හක්කේ ද බොක්කේ ද දඩ මස් ය.


toyota-tiger1
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණය සතු බලය තමන් වෙත පවරා ගනිමින් නොනැවතී එය වැරදි ලෙස අර්ථකථනය කිරීමට ද රාජපක්ෂ රෙජීමයේ අන්තේවාසිකයෝ පෙළඹී සිටිති. ඒ අනුව ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට ඇති තම අකමැත්ත ප්‍රකාශ කරන්නේ ව්‍යවස්ථාවේ නැති රෙගුලාසි ගෙනහැර පාමිනි. එක සාමාජිකයකුගේ පුරප්පාඩුවක් සහිතව ව්‍යවස්ථාදායක සභාව පත් කළ නොහැකි බව පසුගියදා නැවතත් වරක් මහා ඝෝෂාවක් නංවමින් රාජපක්ෂ රෙජීමයේ පාර්ලිමේන්තු ආරක්ෂකයෝ සපථ කරමින් ප්‍රකාශ කළේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකගව කටයුතු කිරීමට තමන්ගේ ඇති අකමැත්තය.

එහෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 ඉ (3) ව්‍යවස්ථාව පවසන්නේ වෙනත් කතාවකි. ඒ අනුව ” සභාවේ යම් රුස්වීමක් සදහා ගණපූරණය සාමාජිකයන් හය දෙනෙකු විය යුත්තේය” යැයි පවසන්නේ දස දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙනි.කෙසේ වෙතත් මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උනන්දු නොවෙමින් ව්‍යවස්ථාදායක සභාව පත් නොකිරීමට ඇති තමන්ගේ කැමැත්තට යෝග්‍ය පරිදි අර්ථකථනයන් ගෙන එන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මහත් වූ ගෞරවයකිනි. එහෙත් එකක් කඩ තොළු මකා ගන්නට ගොස් දෙකක් කඩ තොළු සාදා ගත් ඉදුරුවේ ආචාරියාට වූ දේටත් වඩා මහත් වූ හානියක් ආණ්ඩුව කර ගෙන ඇත.

නීතියට අනුව ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර ඇත්නම් මිස පමණක් ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු තනතුරු වලට පත් කිරීම් කරන්නේ ජනාධිපතිවරයාගේ තනි කැමැත්තටය. ඒ අනුව අග්‍ර විනිශ්චයකාරවරයා ඇතුළු උපරිමාධිකරණයේ විනිසුරුවන් ද නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පත් කර ඇත්තේ ව්‍යවස්ථාවේ 41 ඇ (1) ව්‍යවස්ථාව උල්ලංඝණය කරමිනි. එසේම ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කර ඇත්නම් පමණක් මිස ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු කොමිෂන් සභාවන්හි සභාපති හා සාමාජිකයන් පත් කරන්නේ ද ජනාධිපතිවරයාගේ තනි කැමැත්තටය. ඒ අනුව එක්කෝ ව්‍යවස්ථාවේ 41 ආ (1) ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාවට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කිරීමේ කොමිෂන් සභාවට සාමාජිකයන් හා සභාපතිවරුන් පත් කර ඇත. නැත්නම් පත් කිරීම් නොකරමින් එම සභාවන් අක්‍රීය කර ඇත.

කෙසේ හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් හෝ ආණ්ු ක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කර ඇතැයි පැවැසිය හැක. එවන් වූ වරදකට දෝෂාභියෝගී යෝජනාවක් ගෙනවිත් විධිමත් පරිදි සම්මත කර ගැනීමකින් පසුව එකී පුද්ගලයා ජනාධිපති ධූරයෙන් ඉවත් කළ හැක. එහෙත් මේ ලියුම්කරු ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවේ විධිවිධාන ගෙන හැර පාමින් උත්සාහ කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමට හැකි අවස්ථාවක් පෙන්වා රෙජීමයේ හා රෙජීමයේ අන්තේවාසිකයන්ගේ සිහිනයන් බිද දැමීමට නොවේ. එසේම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවීමට කදිම නූල් සූත්තරයක් පෙන්වා මෝඩ යූඑන්පීකාරයන් උසිගැන්වීමටවත් නොවේ. ධනපති පංතියේ මේ නීති විධි විධානයන් මායාකාර ඉන්ද්‍රජාලයක් පමණක් බව ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ද ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ද න්‍යායාත්මකව ඔප්පු කළේ මීට බොහෝ කලකට පෙරය. එය ප්‍රායෝගිකව ඔප්පු කළේ ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක ය. කෙසේ හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ රටේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිටී. ඒ ගැන විළි ලැජ්ජාවක් ඇති කිසිවෙක් රෙජීමය තුළ නොසිටී.රෙජීමයෙන් සුරාන්තය ලබන්නන් අතර ද විළි ලැජ්ජාවක් ඇති කිසිවෙක් නොසිටී.රෙජීමයේ සියළු වැරදි ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ප්‍රථම වරට කළ ඒවා නොව සියළු පාලකයන් විසින් මීට කලින් කළ ඒවා යැයි ද මහින්ද රාජපක්ෂ ජනසම්මතවාදී රජෙක් යැයි ද පවසන රෙජීමයේ නිල නොලත් න්‍යායචාරියෙක් වන වික්ටර් අයිවන් වැන්නන්ට ද ලැජ්ජාවක් නැත.

