කඩේ යෑමට ඇති වීරවංශගේ හදිස්සිය


main7pic1රාජපක්ෂ රෙජීමයට සහයෝගය දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක පසුගිය දා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේ රට මුහුණ දී ඇති අභියෝගයන් ජය ගැනීම සදහා යැයි කියමිනි. ඒ පිළිබදව ජය ඝෝෂා නගමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කීවේ මෙය ඓතිහාසික අවස්ථාවක් බවය. විශ්‍රාම ගිය ත්‍රස්තවාදියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා අම්මාන් ද ගිවිසුම අත්සන් කළ දින ඓතිහාසික දිනයක් ලෙස හැදින්වූයේ දී කිරට බළලුත් සාක්කියි යන ආප්තය සිහිගන්වමිනි.

ගිවිසුම අත්සන් කරමින් පැවැත්වූ ශබ්ද පූජා අනුව මෙය ඉතිහාස ගත වන මොහොතක් වුවත් එය ආශ්වාදයෙන් සැමරීමට රටේ ජනතාව ඉදිරිපත් වූ බවක් දක්නට නොලැබුණි. ඒ ඔහුන්ට ඊට වා වැදගත් වැ රාජකාරීන් තිබූ නිසා විය හැකිය. ඒ තබා රාජපක්ෂ රෙජීමයේ අයිතිකාරයන්ට ද එය ආශ්වාදජනක නොවූවා වැනිය. වතුර කල පිළියම් කිරීමට කොහොල්ලා ගුලි තැබූව ද ගිලෙන්නා වූ නැවක පළුදු පිළියම් කිරීමට කොහොල්ලා ගුලි තැබීමෙන් පලක් නොවේ. ඒ බව රාජපක්ෂ සහෝදර සමාගම ද හොදින් දනී. එහෙත් විමල් වීරවංශ එය නොදනී.

2004 වර්ෂයේ එක්තරා දිනක මාර්ග මං සන්ධි පුරා කිරි බත් පිසිමින් විමල් වීරවංශ සතුටු වූයේ ද මෙවැනිම වූ ගිවිසුමක් අත්සන් කරමිනි. රනිල් වික්‍රමසිංහ පාවාදෙන රට රුක ගැනීම එම ගිවිසුමේ අරමුණ බව එදා විමල් වීරවංශ කීවේ 2002 දී අත්සන් කළ අවබෝධතා ගිවිසුම වැරදි කොනෙන් අල්ලා ගනිමිනි.

අවසානයේ දී බහුතර බලයක් තිබූ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් විසුරුවා හැරිණි. පාර්ලිමේන්තු බහුතරය වික්‍රමසිංහ ආණ්ුවට ඇති තාක් විසුරුවා නොහරින බවට කතානායකවරයාට ජනාධිපතිනිය විසින් ලබා දී තිබූ ලි�ත පොරොන්දුව ද පසෙකට දැමීමට කිසිවෙක් ලැජ්ජා නොවුණි. ධනපති ප්‍රජාතන්ත්‍රවාදී සාර ධර්මයන් කිසිම හිරිකිතයකින් තොරව නොතකා හැරීමට ආණ්ුවේ නායක නායිකාවන් සමග ජනතා විමුක්ති පෙරමුණ ද එක පෙළට සිට ගත්තේ ය.

දෑඅවුරුද්දක් යෑමට පෙර ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වී විරුද්ධ පක්ෂයේ අසුන් ගත්තේ සියළු බලාපොරුත්තු සුන් කරගනිමිනි.

රට රුක ගැනීමට යැයි කියමින් ඊයේ පෙරේදා තවත් ගිවිසුමක් අත්සන් කිරීමට විමල් වීරවංශට සිදුවූයේ පළමු ගිවිසුමේ අභාවවාචක අත්දැකීම් වල කදුළු වියළීමටත් පෙර වීම කණගාටුවට කරුණකි.

