දහසක් මත ගැටී දහසක් මල් පිපී ඇත – එන්න මේ මල් සුවදදැයි බලන්න.



රාජපක්ෂ රෙජීමය විසින් නායකත්වය දුන් සිංහල ස්වෝත්තමවාදී රාජ්‍යය දෙමළ ජනතාවගේ ඔළු ගෙඩි වලට ඉහලින් බෝම්බ දමා එල්.ටී.ටී.ඊ. සංවිධානය තලා පොඩි පට්ටම් කරන විට දකුණේ බහුතරයක් දේශපාලන පක්ෂ රාජ්‍යයේ මතය හා එකග වෙමින් යුද්ධයටම ආවැඩීය. 1988-1989 අරාජික සමයේ දී රාජ්‍යයේ නිල හමුදාවේ පීඩනය හා මර්දනය උපරිමයෙන් භුක්ති විදි දකුණේ සිංහල සමාජය ද උතුරේ ගලාගිය සහෝදර දෙමළ ජනතාවගේ උණු රුධිර දහරාවෙන් තෘප්තිය ලැබූහ.

එහෙත් මේ තිරිසන් වර්ගවාදී යුද්ධයට එරෙහිව නොබියව එක පෙළට සිට ගත් දේශපාලන ව්‍යාපාරයන් කිහිපයක්ම දකුණේ තිබීම සතුටට කරුණක් විය. ඒවා ඔළු ගෙඩි ගණනින් නියෝජනය වූයේ අල්ප බලයක් විය හැකිය. එහෙත් රාජ්‍යයේ අත්තනෝමතික බලයට, උද්දච්ඡ ස්වරයට හා ඒකාධිපතිත්වයට එම දේශපාලන ව්‍යාපාරයන් එල්ල කළ අභියෝගය සුළු පටු නොවීය.රාජ්‍යයේ මර්දනයට නොබියව මුහුණ දෙමින් අගය කළ යුතු නිර්භීත දේශපාලන ආස්ථානයක් ගනිමින් එම දේශපාලන ව්‍යාපාරයන්ට නායකත්වය දුන්නේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය හා විජේ ඩයස් බව ඔවුන්ට කරන්නා වූ ගෞරවයක් වශයෙන් සදහන් කළ යුතුය.

ජන ඝාතක වියරු යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන බලය කා අතට යා යුතු දැයි තීරණය කරන්නා වූ ජනාධිපතිවරණයේ දී යුද විරෝධි ආස්ථානයක් ගත් මේ දේශපාලන නායකයන් තිදෙනා ද තරගයට එක්වී තිබීම ප්‍රශංසාත්මකය. ප්‍රධාන පක්ෂ දෙකේම ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනාම කුරිරු යුද්ධයේ ඝෘජු හවුල්කරුවන් නිසා ජන ඝාතක යුද්ධයට ඔහුන් දේශපාලනිකව ද මිලිටරිමය ලෙස ද වගකිව යුතුය. ඒ නිසා යුධ විරෝධි දේශපාලකයන් තිදෙනාට ගෞරවයකින් යුතුව ජනතාව ඉදිරියට යා හැකි බව අවිවාදිතය. මහින්ද රාජපක්ෂටත් ජනරාල් සරත් ෆොන්සේකාටත් නැති ආත්ම අභිමානයකින් දේශපාලන බලය ඉල්ලිය හැකි පදනමක් ඔවුන් තිදෙනාටම තිබේ. එහෙත් දේශපාලන සම්මුතීන් ඇති වන්නේත් එම සම්මුතීන්ට ගෞරවනීය බලයක් ලැබෙන්නේත් දේශපාලන ව්‍යාපාරයක යුධ විරෝධි ආස්ථානය මතම නොවේ. ඒ සදහා ශක්තිමත් ආර්ථික, සමාජ දේශපාලන වැඩපිළිවෙලක් ද අත්‍යවශ්‍ය වේ.

