ඉකි ගසා හඩා වැළපෙමු ද හ‍ඩ නගා සිනාසෙමු ද ?


barack-obama-31
රනිල් වික්‍රමසිංහ රෙජීමය යොදා ගනිමින් සටන් නැවැත්වීමේ ගිවිසුමක් අත්සන් කර එල්.ටී.ටී.ඊ සංවිධානය මර්දනය කිරීමට දැරූ තැත අසාර්ථක වීමෙන් පසු අන්තර් ජාතික ප්‍රජාව තම අරමුණ කරා යෑමට රාජපක්ෂ රෙජීමය දෙසට යොමුවුණි. ඒ අනුව එකිනෙකා පරයමින් අන්තර් ජාතික ප්‍රජාව විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් හමුදා පුහුණු කිරීම්, අවි ආයුධ ප්‍රදානයන් හා යුදමය බුද්ධි තොරතුරු රාජපක්ෂ රෙජීමය කිසිදා අමතක නොකරන බව නො අනුමානය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුදමය බලය ක්‍රමිකව ගිලිහෙමින් පවතින විට සමහර යුදමය හා දේශපාලන විචාරකයන් පැවැසුවේ මානුෂීය කරුණු ගෙනහැර පාමින් යුද්ධය අත්හිටුවන ලෙස ලක් රජයට විදෙස් ප්‍රජාව බල කරනු ඇති බවය. එල්.ටී.ටී.ඊ. යේ දේශපාලන උපක්‍රමය වූයේ ද දෙමළ යස්පෝරාව හා තමිල් නාු දෙමළ ප්‍රජාව උපයෝගී කරගෙන ප්‍රශ්නයට අන්තර් ජාතික ප්‍රජාවේ මැදිහත් වීමක් ලබා ගැනීමය. එමගින් යුද්ධය අත්හිටුවන ලෙස ලක් රජයට බලපෑමක් එල්ල කිරීමය.

තමිල්නාු ප්‍රජාව කෙතෙක් උද්ඝෝෂනය කළත් තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ තර්ජනයන්ට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව එකග නොවුණි.දෙමළ ඩයස්පෝරාවේ හ බටහිර රටවල් කෙරෙහි බලපෑමක් කිරීමට තරම් ශක්තිමත් නොවුණි. එල්.ටී.ටී.ඊ ය තම අභිමානවත් කිළිනොච්ච් අගනගරය හැර දමා මුලතිව් කැළයට කොටු වෙද්දී ද අන්තර් ජාතික ප්‍රජාව රාජපක්ෂ රෙජීමයට සහාය දැක්වූහ.

තමිල්නාඩුවේ පීඩනයෙන් මිදීමට තම නියෝජිතයකු වරින් වර ලංකාවට පිටත් කර එව්ව ද ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සපථ කළේ එල්.ටී.ටී.ඊයට එරෙහි යුද්ධයට තමන් පක්ෂපාතී බවකි. එපමණකින් නොනැවතුණ ඉන්දීය ආණ්ඩුව මිලිටරි පුහුණුව ද යුදමය ආධාර ද බුද්ධි තොරතුරු ද ලක් රජයට ලබාදුණි. ඉන්දීය විදේශ අමාත්‍ය ප්‍රනාප් මුකර්ජි පසු ගිය ඔක්තෝබරයේ දී ලොක් සභාව අමතමින් කීවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය යුදමය සහාය ලබා දීමට ඉන්දියාව සූදානම් බවත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට පකිස්ථානයට හා ච්නයට ඉඩ නොතබන බවත් ය.

ඉන්දියාව පමණක් නොව බටහිර බලවත් රටවල් ද බලය බෙදීමකින් යුත් දේශපාලන විසදුමක් ගැන කතා කළ බව සත්‍යයකි. එහෙත් සියළු කැපකිරීම් කරමින් මුළු වැර යොදා ඔවුහු කටයුතු කළේ රාජපක්ෂ රෙජීමය ගෙන යන ජනඝාතක යුද්ධය ශක්තිමත් කිරීමට ය.
උත්පාථ තිථි භංග යැයි බුදුහු දේශනා කළහ. ඇති වීම, පැවතීම හා නැතිවීම ලෝක සත්‍යයකි.රාජපක්ෂ රෙජීමයේ ජන ඝාතක යුද්ධය සම්බන්ධයෙන් වූ අන්තර් ජාතික ප්‍රජාවේ මතය ද දැන් දැන් වෙනස් වෙමින් තිබේ. බටහිර ප්‍රජාවේ ආස්ථාන විපර්යාසයට හේතු වී ඇත්තේ දෙමළ යස්පෝරාව හා තමිල්නාඩු ප්‍රජාව යොදා ගනිමින් එල්.ටී.ටී.ඊ ය ගෙන ගිය අරගලය ද නැතහොත් බරක් ඔබාමා ආණ්ඩුවේ නව විදේශ ප්‍රතිපත්තිය ද යන්න තවමත් පැහැදිලි නැත. එහෙත් රාජපක්ෂ රෙජීමය පමණක් නොව ඉන්දීය මධ්‍යම ආණ්ුව ද තිගැස්සෙන සුළු ප්‍රතිපත්තියකට බටහිර ප්‍රජාව දැන් පැමිණ ඇත.

