කොම්ප්‍රදෝරු බුද්ධිමතුන්ගේ බරවා තර්ක


1948 දී සුදු අධිරාජ්‍යවාදීන් විසින් සිංහල බෞද්ධයන්ගේ තනි උරුමයට නතු කර දුන් ශ්‍රී ලංකා රාජ්‍යයේ කොළඹ කේන්ද්‍රීය ආධිපත්‍යයට කිසියම් ආකාරයක අභියෝගයක් එල්ල කිරීමට සමත් වූයේ ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ කැරලිකාර සංවිධානත් පමණි. ඒ සියළුම අභියෝගයන් මිලිටරිමය වූ අතර ජනතා පදනමක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී අභියෝගයන් රාජ්‍යයේ පදනමට එරෙහිව පැන නැගුනේම නැති තරම් ය. නො එසේනම් එසේ පැන නැගුන ජනතා අභියෝගයන් කඩා කුඩු පට්ටම් කර දැමීමට රාජ්‍යය නොපැකිලුණි.

ශ්‍රී ලංකා රාජ්‍යයට එල්ල වූ මිලිටරිමය අභියෝගයන් පවා කලක් අල්ලාගෙන යා හැකි මට්ටමකින් දියත් කළේ දෙමළ සන්නද්ධ ව්‍යාපාර විසින් පමණක් වීම ද සුවිශේෂ කරුණකි.ඒ අනුව දශක තුනකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා රාජ්‍යයේ බල කේන්ද්‍රය වෙනස් කිරීමටත් එම බල කේන්ද්‍රයේ න්‍යාය පත්‍රය තීරණය කිරීමේ බලය ඩැහැ ගැනීමටත් දෙමළ සන්නද්ධ ව්‍යාපාර සමත් වුණි. රාජ්‍යය හැසිරවීමේ බලය විටින් විට ලබාගත් සිංහල බෞද්ධ වීරයන් කොළඹ රාජ්‍යයේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී උතුර දෙස විච්කිච්ඡාවෙන් බැලුවේ මේ දෙමළ සන්නද්ධ ව්‍යාපාරයන්ට ප්‍රබල ශක්තියක් තිබූ බැවිනි. එම බලය නිල නොලත් රාජ්‍යයක තත්ත්වයට (de facto)වර්ධනය වී තිබීම ශ්‍රී ලංකා රාජ්‍යයේ කෙන්ද්‍රගත බලයේ කළමනාකරණය සම්බන්ධයෙන් උද්ගත වූ ප්‍රබල ප්‍රශ්නයකි. පසු ගිය මැයි මාසයේ දී වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූල ඝාතනය කිරීමත් සමග ශ්‍රී ලංකා රාජ්‍යයේ බල ආධිපත්‍යයට එල්ල වූ අභියෝගය නිහඩ වුණි. ඒ සමගම ශ්‍රී ලංකා රාජ්‍යයට තිබූ ප්‍රබල ගැටලුවක් විසදීම රාජ්‍යයේ බලය දරන්නන්ට ඇති කළේ ඉස්පාසුවකි.

රාජ්‍යයේ බල ආකෘතියට එල්ල වූ අභියෝගයන්ගෙන් මිදීම නැවතත් රාජ්‍යය ප්‍රජාතන්ත්‍රීකරණය කරා යෑමේ ගමනේ ආරම්භය යැයි බොහෝ දෙනෙක් සිතුව ද රාජපක්ෂ රෙජීමයට අවශ්‍ය වූයේ රාජ්‍යය ප්‍රතිසංස්කරණය කරමින් එය නවීන රාජ්‍යයක් බවට පත් කිරීම නොවන බව දැන් ඉතා පැහැදිලි කරුණකි. යුද ජයග්‍රහණයන්ගෙන් උන්මාදයට පත් වූ රාජපක්ෂ සිහින මැව්වේ රාජාභිෂේකවීමටය.ඔහු සිහින දුටුවේ ජන සම්මතවාදී රාජ්‍යය නායකයකුවීමට නොව වැඩවසම් රජෙකුවීමටය. රාජ්‍යය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමට නොව ඒකාධිපති රාජ්‍යයක් කිරීමටය. ඒ අනුව රාජ්‍යයේ ආධිපත්‍යයට එල්ල වූ මිලිටරිමය අභියෝගය ජය ගැනීමට සමත් වුවද දේශපාලන අභියෝගය ජය ගැනීමට රෙජීමය අසමත් වුණි.

