සම්මුතියේ විසම්මුතිය


එ.ජා.ප, ටී.එන්.ඒ හා ජ.වි.පෙ. සංධානය පිළිවෙලින් අලි,කොටී හා නරින්ගේ හවුල ලෙස හදුන්වමින් අවලාද නැගීමේ සිට විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම දක්වා රාජපක්ෂ රෙජීමයේ ජයග්‍රහණයේ ප්‍රමෝදය උත්කර්ශවත් වෙමින් තිබේ. එක් අතකින් ඒ ප්‍රබෝධයට හේතු සාධක නැත්තේම නොවේ. දිගින් දිගටම පරාජය වැළද ගනිමින් සිටී විපක්ෂයට ශක්තිමත් අපේක්ෂකයකු ලබාදුන්නේ රාජපක්ෂ රෙජීමය තුළින්මය. එවැන්නක් සිදුවේ යැයි රාජපක්ෂ රෙජීමයේ කිසිවෙක් නොසිතන්නට ඇත. මේ අන්දමින් රාජපක්ෂ රෙජිමයේ ශක්තිමත් පැවැත්මට බලපෑ සියළු හේතු සාධකයන් සහිත තවත් අපේක්ෂකයකු මතුවීම රෙජීමයේ පදනම් පවුරු වලට ඉල්ල වූ බරපතල අභියෝගයක් විය. ඒ නිසා මැතිවරණ කාලය තුළ රෙජීමයට නියත බියක් ඇති වුණි. දැන් කෙසේ හෝ ජයග්‍රහණය අත්වීම සැමරීමට කාරණයකි.මහින්ද රාජපක්ෂ නැවතත් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීමත් සමග රෙජීමයේ අන්තේවාසිකයෝ පස්වනක් ප්‍රීතියෙන් යුතුව ලද විජයග්‍රහණය සමරන මේ මොහොත දෙවැනි වන්නේ එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන් රාජ්‍ය හමුදා මගින් ඝාතනය කළ අවස්ථාවේ ජයග්‍රහණය සමරනු ලැබූ උත්කර්ෂවත් අවස්ථාවට පමණක් විය යුතුය.

මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් මා නුදුටු මිත්‍ර ටැබූ සබ්ජෙක්ට් බ්ලොග් අඩවියේ ලියුම්කරු තබා තිබූ සටහන මේ විෂය සම්බන්ධයෙන් මා මෙතෙක් දුටු උපහාස රසයෙන් පිරී ගිය කදිම උපමාවකින් සමන්විත වූවකි. ඔහු මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සසදා තිබුණේ ස්ලම්ඩෝග් මිලියනයර් චීත්‍රපටයේ කුඩා පිරිමි ළමයා මහත් උත්සාහයක් දරා තම ප්‍රියතම නළුවා වූ අමිතාබ් බච්චන්ගේ සමරු අත්සනක් ගත් අවස්ථාවටය. ඒ කුඩා ළමයා වැසිකිළියට ගොස් සිටී අවස්ථාවක ඔහුගේ ප්‍රියතම නළුවා වූ අමිතාබ් බච්චන් හෙළිකොප්ටරයකින් එම ප්‍රදේශයට පැමිණේ. එහෙත් අමිතාබ් බච්චන් දැක බලා ගැනීමට යෑමට කොළුවාට නොහැකි වන්නේ ඔහුගේ මුරණ්ඩු සහෝදරයා නිසා ඔහු වැසිකිළි අඩස්සියට පත්ව සිටී බැවිනි. එහෙත් අමිතාබ් හමුවීමේ ඉවසුම් නොදෙන ආශාවකින් යුතුව වැසිකිළියෙන් පිටවීමට බලන කොළුවාට ඇස ගැටෙන්නේ එකම එක මාර්ගයක් පමණි. කොළුවා තම බඩතුරෙන් එළියට ගත් අමිතාබ්ගේ පින්තූරයක් එක් අතකින් ඉහළට ඔසොවාගෙන අනෙක් අතින් නහය වසාගෙන වැසිකිළි වල තුළට පනී. පොදු විවෘත වල වැසිකිළියක් වන එහි අනෙක් පසින් කොළුවා එළියට එන්නේ මුළු ශරීරය පුරා මිනිස් අශූචී තවරා ගනිමිනි. තම අරමුණ කරා ඉදිරියටම යන කොළුවා සහෝදර කොළු රූන පසෙකට කරමින් අමිතාබ් බච්චන් හමුවට ගොස් බඩතුරෙන් ගත් පින්තූරය මත සමරු අත්සනක් ලබාගැනීමට සමත් වේ. කරවටක් වැසිකිළි වලකට පැන මුළු ශරීරය පුරාම මිනිස් අසූචී තවරා ගනිමින් වුවද තම ඉලක්කය කරා ගිය කොළුවා ජයග්‍රහණය ලබා ගනී. මේ කොළුවා ලැබූ ජයග්‍රහණයට මහින්ද රාජපක්ෂගේ විජයග්‍රහණය සමාන කිරීමෙන් ටැබූ මතු කරන උපහාසය කෙතරම් නම් රසවත් ද?