යුධ ගැටුම් වලට මැදි වී ජීවිත අනතුරට පත්ව ඇති දෙමළ ජනතාව ගලවා ගැනීම සදහා මැදිහත්වීමේ අවශ්‍යතාවක් ගැන පළමුවෙන්ම අදහසක් ප්‍රකාශ කළේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. මෙතෙක් බුද්ධිමතුන්ගේ හුදකලා ප්‍රකාශයන්ට සීමා වූ එවැනි මැදිහත්වීමක අවශ්‍යතාව රාජ්‍ය මට්ටමින් අවධාරණය කිරීමෙන් පසුව කළාපීය බලවතා වන ඉන්දියාවේ මතය විමසීමට ද ඇමෙරිකා එක්සත් ජනපදය නොපසුබට වීය.
එහෙත් මේ වනවිට සුළං හමන අත හදුනා ගැනීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් තරම් ඉන්දියාව ඉක්මන් වී තිබුණි. එල්.ටී.ටී.ඊ.ය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතු අතර ඒ අනුව යුද්ධය නවතා දේශපාලන විසදුමක් ඇති කර ගැනීමට ලක් රජය කටයුතු කළ යුතු බව ඉන්දීය විදේශ ඇමති ප්‍රනාබ් මුකර්ජි පැවසුවේ ඉන්දීය රජයේ එතෙක් පැවැති ස්ථාවරය කණපිට හරවමිනි.

පසුගිය දා ඉන්දීය විදේශ අමාත්‍යංශ ලේකම් ශිව ශංකර් මෙනන් ඇමෙරිකා එක්සත් ජනපදයේ කළ සංචාරයේ දී ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඔහුට තම රජයේ ස්ථාවරය පැහැදිලි කිරීමට ඇමෙරිකන් එක්සත් ජනපද බලධාරීන්ට අවස්ථාවක් ලැබුණි. ඒ අනුව පැහැදිලි වන්නේ ඉන්දීයන් සාගරය තුළ තනි කැමැත්තට කටයුතු කිරීමට වා කළාපීය බලවතා වන ඉන්දියාවේ ද එකගතාව මත තීන්දු තීරණ ගැනීමට එක්සත් ජනපදය කැමැති බවය. ඒ සදහා එක්සත් ජනපදය නොපැකිලෙන්නේ තවදුරටත් ඉන්දියාව නොබැදුනු රටක් නොවනා බැවිනි. ආරක්ෂක ගිවිසුම් ද න්‍යෂ්ටික ගිවිසුම් ද වෙනත් ද්විපාර්ශ්වික ගිවිසුම් ද අත්සන් කරමින් තමන් හා සහවාසයට පැමිණ ඇති ඉන්දියාව තමන් නොතකා නොයන බව ඇමෙරිකා එක්සත් ජනපදය දනී.

එල්.ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කිරීමට ද දෙමළ ජනතාව ආරක්ෂා කිරීමට ද විටින් විට ඉන්දියාව පෙරමුණ ගන්නේ ඉන්දීය රජයේ ස්ථාවරය මත නොවේ. ඇත්තටම ඉන්දියාවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ විදේශ ප්‍රතිපත්තියක් නොමැත. ඉන්දියාව දැන් කටයුතු කරන්නේ එදිනෙදා අවශ්‍යතාවන් මතය. චීනය හා පකිස්ථානය සම්බන්ධයෙන් ඉන්දියාවට ප්‍රතිපත්තියක් ඇත්තේ එම දෙරට ඉන්දියාවේ භෞමික අඛණ්තාවට තර්ජනයක් යැයි ඉන්දියාව කල්පනා කරන බැවිනි. එහෙත් ලංකාව සම්බන්ධයෙන් එවැනි බියක් ඉන්දියාවට ඇති වන්නේ චීනය හා පකිස්ථානය ලංකාවේ කටයුතු වලට සම්බන්ධ වන විට පමණි. ඒ අර්ථයෙන් ශ්‍රී ලංකාවේ පවතින අර්බූදය හමුවේ තවදුරටත් ඉන්දියාවට භූමිකාවක් නොමැත. ඉන්දීය රජය යම් නිරූපනයකට සැරසෙන්නේ නම් එය ඇමෙරිකා එක්සත් ජනපදයේ අවශ්‍යතාවක් මිස නොබැදි ඉන්දියාවේ ඝෘජු විදේශ ප්‍රතිපත්තියට අනුව සිදුවන්නක් නොවේ.

