ගුණදාස අමරසේකරගේ දත් කැක්කුම.


Gunaදෙමළ ජනතාවට සුවිශේෂී වූ දේශපාලන ප්‍රශ්න පවතින බවත් ඒ සදහා සාධාරණ දේශපාලන විසදුමක් ලබාදිය යුතු බවත් 1977 වනතුරුත් පිළිගත්තේ අතලොස්සකි. ඒ අර්ථයෙන් බහුතරයකගේ මතය වූයේ දෙමළ ජාතික අරගලය හුදු ත්‍රස්තවාදයක් පමණක් බවත් එය අවි බලයෙන් මර්දනය කළ යුතු බවත් ය. ජේ.ආර් ජයවර්ධන රෙජීමයේ සිට විජේතුංග රෙජීමය දක්වා රාජ්‍යයේ මතවාදය ගොනැංවූයේ මේ පදනම මතය. ” ජනවාර්ගික අර්බූදයක් නැත. ඇත්තේ ත්‍රස්තවාදයක් පමණි” යැයි පවසමින් “මේ කප පවතින තුරු ඒකීය භාවය රුකීමට” 1994 දී ත් විජේතුංග රෙජීමය උද්දච්ච විය.

එහෙත් පොදු ජන එක්සත් පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් 1994 මහා මැතිවරණයේ දී තරග බිමට ආවේ මෙකී සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයට පයින් ගසමිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක පමණක් නොව ගාමිණී දිසානායක ද දෙමළ ජනතාවට දේශපාලන ප්‍රශ්න ඇති බව පවසමින් ඒ සදහා රාජ්‍යය ප්‍රතිසංස්කරණය කළ යුතු බව පැවසූහ. ඉන් නොනැවතුන ඔවුහු ඒ සදහා ප්‍රතිසංස්කරණ යෝජනා ද ඉදිරිපත් කළහ.

ඉතිහාසය වෙනස් ආකාරයකින් ලිවීම ආරම්භ වූයේ හුදු ස්වයං සිද්ධව නොවේ. මේ සමාජයේ බහුතරයකගේ ත් දේශපාලන නායකයන්ගේ ත් මතවාදයන් වෙනස්වීම සිදුවූයේ සමාජය රුධිරයෙන් හා කදුළෙන් ගෙවූ වන්දියට සමගාමීවය ය. ඒ සදහා දෙමළ ජාතික අරගලය විසින් රාජ්‍යයේ යාන්ත්‍රණයට ය‍ක‍ඩෙන් හා ගින්දරෙන් එල්ල කළ අභියෝගය ද නොතකා හැරිය නොහැකි තරම් ය.

2005 දී බලයට ආ රාජපක්ෂ රෙජීමය විසින් ආ පිට හැරවූයේ සමාජය අති විශාල කැප කිරීමකින් ලබා ගත් ඒ සා විශාල ජයග්‍රහණයන් ය. මේ මොහොත වනවිට රාජ්‍යයේ මතවාදය සකස් කර ගෙන ඇත්තේ මුළුමනින්ම සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය මත ඉදිමිනි. ඒ සදහා මහින්ද රාජපක්ෂට දර දිය ඇද දෙමින් මහන්සිවීමට ඇති තරම් න්‍යායාචාරීහු සිටිති.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍යාචාර්ය ගුණදාස අමරසේකරයන් පසුගිය දා පුවත් පත් සාකච්ඡාවක් අමතමින් රාජපක්ෂ රෙජීමයේ වර්ගවාදී මතවාදයට එරෙහිව එල්ල වන කැට කැබලිති ගැන නොමනාපයෙන් කතා කර තිබුණි. සර්ව ආගමික සංවිධානයේ පූජකවරුන් කිහිපදෙනකු පවසා තිබූ අදහස් සම්බන්ධව තම විමතිය පළ කරමින් වෛද්‍යාචාර්ය අමරසේකරයන් දැක් වූ අදහස් ලංකාදීප පත්‍රය වාර්තා කර තිබුණේ මෙසේ ය. ” දේශපාලන විසදුමක් දෙන්න (දෙමළ ජනතාවට) තිබෙන ප්‍රශ්නය කුමක්දැයි හෙළි කරන ලෙස මා විමලරතන හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ලබා දෙන දේශපාලන විසදුම කුමක්ද කියලත් හෙළි කරන්න ඩ්නෑ”

