කරු ආව නිසා හිරු පායයි ද?


spotlightpic1මෙරටේ ප්‍රධානම විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂ රෙජීමයේ පහත සදහන් කටයුතු සම්බන්ධයෙන් පුදුමාකාර උනන්දුවකින් විරෝධය දක්වයි.

(i) ලෝක වෙළෙද පළේ තෙල් මිල පහළ බසිද්දී දේශීය වෙළෙද පළේ මිල අඩු නොකිරීම.

(ii) මාධ්‍යකරුවන්ට තර්ජන එල්ලවීම.

(iii) හෙජිං ගණුදෙනුව වැනි දූෂණ අක්‍රමිකතාවන්.

(iv) පළාත් සභා වැනි ආයතනවල ඡන්ද කලින් පැවැත්වීම හා මහ මැතිවරණය (පුළුවන් නම් ජනාධිපතිවරණය) හැකි ඉක්මනින් නොපැවැත්වීම.

මේ සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට යූඑන්පියට ඇති ගැම්ම රාජපක්ෂ රෙජීමයේ පහත සදහන් කටයුතු කටයුතු වලදී දක්නට නැත. නො එසේනම් ඇල්මැරුණු සුළුය.

(i) ජන ඝාතක යුද්ධයක් දියත් කරමින් පුරවැසියන් මරා දැමීම.

(ii) ආර්ථිකය කඩා වැටීම.

(iii) සමාජයේ පරිධියේ ජීවත්වන්නන් නොතකා හැරීම.

(iv) ආණ්ඩුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම.

(v) වර්ගවාදී, අන්තවාදී හා මහ ජාතිවාදී වෙමින් ඒකාධිපති ක්‍රමයක් කරා රාජ්‍ය ගෙන යෑම.

(vi) පුරවැසියන්ගේ මානව හිමිකම් වලට ගරු නොකිරීම/ජාත්‍යන්තර සම්මුතීන් නොපිළිගැනීම.

රටේ ජනතාව වැඩියෙන්ම සංවේදී කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය උනන්දු නොවන්නේ එම පක්ෂයේ බෙලහීන කම නිසා යැයි ඇතැම්හු කියති.එහෙත් එක්සත් ජාතික පක්ෂයේ අතීත කියුම් කෙරුම් සලකා බැලූ විට තේරුම් යන්නේ නොහැකියාව ඉක්මවා යන්නක් එම පක්ෂය තුළ ඇති බවය.

දෙමළ ජාතික අරගලයට ප්‍රජාතන්ත්‍රවාදී විසදුමක් ලබා දීම සම්බන්ධයෙන් සිංහල ස්වොත්තමවාදී කිසිම ආණ්ඩුවකට ප්‍රතිපත්තියක් තිබුණේ නැත. යූඑන්පී ආණ්ඩු වලට ද ඒ සම්බන්ධයෙන් ගැලවීමක් නොමැත. සියළු දෙනාම උත්සාහ ගත්තේ මිලිටරිමය විසදුමකින් හෝ දෙමළ ජාතික අරගලය කඩා විසුරුවා හැරීමෙන් හෝ ප්‍රශ්නයෙන් මග හැර යෑමට ය.

2001/2004 දී යූඑන්පී රෙජීමය විසින් එල්ටීටීඊ සංවිධානය හා සාකච්ඡා පැවැත්වූ කාලයේ දී රනිල් වික්‍රමසිංහ විසින් එම සංවිධානයට කප්පම් ගෙවූ බවත් රට පාවාදුන් බවත් දකුණේ දී අදත් පිළිගන්නා සත්‍යයකි. 2004 මහා මැතිවරණයේ දී දකුණේ සිංහල ඡන්ද තොග ගණනින් යූඑන්පීයට විරුද්ධව පාවිච්ච් වුනේ ද මේ හේතුව නිසාය. එහෙත් එල්ටීටීඊ සංවිධානය උතුරේ ඡන්ද වර්ජනයක් දියත් කරමින් 2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂට වක්‍ර සහායක් ලබා දුන්නේ මන්දැයි කිසිවෙක් ප්‍රශ්න කරන්නේ නැත.

දෙමළ ජාතික අරගලය ලෙයින් හා යකඩෙන් මර්දනය කරන මහින්ද රාජපක්ෂ රෙජීමයටත් වඩා දරුණු ලෙස මර්දනය දියත් කළේ රනිල් වික්‍රමසිංහයි. එම අවස්ථාවේ යුද්ධයක් නොපැවැතුන ද බටහිර රහස් ඔත්තුකරුවන්ට උතුරු නැගෙනහිර නිදහසේ ක්‍රියාත්මකවීමට ඉඩදෙමින් ද එමගින් එල්ටීටීඊ සංවිධානය බේද භින්න කරමින් ද ඊනියා සාම සාකච්ඡා පැවැත්වූයේ රනිල් වික්‍රමසිංහයි. කරුණා අම්මාන් එල්ටීටීඊයෙන් කැඩී ගිය අතර අවසානයේ ඇන්ටන් බාලසිංහම් විසින් රනිල් වික්‍රමසිංහව සමාන කළේ කපටි නරියකුට ය.