ජනාධිපතිවරයා වැඩි ජන්ද ලක්ෂ දහ අටක ඡන්දයකින් තේරී පත් වුවද ඒකාබද්ධ විපක්ෂය මේ ප්‍රථිපලය පිළිගැනීමට සූදානම් නැත. ප්‍රධාන ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා මෙන්ම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජ.වි.පෙ. නායක සෝමවංශ අමරසිංහ, මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් ඇතුළු විපක්ෂයේ සියළු පක්ෂ නායකයන් සිදුකරන්නේ මැතිවරණ ප්‍රථිපල ගැන සැක සංකා සහිත ප්‍රකාශයන් ය. එහෙත් යමක් සිදුවූ බවට නිශ්චීත සාක්ෂි කිසිවක් නොමැත. කට කතා දස අත පැතිරී යයි. එහෙත් මැතිවරණ කොමසාරිස්වරයා නිල ප්‍රථිපල දැනුම්දීමේ දී සිදු කළ ගුප්ත ප්‍රකාශය සාධාරණ සැකයන් මතු කරයි. එසේම අන් කිසිම මැතිවරණයක දී සිදු නොකළ අයුරින් රාජ්‍යයේ බලය මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට යොදා ගත්තේ නිර්ලජ්ජිත අයුරින් බව සියළු දෙනාම දන්නා කරුණකි.තව දුරටත් මැතිවරණ වංචා සිදුකරන්නේ සාම්ප්‍රදායී ක්‍රමෝපායන් මත නොවන බව ඉතා පැහැදිලි ය. ජයවර්ධන රෙජීමය හෝ චන්ද්‍රිකා රෙජීමය හෝ කළ අයුරින් එළිපිට හොර ඡන්ද දැමීම මේ වනවිට අවලංගු ක්‍රමයකි. එහෙත් වංචා දූෂණයන් සිදු කිරීමට පවා තාක්ෂණික දියුණුව භාවිතා කිරීම දැන් උපාය උපක්‍රමයයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ මොහොතේ පටන් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට නීතිය අදාළ වූයේ නැත. රාජ්‍යයේ ඉහළ නිලධාරීන් ද ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම ද භෞතික සම්පත් ද ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට යොදා ගත්තේ නිර්ලජ්ජිතවමය.මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග පවා රාජ්‍ය යාන්ත්‍රය විසින් සැලකිල්ලට ගත්තේ නැත.ඔහුගේ නියෝග නොතකා හැරියේ රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් පමණක් නොවේ. පොලිස්පතිවරයා ද නීතිය නොතකා හැරියේය.නොයෙක් ප්‍රතිචාරයන් දක්වමින් මැතිවරණ කොමසාරිස්ගේ බලය හෑල්ලුවට ලක් කළවුන් අතර ජනාධිපතිවරයාම විය.මැතිවරණ දින රජයට අයත් රූපවාහිනී නාලිකා යොදා ගනිමින් විපක්ෂ අපේක්ෂකයා සම්බන්ධයෙන් පදනම් විරහිත අදහස් පැතිරවීම මේ නිර් ලජ්ජිතභාවයේ උපරිමය ලෙස හැදින්විය හැකිය.මැතිවරණ නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ සෑම අවස්ථාවකම ඔහු අසරණ වුණි.ඒ අර්ථයෙන් ජනාධිපතිවරණ කාල පරිච්ඡේදය තුළ රට තුළ ඇතිවූයේ අරාජිකත්වයක් බව ඉතා පැහැදිලිය. අඩු දියුණු පරිධියේ රටවල් වල ධනෙශ්වර නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විශ්මය පළ කිරීම අර්ථ විරහිතය. එසේම එම නීතිය සාධාරණ අයුරින් ක්‍රියාත්මක කර ගැනීමට උත්සාහ කිරීම ඊටත් වඩා අර්ථ විරහිතය.

