මැටි පූසන් මීයන් නො අල්ලන බව ලෝකයාම දනිති.


ranil
සුපුරුදු පරිදි වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණ වලින් ද ආණ්ඩුව ලබා ගත්තේ පහසු ජයකි. මැතිවරණ ව්‍යාපාරය පුරා උතුරේ යුද්ධයේ ජයග්‍රහණයන් ගැනම අවධාරණය කළ අතර රණ විරුවන් ධෙර්යමත් කිරීමට නම් එක්සත් ජනතා නිදහස් සංධානය ජයග්‍රහණය කර විය යුතු බව ආණ්ඩුව පැවැසීය.

යුධ ජයග්‍රහණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් ආණ්ඩුව සමග ආරෝවක් නොතිබුණ අතර එම දෙපක්ෂයම ආණ්ඩුව සමග එක පෙළට සිට ගත්තේ රණ විරුවන් ධෙර්යමත් කිරීමටය. ඒ නිසා මෙම මැතිවරණයේ දී ඔහුන්ට කියන්නට ඉතිරි වූයේ ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය ගැන පමණි. ඔන්න බිල්ලා මෙන්න බිල්ලා යැයි පවසමින් මෙම පක්ෂ දෙකම ඡන්දදායකයන් ඉදිරියේ හොටු පෙරාගෙන නහයෙන් ඇඩුවේ ආර්ථික අවපාතය ගැන සදහන් කරමිනි. එහෙන් මෙහෙන් අහුලාගත් ගැටළු කිහිපයක් ගැන සදහන් කරමින් අන්ධයන් අලියාගේ හැඩ රුව කී අයුරින් ආර්ථික ක්‍රමය විවේචනය කළා මිස ඒ සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තිමය විවේචනයක් හෝ ප්‍රතිපත්තිමය විකල්පයක් හෝ මේ පක්ෂ දෙකම ඉදිරිපත් කළේ නැත.

යුද්ධයක් පවත්වාගෙන යන විට ආර්ථික ගැටළු පැන නැගීම ස්වභාවිකය. එසේ තිබියදීත් විශාල ප්‍රමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන් රුසක්ම ආරම්භ කිරීමට හැකිවීම සතුටට හේතුවකි. මේ නිසා යම් යම් ගැටළු ඉවසමින් වුවද යුද්ධය ජයග්‍රහණය කරා ගෙන යෑමට ආණ්ඩුවට හැකි විය. එය රටේම ජනතාවගේ ජයග්‍රහණයකි. ඒ නිසා එක්සත් ජනතා නිදහස් සංධානය දිනවන්නැයි රාජපක්ෂයෝ ද ඔහුන්ගේ පරපුට්ටෝ ද ඉල්ලා සිටියහ.

මේ අවුල් වියවුල් මැද ඡන්දදායකයන්ගේ ඔළු ගෙඩි තුළ හොල්මන් කළේ සරල ප්‍රශ්ණ කිහිපයකි.

1. රනිල් වික්‍රමසිංහ හෝ සෝමවංශ අමරසිංහ හෝ ජනාධිපති වුවද ආර්ථිකය සමෘර්ධිමත් කර අපව සු‍බිත මුදිත කිරීමට ඔහුන්ට නොහැකිය. හොරකම් වංචා හැමදාමත් සිදුවේ. කවුරු ආවත් ඒවා නතර කරන්නේ නැත.

2. ලංකාවේ ආර්ථිකය කොහොමත් ගමන් ගන්නේ අගාධයටය. එය කොහේට ගමන් කළත් අපට කරන බලපෑම එක හා සමානය. ඒ නිසා ආර්ථිකය කඩා ගෙන වැටුනත් යුද්ධය ජය ගත යුතුය.

3. සෝමවංශ අමරසිංහට ජනාධිපති විය නොහැක. රනිල් වික්‍රමසිංහට එල්ටීටීඊය පරාජය කළ නොහැක. මේ නිසා යථාර්තය වන්නේ ආර්ථිකයේකඩා වැටීම ඉවසමින් වුවද යුද්ධය ජය ගැනීම සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කිරීමයි.

පසුගිය 14 වැනිදා වයඹ හා මධ්‍යම පළාත්වාසී ඡන්දදායකයන්ගේ සිත්වලට පීඩනයක් එක් කළ මේ කරුණු අවසානයේ ඡන්ද පත්‍රිකා පුරා දෝරේ ගලා යැවූ හැටි දැන් මුළු ලෝකයාම දනිති.