රුධිරය හා කදුළු හරි හරියට හෙලමින් අපේ සමාජය ලබා ගත් ජීවිත අත් දැකීම තවමත් නිසි පරිදි තේරුම් ගැනීමට ගුණදාස අමරසේකරයන්ට නොහැකි වීම නිසා එහි වන්දිය ගෙවීමට සිදුවී ඇත්තේ මේ කිසිදෙයක් හාංකාවිසියක් හෝ නොදන්නා අහිංසක රටවැසියන්ට ය. දෙමළ ජනතාවට ඇති දේශපාලන ප්‍රශ්න රාජ්‍යයේ න්‍යායාචාරීන් තවමත් නොදන්නේ නම් සමාජයක් ලෙස අප ගමන් ගනිමින් සිටින්නේ පතුලක් නොපෙනෙන අගාධයකට බව මේ න්‍යායාචාරීහු කිසිදා තේරුම් ගන්නේ නැත.

එල්ටීටීඊය යුද්ධයෙන් පරාජය කිරීමේ රාජපක්ෂ රෙජීමයේ ඒකායන අරමුණ උදෙසා ගාත්‍රා හතරම ඔසොවා කැමැත්ත පළ කරන්නන් අතර සිටින්නේ ගුණදාස අමරසේකරයන් පමණක් නොවේ. ඒ සදහා ගොඩනගා ගෙන ඇති සමිති සංවිධාන අතර කප්පරක් සෙනග එක පෙළට සිට ගෙන සිටිති. මේ කප්පරක් සෙනගම පවසන්නේ දෙමළ ජනතාවට සුවිශේෂී වූ ප්‍රශ්නයක් නොමැති බවය. ඒ නිසා දෙමළ සටන්කාමීත්වය යකනේ හා රුධිරයෙන් පරාජය කළ යුතු බවය.

සුළුතර ජාතින්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීම ආරම්භ කරමින් ඩී.එස්.සේනානායක ආණ්ුව පුරවැසි පනත් ද්විත්වයක් ගෙන ආවේ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ වතු කම්කරුවන්ගේ ඡන්ද බලය අහෝසි කිරීමට ය. සිංහල දෙමළ භේදයක් නොමැතිව රාජ්‍යයේ මර්දනීය පනත් වලට එකග වෙමින් සියල්ලන් එක පෙළට සිටගනිද්දී සිංහල ස්වෝත්තමවාදී නායකයෝ කිහිප දෙනෙක් රාජ්‍යයේ වර්ගවාදයට හදවතින්ම විරුද්ධ වූ බව ඔහුන්ට කරන්නා වූ ගෞරවයක් වශයෙන් සටහන් කර තැබිය යුතුය.

පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමට ද දායක වූ ප්‍රමුඛ සිංහල බෞද්ධ නායකයකු වූ ශ්‍රී නිශ්ශංක අදාළ පනත් වලට විරුදධව ඡන්දය දුන්නේ මේ නීතිය ස්වාභාවික යුක්තියේ ප්‍රථම මූලධර්මයට පටහැනි බව ප්‍රකාශ කරමිනි. පැනවීමට යන නීතියේ අමානුෂික බව විග්‍රහ කරමින් පනත් වලට විරුද්ධව ඡන්දය දුන් මන්ත්‍රීන් අතර සිංහල බෞද්ධ මතවාදයක් වෙනුවෙන් පෙනී සිටි විල්මට් ඒ පෙරේරා, අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල හා ලක්ෂ්මන් රාජපක්ෂ ද වූහ.

එසේම හොරණ මන්ත්‍රීවරයාව සි‍ටි විල්මට් ඒ පෙරේරා 1956 දී මහජන එක්සත් පෙරමුණෙන් තරග නොකළේ බණ්ඩාරනායක ගේ සිංහල පමණක් වූ භාෂා ප්‍රතිපත්තියට විරුද්ධ වෙමිනි.

