මහා සංස්කෘතියක චූල අත්දැකීම් – ශ්‍රී ලංකා රාජ්‍යයේ අර්බූදය


වර්ගවාදය ද ජාතිකවාදය ද අතර දෝලනය වෙමින් පැවැති සිංහල බෞද්ධ මූල ධර්මවාදී මතයන්ට නිල පිළිගැනීමක් ලැබුණේ මහින්ද රාජපක්ෂයන්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමගිනි. එතෙක් අවශ්‍ය අවස්ථාවන්හි දී අවශ්‍ය පරිදි යොදා ගත් මේ මූල ධර්මවාදය අනතුරුව රාජ්‍යයේ ක්‍රියාකාරී සැලස්මේ පදනම බවට ද පත් වුණි. එය කොතෙක් ආන්තීක අදියරකට පැමිණියා ද කිවහොත් රාජ්‍යයේ හමුදා නායකත්වය පවා දේශපාලන මත ප්‍රසිද්ධියේ පළ කරමින් ප්‍රකාශ කළේ සුළු ජාතීන් මහ ජාතියේ කැමැත්ත මත ජීවත් විය යුතු බව‍කි. ඒ අදහස රාජ තාන්ත්‍රිකව කොතෙක් හානිකර වුවද එය ප්‍රතික්ශේප කිරීමට රාජපක්ෂ රෙජීමය උනන්දු නොවූයේ මේ අතිශය වර්ගවාදී මතය ශ්‍රී ලංකා රාජ්‍යයේ නිල මතය බවට පත්ව තිබූ නිසාය.

ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය දරන බහුතරය ඒ සදහා ජනවරමක් ලැබූවෝ නොවෙති. සමහර ව්‍යවස්ථාදායක නියෝජිතයෝ හාස්‍යජනක ලෙස තේරී පත්වූවෝ වෙති.සමහරු පක්ෂමාරු කර මැතිවරණයක දී නොලැබූ බලයක් ක්‍රියාත්මක කරමින් සිටින්නෝ වෙති. රාජ්‍ය පාලනය සදහා ජනවරමක් ලැබී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සංධානයට වුවත් රාජ්‍යයේ තීන්දු තීරණ ගන්නා වූ තීරක මර්මස්ථානයන්හි බලය පවතින්නේ ඒ සදහා ජනවරමක් නොලැබූවන් අත බව ඒ අනුව පැහැදිලි ය.එසේම වර්තමානයේ ශ්‍රී ලංකා රාජ්‍යයේ පාලන බලය දරන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතයන් විසින් නොවන බව කවුරුත් දන්නා කරුණකි. එසේම ශ්‍රී ලංකා රාජ්‍යයේ ආකෘතිය තීරණය කිරීමේ ලා වැදගත් වන මේ නොහික්මුණු මතවාදයට ජනවරමක් ද ලැබී නැත. ඒ අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදී හැඩ තලයන්ට එකග නොවන මේ වර්ගවාදී මතය පාලක පන්තියේ අන්තනෝමතික තීරණයකින් රාජ්‍ය මතවාදය බවට පත් කර වූවකි.

බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදී හැඩතලයන්ගෙන් පරිපූර්ණ විය යුතු ශ්‍රී ලංකා රාජ්‍යයේ ආකෘතිය ඒකීයවාදී මූල ධර්මවාදී හැඩයකින් යුක්ත ආක්‍රමණශීලීත්වයකට රූපාන්තරණය වූයේ ස්වය සිද්ධව නොවේ. කාලාන්තරයක් තිස්සේ මෝරමින් පැවති ආර්ථික දේශපාලන ආකෘතියක් තව දුරටත් මෝරා යෑමට ඉඩකඩක් නොවීමේ කූටප්‍රාප්තිය වූයේ රාජ්‍යය මූලධර්මවාදීවීම බව පැහැදිලි කරුණකි. 1978 දී හදුන්වා දුන් නව ලිබරල් ආර්ථික දේශපාලන රාමුව ශ්‍රී ලංකා දේශපාලනයේ මේ ආන්තික ධ්‍රැවීකරණයට වැඩි දායකත්වයක් දරා ඇත. ලෝකය පුරාම දුප්පතුන් තවදුරටත් දුප්පත් කරමින් ද පොහොසතුන් තවදුරටත් පොහොසත් කරමින් ද සංවර්ධනය වූ නව ලිබරල් ආර්ථිකය ධනේශ්වර ක්‍රමයේම අභ්‍යන්තර සතුරකු බව ධනේශ්වර බුද්ධිමතුන් අතර සාකච්ඡා වෙමින් පවතී.