සෝවියට් සමූහාණ්ඩුව 1991 දී බිද වැටුණු පසුව ධනේශ්වරයේ බොහොමයක් න්‍යායාචාරීන් වහසි බස් දෙඩූයේ ධනේෂ්වරයේ ගෝලීය යුගය පිළිබදව ය. ඒ කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ තනි ආධිපත්‍යයට ලෝකය නතු වූ බව සත්‍යයකි. එහෙත් අනතුරුව එක්සත් ජනපද ආධිත්‍යයට ලෝකයා ප්‍රතිචාර දැක්වූයේ විකල්ප දේශපාලන ක්‍රමවේදයකින් නොවන අතර විකල්ප ත්‍රස්ත ක්‍රම වලිනි. එක්සත් ජනපදයට ත්‍රස්තවාදය ගෝලීය ප්‍රශ්නයක් වූ අතර අනතුරුව ලෝක ආර්ථිකය ක්‍රමයෙන් කඩා වැටුණි. එය අහඹු කඩා වැටීමක් නොවූ අතර ධනේශ්වරයේ වත්මන් උපක්‍රමය වූ නව ලිබරල්වාදයේ කඩා වැටීමකි. ඒ සමගම එක්සත් ජනපදයේ බලාධිපත්‍යය අහෝසි වෙමින් ආර්ථික කලාප බිහිවුණි.ඇති වූ දේශපාලන රික්තය තුළ මාක්ස්වාදය නැවත කියවීමට ලෝකයා උනන්දු වූයේ සර්වාධිකාරී ධනේශ්වරයට විකල්පයක් වශයෙනි.අහෝසි වෙමින් යන නව ලිබරල්වාදයට විකල්ප සොයමින් අර්බුදය අභ්‍යන්තරයෙන් විසදා ගැනීමට ධනේශ්වර බුද්ධිමතුන් මහන්සි වෙද්දී අර්බූදය ගෝලීයව විසදා ගැනීමට මාක්ස්වාදීහු මාක්ස් නැවත හැදෑරීමකට ගියහ.

මේ තත්ත්වය තුළ ලග එන ජනාධිපතිවරණය සදහා වාමාංශික පෙරමුණත්, එක්සත් සමාජවාදී පක්ෂයත්, සමාජවාදී සමානතා පක්ෂයත් ඉදිරිපත් කර ඇති දේශපාලන වැඩ පිළිවෙල විමර්ශනය කිරීම අතිශයෙන් වැදගත් වේ. ජාත්‍යන්තර සමාජවාදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට තරග කරන විජේ ඩයස් ට්‍රොස්කිවාදී ආස්ථානයකින් දේශපාලන සංවාදයක් සමාජ ගත කර ඇත. ඒ වැඩ පිළිවෙල තුළ අර්බූදයන්ට තනි රටේ විසදුම් නොමැති බව විජේ ඩයස් පැහැදිලිව පවසයි.එහෙත් ආචාර්ය වික්‍රමබාහුට හා සිරිතුංග ජයසූරියට ඇත්තේ ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිළිවෙලක් නොවේ. ඔවුන් කතා කරන්නේ ධනේශ්වරයේ අඩු පාඩු ගැනය. අත් වැරදීම් ගැනය. සංශෝධිතයන් ගැනය. ගෝලීය ධනවාදී පදනම හෙළිදරව් කරමින් ද ජාතික ප්‍රශ්නයට සමානාත්මතාව, ස්වයං පාලනය හා ස්වයං තීරණ අයිතිය මත යම් දේශපාලන විසදුමක අවශ්‍යතාව ද සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් ගොඩනැගීම සදහා ඔනෑම නායකයකුට බලපෑමක් එල්ල කිරීම ද ආචාර්ය වික්‍රමබාහුගේ අවශ්‍යතාවයි. සිරිතුංග ජයසූරියගේ දේශපාලන වැඩ පිළිවෙල ද මේ හා සමාන වන්නේය.

ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට අපේක්ෂා කරන විජේ ඩයස් වියුක්ත දේශපාලනයක යෙදන්නේ වුවද එම දේශපාලනයට යම් තර්කයක් තිබේ. එහෙත් ආචාර්ය වික්‍රමබාහුගේ දේශපාලන ව්‍යාපාරය තුළ යම් කිසි සංයුක්ත භාවයක් පෙන්නුම් කළ ද ඊට දේශපාලන තර්කයක් ගොඩනැංවෙන්නේ නැත.ඊට හේතු වන්නේ වික්‍රමබාහුගේ වැඩපිළිවෙල ධනේශ්වරය නියෝජනය කරන්නක් වීමයි. මේ අර්ථ කථනය මගින් ඉල්ලා සිටින්නේ බාහුගේ දේශපාලන ව්‍යාපාරයේ සුපිරිසිදු සමාජවාදී කන්‍යා පටලය පිළිබද විමසීමක් නොවේ.මේ යුගය තුළ සමාජවාදය ඉල්ලීම විහිලුවකි. ඇත්ත වශයෙන්ම මාක්ස්වාදීන් කළ යුත්තේ වෙනස් වී ඇති සමාජ තත්ත්වයන් සමග මාක්ස් හදාරමින් සංයුක්ත වැඩපිළිවෙලක් සකස් කර ගැනීමත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙලක් සමග උපරිම සංශෝධන සදහා සටන් කිරීමත්ය. එහෙත් එම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල මාක්ස්වාදීන්ගේ තනි අයිතියට නතු විය යුක්තක් නොවේ.

