තක්කඩීන්ගේ මගුල් ගෙදර මත් පැන් නොමැතිවීම


(2009 වර්ෂයේ ජුනි මස 07 දින පළ කරන ලද මෙම බ්ලොග් සටහන වර්තමාන සංධර්භය තුළ ද පාඨකයන්ගේ අවධානයට ලක් කිරීම සුදුසු යැයි හැගෙන බැවින් නැවත පළ කරමි.)

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ හා රනිල් වික්‍රමසිංහගේ ආශ්‍රය පැතූ කොළඹ අග නාගරික උගත්තු කලක් මේ නායකයන් දෙදෙනාටම ඇති තරම් අර්ථයෙන් හා ධර්මයෙන් උපදෙස් දුන්නෝ වූහ. තමන්ගේ ගෙදරට පැමිණි විට ආගන්තුකයන්ට සංග්‍රහ කිරීම වැදගත් පුරුද්දකි. ඒ අදහසින් තමන් පිළිගැන්වූ ඉස්තරම් මත් පැන් ද සිගරට් ද බොමින් තමන් පසු පස රස්තියාදු වූ කොළඹ අගනාගරිකයන් ගැන අවබෝධවීමට චන්ද්‍රිකාට ද රනිල්ට ද කලක් ගත වුණි. චන්ද්‍රිකා ඊට බොහෝ කල ගත්ත ද රනිල් කෙටි කලකින්ම තත්ත්වය අවබෝධ කර ගත්තේය. රනිල් වික්‍රමසිංහ කිසිවෙක් තුට්ටුවට මායිම් නොකරන්නෙකි. ඒ ප්‍රතිපත්තිය කොතෙක් දුරට සාධාරණ ද යන්න කෙසේ වෙතත් ඒ නිසා කොළඹ කේන්ද්‍රීය අග නාගරික සිංහල බෞද්ධ උගතුන් ඔහු නොරිස්සූහ. රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක රෙජීමය තුළ මෙම කොළඹ අග නාගරික උගතුන් කුණු කූඩයටම වීසි වුණි. කුල්ටූර් සමාජයේ හැදී වැඩුනු රනිල් ජාත්‍යන්තර සම්බන්ධතා පැවැත්වූයේ කොන්සර්වේටීන් සමගය. ඒ සමාගමයට ගැලපෙන කුල්ටූර් උගතුන් අග නාගරිකයේ දක්නට නොවුණි. බටහිර දක්ෂිණාංශිකයේ සුරතලා වූ ඔහුට දේශීය සිංහල බෞද්ධ උගතුන්ගේ ඇසුර පිළිකුල් සහගත වූවා විය හැකිය.

එතෙක් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ තුරුල්ලේ සිටි මේ නාගරික බයියන් අවසානයේ රනිල්ගේ සමාගමයෙන් ද පිටමං කෙරුණි.මේ නිසා 2005 ජනාධිපතිවරණය වනවිට මේ සියළු අගනාගරික උගතුන් සිටියේ තම අභාවවාචක අත්දැකීම් මධ්‍යයේ කනස්සල්ලෙනි. චන්ද්‍රිකාත් රනිලුත් තිත්ත වහ කදුරු තරම් ප්‍රතික්ශේප කරමින් මේ පිරිස එකා දෙන්නා බැගින් අරලිය ගහ මැදුරේ පිළිකන්න පැත්තෙන් ඇතුළු වූයේ එවකට අග්‍රාමාත්‍ය වූ කාගෙත් හිත මිත්‍ර මහින්ද රාජපක්ෂ හමුවීමටයි.

ඔවුන් මහින්ද රාජපක්ෂ කරා පැමිණියේ හිටි හැටියේ වෙනස් වූ දේශපාලනමය ප්‍රතිපත්තියක් නිසා නොවේ.භෞතික කාරණාවන්හි විද්‍යාත්මක වෙනස්වීමකින් තොරව දේශපාලන ප්‍රතිපත්තීන් වෙනස් කළ හැක්කේ දේශපාලනඥයන්ට පමණි. එහෙත් මේ අගනාගරික සිංහල බෞද්ධ උගත්තු එතෙක් දැරූ ආස්ථානයන්ගෙන් වෙනස් වූයේ විශ්මය ජනක ලෙසිනි. ඔවුන්ගේ මේ පරස්පරතා පෙල ගැස්වුවහොත් ඒවා පහත පරිදි සාරංශ කළ හැකිය.