ජන ඝාතක යුද්ධයක් දියත් කරමින් වාර්ගික සමූල ඝාතනයක යෙදෙන, මානව අයිතීන් උල්ලංඝනය කරමින් ෆැසිස්ට් ඒකාධිපති පාලනයක යෙදෙන, සුළුතරයන්ගේ ජීවත්වීමේ අයිතියට අභියෝග කරමින් සිංහල මහ ජාතිවාදී රාජ්‍යයක් ගොනගන මේ අරභයා සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියළුම ජනතාවගේ ජීවත්වීමේ අයිතිය විනාශ කරන රාජපක්ෂ රෙජීමය ආරක්ෂා කිරීම විමල් වීරවංශගේ ආත්මික තෘප්තිය වී ඇත.

ඇමෙරිකන් එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් බුෂ් ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටන ඇරඹූයේ එක්සත් ජනපද කොල්ලකාරී ආර්ථිකයට ගැලපෙන අයුරිනි. එය කිසිවිටෙකත් ඊනියා ත්‍රස්තවාදයට එරෙහි වූ සටනක් නොවේ. ඒ නිසා සියළු සටන්කාමී සංවිධාන එකම බන්දේසියක තබා සැලකීම ඇමෙරිකන් විදේශ ප්‍රතිපත්තිය විය. වාසනාවකට හෝ අවාසනාවකට එක්සත් ජනපදය ලෝකය දකින්නේ කොයි ආකාරයෙන් ද ඒ ආකාරයෙන්ම ඇගේ සගයෝ ද ලෝකය දකිති. ඒ අර්ථයෙන් අශ්වයන් ද බූරුවන් ද කොටළුවන් ද ආදී වූ සියල්ලන්ම කොටළු රුළක් සේ දැකීමට ගෝලීය ධනපති පන්තිය පුරුදු වූහ.

එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය,ජපානය ඇතුළු රටවල් වලට මානවයාගේ අයිතීන්ට වඩා වැදගත් වී ඇත්තේ ඊනියා ත්‍රස්තවාදය විනාශ කිරීමයි. එක්තරා යුගයක මේ ත්‍රස්තවාදය පෝෂණය කළේ ද මේ රටවල් විසින් ම ය. එක්තරා ආර්ථික අවශ්‍යතා වලින් පිරි යුගයකට ගැලපෙන සේ ත්‍රස්තවාදය පෝෂණය කරන අතර තවත් ආර්ථික අවශ්‍යතා වලින් පිරි යුගයකට ගැලපෙන සේ ඒ ත්‍රස්තවාදයම විනාශ කිරීමට යෑම එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය වී ඇත.

මේ වනවිට ශ්‍රී ලංකා රාජ්‍යයේ ආකෘතිය තීරණය කිරීමේ හා එය ක්‍රියාත්මක කිරීමේ බලය දරන්නේ එක්සත් ජනපද පුරවැසියන් කිහිප දෙනෙකි. නැතහොත් එක්සත් ජනපදයේ රූකඩ කිහිපයකි. ඒ අර්ථයෙන් කොතෙක් දේශප්‍රේමයක් ගැන කතා කළ ද මේ රටේ ආණ්ඩු කරන්නේ ඇමෙරිකන් එක්සත් ජනපද ජුන්ටාවකි. ඇෆ්ඝනිස්ථානයේ හා ඉරාකයේ ත්‍රස්තවාදය පරදා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ අයුරින්ම මෙරටෙහි ද සාමය ඇති කිරීම ගෝලීය ධනපතියන්ගේ අරමුණ වී ඇත. රාජපක්ෂ රෙජීමයට දර දිය ඇදමින් විමල් වීරවංශ ද මහන්සි වන්නේ ගෝලීය ධනපතියන් හා එකට සිට ගැනීමටය.