අවශ්‍ය පරිදිම බාහුගේ දේශපාලන වැඩපිළිවෙල සකස් වී ඇත්තේ එවැනි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පදනමකිනි. ඒ දේශපාලන ආස්ථානය තුළ කදවුරු බැද ගැනීමට ප්‍රජාත්න්ත්‍රවාදී හා සමානාත්මවාදී දේශපාලන ව්‍යාපාරයකට හැකිය. එහෙත් ආචාර්ය බාහු එය තමන්ගේ තනි අයිතියට නතු කර ගනිමින් ධනේශ්වර කදවුරට එරෙහිව යොදා ගැනීමට උත්සාහ දරයි.එහෙත් එය සමාජවාදී වැඩ පිළිවෙලක් නොවේ. විජේ ඩයස් මෙන් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිළිවෙලක් ඒ තුළ ගැබ් වී නැත. ඒ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කටයුතු කිරීමට රාජපක්ෂ රෙජීමයට එරෙහි සරත් ෆොන්සේකාට ද හැකිය. ආචාර්ය වික්‍රමබාහු තමන්ගේ වැඩපිළිවෙලට සමාජවාදී විකල්පයක අර්ථකථනයක් ලබා දීමට උත්සාහ දැරීම අර්ථ විරහිත වන්නේ එබැවිනි. ඒ නිසාම ධනේශ්වර කදවුරු දෙකටම එරෙහි වාමාංශික බලයක් ගොඩ නැගීම සදහා වික්‍රමබාහු පෙනී සිනවා යැයි පැවසීම ද අර්ථ විරහිතය.

වික්‍රමබාහුගේ බලමුළු ගැන්වීමෙන් බලාපොරුත්තු වන්නා වූ දේශපාලන ඉලක්කයක් පවතී. එනම් ප්‍රධාන පක්ෂ දෙකේ ධනපති නායකයන් දෙදෙනා සමගම පොර බදිමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු දිනා ගැනීම සදහා උපරිම ලෙස සටන් කිරීමයි. ඒ සදහා ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් දෙදෙනාම 50% බහුතරය ලබා ගැනීම වැළැක්වීමයි. ඔහු එවැනි ආස්ථානයක් දැරූ පළමු අවස්ථාව මෙය නොවේ. ඉතිහාසයේ අවස්ථා කිහිපයකදී ම මෙවැනි උපක්‍රමශීලී ආස්ථානයක් වික්‍රමබාහු විසින් දැරුව ද ශක්තිමත් ලෙස එම විකල්පය සමාජ ගත කිරීමට අපොහොසත් වුණි.සමාජ ප්‍රාතන්ත්‍රවාදී වැඩ පිළිවෙලක් තිබූ පමණින් මහ ජනතාව ඒ වටා එක් රොක් වන්නේ නැත. රාජ්‍යයේ බලය පිළිබද සාධකය ද දේශපාලන තීන්දු තීරණ ගැනීමේ දී ප්‍රධාන වේ. වික්‍රමබාහු දේශපාලනයේ බලය නොසලකා හරියි. ඒ නිසා පොදු වැඩ පිළිවෙලක අවශ්‍යතාව පිළි ගත්ත ද ජනතාව පෙළ ගැසෙන්නේ බලය හිමි අපේක්ෂකයා වටාය. බලය හිමි අපේක්ෂකයාගේ දේශපාලන වැඩ පිළිවෙලින් වික්‍රමබාහුගේ වැඩ පිළිවෙල වෙනස් වන්නේ කොතැනින් දැයි අපැහැදිලි වූ විට ජනතාව බල සාධකය වටාම රොක් වීම තවත් ස්ථිර වේ. ඒ අර්ථයෙන් වික්‍රමබාහුගේ දේශපාලන ඉදිරිපත්වීම උපක්‍රමිකව නිවැරුදි නොවේ.