චන්ද්‍රිකා – රනිල් යුගයන් තුළ කටයුතු කළ අන්දම

(i) ශ්‍රී ලංකා රාජ්‍යයේ ආකෘතිය ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි පවසමින් ෆෙඩරල් දේශපාලන ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටීම.

(ii) රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකය ප්‍රතික්ශේප කරමින් සමාජ ප්‍රජාතන්ත්‍රීය, ලිබරල් හා විනිවිද පෙනෙන්නාවූ ආර්ථිකයක් ගොඩ නැගීම වෙනුවෙන් පෙනී සිටීම.

රාජපක්ෂ රෙජීමය තුළ කටයුතු කරන අන්දම

(i) ඒකීය රාජ්‍ය ආකෘතිය ශක්තිමත් කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය කරගත් රාජපක්ෂ රෙජීමයට ඇතුළු වී ඊට ආශීර්වාද කිරීම.

(ii) වැඩචසම්වාදී රාජ්‍ය කේන්ද්‍රීය හා අවෘත ආර්ථික ක්‍රමයක් ප්‍රතිපත්තිය කරගත් රාජපක්ෂ රෙජීමයට ඇතුළු වී ඊට ආශීර්වාද කිරීම.

එහෙත් මේ පරස්පරයන් අගනාගරික බයියන්ට ප්‍රශ්නයක් වන්නේ නැත. ඔවුන්ට ප්‍රශ්නයක් වූයේ තමන්ගේ සමාගමය ප්‍රතික්ශේප කළ චන්ද්‍රිකා හා රනිල් ය. ඒ නිසා මේ නායකයන්ගෙන් පුද්ගලිකව පලි ගැනීමට ඔවුහු පෙළඹුණි. ඒ පලිගැනීම කෙතරම් දරුණු දැයි කියන්නේ නම් රාවය කර්තෘ වික්ටර් අයිවන්ට අනුව චන්ද්‍රිකා චෞර රුජිනකි. කතිකාචාර්ය සුමනසිරි ලියනගේට අනුව රනිල් කොයි මට්ටමෙන්වත් නායකයකු නොවේ. මේ දෙදෙනාගේම ලියවිලි වල පේලි අතරින් කියවන විට පැහැදිලි වන්නේ මර්වින් සිල්වා රටේ නායකයා වුවත් චන්ද්‍රිකාට හා රනිල්ට ඒ අවස්ථාව නොලැබිය යුතු බවකි. චන්ද්‍රිකා හා රනිල් බරපතල දේශපාලන වැරදි කළවුන් බව ඇත්තකි. එහෙත් ක්‍රමයේ වැරද්ද නිසා මිස මහින්ද රාජපක්ෂ වැරදි නොකරනවා යැයි ගම්‍යවීමට තර්ක ගොනගන අගනාගරික උගතුන් පැරණි නායකයන්ගේ පමණක් වැරදි සෙවීමට තැත් කිරීම තක්කඩිකමකි.

රාජපක්ෂ රෙජීමයේ සරණ පතා අරලිය ගහ මැදුරේ සෙවනට ආ අගනාගරිකයේ උගතුන් කොටස් දෙකකට වෙන් කළ හැකිය.

(i). රාජ්‍යයේ තනතුරු දරමින් රෙජීමයටම ආ වඩන චරිත හේරත් වැනි උපාසකයන්ගේ ක්‍රියාකාරකම්.

(ii). බල ආකෘතියෙන් පිටත සිටිමින් එහෙත් බල ආකෘතියේ පැවැත්ම වෙනුවෙන් මතවාදය පෝෂනය කරන වික්ටර් අයිවන් හා සුමනසිරි ලියනගේ වැනි මහත්වරුන්ගේ ක්‍රියාකාරකම්.