මුළු රටම ව්‍යසනයකට ඇද දමමින් ජනඝාතක යුද්ධයක යෙදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ පවුරු පදනම් සුන්නත් ධූලි කරමිනි. ජනතා විමුක්ති පෙරමුණ අහසින් පොළොවට ඇද දමමිනි.එහෙත් මැතිවරණය අවසන් වූ සැනෙන් වෙස්සන්තර ජාතකය කවි කර කීමට එ.ජා.ප.යත් ජ.වි.පෙ.ත් පෙරට ආවේ සම්ප්‍රදායානුකූලවයි. මැතිවරණය සාධාරණ බවද දේශපාලන විසදුමකින් මෙහා ජනවාර්ගික ගැටළුව විසදිය නොහැකි බව ද එස්. බී. දිසානායක පැවැසීය. යුද ජයග්‍රහණයන්ගේ ආහ්ලාදය මැද එසේ පැවැසීමට එක ධනපති නායකයකු හෝ ඉතිරිව සිටීම සතුටට කරුණකි.

ජනතා විමුක්ති පෙරමුණ කවදත් ජනඝාතක යුද්ධයට අත් දෙකම ඔසොවා සහාය පළ කරයි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද මීට සති කිහිපයකට පෙර යුද ජයග්‍රහණ සම්බන්ධයෙන් රජයේ හමුදාවන්ට ප්‍රණාමය පුදකරන ගමන්ම ජනධිපතිවරයාටත් සමස්ත අමාත්‍ය මණ්ඩලයටත් ස්තූතිය පළ කළේ යුද්ධයට අවශ්‍ය දේශපාලන කළමනාකරණය මනා ලෙස ඉටු කිරීම වෙනුවෙනි.

ඒ අර්ථයෙන් මේ පක්ෂ තුනම උතුරේ ජන ඝාතක යුද්ධයට එක හඩින් එකග වෙති. ඒ නිසා යුද්ධයට පක්ෂ කවර කණ්ඩායමකට හෝ ආර්ථිකයේ බිද වැටීම් ගැන කවරාකාරයෙන් හෝ ප්‍රශ්න නැගිය නොහැක. එසේම ගෝලීය ත්‍රස්තවාදය මර්දනය කිරීම සදහා ලෝක මහ බලවතුන්ගේ සහාය ලැබෙන අවදියක ශ්‍රී ලංකාවේ යුද්ධයට ද ගෝලීය සහාය ලැබේ. එවැනි තත්ත්වයක් තුළ රටේ ආර්ථිකය කඩා වැටෙන තුරු ලෝකයා බලා සිටින්නේ නැත. ගුවන් පාලම් ඉදිවන්නේ ද විදුලි බලාගාර ඉදිවන්නේ ද මහා මාර්ග ඉදිවන්නේ ද ලෝක ආධාර වල පිහිටෙනි.ඒ අර්ථයෙන් ආර්ථිකයේ වැටීම ගැන එල්ල වන චෝදනාවන්ට එරෙහි ආණ්ඩුවේ තර්කය සාධාරණය.

යුද්ධය ජයග්‍රහණය කරා ගෙන යා හැක්කේ මහින්ද රාජපක්ෂට පමණක් බව ඡන්දදායකයෝ තීරණය කර තිබේ. රනිල් වික්‍රමසිංහට හෝ සෝමවංශ අමරසිංහට හෝ එය කළ නොහැක. ඒ නිසා කුමන ප්‍රශ්න මධ්‍යයේ වුවද ආණ්ඩුවේ ජයග්‍රහණය ඡන්දදායකයන්ට ආශ්වාදයක් විය.

යුද්ධය බ්‍රමණාක්ෂය කර ගනිමින් දේශපාලනයේ යෙදෙන ඩ්නෑම පක්ෂයකට වයඹ හා මධ්‍යම පළාත්වාසී ඡන්දදායකයන් ලබා දී ඇති පණිවුඩය අතිශයෙන් වැදගත් ය. ඒ අනුව මේ මොහොතේ දී ඔහුන් කළ යුත්තේ තම පක්ෂ විසුරුවා හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනීමයි. එමගින් යුද්ධ කිරීම සදහා ජනාධිපතිවරයාගේ දෑත ශක්තිමත් කිරීමයි. නො එසේනම් ඔහුන්ට යාවජීවව විපක්ෂයේ කටයුතු කිරීමට සිදුවනු ඇත.

මන්ද මැටි පූසන්ට මීයන් ඇල්ලීමට නොහැකි බව ලෝකයාම දන්නා බැවිනි.

Advertisements

2 Comments

  1. දේශපාලන කුහකයින්ට ගත යුතු නිවෙරදි තිරනය ජනතාව දෑනටමත් ගෙන ඈත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s