රාජපක්ෂ රෙජීමයට එරෙහිව එකම දේශපාලන වැඩ පිළිවෙලක කදවුරු බැද ගැනීමට තිබිය දී දුර්වල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් තුළ අත්හදා බැලීම් කරා යෑම රාජපක්ෂයන්ට ම වාසි සහගත විය හැකිය.රාජපක්ෂ නැවතත් බලයට පත් වුවහොත් රෙජීමය විසින් මුදා හරින මර්දනයට, ඒකාධිපතිත්වයට හා අසමානතාවයන්ට මුහුණ දීමට බාහු ගොඩනැගීමට උත්සාහ දරන දේශපාලන කදවුරට බලයක් නොමැත. එසේම රාජපක්ෂයන්ගේ ජයග්‍රහණයක් තුළ ඉදිරියට එන්නා වූ මහා මැතිවරණය ද ඔහුගේම තනි භුක්තියට නතු වූ පාර්ලිමේන්තුවක් බිහිවීමට මාර්ග විවෘත කරයි. විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික බලය නිසාම දේශපාලන පරිසරය නැවත බලවත් ලෙස ධ්‍රැවීකරණය වී විපක්ෂ බලවේග සීසී කඩ ගොස් ආඥාදායකත්වයක් බිහිවීම අනිවාර්ය වේ. ඒ නිසා රාජපක්ෂ නැවත බලයට ඒම රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මතු කරන්නේ බරපතල ගැටලූන් රුසකි.

ශ්‍රී ලංකා රාජ්‍යය මුහුණ දී ඇති බරපතල ප්‍රශ්නයන්ගෙන් මිදී රාජ්‍යය නැවත ප්‍රජාතන්ත්‍රීය කිරීම සදහා සරත් ෆොන්සේකා කිසිම විසදුමක් ඉදිරිපත් කරන්නේ නැත. එහෙත් ෆොන්සේකාගේ ආගමනය ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් සාධනීය වී ඇති බව දැනටමත් තහවුරු වී තිබේ. රාජ්‍යයේ තනි අයිතිය රාජපක්ෂ බල කදවුර වටා කෙන්ද්‍ර ගතව තිබුණි. එම බලයේ කෙන්ද්‍රය වෙනස් කිරීමට ෆොන්සේකා සමත් වුණි. යුද ජයග්‍රහණයත් සමග වසර විසි පහක කාලයකට රාජාභිෂේකවීමට පෙරුම් පිරූ මහින්ද රාජපක්ෂ දැන් රාජ්‍යයේ භාරකරුවා වීමට උත්සාහ දරයි. ඒ නිසා රාජ්‍යයේ ඒකාධිපති ලක්ෂණ යම් පමණකින් සීමා වුණි. එය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සාධනීය වේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ හසර පුළුල් කර ගැනීම අද දවසේ දේශපාලන අභියෝගයයි.

අද මුළු රටම ඉල්ලා සිටින්නෙ එවැනි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රයෝගික වැඩ පිළිවෙලකි. ඉන් මග හැර යෑමට ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු කිසිම වාමාංශිකයෙකුට නොහැකි බව සහෝදරාත්මකව ප්‍රකාශ කරමි.

Pic – lankaenews

Advertisements

4 Comments

  1. මේක රාමු කරල තියා ගනින් ෆොන්සේකා බලයට ඇවිත් උගේ දඩ බල්ලො උඹ පස්සෙ එළවන දවසක බලන්න.

    1. ලිහා බලපු මල්ල ඔබා බලන්න දෙයක් නැතැයි කතාවක් පවතී.
      නොදියුණු ධනේශ්වර රටක දඩ බල්ලන්ගේ මෘගත්වය නායකයන්ගේ මූණ මගින් තීරණය නොවේ. රාජපක්ෂ රෙජීමයේ දඩ බල්ලන්ගේ සපා කෑම් වලට ලක් වුණ අපට ජනරාල්ගේ දඩ බල්ලන්ගේ සපා කෑම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න ඇති නොවේ. එසේම මගේ ලිපියෙන් පවසා ඇති පරිදිම ජනරාල්ගේ දඩ බල්ලන් නො එන බවක් පවසා නැත. අත් දෙක හකුළා ගෙන නොසිට ඒ සදහා සූදානම් විය යුතුය.