කලක් ශ්‍රී ලංකා රාජ්‍යයට නොබෙදුනු ජාතීන් අතර තිබුණේ විශිෂ්ට පිළිගැනීමකි. ප්‍රමාණයෙන් කුඩා වුවද ස්වාධින රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සතුව තිබූ බලය හා ශක්තිය අති මහත්ය. තවදුරටත් ශ්‍රී ලංකාවට නොබෙදුනු රාජ්‍යයක භූමිකාව රග දැක්විය නොහැක්කේ ලෝක දේශපාලන හැඩ තල ඉදුරාම වෙනස් වී ඇති බැවිනි. කලක් මහ බලවතුන් දෙදෙනෙකුගේ ආධිපත්‍යයට යටත්ව තිබූ ලෝකය පසුව තනි බලවතෙකුගේ ආධිපත්‍යයට නතු වුණි. දැන් එම තත්ත්වය ද වෙනස් වී බලවත් කලාප බිහි වෙමින් තිබේ. මේ දේශපාලන ධ්‍රැවීකරණයන් තුළ ශ්‍රී ලංකාව ද තම භූමිකාව වෙනස් කළ යුතුව තිබුණි. රාජ්‍යයේ භූමිකාව වෙනස් විය යුතුව තිබුණේ ධනාත්මකව වුවද වෙනස් වූයේ ඝෘණාත්මකවයි. ලෝකයේ නවීකරණය වෙමින් තිබූ රාජ්‍යයන් සමග ගැටුම් ඇති කර ගනිමින් නව මිතුරන් සොයා ගියේ මිලිටරි ඒකාධිපති හා අශිෂ්ට රාජ්‍යයන් වෙතටය. එසේම රාජ්‍යයේ පුරවැසියන්ගේ පුද්ගලික නිදහසට ද ලැබුණේ අඩු සැලකිල්ලකි. සියළු ප්‍රජාතන්ත්‍රීය නිදහස අහිමි කරමින් ද යහ පාලනය විනාශ කරමින් ද රාජ්‍යයේ ආකෘතියේ මුහුණුවර මුළුමනින්ම අශිෂ්ට සළුපිළිවලින් හැඩ ගැන්වීය.

ඒ අර්ථයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සමූල ඝාතනයත් සමග ශ්‍රී ලංකා රාජ්‍යය තල්ලු වූයේ නව යුගයකටය. මෙතෙක් රාජ්‍යයට එරෙහිව අභියෝගයන් එල්ල වුණේ බාහිරින් වුවද දැන් අභියෝගයන් එල්ල වන්නේ අභ්‍යන්තරයෙනි. ශ්‍රී ලංකා රාජ්‍යය නවීන රාජ්‍යයක් බවට පරිවර්ථනයවීමට අසමත් වීමේ ප්‍රථිපලය වී ඇත්තේ රාජ්‍යයට එරෙහිව රාජ්‍යය තුළින්ම සතුරන් මතුවීමයි. රාජ්‍යයේ ආකෘතිය වෙනසකට ලක් නොකර එය වඩාත් ජන සහභාගී ආයතනයක් බවට පත් නොකර යන ගමනේ අවසානය වන්නේ ඒකාධිපති ආඥාදායක අවදියකට රට තල්ලුවීමයි.මහින්ද රාජපක්ෂ දේශපාලන නායකයකු වූ පමණින් ඔහු නායකත්වය දරන රෙජීමය මගින් ශ්‍රී ලංකා රාජ්‍යය මිලිටරිකරණය නොවේ යැයි කිසිදු විශ්වාසයක් ඇති වන්නේ නැත. රාජ්‍යයේ ආකෘතිය ඒකාධිපති ස්වරූපයක් ගන්නේ නම් එහි හැඩ තල මිලිටරිමය සංස්කෘතියකින් තීරණය කරන්නේ නම් එම රාජ්‍යය තවදුරටත් ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් නොවේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ යුද නායකයකු නොවී දේශපාලන නායකයකු වීම රාජ්‍යයේ නවීනත්වයට කිසියම්ම වූ ආකාරයකින් ධනාත්මක දායකත්වයක් ලබා නොදෙයි. ඒ නිසා ශ්‍රී ලංකා රාජ්‍යයේ අනාගත නායකත්වය සිවිල් නායකයකු හෝ මිලිටරිමය නායකයකු හෝ අතට පත්වීම මත රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී අඛණ්ඩ පැවැත්ම පිළිබද මත දැක්වීම අර්ථ විරහිත බව අවිවාදිතය.

