරන්නන් ත්‍රස්තවාදීන් ලෙස හදුනාගෙන ද නැත.

එසේම නීතිය කඩකිරීම් ද ප්‍රජාතන්ත්‍ර විරෝධිව කටයුතු කිරීම් ද ත්‍රස්තවාදය ලෙස හදුනාගෙන නැත. එසේ කරන්නන් ත්‍රස්තවාදීන් ලෙස හදුනාගෙන ද නැත.

ඒ අනුව ත්‍රස්තවාදයට අර්ථ නිරූපන සපයා ඇත්තේ පාලකයන් ය. පාලකයන්ගේ අභිලාෂයන් සපුරන මතවාද ප්‍රතිරාව නැංවීම පමණක් පාලිතයන්ගේ එකම රාජකාරිය වී ඇත.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනයට අනුව ව්‍යවස්ථාදායක සභාව පත් කර ඒ අනුව රාජ්‍ය පාලනයේ ලා අවශ්‍ය කොමිෂන් සභා පත් කළ යුතු වුවද ජනාධිපති මහින්ද රාජපක්ෂ සිතාමතාම රාජ්‍යයේ එම උත්තරීතර නීතිය නොතකා සිටී. එපමණක් නොව එම කොමිෂන් සභාවන්ගේ නිර්දේශ හෝ අනුමැතිය හෝ මත පත් කළ යුතු ඉහළ රාජ්‍ය නිලධාරීන් තම අභිමතය මත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධිව පත් කරයි.

ආණ්ඩුවේ ඇමතිවරයකු වන මර්වින් සිල්වා රූපවාහිනී සංස්ථාවට කඩා පැන රාජ්‍ය බලය යොදා ගනිමින් මැර ක්‍රියාවල යෙදුනද එම ක්‍රියා ත්‍රස්තවාදයක් නොවන්නා සේම මර්වින් සිල්වා ත්‍රස්තවාදියෙක් ද වන්නේ නැත. මේ ආදී වශයෙන් ආණ්ඩුවේ කිසිම දේශපාලනඥයෙක් කරන කිසිම මැර ක්‍රියාවක් ත්‍රස්තවාදයක් නොවන්නා සේම ඔහුන් ත්‍රස්තවාදීන් වන්නේ ද නැත.

ඒ අනුව ත්‍රස්තවාදය යන්නට ආණ්ඩුවට ඇත්තේ කදිම අර්ථ නිරූපනයකි. ආණ්ඩු විරෝධින් ගේ ක්‍රියා ත්‍රස්ත ක්‍රියා මෙන්ම ඔහුන් ත්‍රස්තවාදීන් ද වේ. එහෙත් ආණ්ඩු පාක්ෂිකයන්ගේ කිසිම ක්‍රියාවක් ත්‍රස්ත ක්‍රියා නො වන්නා සේ ම ඔහුන් ත්‍රස්තවාදීන් වන්නේ ද නැත.

පාලකයන් තම පාලනය පවත්වා ගැනීම සදහා මතයන් නිර්මාණය කිරීම ස්වභාවික ය. එහෙත් පාලිතයන් එම මතයන් අවිඥානිකව පිළිගනිමින් ද ඒවා පතුරුවා හරිමින් ද කටයුතු කිරීම හාස්‍යජනක ය. එය ශ්‍රී ලංකාවට අදාළ වූ විට ඛේදවාචකයකි.

ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා යැයි පවසමින් ආණ්ඩුව ගෙන යන යුද්ධය සම්බන්ධයෙන් ලාංකික සමාජය දරන මතය කෙතරම් හාස්‍යජනක වුවත් ඊට සිනා සීමට නො හැක්කේ ද එය පෙරලා ඛේදවාචකයක් වන නිසාය.

එනිසා ත්‍රස්තවාදය පරාජය කිරීමට යැයි පවසමින් රජය ගෙනයන යුද්ධයට පක්ෂවන සියල්ලන් තම හෘදය සාක්ෂියෙන් විමසිය යුතු ප්‍රශ්නයක් ඇත.

රාජ්‍යයේ උත්තරීතර නීතිය ‍‍වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදියෙක් නොවන්නේ මන්ද?

Advertisements

14 Comments

  1. ගැටළුව තියෙන්නේ යුද්ධය නෙවෙයි යුද්ධයට යටින් දිවෙන දෘෂ්ඨිවාදය, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයත්, සමාජයේ විතරක් නෙමෙයි ප්‍රභාකරන් පවා එහිම ප්‍රකාශමාන වීම් ම තමයි. සිංහල දෙමල ලෙස බෙදී යුධවැදීමට සිදුවීම ජාතියේ ඛේදවාචයක් වුනත් තවමත් ඇස් නොඇරුණු අපේ සමාජය තවමත් අර්බුධය අල්ල ගන්නේ වැරදි කොනින්. පිරිසක් එකම විසඳුම යුධමය විසඳුමක් කියන විට, තවත් පිරිසක් කියනවා විසඳුම බලය බෙදීම විතරයි කියලා. ඒත් මේ ආන්තික පිළිතුරු දෙකම ගැටලුව කුමක්දැයි හරිහැටි අවබෝධ කරගෙන දෙන ඒවා නොවෙයි. මේක පටන්ගෙන දශක ගනනාවක් ගතවෙලා ඇතැත් තාමත් අපිට බැරිවෙලා තියෙනවා අර්බුධයේ මූලයන් ගැන යම් හරියාකාර අවබෝධයක් ඇතිකර ගන්න, ඒ තුල සමාජයක් වශයෙන් අපි ඉන්නේ මතවාදී වශයෙන් අතරමං වෙලා. සිංහල බෞද්ධ අධිපතිවාදී මතය පමණක් නෙමෙයි, දෙමල නිජබිම කියන මතවාද දෙකම තුල තියෙන්නේ බෙදී වෙන්ව යාමේ අභිලාෂයන්. අනික මේ මතවාද දෙකෙන්ම වෙන්නේ බෙදුම්වාදය ශක්තිමත් වීම පමණයි.