      අනෙක දෙමළුන්ගේ ඔලු ගෙඩි වලට ඉහළින් ආ මර්දනය සිහලුන් කරා පැමිණිය හැකිය.එවිට හෝ මර්දනයේ කූරත්වය සිහලුන් විසින් තේරුම් ගන්නවා ඇත.

  2. ෆොන්සේකාගේ ආගමනය තුල සිදුව ඇති එකම සාධනීය වෙනස රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධි දේශපාලන න්‍යායපත්‍රය හකුලා ගැනීම පමනි. එය ෆොන්සේකාට බාහිර වූවකි.ඊට අමතරව ෆොන්සේකාගෙන් අනාගත දේශපාලනය පිළිබද සාධනීය ලක්ෂණ දැකගත නොහැක. කෙසේ වුවද ඔබ පවසා ඇති පරිදි සමාජවාදය යැයි තනි නොවී පවත්නා යථාර්ථය තුල ස්ථානගත වීම වැදගත් වූවකි. විජේ ඩයස්ගේ යොජනා දුටු විට මට හැගුනේ ඔහු කොතෙක් සමාජයෙන් වියුක්ත පුද්ගලයෙක් යන්න පමණයි. ඊට සාපේක්ෂව බාහු විසින් ඉදිරිපත් කරන 50% ප්‍රතිශතය ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙකුට වත් ලබානොදීමේ උත්සාහය දේශපාලනිකය.
    ලෝක සමාජවාදී දේශපාලනයට ලංකාව ගැටගැසීම කෙසේවෙතත් ලංකා‍ව විනාශයට පත්වීම වළක්වා ගැනීම සදහා යම් තරමක හෝ ( ජාතික ප්‍රශ්ණය හැරුණු කොට) කේවල් කිරීමේ හැකියාවක් ඇත්තේ ජවිපෙට පමණි. අනෙක් සියලු සාමාජවාදී පාර්ශව ෆොන්සේකාට ජැක් ගැසීමක් පමණක් සිදුකර ඇත.

    1. “ඊට සාපේක්ෂව බාහු විසින් ඉදිරිපත් කරන 50% ප්‍රතිශතය ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙකුට වත් ලබානොදීමේ උත්සාහය දේශපාලනිකය.”

      බාහු සහෝදරයාගේ මෙම වෑයම උපක්‍රමශීලීව නිවැරැදි නොවේ. ශක්තිමත් සමාජ දේශපාලන වැඩ පිළිවෙලක් නොමැතිව මෙවැනි ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම නිසා එහි වාසිය හිමි වන්නේ පොදු සතුරාටයි. මහින්ද රාජපක්ෂ විරෝධී ඡන්ද බාහුගේ හෝ වෙනත් වමේ පක්ෂයකට හෝ වැටීමෙන් විරුද්ධ පක්ෂ ඡන්ද බෙදී යෑමක් සිදුවේ.එය පොදු සතුරා ශක්තිමත් කිරීමට හේතුවේ.

      වම විසින් ඉදිරිපත් කරන විකල්ප සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙල ශක්තිමත් නොවී දියාරු මට්ටමක පවතින තාක් බාහුගේ උත්සාහය අදේශපාලනික වේ. මැතිවරණ අභිමුඛ අටවා ගන්නා මෙවැනි දේශපාලන උත්සාහයන් අනිවාර්යෙන්ම ශක්තිමක් නොවූවකි. එවිට විකල්පයට වැටෙනා ඡන්ද වල අගය ශූන්‍ය වේ.

      එහෙත් එම ඡන්දවල ස්වාධීනත්වය රකිමින් පොදු සතුරාට විරුද්ධව එක පෙරමුණකට ඒම වඩා දේශපාලනිකය. ඒ තුළ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සමානාත්මතාව සදහා කේවල් කිරීම කළ යුතුය.

      නො එසේනම් ඉතිරි වන්නේ මහින්ද රාජපක්ෂ යළි බලයට පත්වීම දෙස කාළකන්නි ලෙස බලා සිටීමට සිදුවීම පමණි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s