මේ සම්බන්ධයෙන් කදිම අදහසක් පවසන්නේ ඉන්දියාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීති ලේඛකයෙක් වන එම්.පී.ජේන් ය. ඔහු මෙසේ පවසයි. “ඉතාමත් යෝග්‍ය අන්දමට කෙටුම්පත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වුවත් නිවැරදි ආකල්පයන් මත ක්‍රියාවට නොනැගුවහොත් එය අකර්මණ්‍ය විය හැකි අතර, අඩු ලුහුකම් සහිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වුවත් නිවැරදි ආකල්ප මත ක්‍රියාවට නැගුවහොත් එයින් මනා පාලන තන්ත්‍රයක් පැන නගින නිසා, ප්‍රායෝගික වශයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරන ආකල්ප මත බොහෝ දෑ රුදී පවතී. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක වූ ආවේනික දෝෂ නොව මිනිසුන්ගේ වැරදි ආසියාවේ නව ප්‍රජාතාන්ත්‍රික රටවල් මුහුණපාන ප්‍රධානතම අනතුරයි.” (M.P.Jain – Sri Lanakas New Constitution 1979)

ඒ අර්ථයෙන් පසුගාමී වැවසම්වාදී උරුමකම් ඇති වර්තමාන ධනපතියන්ගේ සදාචාරය ප්‍රශ්න කිරීම ජුගුප්සාජනක උත්සාහයකි.
ක්‍රම විරෝධි වෙමින් රාජ්‍යයට එරෙහිව කැරලි ගසන්නන්ට ඒ සදහා පදනමක් ලැබෙන්නේ රාජ්‍ය පාලකයන්ගේත් පාලිතයන්ගේත් මේ විළි ලැජ්ජාවක් නොමැතිවීම මතිනි. නීතිය අන්තගාමී වනවිටත් එය අනුගමනය කිරීම යම් තැනැත්තෙකුගේ හෘදය සාක්ෂියට ඉදුරාම පටහැනි වනවිටත් නීතියට අවනතවීමේ බැදීම ඊට ඉහළින් ඇති සදාචාරයේ රීතීන්ට අවනතවීමේ බැදීමෙන් අභිබවනය වන බව ධනපති නීතිය ද පිළිගනී. ඒ නිසා නීතිය කෲර සහ අසාධාරණ වන අවස්ථාවන් හි දී නීතියට අවනත නොවී සිටිය හැකි අතර එසේ කළ යුතු ද වන බව ධනපති නීතියේ සංස්කෘතියයි.
රාජ්‍ය පාලකයන් රටේ මූලික නීතිය උල්ලංඝනය කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් නොවූවාට ක්‍රම විරෝධ් වෙමින් රාජ්‍යයට එරෙහිව දේශපාලනික අර්ථයෙන් සටන් වදින්නන්ට මූලික නීතිය උල්ලංඝනය කිරීම ජීවිතය අහිමිවීමට තරම් වරදකි. රෝහණ විජේවීරයන් ද වේළුපිල්ලේ ප්‍රභාකරන් ද රාජ්‍යයේ හමුදා විසින් ඝාතනය කළේ ඔවුන් දෙදෙනාම රටේ මූලික නීතියට දේශපාලනිකව අභියෝග කළ බැවිනි. ඔවුන්ගේ ඝාතන අවස්ථාවන්හි දී කිරිබත් කමින් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වූ කිසිවෙක් එකම වරදකට පාර්ශව දෙකක් දෙවිධියක අත්දැකීම් විදීම ගැන වැඩිදුර සිතන්නේ නැත. ඒ සිංහල සමාජයට හෘදය සාක්ෂියක් නොමැති වීම නිසා වන්නට පුළුවන.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s