    යුද්ධයට විරුද්ධ වීම ශිෂ්ඨ සමාජයේ වගකීමක් තමයි එහෙත් ඒ යුද්ධය විසින් අවසානයේ ඇති කෙරෙන ප්‍රතිඵලය ගැන අවබෝධයක් ඇතිව. ඒ නිසා මේ මොහොතේ යුධමය වශයෙන් හෝ LTTE යේ බිඳවැටීම අවශ්‍යතාවයක් වෙනවා, මොකද ඒ තුලින් දකුනේ සමාජය හෙලා ඇති දෘෂ්ඨිවාදී මුලාවෙන් ගොඩගත හැකි නිසා. ඒත් එය ඉබේ සිදුවන දෙයක් වෙන්‍ේ නැහැ. යහපත් හෙටක් ගැන බලාපොරොත්තු තබන්න්ගේ වගකීම විය යුත්තේ ඒ සඳහා සමාජය මෙහෙය වීමත්, LTTE යේ පරාජයෙන් පසුව දෙමල සමාජය මුහුණ දෙන ගැටළු වලට සවිඥානික ලෙස මැදිහත් වීමත්.

  2. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත් ආණ්ඩුවක් සහ ත්‍රස්තවාදී කණ්ඩාමක් අතර පවතින වෙනස අප මුලින් ම අවබෝධ කරගත යුතුයි. රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්ව මාස 7ක් යන තුරු කොටින්ට කිසිදු ප්‍රහාරයක් එල්ල කළේ නැත. පෙර නායකයින් සේම පිරපාහරන්ගෙන් සාම සාකච්ඡා දින ලැබෙන තුරු බලා සිටියේ ය.

    ඒ අතර කොටි දිගම්පතනදී නිරායුධ සොල්දාදුවන් 100ට ආසන්න පිරිසක් මරා දැමූහ. එහෙත් සාම සාකච්ඡා පතා සිටියහ. ඒ අතර කොටි සාමය වෙනුවට නැවත සුපුරුදු දඩයම ඇරඹීය. යුද හමුදාපතිතුමාට හමුදා මූලස්ථානයේදී මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළේ ය. ආරක්ෂක ලේකම් තුමා මරා දමන්න තැත් කළේ ය. මාවිල් ආරු සොරොව්ව වසා අහිංසක ජනතාවගේ කුඹුරු විනාශ කළේ ය.

    කොටියාගෙන් කිසිදා සාමය නොලැබෙන බව ආණ්ඩුවට තේරුම්ගන්නට පවා රටට විශාල වන්දියක් ගෙවන්ට සිදු විය. එයින් අනතුරුව කොටියාට පිළිතුරු දිය යුතු ආකාරය ආණ්ඩුව වටහා ගත්තේ. දැන් ත්‍රස්තයින්ට තේරෙන බාසාවෙන් ආණ්ඩුව පිළිතුරු දෙයි.

    අපට දෙමළ ජනයා සමඟ ගැටළුවක් නැත. එහෙත් බෙදුම්වාදයට ත්‍රස්තවාදයට මේ රටේ ඉඩක් නැත. ඊට යොමු වන අය සිංහල දෙමළ මුස්ලිම් වුව ආණ්ඩුවට එය මර්දනය කරන්ට සිදු වෙයි. 88/89 භීෂණ සමයේ එවන් මර්දනයකට සිංහල තරුණයින්ට මුහුණදීමට සිදු විය. එවිට දැන් සිටින හුටක්පරයක් සාම කඩකාරයින් මානවහිතවාදීන් මෙරට පණුවන් ගසා හිටියේ නැත. මේ මැට්ටන්ගේ තර්කය නිවැරදි නම් එකල මෙරට පාලනය කළේ සිංහල බෞද්ධ විරෝධි ප්‍රේමදාස කෙනෙකි. එහෙත් අප දන්නා එතුමා හොඳ බෞද්ධයෙකි.

    ආණ්ඩුව සිංහල බෞද්ධයයි බෑඟිරි තලන අය මේ ගැටළුවට විසදුම් පෙන්වා දිය යුතු ය. ජනාධිපතිවරු ගණනාවක් රැවටූ ලෙස රාජපක්ෂ ජනපති රැවටීමට ඔහුට නොහැකි විය. ඉතින් වසර ගණනාවක් යුද්ධයෙන් ජීවත්වූ තුප්පහි එන්ජීඕ කාරයින්ට මාක්ස්වාදයෙන් අඳවූවන්ට ෆෙජරල්කාරයින්ට මෙය දරාගත නොහැකි ය. අපට කරන්ට දෙයක් නැත. යුද්ධය තව නොබෝ දිනකින් කෙලවර වනු ඇත. ඒ උදවිය වහාම බඩ රස්සාවක් සොයාගත යුතු ය.

  3. නාමල් උඩලමත්ත පට්ටා ගසන්නේද බොහෝ ජාතිවාදීන් පාවිච්චි කරන අවලංගු තර්කයකි. ලංකාව තනි රටක් කියන්නෙ අපය. දෙමළ බෙදුම්වාදීන්ගේ තර්කය ඒ දෙරටක් බවයි. මහින්ද රාජපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදීව පත් වී ඇත්තේ දකුණේ ඇති රටටය. උතුරේ ඇති රටට ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව පත්වී නැත. එහිදී ඔහුට ලැබී ඇත්තේ සියයට 20 කට වඩා අඩු චන්දයකි.

    මේ නිසා උතුරට මහින්ද රාජපක්ෂ යනු ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ නායකයෙක් නොවේ. ඔහුද ප්‍රභාකරන්ද අතර එහිදී කිසි වෙනසක් නැත.

    තවත් විදියකින් ඇහුවොත් සිංහල චන්දයෙන් පත්වූ මහින්දට දෙමළුන් ගැන තීරණ ගන්නට ඇත්තේ මොන අයිතියක්ද?

  4. ජාතිවාදය සහ ජාතිකවාදය යනු සංකල්ප දෙකක් බව වටහා ගනු යෙහෙකි. එසේ නොමැතිව ආණ්ඩුත්‍රම ව්‍යවස්ථාව ආදිය ගැන නන්දොඩවා පලක් නැත. ඒ සඳහා බලන්න( http://sanhindha.blogspot.com/2008/03/blog-post_18.html)

    ලොව බොහෝ රටවල ත්‍රස්තයෝ සිය රට තනි රටක් නොවන බව පවසති. අසල්වැසි ඉන්දියාවෙන් වෙන්ව නාගලන්තයක් තමිල්නාඩුවක් සික් රජයක් ඇසෑමයක් තනා ගැනීමට ඔවුන් කැමති ය. එහෙත් ත්‍රස්ත කතා ප්‍රජාත්නත්‍රවාදී රජයකට අදාළ නැත. අපට ද අදාළ නැත. ඒවා ප්‍රජාතන්ත්‍රවාදයට වලංගු නැත. ත්‍රස්ත කතා අදාළ වන්නේ ත්‍රසතයින්ට උඩගෙඩි දෙන බත් බැළයින්ට සහ එවැනිම ත්‍රස්තයින්ට පමණි.