සමාජයේ බහුතරයකට දරා ගැනීමට අපහසු ආර්ථික කම්පනයන් ඇති කරන නව ලිබරල්වාදය නිසා පීඩාවට පත්වූවන් විමුක්තිය සොයා වර්ගවාදී පිළිකණු කරා පසු බැස්සේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. බටහිර ධනපති ප්‍රබල රටවලත් ලෝකයේ අනෙකුත් රටවලත් ජාතිකවාදී නැගිටීම් මතුවෙමින් සමාජය වෙනත් ආකෘතීන් සෙව්වේ නව ලිබරල්වාදයට එරෙහි අලුත් සමාජ සැකැස්මක් නිර්මාණය කර ගැනීමට ය. එහෙත් කෙන්ද්‍රයේ රටවලත් පරිධියේ රටවලත් මේ ධ්‍රැවීකරණය සිදුවූයේ එකම ආකාරයෙන් නොවීම ද විශේෂ සිදුවීමකි. නව ලිබරල්වාදයට එරෙහි සමාජ බල මුළු ගැන්වීම් කේන්ද්‍රයේ රටවල දී ජාතිකවාදය මත පදනම් වෙමින් සිදුවූ අතර පරිධියේ රටවල දී වර්ගවාදය මත පදනම් වෙමින් සිදුවුණි. පරිධියේ රටවල වර්ගවාදී ප්‍රවනතා මතු වුවද ධනේශ්වර සංවර්ධනය විසින් ඇති කර තිබූ බුද්ධිමය සංස්කෘතිය ඒවා ජාතිකවාදී ප්‍රවනතා තුළ ශූන්‍ය කිරීමට සමත් වුණි.

ආර්ථික අසමතුළිතතාවන් ඇති වන්නේ ලෝකයේ සම්පත් ප්‍රබල ධනේශ්වරයේ සූරා කෑමට ලක්වීම නිසා බව මාක්ස්වාදයේ ප්‍රබුද්ධ මතවාදයයි. නමුත් නව ලිබරල්වාදයෙන් පළමුව ආශ්වාදයට පත්ව සිටි ජාතීන් පසුව ඉන් පීඩනයට පත්වන විට මෙම ප්‍රශ්නය විග්‍රහ කළේ වෙනස් අන්දමකිනි. 1978 දී ආර්ථික ප්‍රතිසංස්කරණයන් සමග ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇතිවූ ඇදහිය නොහැකි සංවර්ධනය නිසා පළමුව ලාංකික සමාජය වික්ශිප්ත වුණි.ඉන් අනතුරුව 1987 වර්ෂය පමණ වන විට ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ සමාජය පුරා පැතිරී යෑම ඇරඹුණි. මේ සමාජ අර්බූදය ඇති වන්නේ කෙසේදැයි විග්‍රහ කරගැනීමට ශක්තිමත් සමාජ දේශපාලන න්‍යායක් ලාංකික සමාජයේ ප්‍රබලව නොතිබුණි. එහෙත් මතු වෙමින් තිබූ අර්බූදයට ක්ෂණික විසදුමක් ද සමාජයට අවශ්‍ය වුණි. ඒ නිසා බුර බුරා පැන නැගී ආර්ථික අර්බුදය ඇතිවූයේ සුළු ජාතීන් විසින් සිංහල ජාතියේ සම්පත් උදුරා ගැනීම නිසා යැයි සිංහල බෞද්ධ සමාජය තුළ මතයක් රෝපනය කිරීමට සමහර වර්ගවාදීන්ට හැකි වුණි. ඒ මතය ප්‍රති විරුද්ධ ලෙස ඊටත් වඩා ප්‍රබලව දෙමළ වර්ගවාදීන් විසින් ද දෙමළ සමාජය තුළ ඒ වනවිටත් රෝපණය කර තිබුණි. ජාතීන් දෙකේම වර්ගවාදිහු එකිනෙකාට එරෙහිව වර්ගවාදී මත තහවුරු කරමින් එකම කාර්යක නිරතවෙමින් ආර්ථික පීඩනයේ අර්බූදය විග්‍රහ කළහ.