සමස්ත උතුරු නැගෙනහිර දෙපළාතේත් නුවර එළිය දිස්ත්‍රික්කයේත් ඇතුළු සුළු ජාතීන් බහුතරය වන ප්‍රදේශයන්හි ජයග්‍රහණය ලබා ඇත්තේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාය. එසේම දෙමළ, මුස්ලිම් හා වෙනත් සුළු ජනකොටස් සමාන ලෙස මිශ්‍රව ජීවත්වන ප්‍රදේශයන්හි ජයග්‍රහණය ලබා ඇත්තේ ද සරත් ෆොන්සේකාය. නො එසේනම් සුළු ඡන්ද ප්‍රමාණයකින් ඔහුගේ ජයග්‍රහණය ගිලිහී ගොස් ඇත. සිංහල බහුතරය ජීවත් වන ප්‍රදේශ වලින් අති විශාල බහුතරයක් ලබා ගැනීමට සමත් වුවද සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ගැනීමට මහින්ද රාජපක්ෂ අසමත්ව තිබේ. ඒ අර්ථයෙන් සිංහල නොවන ජනතාවගෙන් රාජ්‍ය බලය සදහා වරමක් ලබාගැනීමට මහින්ද රාජපක්ෂ සමත් නොවීම මෙම ජනාධිපතිවරණයේ සුවිශේෂී ලක්ෂණයකි. ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉහළම විධායකය වන ජනාධිපති ධූරයට පුද්ගලයකු තෝරා ගැනීම සදහා පැවැති මැතිවරණයේ දී දෙමළ, මුස්ලිම් ඇතුළු සුළු ජාතික සමාජ තීරුවෙන් රාජ්‍යයේ බලාධිපත්‍යයට එල්ල වී ඇත්තේ ප්‍රබල අභියෝගයකි.