මෙම විභේදනයන්ට හසු නොවන එහෙත් රාජපක්ෂ රෙජීමය හා එකට සිටගත් චරිතයන් ද නැත්තේ නොවේ. ඔවුහු තම දේශපාලන ප්‍රතිපත්තීන් අනුව රෙජීමය වටා ගොනු වූහ. රාජපක්ෂ රෙජීමය හා එක්වී දේශපාලනික වැරුද්දක් කරමින් සිටියත් ඔවුන් තක්කඩීන් නොවන බව පැවසිය යුතුය. දයාන් ජයතිලක එවැන්නෙකි.

චන්ද්‍රිකා හා රනිල් තම කුල්ටූර් සමාජ සංස්කෘතියට නොගැලපීම නිසා සමාගමයෙන් පන්නා දැමූ අගනාගරික බයි උගතුන්ට රාජපක්ෂ රෙජීමය යටතේ අරලිය ගහ මැදුර දිව්‍ය ලෝකයක් වුණි. බීමට ඉස්තරම් මත්පැන් හා අවුළු පත් ද කෑමට රස මසවුලු ද මහජන මුදලින් ලබාදීමට රාජපක්ෂ රෙජීමය ලෝබකම් නොකළහ. චම්පික රණවකගේ සිට ඩග්ලස් දේවානන්ද දක්වා ද විමල් වීරවංශගේ සිට මිලින්ද මොරගොඩ දක්වා ද සියළු දේශපාලන අහිකුංඨිකයන් අරලිය ගහ මැදුරේ ලැගුම් ගැනීම අග නාගරික උගතුන් තුළ පිළිකුලක් දනවන්නේ නැත. සියල්ලන් සැදී පැහැදී සිටියේ තමන්ගේ ෆැන්ටසිය අහිමි කළ සතුරා ඉවත් කිරීමටය. ඒ සිහිනය සැබෑ කර ගැනීමට ගිය ගමනේ දී අග නාගරික උගතුන් අහිමි කර ගත් පුරුෂාර්ථයන් බොහෝය.

(i). ශ්‍රී ලංකා රාජ්‍යයේ ආකෘතිය ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි දශක කිහිපයක් පුරා රුධිරය ද කදුළු ද සලමින් ලාංකික සමාජය ඉගෙනගත් පාඩම හාස්‍යයට ලක් කිරීම.

(ii). රටේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරමින් රාජ්‍ය ත්‍රස්තවාදය පතුරුවන රාජපක්ෂ රෙජීමයේ ක්‍රියාකාරකම් ඉවසමින් එල්.ටී.ටී.ඊ.යේ ත්‍රස්තවාදය ගැන පමණක් කතා කිරීම.

(iii). මෙතෙක් සිංහල වර්ගවාදීන් විසින් ඉහළට එසවූ මතවාදය පෝෂණය කිරීමට කොන්දේසි විරහිතව දායකවීම.

(iv) ක්‍රම විරෝධි වීම තුළින් ගොඩ නගා ගත් පෞර්ෂය ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් කැප කිරීම.

දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නයන්ට විසදුම් දීමට නම් ඊට බාධා කරන එල්. ටී.ටී.ඊ ය විනාශ කළ යුතු යැයි මේ උගත්තු පැවැසූහ.දැන් ඒ බාධාව ඉවත් කර ඇත. අග නාගරික උගතුන්ගේ සිහින බිද දැමූ වේළුපිල්ලේ ප්‍රභාකරන් රාජ්‍ය හමුදා විසින් ඝාතනය කර ඇත. තවත් කාලයක් යන තුරු තමන් දකින්නා වූ සිහිනයන්ට බාධා කිරීම් සම්බන්ධයෙන් ක්ෂණික තර්ජනයක් ඇති වන්නේ නැත. දැන් එළඹ ඇත්තේ දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නයන්ට විසදුම් ලබා දිමේ කාලයයි. එහෙත් රාජපක්ෂ රෙජීමයේ පවුරු පදනම් වූ ජාතික හෙල උරුමය, ජාතික නිදහස් පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ වෙනස් කතාවකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් නොපවතින නිසා දේශපාලන විසදුමක් වැනි පාවාදීම් නොකළ යුතු බවත් රාජ්‍යයේ ඒකීයත්වය ශක්තිමත් කළ යුතු බවත් ඔවුහු පවසති.
අතීත ක්‍රියාකාරකම් කෙසේ වෙතත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කලක පටන් පෙනී සිටියේ ය. යුද්ධය පිළිබදව තරවටු කරන සෑම මොහොතකම ජනාධිපතිවරයා විදේශීය ආණ්ඩු වලට තොරොම්බල් කළේ මෙම විසදුමයි. රාජ්‍යයේ ආකෘතිය වෙනස් කිරීමේ දේශපාලන අර්ථයෙන් 13 වන සංශෝධනය පමණක් අදට
නොගැලපෙන්නකි. ඒ සදහා මහා විප්ලවීය පරිවර්ථනයකට යා යුතුය. එහෙත් ගස් නැති රටේ තුත්තිරි ගසුත් ගස් යැයි කීවා සේ ජනාධිපතිවරයාගේ අධිෂ්ඨානය පිළිබදව මේ මොහොතේ දී අගති විරහිතව බැලිය යුතුය. ඒ පිළිබදව ධනාත්මකව බැලිය යුතුය. 13 ව්‍යස්ථා සංශෝධනය ප්‍රමාද වූ විසදුමකි. එහෙත් එය හොද ආරම්භයකි. අවම වශයෙන් එවැන්නක් හෝ ක්‍රියාතමක කිරීමට රාජපක්ෂ රෙජීමය ශක්තිමත් වේ නම් එය සතුටට හේතුවකි.

රාජපක්ෂ රෙජීමයේ මතවාදය ශක්තිමත් කරන්නේ වික්ටර් අයිවන් හා සුමනසිරි ලියනගේ ඇතුළු කොළඹ කේන්ද්‍රීය උගතුන් නොවේ. අවම වශයෙන් රාජිත සේනාරත්න , ඩිලාන් පෙරේරා, තිස්ස විතාරණ හා ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරු හෝ නොවේ. ඔවුහු හා මොවුහු යන දෙපිරිසම දේශපාලන අනාථයන් ය. රාජපක්ෂ රෙජීමයට සුජාත අයිතියක් කිව හැකි බලවේගයන් පෙනී සිටින්නේ ඒකීය
රාජ්‍ය ආකෘතිය රුක ගැනීමටත් ශ්‍රී ලංකාව මහ ජාතියේ ආධිපත්‍යයට යටත් කළ යුතු බවටත් යන මතවාදය වෙනුවෙනි.මේ සන්දර්භය තුළ යම්කිසි බැරූරුම් දේශපාලන තීන්දුවක් ගැනීමට තරම් ජනාධිපති මහින්ද රාජපක්ෂට සැබෑ දේශපාලන ශක්තියක් තිබේදැයි විමසීම අගති විරහිත නොවේ. ඒ අර්ථයෙන් අනාගතය සිතන තරම් සුන්දර වන්නේ නැත.

අගනාගරිකයේ සිංහල බෞද්ධ උගතුන්ට මහින්ද රාජපක්ෂගේ සමාගමය මනා ලෙස ගැලපුනේ සංස්කෘතික පදනමිනි. චන්ද්‍රිකා හා රනිල් වැනි කුල්ටූර් නායකයන්ගෙන් එල්ල වූ ආකාරයේ පිළිකුල් සහගත ප්‍රතික්ශේපවීමක් මහින්ද රාජපක්ෂගෙන් එල්ල වන්නේ නැත. ඔහුන්ට තව බොහෝ කල් අරලිය ගහ මැදුරේ ප්‍රීති සාජ්ජයන් දැමිය හැකිය.එහෙත් අරලිය ගහ මැදුරේ පශ්චාත් යුද සැමරුම් පැදුරු
සාජ්ජයන්ට දේශපාලන විසදුම් නැමැති මත් පැන් ගෙන ඒමට රාජ්‍යයේ අයිතිකරුවන් ඉඩ දෙන්නේ නැත.ඒ නිසා මේ දේශපාලන සුරාන්තයේ උන්මාදය වහා කෙළවර විය හැකි බව කොළඹ කේන්ද්‍රීය උගතුන් තේරුම් ගත යුතුය.
Pic Curtsey Lankaenews

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s