ලෝකය පුරාම බොහොමයක් පරිධියේ රටවල් නව ලිබරල්වාදයේ ආර්ථික අර්බූදයන් කළමනාකරණය කර ගැනීමට උපක්‍රමයන් සෙව්වේ ශ්‍රී ලංකාවේ අත්දැකීම් වලට සමාන ලෙසින් යැයි පැවැසිය හැකිය. එහෙත් ධනේශ්වර දියුණු කේන්ද්‍රයේ රටවල් අර්බූදයන් කළමනාකරණය කර ගැනීමට උපක්‍රමයක් ලෙස භාවිතා කළේ පරිධියේ රටවලට වෙනස් ක්‍රමයකි. ඔහුන් තමන්ගේ සතුරා දැක්කේ තම රට තුළින් නොවේ. ඔවුහු සතුරා ලෙස දැක්කේ තම කලාපයේ ආර්ථික බලවතා ය.තමන් ආර්ථික දරිද්‍රතාවයට පත් වන්නේ කලාපීය බලවතාගේ සූරාකෑම නිසා බවත් ඒ අභියෝගයට මුහුණ දීමට ජාතියක් වශයෙන් නැගී සිටිය යුතු බවත් ඔවුහු තේරුම් ගත්හ. ඒ නිසා බටහිර බොහොමයක් රටවල් නව ලිබරල්වාදයට මුහුණ දුන්නේ ජාතිකවාදය උපක්‍රමයක් ලෙස යොදා ගනිමිනි.

ඉන්දියාව පවා අර්බූදයේ මූලයන් සෙව්වේ ඉන්දීය ජාතිකවාදය මුවහත් කරමිනි. භාරතීය ජනතා පක්ෂය මුළුමනින්ම අසාර්ථක වූයේ එහි හරයාත්මක වර්ගවාදී පසුබිම නිසාය. එහෙත් ක්‍රමයට හානියක් නොවී උපායන් මගින් ක්‍රමය ආර්ක්ෂා කිරීමට ඉන්දීය කොන්ග්‍රසය සමත් වී තිබේ. ඉන්දියාව කලාපයේ බැබළෙන තරුව බවට පත් කරමින් ආචාර්ය මන් මෝහන් සිං විශිෂ්ට ධනපති නායකයෙක් ලෙස කීර්තියට පත් වෙමින් සිටින්නේ ලෝක දේශපාලන උපමාරුන් ද සමාජ උපාය උපක්‍රමයන් ද මනා ලෙස ප්‍රගුණ කර ඇති බැවිනි. ආචාර්ය මන් මෝහන් සිං ගේ ප්‍රතිපත්තිය ඉන්දියාවේ මහා සංස්කෘතියේ දායාදයකි. ඒ විශාල ධනපති සංස්කෘතිය නොවැදගත් දේශපාලනඥ්ඥයන්ගේ මොනර නැටුම් වලට ඉඩ දෙන්නේ නැත. ඒ නිසා බහුත්වවාදී, ප්‍රජාතාන්ත්‍රික හා සමෘද්ධිමත් ඉන්දීය රාජ්‍යය පෞරුෂවත් කේසර සිංහයකු සේ ලෝකයා අභමුඛ නැගී සිටී.

නිවැරදි නොවුනත් අවම වශයෙන් හෝ ජාතිකවාදී කතිකාවකින් අර්බුදයේ මූලයන් බේරුම් කර ගැනීමට යෑම සදහා ලාංකික සමාජය සූදානම් නොවූයේ එවැනි දේශපාලන පරිනත භාවයක් ලබාගැනීමට තරම් සමාජය මෝරා නොතිබූ බැවිනි. එහෙත් ශ්‍රී ලංකාවේ නොදියුණු ධනපති වෙළෙද පන්තියේ සිතිවිලි ලාංකික සමාජයේ වර්ගවාදී අතලොස්සකගේ නොමේරුම්කම හා මනා ලෙස ගැලපුණි.එහි ප්‍රථිපලයක් ලෙස රාජපක්ෂ රෙජීමය ශ්‍රී ලංකා රාජ්‍යයේ ආකෘතිය මූල ධර්මවාදීවාදී න්‍යායකින් වෙස් ගැන්වීමත් සමග රාජ්‍යයේ බහුත්වවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී හැඩතල ඉදුරාම වෙනස් වුණි.