2005 දී මහින්ද රාජපක්ෂ මහ ජනතාව සමග ඇති කර ගත් සමාජ සම්මුතිය මුළුමනින්ම පදනම් වූයේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය මතය. ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව දෙමළ ජනතාවගෙන් එල්ල වූ මිලිටරිමය අභියෝගය ජය ගැනීම සදහා රෙජීමය සතුව තිබුණේ ගෝලීය ධනෙශ්වරයේ ආශීර්වාදය මත ශක්තිමත් වූ මිලිටරිමය විසදුමක් පමණි. අවම වශයෙන් ඒ හා සමගාමීව දේශපාලන විසදුමක් ඉදිරිපත් කිරීමට හෝ රෙජීමයට ශක්තියක් නොවීය. අවසානයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තලා පොඩි පට්ටම් කර දැම්මේ ය. දෙමළ ජනතාවගෙන් එල්ල වූ මිලිටරිමය අභියෝගය මර්දනය කිරීමෙන් පසුව හෝ දෙමළ ජනතාව ශ්‍රී ලංකා රාජ්‍යයේ ආධිපත්‍යයට නතු කර ගැනීම සදහා අවම ප්‍රජාතන්ත්‍රීය විසදුමක් ඉදිරිපත් කිරීමට රෙජීමය අසමත් වුණි. ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබා ගැනීමට පවා දෙමළ ජනතාව කරා මහින්ද රාජපක්ෂ ගමන් කළේ හිස් අතිනි. දෙමළ දේශපාලන අවකාශය තුළ පවතින හිස් බව තුරන් කිරීමට දෙමළ ජනතාවගේ දෙපතුල ලගට යෝධ සංවර්ධන ව්‍යාපාර ගෙන යෑම කොහෙත්ම ප්‍රමාණවත් නොවේ. ඡන්ද ලබා ගැනීමේ අරමුණෙන් සිංහල ප්‍රජාව කරා දක්වන ප්‍රවේශය දෙමළ දේශපාලනය සමග සලකා බැලූ විට අවලංගු උපක්‍රමයකි. දෙමළ ප්‍රජාව තුළ පවතින අපේක්ෂා භංගත්වය, පරාජික මානසිකත්වය, ආරක්ෂාව වැනි හැගීම් සම්බන්ධයෙන් දකුණේ ප්‍රජාව විශේෂයෙන් ශ්‍රී ලංකා රාජ්‍යය මීට වඩා සංවේදී විය යුතුය. එහෙත් නොයෙක් වරදානයන් ලබා දෙමින් සිංහල විරුද්ධ පාක්ෂිකයන් දිනා ගන්නා අන්දමින්ම දෙමළ දේශපාලකයන් දිනා ගත්ත ද දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වලට ආමන්ත්‍රණය කිරීමට සමත් ශක්තිමත් සමාජ ආර්ථික දේශපාලන වැඩපිළිවෙලක් රෙජීමය සතුව නොපවතී.

රාජ්‍යයට මිලිටරිමය ලෙස අභියෝග කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කර ඇතත් රාජ්‍යයේ ඒකාග්‍රතාව දේශපාලනිකව රුක ගැනීමට හා ජාතීන් අතර ඒකාග්‍රතාව ප්‍රජාතාන්ත්‍රිකව ආරක්ෂා කර ගැනීමට රාජපක්ෂ රෙජීමය අසමත් වීම රාජ්‍යයේ පිවිතුරුභාවය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතු කරයි. සිංහල ජනතාවගේ ඡන්ද පමණක් ලබගැනීම නීත්‍යානුකූලව බලයට පත්වීමට සෑහෙන්නේ වුවද රාජ්‍යයේ ඒකාග්‍රතාව රකිමින් බලය පවත්වා ගැනීම සදහා සියළු ජන වර්ගයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ. නො එසේනම් ශ්‍රී ලංකා රාජ්‍යය සිංහල ජනතාවගේ රාජ්‍යයක් පමණක් බවට පත් වේ. එවිට සුළු ජාතීහු රාජ්‍යය කෙරෙහි සැක සංකා ඇති කර ගනිමින් එහි බලාධිපත්‍යයෙන් ඉවත්වීමට උත්සාහ ගනිති. ශ්‍රී ලංකා රාජ්‍යයේ ආධිපත්‍ය නොපිළිගනිමින් වෙනම රාජ්‍යයක් දිනා ගැනීම දක්වා සන්නද්ධ අරගලයකට දෙමළ ජනතාව යොමු වූයේ රාජ්‍යය සම්බන්ධයෙන් ඔවුන් තුළ එවැනි අයහපත් හැගීමක් ඇති වූ බැවිනි. එසේ වූ විට රාජ්‍යය අනෙකුත් ජාතීන්ගේ පීඩක උපකරණයක් ලෙස නිරායාසයෙන්ම කටයුතු කරයි.