    2005 ජනාධිපතිවරණය පැවැත්වූයේ මුළු රටට ම මිස දකුණට නොවේ. උතුරේ ජනතාවට ඡන්දය දීමට ඉඩ නොදුන්නේ ත්‍රස්තයින් මිස ආණ්ඩුව නොවේ. අපි මොහොතකට ඇමරිකාව දෙසට හැරෙමු. ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ඔබාමා එහි එක් ප්‍රාන්තයක ප්‍රතිවාදී මැකේන්ට වඩා අඩු ඡන්ද ලැබුවේ නම් එම ප්‍රාන්තතයේ ජනාධිපති මැකෙන් ද? නැතිනම් ඔබාමා ගනු ලබන දේශපාලන තීන්දු තීරණ එම ප්‍රාන්තයට අදාළ නැද්ද? දේශපාලය ගැන ඉතා සරළ අවබෝධයක් ඇති කෙනෙකුට වුව ඔබාමා ඇමරිකාවේ ජනාධිපති බවත් ඔහුගේ පාලනය මුළු රටට ම බලපාන බවත් පැහැදිළි ය. ඔබාමට ඡන්දය දුන්න ද මැකේන්ට ඡන්දය දුන්න ද අවදන ජයග්‍රාහකයා රටේ ජනපති ලෙස සියලු දෙනා පිළිගත යුතු ය. එහෙයිනි සිය පරාජය පිළිගනිමින් ඔබාමාට සුබ පැතූ මැකේන් ඔහුට අවශ්‍ය ඕනෑ ම සහයක් ලබාදීමටත් ඉදිරිපත් වූයේ.ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක ස්වභාවය එයයි. ලංකාවට ද එය අදාළ ය. ඔබ මහින්දට හෝ රනිල්ට ඡන්දය දෙන්නට ඇත. නැතිනම් කිසිවෙකුට නොදෙන්නට ඇත. එහෙත් පත්වූ ජනාධිපති නොපිළිගනිතැයි කීමට කිසිවෙකුට ඉඩක් නැත. එය ප්‍රජාතන්ත්‍රවාදයට කරන නින්දාවකි. සිය මුග්ධභාවය ප්‍රදර්ශනය කිරීමකි.

    මේ රටේ ඇතැමුන්ට තවමත් කොටි ත්‍රස්තවාදය සහ දෙමළ ජනතාව යනු දෙපිරිසක් බව අවබෝධ වී නැත. ඉතින් තමිල්නාඩුව පිස්සු කෙලීම පුදුමයක් ද? කොටින්ට සහය දෙන සිංහලයින් ද සිටිති. වෙනත් අය ද සිටිති. එමෙන් ම ඇතැම් මුග්ධයින් නොදන්නවාට උතුරු නැගෙනහිරින් පිටත 51%ක් වන ලංකාවේ දෙමළ ජනයා සෙසු ජාතීන් හා සමගියෙන් ජීවත් වෙති. (එහෙයින් මහින්ද පත්වූයේ සිංහල ඡන්දයෙන් යයි කීමට ඇති අයිතිය කුමක් ද?) දැන් නැගෙනහිර ජනතාව ද කොටින්ගෙන් වෙන්ව ජීවත් වෙති. පුනරින් මුදා ගත් කල යාපනේ දෙමළ ජනයා හමුදාවට සුබ පතා පෙළපාළි යති. කොටි, භාණ්ඩ ප්‍රවාහන නෞකාවට පහර දුන් කල ඊට එරෙහිව යාපනේ ජනතාව හර්තාල් කරති. කණපිට පෙරලි ඉතිහාසය නැවත හොඳ පැත්තට පෙරලී ඇත. සිංහලයා දෙමළ ජනයාට නොසලකති යන ප්‍රලාපය ඉතිහාසය විසින් පරදා ඇත. දැන් දැන් දෙමළ ජනයා සත්‍ය වෙත රොක් වෙති. කොටි සිර ගෙදරින් නිදහස පතා ශ්‍රී ලංකා රජයේ බල ප්‍රදේශවලට එති. අපේ අසල්වැසි දෙමළ ජනයා වෙත සහෝදරත්වයේ හස්තය පෑමට සැබෑ සිංහලයින් සුදානම් විය යුතු ය.

    එහෙත් සත්‍යයට වඩා සිය මතවාද අගයන අමනයින්ට මේ සත්‍ය පිළිගත නොහැකි ය. එහෙයින් සිය මතවාද ආරක්ෂා කරනට නේක තර්ත ගෙන හැර පාති. මේ නම් අනුකම්පා කළ යුතු තත්ත්වයෙකි. කළ යුත්තේ මහ පොළවේ යථාර්ථය අනුව සිය මතවාද සකසා ගැනීම මිස සිය යල්පිනූ මතවාදවල සිරවී සත්‍යයට පිටුපෑම නොවේ. නිදහස් චින්තනය යනු එයයි.

    රටේ ආණ්ඩුවට සිංහල බෞද්ධ ආණ්ඩුව යයි කියන ජනාධිපතිට ත්‍රස්තවාදීයා යයි කියන ද්‍රෝහීන් අවප්‍රමාණ කරන්නේ අනත්ත කැපකිරීම්වලින් ලබන හමුදා ජයග්‍රහණයයි. ජාතියේ අභිමාණයයි. ඔවුන් වළ කපන්නේ අනාගතයේ සිංහල දෙමළ මුස්ලිම් සැම එකට එක්ව ජීවත්වන මව්බිමටයි. ත්‍රිවිධ හමුදාවේ මහා කැපකිරීම්වල සැබෑව නොදත් පරිගණක ඉදිරියේ වීරයින් සේ වැජඹෙන අමනයින් තවමත් කොටි උණ්ඩයට බොහෝ ඈතින් සිටින්නේ රණ විරුවන් නිසා බව අවබෝධ කර ගත යුතු ය. මේ ආණ්ඩුව සිංහල බහුතරයකින් සැදුණු බව සැබෑ ය. රටේ 70% වඩා සිංහලයින් සිටින විට එහි ඇති අරුම කිම? අනෙක් අතට රටේ සිටි නීලම් තිරුචෙල්ලම්, ලක්ෂ්මන් කදිරගාමර්, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ආදී සියලු ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ නායකයින් අමු අමුවේ මරා දමමින් ඩග්ලස් දේවානන්ද, ආනන්ද සංගරී වන් අය පස්සේ පන්නමින් දෙමළ නායකත්වය විනාශ කළේ ද කොටි බව මේ උගත් මහත්වරු තේරුම් ගන්නේ තවදා ද?