එක් යුගයක දකුණු ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෝලීය ධනපතියන් සාර්ථකව කළ සටනේ දී විමල් වීරවංශට අහිමි වූයේ සීගිරිය නැරඹීමට තිබූ කදිම අවස්ථාවක් පමණි. එහෙත් අම්මාවරුන්ට හැට දහසක් දුවා දරුවන් අහිමි වුණි. ශ්‍රී ලංකා රාජ්‍යයේ කුළී හේවායෝ තමන්ගේම ජාතියේ සහෝදර ජනතාව ලෙයින් හා යකනේ මර්දනය කිරීමට කිසිම අයුරකින් පසුබට වූයේ නැත. ඒ කුළී හමුදාවම උතුරු ශ්‍රී ලංකාවේ දී වෙනත් ජාතියක ජනතාව මර්දනය කරන අයුරු විමල් වීරවංශගේ හදවත තුළ ඇති කරන්නේ ප්‍රමෝදයකි.

ඉතිහාසය තුළ මේ ප්‍රමෝදය ඇති වූ එකම දේශපාලකයා විමල් වීරවංශ පමණක් නොවේ. හිට්ලර්, මුසෝලනී ගේ පටන් ජෝර්ජ් බුෂ්ටත් මහින්ද රාජපක්ෂගේ පටන් වේළුපිල්ලේ ප්‍රභාකරන්ටත් මේ ප්‍රබෝධය ඇති වුණි. එහෙත් මිනිස් ඉතිහාසය ලියවී ඇත්තේ සුනඛයන්ගේ අසූච් ගද මතින් නොවේ. මානවයාට ආදරය කළ පුෂ්පිත වැනි මනුස්ස වර්ගයාගේ සුවදවත් ක්‍රියාකාරකම් තුළිනි. ජාතියක ලේ කදුළු හැළීමට සූදානම් වෙමින් ඝාණ්ඨාර පූජා නගන බොහෝ දෙනා නොදන්නේ ද එයයි.

දෙමළ ජනතාවගේ නිදහස් අරගලය මර්දනය කිරීමට අද අවශ්‍ය වී ඇත්තේ ගෝලීය ධනපති පංතියටයි.ඒ අර්ථයෙන් එල්ටීටීඊය විනාශ කළ පමණින් මෙරට ජනතාවට විමුක්තිය උදා වන්නේ නැත. සාමය සදහා සැබෑ වුවමනාවක් ඇත්තේ යම් කිසිවකුට නම් ඔහු කළ යුත්තේ ත්‍රස්තවාදය විනාශ කිරීමට ලෝක ධනේෂ්වරය හා එක පෙළට සිට ගැනීම නම් නොවේ. ඒ නිසා යුද්ධය තවදුරටත් පවත්වාගෙන යෑම වෙනුවෙන් කොයියම් ආකාරයකින් හෝ පෙනී සිටීම අර්ථ දැක්විය හැක්කේ පතුලක් නොපෙනෙන අගාධයකට වැටෙන රටෙහි වේගය වැඩි කිරීමට දරන වෑයමක් ලෙසිනි.

ඉතිහාසයේ සිදුවූ යමක් නැවත ඒ ආකාරයෙන්ම සිදුවීම එක්කෝ හාස්‍ය ජනක නාඩගමකි. නැතහොත් අති විශාල ඛේදවාචකයකි. මේ අවස්ථාවේ සිදුවෙමින් පවතින්නේ මේ සිද්ධින් ද්විත්වයම විය හැකිය.

Advertisements

6 Comments

  1. ලංකාවේ ත්‍රස්තවාදියෝ
    1.ප්‍රභාකරන් 2. කරුණා 3.පිල්ලෙයාන් 4. විමල් වීරවංශ 5. රාජපක්ෂ සහෝදරයෝ 6. ඩග්ලස් දේවානන්ද 7. සෝමවංශ(තාවකාලික නිද්‍රාව) 8. ITN + ජාතික රූපවාහිනිය+ ලේකිහවුස් 9. ඛණිජ තෙල් සමාගම 10. VAT Tax

  2. හා හා විමල්ගේ සහජ දක්ෂතාවට ඔය විදිහට ගරහන්න එපා. ඒ මිනිස්සුන්ටත් කාල ඇඳල ජොලි කරන්න දෙනවලකෝ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s