මහින්ද රාජපක්ෂ 2010 දී ත් මහජනතාව සමග ඇති කර ගත්තේ වාර්ගික සිංහල ස්වෝත්තමවාදී දේශපාලන සම්මුතියකි. ඒ තුළ සුළුතරයේ අයිතිවාසිකම් වලට, මානව හිමිකම් වලට , ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ඉඩක් නොපවතී. මහින්ද රාජපක්ෂ සිංහල බහුතරයේ අති මහත් කැමැත්ත ලබා ගත් නිසා බහුතරයේ විරෝධයකින් තොරව සුළුතරයේ අයිතීන්ට ගරු කරන යම් විසදුමක් ලබා දෙතැයි රාජපක්ෂ රෙජීමයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ බහුශ්‍රැතයෝ පවසති. එහෙත් බහුතරයේ කැමැත්ත ලබාගෙන ඇත්තේ ඇති කර ගත් දේශපාලන සම්මුතියට බාහිරව කටයුතු කිරීමට නොවේ. ඉන් බාහිරව යමක් කිරීමට තැත් කරන පළමු මොහොතේ දී ම එය බිද දැමීම සදහා පළමුව ඇති කර ගත් දේශපාලන සම්මුතිය පෙරට පැමිණේ. දේශපාලනය පෙල ගැසෙන්නේ මේ අන්දමින් බව ඉතිහාසය අවශ්‍ය තරමටත් වඩා සාක්ෂි සපයයි.දෙමළ ජාතික සංධානය විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයෝගය දීමට ඉදිරිපත් වූ මොහොතේ දී ම රාජපක්ෂ රෙජීමය කල් යල් බලා සිංහල ස්වෝත්තමවාදී හැගීම් උසි ගැන්වීමට කටයුතු කළේය.රට කැබලි කර ඊලාම්වාදීන්ට පාවා දීමට ෆොන්සේකා සම්මුතීන් අත්සන් කර ඇතැයි පැවසුවේ පොළොවේ හැපෙමිනි. ඉන් ගම්‍ය වූයේ දෙමළ ජනතාවට අබටෙක තරම් දෙයක් නොදිය යුතුයැයි යන සිංහල වර්ගවාදී හෘදය සාක්ෂියයි.

ජනාධිපතිවරණයේ දී සුළුතරයේ සහයෝගයක් නොමැතිව එහෙත් භෞතික සම්පත් වලට ලොල් සුළුතර නියෝජිතයන්ගේ ආශීර්වාදයෙන් සිංහල ස්වෝත්තමවාදී ජනවරමක් රාජපක්ෂ රෙජීමය විසින් ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා රාජ්‍යය සමග සුළුතරයේ වාර්ගික අනුකලනය ගිලිහී ගොස් වෙනම සිංහල රාජ්‍යයක් ද වෙන් වෙන් වශයෙන් සුළුතර රාජ්‍යයන් ද මනෝමූලිකව බිහිවී තිබේ. වෙනත් වචනයන්ගෙන් පැවසුවහොත් ජනාධිපතිවරණ ප්‍රථිපලයත් සමග ශ්‍රී ලංකා රාජ්‍යය තවත් රාජ්‍යයන් කිහිපයකට කැඩී වෙන් වී ගොස් ඇත.ජාතීන් අතර සංහිදියාව, අනෝන්‍ය අවබෝධය හා ගරුත්වය ගිලිහී ගොස් ඇති නිසා ජාතීන් අතර සම්බන්ධතා පුරුකක් තැනීම මේ මොහොතේ අතිශයෙන් දුෂ්කර වූවකි.

මහින්ද රාජපක්ෂ, තමාම වපුරපු බීජයන්ගේ අස්වැන්න කදිමට නෙළා ගෙන ඇත.