එහෙත් රාජ්‍යය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමත් නවීකරනය කිරීමත් වහාම කළ යුතු බවට අදහස් පළ කරන විද්වතුන් මේ කාරණය සැලකිල්ලට ගන්නේ නැත. ඔවුහු මතු පිටින් පෙනෙන දේශපාලන කාරණා මත යැපෙමින් තීන්දු තීරණ ගනිති. ලාංකික බුද්ධිමතුන් වැඩි කැමැත්තක් දක්වන්නේ ස්වාධින ආස්ථානයක් දැරීමට වඩා තමන් ප්‍රිය කරන්නාවූ දේශපාලන පක්ෂයක් සමග කදවුරු බැද ගැනීමටය. ඒ නිසා ඔවුන් අදහස් පළ කරන්නේ ද තමන් කදවුරු බැදගත් පක්ෂයේ මතවාදයට හානි නොවන පරිදිය. ලාංකික බුද්ධිමතුන්ගේ මේ හැසිරීමට හේතුව පේරාදෙනිය විශ්ව විද්‍යලයේ ජේෂ්ඨ කතිකාචාර්ය සුමනසිරි ලියනගේ ලාංකික සිවිල් සමාජය විග්‍රහ කිරීමට යොදා ගත් මාක්ස්වාදී වදනකින් අර්ථ දැක්විය හැකිය.ඔහුගේ විවේචනය වෙනත් කරුණක් සදහා වූ බුද්ධිමතුන්ගේ හැසිරීමට අදාළ වුවද ඒ විවේචනය ලාංකික බුද්ධිමතුන්ගේ සියළුම හැසිරීම් වලට අදාළ කර ගැනීම අසාධාරණ නොවේ.ඒ අනුව ලාංකික සිවිල් බුද්ධිමත් සමාජයේ අක්‍රියභාවය හා පටු පාක්ෂිකභාවය කොම්ප්‍රදෝරු සිවිල් සමාජයකට ආවේනික හැසිරීමක් බව සුමනසිරි ලියනගේගේ මතයයි.

රාජපක්ෂ රෙජීමය රාජ්‍යයේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ වරක් දෙවරක් නොවේ. එමෙන්ම ප්‍රජාතාන්ත්‍රික යහ පාලනය නොරිස්සුම් සහගතව ප්‍රතික්ශේප කළේ ද වරක් දෙවරක් නොවේ. පුරවැසියන්ගේ මූලික නිදහස අහිමි කිරීමට ද කටයුතු කළේ වරක් දෙවරක් නොවේ. එසේනම් රාජ්‍යයක නවීනත්වය රදා පවතින්නේ රාජ්‍ය නායකයා සිවිල් පුද්ගලයෙක් ද මිලිටරිමය පුද්ගලයෙක් ද යන්න මත නොව රාජ්‍යයේ දේශපාලන සංස්කෘතිය මත බව අවධාරණයෙන් පැවසිය යුතුය.