  5. නාමල් උඩලමත්ත වූකලි බොහෝ උග්‍ර සිංහල ජාතිවාදීන් මෙන්ම තමන්ගේ අවකාශය තුළ තමන්ගේ මතයට පටහැනි කිසිවක් අවබෝධ කර ගැනීමට කිසි උත්සාහයක් නොගන්නා තමන්ගෙ මතය බොරුවක් බව ඔප්පු කළ හැකි ඕනෑම කෙනෙකුට අවමන් කිරීමට නොපැකිළෙණ ඉතා සරල මට්ටමේ අන්තවාදියෙකි.

    මේ පුද්ගලයන්ගේ සාමාන්‍ය සිරිත තමන්ට ගැලපෙන පරිදි පරාමිතීන් නිර්මාණය කර ගැනීමය. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව තනි රටක් කියයි. ඒ පර සුද්දා බිහි කළ රටක් බවත් සුද්දාගේ පැමිනීමට පෙර එබඳු රටක් නොතිබූ බවත් ලෙහෙසියෙන් අමතක කරයි.

    ශ්‍රී ලංකාව තනි රටක් හැටියට මූලික වශයෙන් නොපිළිගන්නා පිරිසකට ඔහුගේ තර්කය බල නොපාන බව ඔහුට නොවැටහීම ඔහු ලද අධ්‍යාපනයේ වරදක්ද?

  6. ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට ත්‍රස්තවාදියා යයි කියන ජාති භ්‍රෂ්ටයෙකු මට ජාතිවාදියා යයි ගැරහීම ගැන මා පුදුම වන්නේ නැත. සිංහල නමකින් පෙනී සිටින මේ ජුදාස් ම්ලේච්ඡ ත්‍රස්තවාදය සාධාරණීකරණය කරමින් බෙදුම්වාදය පෝෂණය කරන්නට කැස කවන බව පැහැදිළි ය.

    මේ රට තනි රටක් නොවෙතැයි ද එය තනි රටක් කළේ සුද්දා යයි ද තෙපරබාන මේ උගත් මහත්මයාට ඒ සඳහා දැක්විය හැකි සාධක මොනවා ද? මොලේ කොලොප්පම් වූ මේ බයිලකාරයින් නොදන්නවාට මේ රට එක්සේසත් රාජ්‍යයක් (නූතන අරුතින් ඒකීය රාජ්‍යයක්) වූයේ පණ්ඩුකාභය රජ දවස ය. ඒ කි.පූ. 5 වන සියවස ය. එය ලොව ප්‍රථම ජාතික රාජ්‍යය වෙයි. එදාමෙදා තුර දුලබ අවස්ථා කිහිපයකදී හැර මේ රට පැවතියේ තනි රටක් වශයෙනි.

    විවිධ සතුරු ආක්‍රමණ නිසා ප්‍රාදේශීය පාලනයක් ඇති වූ අවස්ථාවල සිදු වූයේ ප්‍රධාන සිංහල ආණ්ඩුව යටතේ එම ප්‍රදේශ යමෙක් පාලනය කිරීමයි. උතුරු ගැන සඳහන් කළහොත් 13 වන සියවස තෙක් එහි ද්‍රවිඩ පාලනයක් නොවී ය. ද්‍රවිඩ පාලනය ඇති වී බොහෝ කලක් භාරතීය චෝල රජුට කප්පම් ගෙවන රාජ්‍යකි. නැතිනම් දකුණේ ප්‍රධාන රාජ්‍යට යටත් පාලනයකි. ස්වාධීන රාජ්‍යක් ලෙස පැවතියේ ඉතා ම සුළු කලෙකි. ඒ ගැන බැද්දෙගම නම් සුප්‍රකට නවකතාව ලියූ ලෙනාඩ් වුල්ෆ් මහතා කර ඇති සඳහනක් මෙසේ දක්වන්නේ මේ සටහන කියවන විචාර බුද්ධියක් ඇති පාඨකයෙක් වේ නම් ඔහුගේ ප්‍රයෝජනය පිණිස ය.

    “එදා ක්‍රි.ව. 1824 සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ සම්පූර්ණ ජනගහනය ලක්ෂ 8 ½යි. ලංකාවේ දෙමළ මනුෂ්‍යයෙක් සිටි බවක් වත් කෝල්බෲක් තුමාගේ වාර්තාවල සඳහන් වන් නෑ. යාපනේ සිටි වැසියන් මලබාර් ගෝත්‍රිකයන් හැටියටයි ඔහු හදුන්වා දී ඇත්තේ. ද. ඉන්දිය සම්භවයක් ඇති මුල් බැසගත් මලබාර් ජනයා ගැන මිස දෙමළ ජාතියක් ගැන ලියලා නෑ.”(ලෙනාඩ් වුල්ෆ් සමඟ ගමනක්-177පිටුව – 1995 ගොඩගේ විජේසිංහ බෙලිගල්ල)”

    මේ රටේ බෙදුම්වාදය නිර්මාණය කළේ ද ජාතීන් වෙන වෙනම බෙදා පාලනය කිරීම ආරම්භ කළේ ද සුද්දාය යන සත්‍ය ඉතිහාසය ඔලුවෙන් සිටවු වත්මන් බෙදුම්වාදීහු සුද්දා රට එක්සේසත් කළේයයි පට්ටපල් බොරු දෙසා බාතී. සුද්දා බෙදා පාලනය කිරීම ආරම්භ කරන්නේ මිනිසුන් ඒකරාශිවීම සිය යටත් විජිත පාලනයේ මළගම බව දත් හෙයිනි. 1818 හා 1848 කැරලිවලින් පාඩම් උගත් හෙයිනි. එවන් කැරලි නැවත ඇති වීම වැළැක්වීමේ අරමුණෙනි. 1833 පාලන පහසුවට යයි කියා රට පලාත් අනුව කොටස්වලට කඩා සිංහල දෙමළ උඩරට පහත රට බේදය ආදී විවිධ බේද අප අතර ඇති කළේ ඒ සඳහා ය. මේ ගැන වැඩි තොරතුරු සඳහා කෝල්බෲක් වාර්තා පරිශීලනය කරන මෙන් විද්වත් පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු. අපේ රට තනි රටක් කළේ සුද්දා නම් කළ යුත්තේ නැවත සුද්දාට මේ රට තනි රටක්කරදෙන්නැයි පැවසීම ය. අපේ හමුදා විශ්‍රාම යැවීම ය.