Pic: Courtesy by www

Advertisements

7 thoughts on “සම්මුතියේ විසම්මුතිය

  1. ඔයගෙ ලිපියට කොහෙත්ම එකග වෙන්න බැහැ. මොකද මේ රට අයිති සිංහලයින්ට. අපට ලොකයේ වෙන රටක් නැහැ යන්න.ඔයා කියන විදිහට සුලු ජාතින් ඉන්නවයි කියල මේ රට කෑලි කෑලිවලට බදලා දෙන්න ඕන.ඒක හරි නියම කථාවක්නෙ.එහෙනම් අමෙරිකාව වගේ රටවල සුලු ජාතීන් ඉන්නවා කියල අමෙරිකාවත් එහෙම කරන්න එපැයි. ඒ රටේ සිද්ඩ වෙන්නෙ.. සුලු ජාතිකයො එහම හීනමානයක් ඇතිකර නොගෙන හැම දෙනාම ඇමරිකානුවන් හැට්යට සිතන එක.

    මට කියන්න තියෙන්නේ සේරටම කලින් සුලු ජතිකයිගේ ආකල්ප වෙනස් විය යුතුයි.මේ රටේ පුරවැසි බාවය තියෙන හැම කෙනෙක්ටම මේ රට අයිති, ඒ වගේම අපි එකම ජාතියක් හැටියට සිතිය යුතුයි .එහෙම නැතුව අපි බේද වෙන එක නොවෙයි කල යුත්තේ .

    1. මේ රට අයිති සිංහලයන්ට බව පිළිගනිමි. එහෙත් මේ රට සිංහලයන්ට පමණක් අයිති නොවේ. සිංහලයන්ට පමණක් මේ රට අයිති බව ඔබ පවසන්නේ නම් ඔබ කරන්නේ ඊලාම් මතවාදයට දැන හෝ නොදැන ජීවය පිඹීමකි.

      සිංහලයන්ට යන්න වෙන රටක් නැහැ යන්න යල් පැන ගිය මතයකි. එය එසේ නම් ඔබ මව්බිම හැරදා පිට රටක වාසය කරන්නේ කෙසේද්?

      එසේම ලක්ෂ ගණන් සිංහලයන් විදෙස් ගතව ඉන්නේ කෙසේද?

      සුළු ජාතීන් ඉන්න නිසා රට කෑලි වලට කැඩිය යුතු යැයි මා කිසිවිටෙක ප්‍රකාශ කර නොමැත. මා පවසන්නේ සියළුම ජාතීන් ශ්‍රී ලාංකික හැගීමෙන් එකම රටක ජීවත් විය යුතු බවයි. ඒ සදහා ශ්‍රී ලාංකික හැගීම අවශ්‍ය වේ. එම හැගීම සුළු ජාතීන් තුළ ඇතිවන්නේ මහ ජාතියත් රාජ්‍යයත් ඔහුන් සම්බන්ධයෙන් දක්වන ආකල්පය අනුවය. ඔබ පවසන පරිදි ඒ සම්බන්ධයෙන් සුළු ජාතීන්හට ද යම් වගකීමක් පැවැරෙන බව මම පිළිගනිමි. ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල යම් යම් ප්‍රශ්න තිබුණත් එක් රටක සියළුම ජාතීන් ජීවත් වන්නේ සාමූහික හැගීම සියළු ජාතීන්ගේ හදවත් තුළ ඇති වී තිබෙන බැවිනි.

      අපිත් උත්සාහ කළ යුත්තේ එවැනි දියුණු සමාජ තත්ත්වයක් කරා ගමන් කිරීමටයි.

      ඔබට ස්තූතියි.