pic: thank for indi.ca

Advertisements

7 thoughts on “කොම්ප්‍රදෝරු බුද්ධිමතුන්ගේ බරවා තර්ක

  1. ‘1948 දී සුදු අධිරාජ්‍යවාදීන් විසින් සිංහල බෞද්ධයන්ගේ තනි උරුමයට නතු කර දුන් ශ්‍රී ලංකා රාජ්‍යයේ’

    Totally wrong. British handed over the power to “kalu suddas” who were neither Sinhalese / Tamil nor Buddhist / Hindu. The power was handed over to English speaking Anglican group. This group consisted of core leaders of right and left. DS senanayake, Dudley senanayake, JR Jayawardane, SWRD Bandaranayake, NM Perera, Chelvanayakam, Tiruchelvan, Ponnambalam etc. All these have following common traits

    1. Their ancestors back stabbed the King of the country (who was a Tamil BTW)
    2. Their ancestors changed their religion from Buddhist / Hindu to Christianity to gain advantage from British rule
    3. All their ancestors antagonized and massacred members of freedom movements
    4. All the above politicians are baptized
    5. All of them had education in Christian schools
    6. All of them married in the church
    7. All their children are Christians, while the above leaders try to show they are Buddhist / Hindu

    The first person to break this strong hold was late President Ranasinghe Premadasa, a true Sinhala – Buddhist in pedigree (or at least brought up like that). That’s why Premadasa, Rajapaksha, Fonseka and Premadasa jnr. are distinctly different from Chandrika, Ranil, Magala or Ravi K.

    1. සිංහල බෞද්ධ රාජ්‍යයේ බලය කාට දුන්නත් කවුරු භාර ගත්තත් රාජ්‍යයේ ආධිපත්‍ය දැරුවේ සිංහල බෞද්ධ මතවාදයයි. මට කීමට අවශ්‍ය එයයි.

      whoever got the power of SL state,
      I need to emphasis what Sinhala Buddhist ideology is the basement of governing the country.

      1. තවමත් මම හිතන්නේ එහෙම නැත කියාය. සිංහල බෞද්ධ / දෙමල හින්දු මතවාදය වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වීම ඡන්ද ඩැහැ ගැනීමේ උප්පරවැට්ටියක් විතරක් කියල හිතෙන්නෙ. මොකද මේ අය ඇවිත් ක්‍රියාත්මක කලේ සිංහල බෞද්ධ මතවාදය නෙවෙයි. එහෙම කලා නම් කොලඹ 7, ඉංග්‍රීසියෙන් කතා කරන කට්ටියට තිබිච්ච සමාජයික වරප්‍රසාද මේ වෙනකොට නැතිවෙලා තියෙන්න ඕන. තවමත් එහෙම වෙලා නෑ. තවමත් බලය තියෙන්නේ මේ අය අතේ. තවමත් හොඳම පාසල් නියෝජනය කරන්නේ මේ මතවාදය. තවමත් උසස් නිලධාරි පැළැන්තිය නියෝජනය කරන්නේ මේ මතවාදය.

  2. උඹ කියන දේ පැහැදිළි නැහැ. මා මෙහෙම කිව්වොත් හරිද?

    ලෝකයේ හැම දියුණු රටකම ප්‍රධාන පක්ෂ දෙකට යම් නිශ්චිත දේශපාලන අනන්‍යතා තියෙනවා. උදාහරණයක් හැටියට ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂය ඩිමොක්‍රටික් පක්ෂයට වඩා දක්ෂිණාංශකයි. බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයට සාපේක්ෂව කම්කරු පක්ෂය වාමාංශිකයි. මේ පරාමිතීන් කාලානුරූපව වෙනස් වෙනවා. නමුත් ඒ සමාජයේ කෙනෙකුට තමන්ගේ පසුබිම අනුව තෝරා ගැනීමට නිශ්චිත දේශපාලන විකල්ප තියෙනවා.