රට පාවා දුන් දොන් ජුවන් ධර්මපාල කෙනෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහව භෞතිස්ම කළත් ඇත්ත වශයෙන්ම ඔහු කළේ දෙමළ ජාතික අරගලය මර්දනය කිරීමට ජාත්‍යන්තර බලවේගයක් ගොඩනැගීම ය. සාමයට දෑත් දිගු කළ බවත් දිගු කළ සෑම දෑතක්ම එල්ටීටීඊය විසින් හපා කෑ බවත් දකුණේ ආණ්ඩු නිරතුරුව පවසති. එහෙත් සාමය සදහා දිගු කළේ පච්චා කෙටූ දෑත් බව අන්තවාදීහු පිළිගන්නේ නැත.

මේ අර්ථයෙන් රාජපක්ෂ රෙජීමයේ බොහොමයක් ප්‍රතිපත්තීන්ට එරෙහි වීමට යූඑන්පියට නොහැකිය. දෙමළ ජන අරගලය සම්බන්ධයෙන් ද, ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද , රාජ්‍යය ප්‍රජාතන්ත්‍රීකරණය සම්බන්ධයෙන් ද ආණ්ඩුව සමග ලොකු විරසකයක් යූඑන්පියට නැත.

යූඑන්පිය හැරදා ගොස් ආණ්ඩුවට එක් වූ කරු ජයසූරිය පෙරලා තම නිවෙසට පැමිණ නියෝජ්‍ය නායකත්වය භාර ගන්නේ මෙවන් මොහොතකය. එම පුනරාගමනය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී හා මානව හිමිකම් වෙනුවෙන් සංවේදීව කටයුතු කරන පීඩිත සමාජ තීරුව තුළ නැවුම් බලාපොරොත්තු ඇති කරන්නේ නැත. ඇත්තෙන්ම කරුගේ ආගමනය මෙම සමාජ තීරුවට අදාළ වන්නේ ද නැත.

කරු ජයසූරිය යූඑන්පියට නැවත එක් වෙමින් නිකුත් කළ පළමු ප්‍රකාශයෙන්ම පැහැදිළි කළේ තමන් රාජපක්ෂ රෙජීමය දියත් කරන යුද්ධයට එකග බවය. එහෙත් උග්‍ර වන ආර්ථික අර්බූදය හමුවේ තමන්ට තව දුරටත් ආණ්ඩුව තුළ රුදී සිටිය නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළේය. ආර්ථික අර්බූදය යුද්ධයෙන් වියුක්තව විග්‍රහ කළ නොහැකිය යන්න නොතේරීම කරු ජයසූරියගේ වරදක් නොවේ. එය ලුම්පන් දේශපාලන සංස්කෘතියේ වරදකි. ඒ අර්ථයෙන් මහින්ද රාජපක්ෂ වේවා රනිල් වික්‍රමසිංහ වේවා මේ දෙපාර්ශ්වයම දේශපාලන වශයෙන් සිටින්නේ එකම ස්ථාවරයක බව සදහන් කළ යුතුය.

මේ මොහොතේ දී ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිය තුළ රික්තයක් පවතී. ඒ රික්තය පිරවීමට නම් බහු ජන ව්‍යාපාරයක් අවශ්‍යය ය. යුද්ධය නතර කර තිම්පු මූල ධර්මයන්හි දිගුවක් වූ ඔස්ලෝ එකගතාව මත විසදුමක් සදහා සාකච්ඡා ආරම්භ කිරීම, රාජ්‍යය වහා ප්‍රතිසංවිධාන කිරීම, සමස්ත ආර්ථිකයෙන් පිට මං කරනු ලැබූ පරිධියේ ජීවත්වන්නන් ගැන සංවේදී වීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම ඇතුළු සංයුක්ත දේශපාලන වැඩ පිළිවෙලක් මේ සමාජ ව්‍යාපාරයේ පදනම විය යුතුය.සිංහල බහුතර ජාතිය තුළ ද දෙමළ හා අනෙකුත් සුළුතර ජාතීන් තුළ ද සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් සදහා ක්‍රියාකාරී තීරුවේ බලමුළු ගැන්වීමකින් මෙවැනි සමාජ ව්‍යාපාරයකට නායකත්වයක් ලබා දිය හැකිය.

ඒ හැරෙන්නට කරු ආ පමණින් හිරු පායන්නේ නැති බව සක් සුදක් සේ පැහැදිලි ය.

Advertisements

2 thoughts on “කරු ආව නිසා හිරු පායයි ද?