ඩ්නෑම ජාතියකට තමන්ගේ ජාතියේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය හැකිය. ජාතියක් වශයෙන් ගොඩ නැගීමට සංවිධානය විය හැකිය. එහෙත් වෙනත් ජාතීන්ගේ අයිතීන් උදුරා ගැනීම සදහා කිසිම ජාතියකට අයිතියක් නැත. ශ්‍රී නිශ්ශංක ද විල්මට් ඒ පෙරේරා ද අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල ද ලක්ෂ්මන් රාජපක්ෂ ද එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් හෝ පෙනී සිටියේ සිංහල බෞද්ධ මතවාදයක් වෙනුවෙනි. ඒ අර්ථයෙන් ඔවුහු සිංහල ජාතිකවාදීන් වුවත් සුළුතර ජනතාවගේ අයිතීන් උදුරා ගැනීමට එරෙහි වූහ. ඒ ඔවුහු වර්ගවාදීන් නොවූ බැවිනි.

ජාතියක් ගොඩනැගෙන්නේ ජාතිකවාදය මත මිස වර්ගවාදය මත නොවේ. ජාතිය,වර්ගය, කුලය වැනි නන් ආකාරයේ බෙදීම් මත වෙන්ව ඇතත් ඉන්දියානු සමාජය මුළු එකක් ලෙස ගොඩනැංවී ඇත්තේ ඉන්දියානු ජාතිකවාදය මතිනි. එහෙත් ඒ අර්ථයෙන් වූ ශ්‍රී ලාංකික ජාතියක් තවමත් මෙරට ගොඩනැංවී නොමැත. සිංහල ජාතියේ ගොඩනැංවීමක් ගැන කතා කරමින්ම වෙනත් ජාතීන්ගේ අයිතීන් පිළිගන්නා ජාතිකවාදයක් මෙරට නොමැති වීම පෙරලා හානිකර ඇත්තේ දෙමළ විමුක්ති ව්‍යාපාරයට පමණක් නොවේ. එය සිංහල සමාජයට ද සිදු කර ඇත්තේ බරපතල හානියකි.ප්‍රජාතන්ත්‍රවාදී සාර ධර්මයන් නොපිළිගන්නා මානව අයිතීන්ට ගරු නොකරන මිත්‍ර ශීලී නොවන ජාතියක් ලෙස සිංහල සමාජය හංචඩු ගැසෙමින් පවතින්නේ ඊනියා දේශප්‍රේමයක් වෙනුවෙන් පෙනී සිටින වර්ගවාදී සිංහල අතලොස්සකගේ ක්‍රියාකාරකම් නිසා ය.

වෛද්‍යාචාර්ය අමරසේකරයන් ගේ අදහස් දැක්වීම ශ්‍රී ලාංකික සමාජය පත්ව ඇති කාලකන්නි සහගත තත්ත්වයේ හෘදය ප්‍රකාශනය කි. තවදුරටත් සිංහල සමාජය සටන් කරන්නේ තම ජාතියේ අභිමානය සදහා නොවේ. දෙමළ සමාජයේ බිදවැටීම තුළින් ඇතිවන රික්තය හරහා ජාතියක් ලෙස ගොනැගීමට සිහින දැකීම නිවට කමකි. එහෙත් කොතෙක් බරපතල මතවාදී හා ප්‍රායෝගික ගැටළු ඇතත් අනෙකාගේ දුක හදුනා ගැනීමට සමත් සමාජ කුළකයන් බිහිවී තිබීම සතුටට කරුණකි.

අන්තර් ආගමික සංවිධානයේ සිහින් හඩ පුපුරා යන තරම් සුවිසල් ගෝරනාඩුවක් වී ඇත්තේ මෙරට දේශපාලන භූමියේ පවතින රික්තය නිසාය. වෙන් වෙන් වූ සමාජ කුළකයන් නගන මෙවැනි රාවයන්ට පුළුල් සමාජ ඉඩ කඩක් ඇති වෙන්නේ මේ හඩ නැගීම් වල එකතුවක් ඇති වූ විට ය. එහෙත් ඒ සදහා සමාජ ව්‍යාපාරයක් තවමත් බිහි වී නොතිබීම කණගාටුවට කරුණකි.