    ලොව පුරා රාජ්‍ය කුඩා කැබලිවලට කඩමින් බටහිර ජාතීන් ගෙන යන ක්‍රියාදාමය කිසිවෙකුට රහසක් නොවේ. ඒ දේශපාලන න්‍යාය ගැන අංශු මාත්‍රික අවබෝධයක් හෝ ඇත්තෙක් අපේ රට තනි රටක් කළේ සුද්දා යයි පවසන්නේ නැත. භාරතය නම් සුවිසල් රට ඉන්දියාව පකිස්ථානය බංගලිදේශය ආදී වශ‍යෙන් කැබලි කර සදාකාලික අර්බූදයක් නිර්මාණය කළේ ඔය කියන සුද්දා ය. 1935 භාරතීය ශුද්‍ර ජාතිය වෙනුවෙන් තවත් රටක් තනන්නට සුද්දා අර අඳින කල ඊට එරෙහිව ගාන්ධිතුමා උපවාසයක් ආරම්භ කළේ ය. මෑතදි කොසෝවෝ නමින් වෙනම රටක් ලෝක සිතියමට එක් කළේ සුද්දා ය. එදාමෙදා තුර ලොව පුරා සුද්දාට ඇත්තේ රටවල් කැඩීම ගැන ඉතිහසයක් මිස රටවල් එකතු කිරීම ගැන ඉතිහාසයක් නොවේ.
    අපේරටේ ඊළමක් තනන්ට බෙදුම්වාදයට උඩගෙඩි දෙන්නෝ විවිධ NGO අටවා ගත් සුද්දෝ ය. මේ යථාර්ථය දන්නා සිහි බුද්ධිය ඇති කිසිවෙක් ශ්‍රී ලංකාව තනි රටක් කළේ සුද්දායයි පවසා ද?
    අප යමක් පිළිගත යුත්තේ හේතු සාධක සහිතව ය. එසේ නොමැතිව අපි මේ රට තනි රටකැයි නොපිළිගන්නේමැයි උඩුබුරා පලක් නැත. එහෙත් විචාරවත් පාඨකයා අවබෝධ කරගත යුතු වන්නේ අද ද මිනිසා හඳට ගියේයයි නොපිළිගන්නා අය රටේ සිටින බවයි. කෙසේ වුව ද දශක ගණනාවක් බෙදුම්වාදය පෝෂණය කළ වික්ටර් අයිවන් වැනි අය නැවත සිය ආත්මය පරික්ෂා කිරීමට යොමු වීම සුබ දසුනකි.

  7. ජාතිවාදියා මුලින්ම කරන්නේ තමන්ට අවශ්‍ය පාට කණ්ණාඩියක් දා ගැනීමය. මේ දම් පාට යැයි මොහොතකට සිතමු. ඉන්පසු මොහුට හැම දෙයක්ම පේන්නේ දම් පාටටය. අහසත් දම්පාටය. ගහ කොළත් දම්පාටය. ඒවා දම්පාට නොවේ යැයි ඔහුට ගොචර වන්නේ නැත.

    මේ කණ්ණාඩිය ලාගත් අරිසෙන් අහුබුදු නම් ජාති වාදියාට අනුව කාලයක ලෝකයම ආණ්ඩු කළේ සිංහලයන්ය – වැරදුණා, හෙළයින්ය. ඔහු කියන විදියට යුරෝපය යන්නද අපිරිකාව යන්නද හෙළ වදන්ය. මේවාට වාද කර වැඩක් නැත.

    ඉතිහාසයේ හැටියට නම් ලංකාව විතරක් නොව ඉන්දියාවද එක් කළේ සුද්දාය. වඩුග රජාගෙන් රට මුදාගෙන දෙමළ වෙමින් තිබු සමාජය සිංහල කළේද සුද්දාය. නැත්නම් උඩරට ගිවිසුමට නිලමෙලා වැඩි දෙනෙක් අස්සන් කළා වගේ අප අදත් අස්සන් කරන්නේ දෙමළෙනි.

    ඉබන් බතුතා ලංකාවට එන කාලයේදී මෙහි රජධානි කීයක් තිබුනාද කියා ඔහුගේ චාරිකා සටහන් කියවා ඉගෙනගත හැකිය. බතුතාට අනුව මින් බලගතුම රජය ආර්යචක්‍රවර්තීන්ගේය. මේවා අහලා නැති අය ඉතිහාසය ඉගෙනගන්නේ විජේසිංහ බෙලිගල්ලලාගෙන්ය. අනේද කියන්නේ!

  8. @ Anuradha Dharmavimala
    ඉතාම කෙටි ප්‍රශ්ණයක්, ත්‍රස්තවාදය පිටුදැකිය යුතුද නැත් ද?
    @ Enjoy deleting my comments

  9. ඉතාම කෙටි ප්‍රශ්ණයක්, ත්‍රස්තවාදය පිටුදැකිය යුතුද නැත් ද?

    ඔව්. ත්‍රස්තවාදය (රාජ්‍ය හෝ රාජ්‍ය නොවන )හැමවිටම පිටුදැකිය යුතුය. එහි කිසිදු තර්කයක් නැත. ප්‍රශ්නය ඇත්තේ එය කිරීමට යොදා ගන්නා මාර්ගය ගැන පමණකි.

    දෙවන ලෝක යුද්ධයේ පටන් අද දක්වා ලෝකයේ කිසිදු බෙදුම්වාදී ව්‍යාපාරයක් අවි බලයෙන් පමණක් පරාජය කොට නැත. (හැකිනම් අවි බලයෙන් පමනක් බෙදුම්වාදී ව්‍යාපාරයක් පරාජය කළ එක් අවස්ථාවකට උදාහරණයක් දෙන්න ) මීට හේතුව ත්‍රස්තවාදය ඕපපාතික නොවීමයි. ත්‍රස්තවාදය හට ගන්නේ යම් හේතුවක් ඇතිවය. ඒ හේතුවට පිලියම් නොකොට ඵලය නැති කිරීම මෝඩ කමකි. හේතුව තියෙන තුරු ප්‍රශ්නය නොවිසඳී පවතී.