    නමුත් දැන් ලංකාවේ තියෙන්නේ ගෝත්‍රික දේශපාලනයක්. රාජපක්ෂ හා ෆොන්සේකා දේශපාලන වශයෙන් නිවුන් සහෝදරයන් වගේ. (වික්‍රමසිංහ ආවානම් මීට වෙනස්.) මේ නිසා අපේ උගතුන් කියා ගන්නා පිරිසට මේ තත්ත්වයට පැහැදිළි කිරීම සඳහා තියරි හදන්නට බෑ. ඉතින් උන් කරන්නේ තමන් පුද්ගලිකව (ගෝත්‍රිකව) කැමති පුද්ගලයා තෝරා ඒ අනුව තියරිය ගොඩ නඟනවා. වික්ටර් අයිවන් රාජපක්ෂට කැමති නිසා කියනවා දූෂණ ගැන හැමදාම බොරු කටකථා යනවා කියලා.

    මේ ක හරියට අර ජ්‍යොතිෂ කාරයින් තමන් කැමති එකා දිනනවා කියා අනාවැකි පළ කරනවා වගේ.

    මේ හිස්තැන ගැනද උඹ කියන්නේ?

    1. සිංහල බෞද්ධ රාජ්‍යයට එල්ල වූ මිලිටරිමය අභියෝගය පසුගිය මැයි මස අවසන් වුණා. නමුත් දේශපාලන අභියෝගය අහෝසි වුණේ නෑ. එම දේශපාලන අභියෝගය තේරුම් ගනිමින් රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමකට යායුතු වුවද රාජපක්ෂ රෙජීමය ඊට අපොහොසත් වුණා.

      රාජ්‍යයේ බුද්ධිමතුන්ගේ වගකීම විය යුත්තේ නවීන රාජ්‍යයක් සදහා සටන් වැදීම වියයුතු වුවද ඔහුන් එම වගකීම පැහැර හැර ඇත. ඒ ඔහුන් රාජ්‍යයෙන් යැපෙන කොටසක් බැවිනි.

      ඔහුන්ගේ තර්කය වන්නේ මිලිටරිමය නායකයකු රාජ්‍ය නායකයා වීම භයානක බවය. එහෙත් දේශපාලන නායකයකු වූ මහින්ද රාජපක්ෂ යටතේ ද රාජ්‍ය ඒකාධිපති ක්‍රමයක් කරා ගමන් කර තිබේ.

      එබැවින් අවධාරණය කළ යුත්තේ රාජ්‍යයක නවීනත්වය රදා පවතින්නේ රාජ්‍ය නායකයා සිවිල් මිනිසෙක් ද මිලිටරිමය මිනිසෙක් ද මත නොව එහි දේශපාලන සංස්කෘතිය මත බවයි.

      දැන් තේරුණා ද සහෝ…….

  3. I enjoyed reading the writer’s perceptive account. But it’s not clear whether he tries to imply that Sarath Fonseka is more likely to introduce ‘big democratic changes’ to Sri Lanka’s dictatorial constitution. Probably he does. If so, it would have been better if he came out more clearly on that; because this is going to be the most crucial election so far. Readers should know whom to vote for, particularly from unbiased analysts.

  4. කොම්ප්‍රදෝරැ පන්තියේ බිහිවීම සහ නැගීම මාක්ස්වාදීව විචාරිය හැකි වුවද එහි පැවැත්ම සහ ආක්‍රමණය ධනවාදයෙන් තොරව විග්‍රහ කළ නොහැක. මේ සමාජ විපර්යාසය ඝෘලුවම දේශපාලන සංස්ථාව කෙරෙහි බලපෑ අයුරැ දැකගත හැකිය. වත්මන් දේශපාලනයේ විවිධ මුහුණු මෙහි ප්‍රතිභපයන් ලෙස හදුනා ගැනීම වරදක් නොවේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s