එවැන්නක් බිහිවන තාක් කල් සිංහල වර්ගවාදීන්ගේ දතේ කැක්කුම් සනීප වන්නේ ද නැත.

Advertisements

3 Comments

  1. කියවන්න මාර අමාරැයි… පුළුවන්නම් පයුබිම් හා ෆොන්ට් වර්ණ පොඩ්ඩක් වෙනස් කරනවද?

  2. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා ජාතියක ඉරණම ඛේදවාචකයක් වීම, නොවැලැක්විය හැකිය. අද අප ඒ ඉරණමට මුහුණ දෙමින් සිටිමු.

    සමාජයක් වශයෙන් අපි අද වල්මත් ව ඇත. උගත්, බුද්ධිමත් යැයි අප සිතා සිටි, සිතන මිනිසුන් පවා තවදුරටත් විචක්ෂණශීලී නැත. වරක් රෝහිත භාෂණ අබේවර්ධනයන් කී ලෙසම ලාංකීය සමාජයේ විචාරශීලීභාවය 80 දශකයෙන් මෙපිටට ශේෂ වී නොමැති බව සැබෑවක්ම බව වැටහෙන්නේ මේ ඊනියා බුද්ධිමතුන්ගේ ‘දක්ෂ, මුඛරි’ වාග්මාලාවට කන්දුන් පසුය. සමාජය තුලින් ඒවාට හරිහමන් ප්‍රතිවිරෝධයන් ජනිත නොවන විටය.

    එක් අතකට මෙය ඔවුන්ගේ වරදම නොවේ. මෙය සමස්ථයක් වශයෙන් අප සියල්ලන්ගේම වරදකි. මේ ආන්තික අධිපතිවාදී මතවාදයන් සමාජය තුල ස්ථාවර වන තෙක් නිවටව බලාසිටි, බලාසිටින සිවිල් සමාජයත්, අනෙකුත් කුදු මහත් සියල්ලන්ගේම වරදකි.

    මොවුන්ට අනුව දශක ගණනක ලේ වැකි ඉතිහාසයක් හිමිකර දුන් යුද්ධය වූ කලී එක් පාර්ශ්වයකගේ ත්‍රස්තවාදය පමණි. තමන්ගේ පාරිශුද්ධ බවත් අවුරුදු දෙදහස් පන්සියයක උරුමය ගැන නන්දොඩවන මේ ඊනියා උගතුන් කිසිවිටෙක පවතින අර්බුධය සමනය කරන්නට සංක්ෂිප්ත විසඳුමක් යොජනා කරන්නේ නැත.

    අර්බුධයේ ඉතිහාසය නොදන්නා වත්මන් තරුණ පරපුර වඩාත් තාර්කික ලෙස පෙනෙන මේ අධිපතිවාදී මතයන් කෙරෙහි ආශක්ත වීම නොවැලැක්විය හැකිය. එය එසේ වන්නේ අද අප දන්නා ඉතිහාසය ගොඩ නගා ඇත්තේ අතීත ශ්‍රී විභූතියත්, වත්මන් අධිපතිවාදී මතයනුත් මූලික කරගෙන පමණක් බැවිනි.
    රටක බුද්ධිමතුන්ගේ කාර්්‍යයක් විය යුත්තේ ඒ රටෙහි සමාජ ගැටළු හා තත්වයන් කෙරෙහි අවධානය යොමු කර ඒවා විශ්ලේෂණය කිරීම වුවද, අපේ සිදු වන්නේ එය නොවේ. NGO මුදල් වලටත්, තමන්ගේ සුවපහසු දිවියට බාධාවක් නොවන ලෙසටත් ඔවුන් තම තමන්ගේ කාර්්‍යයන් තුල නිහඩව ‍නිමග්නව සිටියි. එහෙත් ඒ කිසිවෙකුට වත් පසෙකින් ඇති ගිනිකන්ද නොපෙනෙයි.

  3. that is good.we should try to build a such kind of movement as soon as possible.if not our society go backward once again.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s