    JVP එක උදාහරණයට ගන්න. 1971 දී අති විශාල මිනිස් සංහාරයකින් පසු එය අවි බලයෙන් පරාජය කරනු ලැබීය. නමුත් එයට යළි අවි අතට ගැනීමට ගත වූයේ දශක දෙකකට වඩා කෙටි කාලයකි. ඇයි? ඔවුනට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වීමට ඇති සියළු ඉඩ අහුරා තිබූ නිසාය. 1989 ට පසු දිස්ත්‍රික් අනුපාත ක්‍රමය යටතේ දැන් ඔවුනට ප්‍රජතාන්ත්‍රවාදී මාවතට ඒමට ඉඩ සලසා ඇත. ඔවුන් අද අවි අතට නොගන්නේ ඊට වඩා පහසු මාවතක් ඔවුන්ට විවර වී ඇති බැවිනි.

    LTTE එක සම්බන්දයෙන්ද සිදුවිය යුත්තේ මෙයයි. උතුරේ ත්‍රස්තවාදය නැති කළ හැකි එකම ක්‍රමය ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී මාවතට එක් වීමට ඉඩ සැලසීමයි. ඒ සමඟ නිදහස ලැබීමේ පටන් අද දක්වා දෙමළ ජනතාවට විඳීමට සිදුව ඇති ප්‍රශ්න වලට විසඳුම් ලබා දිය යුතුය.

    LTTE යට සමාන විනාශයක් කළ නේපාලයේ මාඕ වාදීන් දේශපාලන විසඳුමකින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවහායට ගෙන ආ සේම උතුරේ අවිගත් තරුණයින් ප්‍රජාතන්ත්‍ර මාවතට ගෙන ආ යුතුය. එසේ නොමැති නම් මැරෙන්නේ අපේම රටේ කොල්ලන් හා කෙල්ලන්ය. සිංහල වේවා දෙමළ වේවා අපේම සහෝදර සහෝදරයින්ය. (LTTE නායකයින් හැරුණු විට බොහෝ සටන් කාමීන් ඔවුන්ගේ කැමැත්තකින් තොරව බලෙන් ත්‍රස්තවාදීන් බවට පත් කරනු ලැබූ අහිංසකයන් පිරිසකි. වෙන විකල්පයක් නැති කමට, තමන්ගේ කැමැත්තකින් තොරව, ආයුධ අතට ගත් මොවුන් බුරුතු පිටින් මරා දැමීම තරම් අපරාධයක් තවත් තිබේද? තමා අනුකම්පා විරහිතව මරා දමන්නේ තමන්ගේ දරුවන්ගේම වයසේ තරුණ තරුණියන් පිරිසක් බව රාජපක්ෂට හිතෙන්නේම නැත්ද? )

    සිංහල හා දෙමළ ජනතාව අතර ඇතිවන අවබෝදයකින් තොරව ජනවාර්ගික ගැටළුවට කිසිදු විසඳුමක් නැත.

    අවසානයට වෛරයෙන් වෛරය නොසංසිඳෙන බව කීවේ බුදු හාමුදුරුවන්ය. අප නොවේ. එසේනම් උන්වහන්සේද කොටින්ට කඩේ ගොස් ඇත.

  10. මෙම බ්ලොග් අඩවිය ආරම්භ කරන දිනවල මා සි‍‍ටියේ බරපතල කලකිරීමෙනි. සියල්ලන් යුද්ධයේ නරඹන්නන් වී මළ මිනී ගණන් කරමින් සි‍ටි ඒ දිනවලට වඩා යුද්ධයේ බිහිසුණු කම දැන් සමාජය අවබෝධ කරගනිමින් සිටිති. මගේ බ්ලොග් සටහනට තම අදහස් එක් කරන සහෘදයන්ගේ ස්වරය මට ඇති කරන්නේ ජීවිත තෘප්තියකි.

    අසභ්‍ය ප්‍රතිචාර හා නන්දෙඩවිලි, විචාර ලෙස පළ වූ යුගය අවසන් වෙමින් දැන් සංවාදශීලී නැවුම් අදහස් මගේ බ්ලොග් අඩවියට එක් වීම කෙතරම් නම් භාග්‍යයක් ද? එය ගැඹුරින් සිතා බැලීමේ දී විග්‍රහ කළ හැක්කේ 56 දරුවන් ද 78 දරුවන් ද පරාජය කරමින් 71 දරුවන් ලැබූ ජයක් ලෙසය.

    සග, වෙද, ගුරු,ගොවි, කම්කරු බලවේග එක් කරමින් 1956 දී බණ්ඩාරනායක බිහි කළේ හැකරුලි සමාජයයක් බව කුසල් පෙරේරා කොහේදෝ ලියා තිබුනා මට මතකය. ඒ අර්ථයෙන්ම 1978 දී ජේ. ආර්. ජයවර්ධන ඇති කළේ ද ලූම්පන් සමාජයකි. මට හිතෙන හැටියට උපරිමය නොවූවත් ලාංකික දෙශපාලන ක්‍රමය ගැන භෞතිකව හිතන හා සමාජය වෙනස් කිරීමේ ලා කායිකව මහන්සි වන සමාජ සංස්කෘතියක් බිහි කළේ 1971 දරුවන් ය.

    එහි සුජාතත්වය හිමිවිය යුත්තේ රෝහණ විජේවීරට ද සිරිමා බණ්ඩාරනායකට ද යන්න පැවැසීමට මම ඉක්මන් නොවෙමි. නමුත් 1971 දී ජනතා විමුක්ති පෙරමුණත් සමගි පෙරමුණු ආණ්ඩුවත් හවුලේ ඇති කළ විනාශය අතුරින් නැගී සිටි 71 දරුවන් සාපේක්ෂව දේශපාලන වශයෙන් සංස්කෘතික ය, විචාරශීලී ය, බුද්ධිමත් ය. ඒ අර්ථයෙන් 71 දරුවන්ගේ දේශපාලන සංස්කෘතිය ගැන සතුටුවිය හැකිය.