දැන් ලාංකික රාජ්‍යය වර්ගවාදී, ඒකාධිපති හා මිලිටරිමය ස්වරූපයකින් ශක්තිමත් වී තිබේ.

Advertisements

3 thoughts on “මහා සංස්කෘතියක චූල අත්දැකීම් – ශ්‍රී ලංකා රාජ්‍යයේ අර්බූදය

  1. සැබැය..වර්ගවාදය හා ජාතිකවාදය බොහෝ දෙනෙකු පටලවගෙන ඇත..

    සමහරු ජාතිකවාදය යයි සිතා වර්ගවාදය ගොඩනගති.
    සමහරු වර්ගවාදය යැයි සිතා ජාතිකවාදය විනාශකරති.
    තවත් සමහරු නවලිබරල් ආර්තික රටාවට සහ එහි උපායමාර්ග වලට අසුවි අනවශ්‍ය අන්දානුකරණය නිසා ජාතිකවාදය විනාශකරති.

    කෙලවෙන්නෙ අපටමය.කෙලවන්නේද අපටමය..

  2. මේ කාරණා පිලිබදව විශලේෂණය කරන්නට ද මේ ගැන ලියන්නට ද අප ට හැකිය. නමුත් විචාරකත්වයෙන් එහාට ගිය ප්‍රායෝගිකත්වය වෙනුවෙන් වැඩ කෙරෙන්නේ කෙසේද යන්න පිලිබද ලංකාවේ කිසිදු අදහසක් නැති බවයි හැගී යන්නේ. මෙවැනි ලියවීම් අවහ්‍ය වුවද එයින් එහාට යාමට තරම් ශක්තියක් මින් ලබා නොදේ. එම ශක්තිය ගොනු කිරීම සදහා වන සමාජ දේශපාලනික තර්කනයක් ලංකාවට අවශ්‍ය වේ.

    අප සියළු දෙනා කරන්නේ පශ්චාත් මරණ පරක්ෂණ පැවැත්වීම හා ඇගයීම පමණි. එය ලංකාවේම කරුමයක් හෙවත් උරුමයක් බවට පත්ව ති‍ෙබ්. ලියිවිලි පමණක් වන තැන එයද සේවය කරන්නේ පවත්නා තත්වයන්ටමය. හේතුව පිලිතුරු නොමැති මෙවැනි ලිපි කියවන්නාව භීතියට පත් කරවා අකර්මන්‍ය කරන බැවිනි.

    1. අනාගතය ගොඩනැගෙන්නේ ඉතිහාසය මතිනි. එබැවින් පළමුව ඉතිහාසය තේරුම් ගත යුතුය. ශ්‍රී ලංකා රාජ්‍යයේ වර්තමාන හැඩරුව තේරුම් නොගෙන එය වෙනස් කිරීමක් ගැන සාක්ච්ඡා කළ නොහැක.

      කිසිම සමාජයක සමාජය වෙනස් කිරීමේ ලා පළමුව ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය ආරම්භ වන්නේ නැත. එය දෙවැනි කටයුත්තකි. හැරත් සමාජයේ ක්ෂණික වෙනසක් කිසිදා සිදුවන්නේ ද නැත. ඒ නිසා කළ යුත්තේ සමාජය තේරුම් ගැනීමට උත්සාහයයි. ඒ සදහා මෙවලමක් අවශ්‍යයි. මා උත්සාහ ගන්නේ පළමුව ඒ මෙවලම නිෂ්පාදනය කර ගැනීමටයි.

      සමාජය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් හෝ හදිසියක් හෝ තිබූ පලියට සමාජය වෙනස් කළ නොහැක. දැනට ද සමාජය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් පවතී. අවශ්‍යතාව දකින මිනිසුන් ද සිටී. එහෙත් වෙනස් වන්නේ නැත. ඊට හේතුව ඒ සදහා වූ දැක්මක් න්‍යායක් වැඩ පිළිවෙළක් නොමැති බැවිනි.

      දැක්මක් න්‍යායක් වැඩ පිළිවෙළක් නිර්මාණය වන්නේ පාරවල් වල, වැඩ පළ වල් වල හෝ සටන් මධ්‍යස්ථාන වල නොවේ. ඒවා අනවශ්‍ය බව මින් නොකියවේ.

      මේ යුගයේ කාර්යභාරය ඇත්තේ මහන්සි වී අධ්‍යයනය කරන මතවාදී තලයේ කටයුතු කරන්නන්ටය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s