    2. සුලු ජාතිකයන්ගේ ආකල්ප වෙනස්කරන්න හිතන්න කලින්,ඇයි මහජාතිය විධීයට අපිට අපේ ආකල්ප වෙනස් කරගන්න බැරි. පවුලක වගකීම තියෙන්නෙ වැඩිමල් සහෝදරයා අතේ මිසක් බාල සහෝදරය අතේ නෙවෙයි.හැබැයි වැඩිහිටි සහෝදරය මග පෙන්වන කො‍ට බාල සහෝදරයත් ඒ මග යනවා කියන එක විශ්වාසයි. ඒ වගේ මහජාතිය විදියට අපේ උරැමය ගැන කථා කරනවට වඩා සියලු දෙනා සමග සමගියෙන් ජීවත් වෙන්න පුලුවන් ආකල්පයකට අපේ සිංහල ආකල්ප වෙනස්කර ගත යුතු නැද්ද?

  2. මව් බිමෙන් පිට වෙනත් රට වල ජිවත් වෙන සහ ඒ රට වල පුරවැසි බව ලැබ ජීවත් වෙන හැම කෙනෙක්ම ඒ රටවල නීති පද්ධතියට සහ ඒ රටේ සාර ධර්ම වලට අපි අමාරුවෙන් හෝ අනුගත විය උතුයි. නැතිනම් අපි ඒ රටේ මහා ජාතියෙන් කොන්වෙන එකයි වෙන්නේ .කියමනක් තියෙනවා නේද, රෝමයෙ ඉන්නවානම් රෝම වැසියෙක් වගේ ජීවත් වෙන්න ඕන කියලා.
    මටත් ඒ ගැන ටිකක් අත්දැකීම් තියෙන්වා මමත් ඉන්නේ යුරෝපා රටක නිසා .අනික මේ රටේ අපේ දරුවනුත් එක්ක ජීවත් වෙනවානම්,අපේ දරුවන් මෙහේ අද්යාපනය ලබනවාන්ම්,මේ රටේ තියෙන සන්ස්කෘතියට හැඩ ගැසෙන්න,ඒවගේම මේ රටේ මව් බස කථා කිරිමට සහ මේ රටවල තියෙන සහ අපේ රටේ ලමුන්ට නැති ඒනිදහස ඒ ළමුන්ට යම් තරමකට හෝ දිය යුතු වෙනව .
    ඉතින් මම කියන්න හැදුවේ මේ රටවල කුමන ජාතියක විදේශිකයෝ හිටියත්,මොන බාශාව කථා කරත් මේ රටේ පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න ඕනනම් අපි මේ විදිහට හැඩ ගැසිය යුතුයි.ඒකට තමයි අපේ ආකල්ප වෙනස් කර ගත යුතුවෙන්නෙ.

    1. In Europe followings will not happen:

      Surrounding News Paper offices who are against the government
      Arresting Editors for being anti government
      Expelling Journalist for asking questions
      Breaking into Opposition candidate’s hose
      Threatening the media for telecasting anti gov. news
      Breaking union offices
      Removing security guards provided for a former general
      Considering minorities as Enemies

  3. ඔබගේ පටු අදහස සනාථ කිරීම සදහා යොදාගෙන ඇත්තේ වැරදි උදාහරණයකි. ඇ.එ.ජ වනාහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බලය බෙදා ඇති Federal රාජ්‍යයකි. අද දකින ඇ.එ.ජ. බිහිවී ඇත්තේ ජනපද අතර ඇතිවූ විශාල සිවිල් යුද්ධ සහ කළු ජාතිකයින් තම අයිතීන් වෙනුවෙන් කරන ලද විශාල අරගල සහ එවයේ ප්‍රතිඵල ලෙස ඇති කරන ලද්දාවූ ප්‍රතිසංස්කරණ මගින්ය.
    අප රට තුල එවැනි ආකෘතියේ බලය බෙදා හැරීමක් සිදුකලේ නම් සුළු ජාතිකයින් අතර අතෘප්තියක් ඇතිවන්නට ඉඩක් නැත. එය ආකල්ප සම්බන්ද ගැටළුවක් නොව දේශපාලන ගැටළුවකි. ඇ.එ.ජ ගැන කතා කරන ඔබ එම ආකෘතියේ බලය බෙදා හැරීමකට එකගද.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s