    මා මෙම බ්ලොග් අඩවිය ලියමින් සතුටින් සිටින්නේ 71 දරුවන්ගේ සංස්කෘතිය අගයන සහෝදරවරු කිහිපදෙනෙක් ගේ ප්‍රතිචාර නිසාය.ඒ නිසාම ඔහුන්ගේ අදහස් විවාද සම්පන්නය, ගැඹුරු ය, විෂයානු බද්ධය, අන් මත වලට ගරු කරන සුළුය. එසේම ආවේගශීලී වචන යොදාගනිමින් අන්‍යයන් හාස්‍යයට ලක් නොකරති. පුදගලිකව පහර නොදෙති.

    නාමල් උඩලමත්ත වැන්නවුන් ගැන මා කනගාටුවන්නේ මගේ අදහස් වලට ප්‍රතිවිරුද්ධ මත දරන නිසා නොවේ. මගේ බ්ලොග් අඩවියට අදහස් එක් කළ ඔහුද ඇතුලත් අතේ ඇගිළි ගණනටත් වඩා අඩු සහෝදරවරුන් කිහිප දෙනෙකුට දේශපාලන සංස්කෘතියක් නොමැති කමින් සමාජයට සිදු කරන හානිය ගැන මා පත්ව ඇත්තේ මහත් කම්පනයකටය.

    1978 දරුවන් නියෝජනය කරන මේ පිරිස විෂය කරුණු අධ්‍යනයක නොයෙදේ. ඒ නිසා දැනුමෙහි ගවේෂනයක ද නොයෙදේ. එවිට අන් මත නො ඉවසන අතර අසභ්‍ය ලෙස පුදගලිකව පහර දීම පමණක් සිදු කරති. මෙය බුද්ධිමය භාෂණය නොවේ.විෂය ගත භාෂණයක යෙදී සමාජයට බුද්ධිමය මෙහෙවරක් කිරීමට මොවුහු නොදනිති. ඒ 78 දරුවන්ගේ වරදක් නොව 1978 දී ඇති කළ දේශපාලන සංස්කෘතියේ වරදකි.

    මගේ සටහනට තම අදහස් එක් කරන කසුන් හා අනුරාධ විෂය ගත විවේචනයක යෙදෙන විට නාමල් ආවේගශීලීව කියවන්නේ මේ නිසාය. ඔහුට තම අදහස් ආවේගයන්ගෙන් තොරව පැවැසීමට කිසිවිටෙක නොහැක. අපේ ලොජික් බ්ලොග් සටහන ලියන්නා ද ඊට නොදෙවෙනි ය. මෙවැනි දෙතුන් දෙනෙක් කොළඹ විශ්ව විද්‍යාලය ආශිතව ද සිටී. ශ්‍රාස්ත්‍ර ගවේෂනයේ ලා නොදැමුණු ඔවුහු ද මතවාදී ත්‍රස්තවාදී ක්‍රම අනුගමනය කිරීමට ගොස් දැන් නිහඩව සිටිති.

    කෙසේ වුවද යම් කිසි අදහසකට විෂයානු ගත පිළිතුරක් ලබා නොදී නන්දෙඩවීම මගින් සමාජ ප්‍රගමනයට කිසිම දායකත්වයක් ලබා නොදේ. මා මගේ බ්ලොග් සටහනේ දී නැගූ ප්‍රශ්නයට විෂය ගත පිළිතුරක් තවමත් ලැබී නැති නිසා එම ප්‍රශ්නය මෙවරද ඉදිරිපත් කරමි.

    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදියෙක් නොවන්නේ මන්ද?

    ශාන්

  11. අප පැවසූ කරුණු සාධක සහිතව නිෂ්ප්‍රභ කරනු වෙනුවට මට චරිත සහතික ලිවීමට දරන වෑයම ගැන කනගාටු වෙමි. සිය අදහස් වෙනුවෙන් සිය නමින් පෙනී සිටීමට නොහැකි පිසාචයින්ගෙන් ලැබෙන සහතික අපට තුට්ටුවක් නොවටී. කෙසේ වුව ද අවසන කීමට කරුණු කිහිපයක් ඇත.

    *ලේනාඩ් වුල්ෆ් උපුටා දැක්වීමට විජේසිංහල බෙලිගල්ල ඉතිහාඥයෙක් වීම අවැසි නැත. කෝල්බෲක් උපුටා දැක්වීමට වුල්ෆ් ඉතිහාඥයෙක් වීම ද අවැසි නැත. මේ කරුණ අවබෝධ කරගැනීමට ඉස්කෝලේ 8 පාස් දැනුමට වැඩි යමක් අවශ්‍ය කෙරෙන්නේ ද නැත.

    *ඉබන් බතුතා මෙරටට පැමිණියේ කි.ව.1344 දි පමණ ය. මාඝ ඇතුළු විවිධ චෝළ ආක්‍රමණ නිසා මේ වන විට රට ඉතාම දුර්වල අවධියෙකි පසු කළේ. එහෙයින් බතුතා හුදු සාධකයක් ලෙස ගෙන ඉතිහාසය විශ්ලේෂණය කීම සපුරා වැරදි ය. එය එළාර සමය පදනම් කරගෙන මේ රටේ පැවතියේ ද්‍රවිඩ පාලනයකැයි කීමට නොදෙවෙනි මුග්ධ ප්‍රකාශයෙකි. නැතහොත් 2005ට පෙර කතරගම සිට පුත්තලම දක්වා මෙරට ඊළාම් රාජ්‍යයක් තිබිණැයි කීම වැනි ය. (2002 දොන් ජුවාන්ගේ තෑගි ඔප්පුව මගින් ලියා දුන් පෙදෙස)අඩු තරමේ අපේ රටේ බස නොදත් දින කිහිපයක් මෙරට රැදී සිටි විදේශීකයින්ගේ විස්තර ඇසුරින් යථාව මතුකර ගැනීමට අවැසි කෙනෙකුට නම් එදාමෙදාතුර මෙරට ගැන වාර්තා තැබූ බහුතරයක් දෙනා හැදෑරිය යුතුව තිබිණි. කෙසේ වුව ද බතුතා පවා මෙරට අග රජු ලෙස කුරුණෑගල රජු හදුන්වන අතර එවකට ඉන්දියන් සාගරයේ යාත්‍රා කළ යාත්‍රිකයින් ආර්යචක්‍රවර්ති හදුන්වන්නේ මුහුද කොල්ලකරුවෙකු ලෙස ය. වැඩි විස්තර සඳහා ඩී.පී. පොන්නම්පෙරුමගේ ‘විදේශීන් දුටු පුරාණ ලංකාව’ සයිමොන් ද සිල්වාගේ ‘ලංකා කථාව’ කෘති බලන්න.