රාජපක්ෂ රෙජීමයේ තීන්දු තීරණ ගන්නා වු රාජපක්ෂ සමාගම ද එහි සමීප රාජ්‍ය නිලධාරීහු ද අන්තර් ජාතික ප්‍රජාවේ හැසිරීම මනා ලෙස තේරුම් ගෙන සිටිති. එහෙත් රෙජීමයේ සමහර පරපුට්ටන්ට තවමත් මේ යථාර්තය නොතේරේ. ඔවුහු වතුර බේසමේ කිඹුලන් දකිති. විදෙස් අත පෙවීමකට ඉ‍ඩ නොතබන ලෙසත් එවැන්නක් සිදුවුවහොත් මුළු වැර යොදා සටන් කරන බවත් ඔවුහු පවසති. අතේ ඇගිළි ගණනටත් අඩ‍‍‍‍ මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් පළාත් සභා මැතිවරණයන් හි දී ලබා ගත් මේ පක්ෂ හා කණ්ඩායම් යෝධයන් සේ කතා කළ ද ප්‍රමාණයෙන් අගුටු මිට්ටන් ය. එහෙත් වේදිකා දෙදරවමින් මේ අගුටුමිට්ටන් බෙරිහන් දෙන්නේ පෙන්ටගනය ද හසුරුවන්නේ තමන් බව ඒත්තු යන පරිදිය. සිදුවිය හැකි විදේශ මැදිහත්වීමකින් රාජපක්ෂ රෙජීමය ප්‍රධාන වූ සිංහල ස්වෝත්තමවාදීන් ප්‍රකෝප විය හැකි වුවද පීඩනයට පත් දෙමළ ප්‍රජාවට යම් අස්වැසිල්ලක් අත් විය හැකිය. එහෙත් එය එල්.ටී.ටී.ඊ. සංවිධානයට අත්කර දෙන සැනසිල්ල අප්‍රමාණය. මේ තත්ත්වය තුළ සිංහල ස්වෝත්තමවාදීන්ගේ මතවාදය ශක්තිමත් විය හැකිය.

ත්‍රස්තවාදය මර්දනය කිරීම සදහා වූ රාජපක්ෂ රෙජීමයේ අවශ්‍යතාව ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි ඇමෙරිකන් එක්සත් ජනපද න්‍යාය පත්‍රය තුළට ර‍ගෙන යෑමට විවිධාකාර වූ තර්ක ගෙන ආවේ ද සිංහල ස්වොත්තමවාදීන් ය. එක්සත් ජනපදයේ සහායෙන් එල්.ටී.ටී.ඊ.ය කුඩ පට්ටම් කර අන්ත ජාතිවාදී මූලධර්මවාදී මානව අයිතීන් නොසලකන සිංහල ඒකීය රාජ්‍යයක් බිහිකිරීම ඔවුන්ගේ අරමුණ විය. එහෙත් ඒ සිහිනයට දැන් කැට කැබෙලිති වැදෙමින් පවතී. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුත්තේ එක්සත් ජනපදය කඹය ලිහිල් කරන්නා වූ නිදහස තුළ පමණි. එය ඉක්මවා යන විට එක්සත් ජනපදයම ඊට එරෙහි වේ.

මුලතිව්හි කොටු වී සිටින දෙමළ ජනතාව මුදා ගැනීම සදහා කවර මොහොතක කවරාකාරයෙන් මැදිහත්විය යුතුද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය තවමත් අවසන් තීරණයකට පැමිණ ඇතැයි වාර්තා වී නොමැත. එහෙත් සිදුවීම් පෙළගැසෙන්නේ කවර මොහොතක හෝ එවැන්නක් සිදුවිය හැකිය යන අනුමානය ශක්තිමත් වන පරිදිය. ශ්‍රී ලංකා රජයටවත් කොටි සංවිධානයටවත් මේ මොහොතේ යුද්ධය සම්බන්ධයෙන් කිසිම තීරණයක් ගත නොහැක. යුද්ධය සම්බන්ධයෙන් තීරණාත්මක වෙනසක් සිදුවිය හැක්කේ එක්සත් ජනපදය ගන්නා වූ තීරණ මතය.

රාජපක්ෂ රෙජීමය දැන් අල්ලා ගෙන ඇත්තේ කොටි වලිගයකි.යුද්ධය ඇවිලවීම සදහා මැදිහත්වීමට බටහිර බලවතුන්ට තිබූ අයිතිය යුද්ධය අවසන් කිරීම සදහා මැදිහත්වීමට නොමැති යැයි හා වැළපෙමින් ද ආවේගශීලීව ද පැවැසීමට රාජපක්ෂ රෙජීමයේ පරපුට්ටන් ඉදිරියට ආව ද මේ ළිං මැඩි තර්ක ගෝලීය දේශපාලනයට වලංගු නොවේ. විදේශ මැදිහත්වීම් ගැන පවසමින් පොළොවේ හැපෙමින් නහයෙන් හන මේ පිරිස් තේරුම් ගත යුත්තේ තමන් මේ නෙළමින් ඉන්නේ තමන්ම වැපුරූ බීජයන්ගේ අස්වැන්න බවයි.

කෙසේ වුවත් සිදුවීම් සිදුවන්නේ හඩ නගා සිනාසීමටවත් කදුළු වගුරා හැඩීමටවත් නොවේ. ඇතිවන තත්ත්වයන් තේරුම් ගැනීම සියල්ලන්ගේ වගකීමයි. ඒ සදහා බුද්ධිය නොමැති නම් බුද්ධිය ලබා දීමට කිසිවෙකුටවත් නොහැක.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s