  1. වර්ගවාදීව මහ ජාතිවාදීව අන්තවාදීව ආණ්ඩුව ක්‍රියාත්මක වනවා යන්න මම පිලිනොගනිමි.
    වඩාත්ම වර්ගවාදීවත් , ජාතිවාදීවත්, අන්තවාදීවත් හැසිරෙන්නේ ත්‍රස්තවාදී ප්රභාකරන් බව නොපෙනීම බාහුගේ කන්නාඩියෙන් බැලීමකි.
    ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයෙන් හැර පිලිතුරු දෙන්නේ කෙලෙසකද ?.
    ඔබ ඊලම දෙන්න අනියමින් කියනවාද ?.
    1971 සහ 1989 ජවිපෙ මර්ධනය කල අන්දම නොදන්නේනම් කියවා හෝ බැලිය යුතුය. වර්තමානයේ ආණ්ඩුව කටයුතු කරන්නේද ඒ අයුරින් ජවිපෙට වඩා දරුණු ලෙස සංවිධානයවු සංවිධානයක් සමග බව අමතක නොකලයුතුය.
    ප්‍රභාකරන් අමතන්නේත් , සන්නද්ධබ කර ඇත්තේ ජවිපෙ සන්නද්ධ කල ජවිපෙ විසින් ඇමතූ තරුන කොටසටම බව ඔබ පැහැදිලිව දැක නැත. විජේවීරට වඩා දක්ෂ ලෙස ප්‍රභාකරන් ත්‍රස්තවාදය හසුරුවන අතර උතුර සහ නැගනහිර වෙරලේ සම්පත් දෙස බලා සිටින විදේශික බලවේගවල උවමනාවන් ඉටු කිරීමේ අභිලාෂයෙන් ක‍ටයුතු කරන බව ඔබ නොදකින්නේ ජාතියේ කරුමයට විය යුතුය.
    එම විදේශික බලවේග ප්‍රභාකරන්ගේ පැවත්මට උදව් උපකාර කරන අන්දම පිලි නොගන්නේ නම් එය නොදැනුවත් කමක්වනු ඇත.
    දෙමල ජාතිවාදී අරගලය නිර්මාණයකර පවත්වාගෙන යාමේ අරමුණ කා උදෙසාද ? යන්න පැහැදිලිව පෙනෙන්නකි.
    දෙමලවු පමනින් මේ රට තුල යම් නොපිලිගැනීමක් ඇති කලා නම් එය සිදුකලේ දෙපාර්ශවයේම දේශපාලකයන් විසින්ය. ඔවුන්ට චන්ද ප්‍රමානය හැර වෙනත් දැක්මක් නොමැත.
    එසේ නොමැතිව ජනතාව අතර සහෝදර හැගීමක් මිස විරෝධාකල්පික හැගිමක් ජනවර්ග අතර නොමැත. ජාතිවාදී ගිණි අවුලන ලද ඉතිහාසය හාරනවිට මතුවන ඇටසැකිලි අතර සිටින්නේ දේශපාලකයන් සහ ඔවුන්ගේ පාතාලයන් බව හදුනාගත හැක.
    මේ මොහොතේ දී ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිය තුළ රික්තයක් පවතී. ඒ රික්තය පිරවීමට නම් බහු ජන වෆපාරයක් අවශ්‍යය.ඔබේ අදහසයි.
    මේ රික්තය පිරවිමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැසිරෙන ස්වරූපය ඔබ නිරීක්ෂණය කර ඇත්ද ?.
    වරෙක චන්ද්‍රිකා කරලියට ආවෙත් මෙවර මහින්ද කරලියට ගෙනාවෙත් ඒ බහු ජන ව්‍යාපාරයි.එහෙයින් නව බහු ජන ව්‍යාපාරයක් බිහි කිරිම අවශ්‍ය නොවන අතර ඉබේටම අවශ්‍ය විට ජනතා කැමැත්ත මත බහු ජන ව්‍යාපාර බිහිවනු දක්නට ඇත.
    විධායකය නිර්මානය කරමින් ජේ.ආර්. මැතිදුන් කර ඇති ප්‍රාතිහාර්ය මත පාර්ලිමේන්තු මැතිවරණයකදී අපි මොන පිලට චන්දය දුන්නත් පාර්ලිමේන්තුව තුල විධායකයට අවනතවන කන්ඩායමක් බිහිකර ගැනීම පහසු කටයුත්තකි. අපේ චන්දයෙන් කිසිම පක්ෂයයක් පාර්ලිමේන්තුවේ කිසිදා බලවත් නොවනු ඇත.
    මෙවර ආණ්ඩුවට ජවිපෙය කොකා පෙන්නන විට හිරු පෑව්වෙත් ජවිපෙයට ආණ්ඩුව කොකා පෙන්නුවිට හිරු බැස ගියේත් අත්භුත බලවේග‍යකින් විය නොහැකිය. රනිල් , කරු ආණ්ඩුවට එකතුවු දිනට පෙර දින ජනාධිපතිවරයා සමග සාකාච්චාවකට පැමින පිටව ගියා මතකද ?.
    මෙවර රනිල් ජනාධිපතිවරයා සමග සාකාච්චාවකට පැමින ගිය පසු කරු නැවත කරුගේ මහ ගෙදරට ගියේය.අපි මග නතරවිය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s