    *බුදුන්වහන්සේ දාර්ශනිකයෙන් ලෙස පැවසූ ධර්ම කරුණු සිය ත්‍රස්ත අදහස් සනාථ කිරීමට ගණිකා වෘත්තියේ යෙදවීම ගැන අපි කනගාටු වෙමු. උන්වහන්සේ එවකට පැවති භාරතීය රාජ්‍ය පාලනය හා සම්බන්ධ ගැටළුවලට කිසිසේත් අත නොගැසූ අතර භික්ෂූන්ට පවා රාජ කතා චෝර කතා අකැප යයි දෙසූ සේක. ඒ රටේ භෞතික පාලනය සහ පුද්ගල විමුක්තිය පදනම් කරගත් සිය දර්ශනය පිළිබඳ අන් හැමට වඩා හොඳින් උන්වහන්සේ දත් හෙයිනි. අනෙක් අතට ලංකාවට බුදුදහම ලද පසු එය දේශීය ආගමක් ලෙස සිංහල බුද්ධාගම ලෙස මුල් බැස ගත් අයුරු අවබෝධ කරගැනීමට කැමැත්තන් වල්පොල රාහුල හිමියන්ගේ ‘භික්ෂුවගේ උරුමය’ කෘතිය කියවත්වා.

    *නේපාලයේ ප්‍රචණ්ඩ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් වූයේ ද අවි බිම තබා සාකච්ඡා කිරීමෙන් බව මේ බයිලකාරයින්ට මතක් කර සිටිමු. වරක් අප හා සංවාදයට එලැඹි තවත් ත්‍රස්ත අඩවියක් තරගෙන යන sam නැමැත්තා ප්‍රකාශ කළේ අප නිතර සුද්දන්ට බනිමින් එංගලන්තයේ මාක්ස් ගොයියා උපුටා දක්වන බවයි. මාක්ස් එංගලන්ත ජාතිකයෙත් බව සොයාගත් ඒ මහතා මෙන් ම යමක් උඩින් පල්ලෙන් අතගා ලියන තුප්පහි කීපදෙනෙක් අද සිටිති. තුප්පහි යනු තෝල්කයා යන අරුතින් නොව සිය මාතෘ භූමියට ද්‍රෝහී වන නිවටයා යන අරුතින් මෙහි යෙදු බව සලකන්න.

    *ජනාධිපතිතුමා ත්‍රස්තවාදීන්ට අවි බිම තබා අද වුව සාකච්ඡාවට එන්නැයි පවසා තිබේ. එසේ පැමිණේ නම් කිසිම ගැටළුවක් නැත. අප විරුද්ධ රට බෙදීමට ය. අපේ ජනාධිපති එසේ පවසන කල ඉන්දිය අගමැති පැවසුවේ ත්‍රස්තවාදීන් සමඟ කිසිදු සාකච්ඡාවකට තමන් සුදානම් නොමැති බව ය. මෙය කෙතරම් ත්‍රස්ත ප්‍රකාශයක් ද?

    *එහෙයින් හැකි නම් අසල්වැසි ඉන්දියාවේ අහිංසක ත්‍රස්තවාදීන් සමඟ වහා සාකච්ඡා අරඹන ලෙස මන්මෝහන් සිංට දන්වා යවන මෙන් ද ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මන්ද ත්‍රස්තවාදය ඇති වන්නේ හේතුවක් ඇතිව ය. ඉන්දියාව එය අවබෝධ කරගත යුතු ය. බුදුන් උපන් රටේ ‘වෛරයෙන් වෛරය නොසන්දිඳේ’ යයි බුදුන් ශ්‍රී මුඛයෙන් වඳාළ රටේ මේවාට ඉඩ දිය නොහැකි ය. දෙසීයක් මැරුවා කියා ඒ අහිංසක සූකිරි බටිල්ලන්ට වෙඩි තැබීමට ඉන්දිය හමුදාවට අණ දීමට අගමැතිට බලයක් නැත. මෙය වූ කලි ඉන්දිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතානාන්විතව උල්ලංඝනය කිරීමෙකි. මූලධර්මවාදී හින්දු මහා ජාතිය සුළු මුස්ලිම් ජාතිය සංහාරය කිරීමකි.

    *එහෙයින් අසරණ මට කියන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කරන අගමැති මන්මෝහන් සිං ත්‍රස්තවාදියෙක් නොවන්නේ මන්ද?

    තව ද රටට ආදරය කරන මිනිසුන්ගේ ඉල්ලීම පරිදි නැවත ලස්කිරිඤ්ඤ භටයින්ගේ අඩවිවල නොලීමට තීරණය කළ බැව් පාඨකයින්ට දන්වා සිටිමි.

  12. ශාන්

    බොහෝ දෙනා ගඟ ගලන අතට පිහිනන කාලයක උඩුගං බලා පිහිණීම අමාරු දෙයකි.

    බොහෝ දෙනා ප‍්‍රධාන ධාරාවේ චින්තනයම අනුයන යුගයක ඊට විකල්පයක් වීම අමාරු එකකි.

    ඔබ කරමින් සිටින්නේ එයයි.

    බොහෝ දෙනෙකු නොදන්නා කාරණය නම් ඊළඟ යුගයේ සම්මතය වී ප‍්‍රධාන ධාරාවට ඇතුලූවනුයේ මේ යුගයේ විකෘතිය ලෙස සැළකූ කාරණාම බවයි. මේ අය පරිණාමවාදය කියවා නැතිවීම මේ නොදන්නා කමට එක් හේතුවක් විය හැකි ය.

    ඔබගේ බ්ලොග් අඩවියේ සටහන් සියල්ලට මා එකඟ නොවෙතත් බොහෝ අදහස් පිළිබඳව මගේ ගෞරවය ඔබට හිමිවේ. ලියන්න. දිගටම ලියන්න. මිනිසුන් නොයන නොසිතන දේ සොයා ලියන්න.

    තනිව නැති බව හැෙඟන්නේ බුමුතුරුණු වැනි බ්ලොග් අඩවි බලන විට ය.

  13. කමල් අයියා හොඳට සිංහල ලිව්වට කියවන්න බෑ වගේ. නැත්තන් ඉතින් නාමල් මෙච්චර පැහැදිලිව කියද්දි පැහැදිලි නෑ කියන්නේ ඒකනේ. අවේගශිලි වුනා කියලා අදහස් අපහැදිලි වෙන්නේ නෑ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s