කෝදුරු තෙලුත් නැත. හත් පට්ටයකුත් නැත. තවත් ටිකක් ගැන කවර කතා ද?



Thank Indi for pic

ආරුගම්බේ පාලම අසල වෙරළ තීරය වැදගත් වන්නේ ස්වභාව ධර්මයා විසින් තිළිණ කළ දායාදයක් නිසාම නොවේ. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ද එම ප්‍රදේශය ඉතා වැදගත් ය. සටන් නැවත්වීමේ සාම කාලයක් වූ 2003 වර්ෂයේ එක් දිනක එවකට විපක්ෂ නායක වූ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ මනරම් භූමි භාගයට පැමිණියේ ආරුගම්බේ පාලම අසල පිහිටවූ බුදු පිළිමයක් බෞද්ධ ජනයාගේ වන්දනාමාන සදහා පිළිගැන්වීමටය. ආරුගම්බේ බෞද්ධ නොවන වෙනත් ආගමිකයන් ජීවත්වන ප්‍රදේශයක් වන අතර එහි ජීවත්වන බෞද්ධයන් අතලොස්ස ද වෙළෙද අරමුණු සදහා එහි පැමිණි පිරිසක් වෙති. එහෙත් රටේ විපක්ෂ නායකයා පැමිණ විවෘත කිරීමට තරම් වැදගත් කමක් එම බුදු පිළිමයට ලැබී තිබුණි.

ලංකාවේ ධනේෂ්වර පාලක පන්තියේ සමාජ හැසිරීම සම්බන්ධයෙන් වැදගත් වන්නේ මෙම උත්සවයට විපක්ෂ නායක ධූරය දැරූ මහින්ද රාජපක්ෂගේ පැමිණීම නොවේ. ඔහු එම උත්සවයට පැමිණියේ රජයට අයත් ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් වන අතර විපක්ෂ නායකවරයෙකුට ඉතා සුළු අවශ්‍යතා වෙනුවෙන් ද ගමන් බිමන් සදහා එලෙස ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් ලබාදීම සලකා බැලිය යුතු විශේෂ කරුණකි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් මීටත් වඩා වරදානයන් ලැබුණ බව දන්නෝ දනිති. එහෙත් පසුගිය නැගෙනහිර පළාත් සභා මැතිවරණය අවස්ථාවේ දී මැතිවරණ රුළි සදහා සහභාගීවීමට රනිල් වික්‍රමසිංහට රජය විසින් හෙලිකොප්ටර් ලබා නොදුන් බවට චෝදනා එල්ල වුණි. එසේම විපක්ෂ නායකවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහට ලැබිය යුතු බොහෝ දේවල් නොලැබුණ බව එක්සත් ජාතික පක්ෂය සමහර අවස්ථාවන්හි දී ප්‍රකාශ කර තිබුණි. එහෙත් තම පක්ෂයේ විරෝධය නොතකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ව්‍යවස්ථාමය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට නවීන නිල රථයක් ලැබුණ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

ශ්‍රී ලාංකික සමාජය වර්තමානයේ මුහුණ දෙන සමාජ දේශපාලන ගැටළු සම්බන්ධයෙන් ලාංකික කොදෙව්වේ බුද්ධිමතුන් ද දේශපාලන විචාරකයන් ද ජනමාධ්‍යවේදීන් ද පවසන ජනප්‍රිය අදහසක් වන්නේ පක්ෂ විපක්ෂ නායකයන් ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්න විසදීමට එකට එක්වී තීරණ තීරණ ගතයුතු බවකි. වෙන් වෙන්ව හිද උද්දච්ඡ ස්වරයෙන් තීරණ ගෙන බරපතල ප්‍රශ්න ඇතිකර ගත් පසුව එකට එක්වී පිළිතුරු සෙවීමට යෝජනා කිරීම එක් අතකින් කපටීකමකි, වංචාවකි. අනිත් අතින් නොකරෙන වෙදකමට කෝන්දුරු තෙල් හත් පට්ටයකුත් තවත් ස්වල්පයක් සෙවීමේ උත්සාහයකි. එහෙත් කුමන රෙජීමයක් බලයේ සිටීයත් විපක්ෂය හා එක්වී තොරොම්බල් කිරීම ශ්‍රී ලාංකික සමාජයට සාමාන්‍යයෙන් අලුත් අත්දැකීමක් නොවේ. විටීන් විට පක්ෂ විපක්ෂ ස්ථරයන් එකට එක්වී හමුවීම කිසියම්ම හෝ සමාජ සංවර්ධනයකට දායක වන්නක් නොවන බව සක්සුදක් සේ පැහැදිලි කරුණකි. ධනේශ්වර රාජ්‍යයක ශක්තිමත් පැවැත්ම රදා පවතින්නේ ධනේශ්වර පන්තියේ සහයෝගිතාව මතය. ඒ සහයෝගීතාව රාජ්‍යයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී ලබාදෙන්නා වූ සහාය අතිශයෙන් වැදගත් ය.එහෙත් දියුණු ධනේශ්වර සමාජයන්හි පවතින එවැනි පන්ති සහයෝගයක් ශ්‍රී ලංකාව වැනි පරිධියේ රටවල සමාජ ආකෘතීන් තුළ කොහොමටවත් ඇති වන්නේ නැතැයි කීම ඝෘණාත්මක අදහසක් නොවේ.

thank lankanewsweb for pic

පරිධියේ පවතින නොදියුණු ධනේශ්වර රාජ්‍යයන් ක්‍රමවත් සමාජ සංවර්ධනයකින් බිහි වූ රාජ්‍යයන් නොවේ. ඒ නිසා එවැනි සමාජයන්හි ක්‍රමවත් ධනේශ්වර පන්තියක් ද නොමැත. පවතින පාලක පන්තිය සංවිධානය වී ඇත්තේ ධනේශ්වර අර්ථයෙන් නොවීම මෙම රාජ්‍යයන් මුහුණ දෙන බරපතලම ගැටළුවකි. එවැනි රාජ්‍යයන් භෞමිකව ද ආර්ථිකව ද ශක්තියෙන් ද අල්ප ප්‍රමාණ වූ විට රාජ්‍යයේ සමාජ පන්තීන්ට වඩා හානිකර දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවේ. එහෙත් ශක්තිමත් ධනේශ්වර ජාලය හා සබුද්ධිකව එක්වීමට හැකි රාජ්‍යයන්ට මේ ගැටළුවෙන් මිදී ක්‍රමානුකූලව විසදුම් සොයා ගත හැකිය.ධනේශ්වර ඉන්දීය රාජ්‍යය ඊට කදිම උදාහරණයකි.

ධනේශ්වර අර්ථයෙන් ලාංකික සමාජය තුළ සිදුවූ ප්‍රධානම සමාජ ප්‍රතිසංස්කරණයන් දෙකක් 1918 දීත් 1978 දීත් සිදුවුණි. 1918 දී ඉංග්‍රීසීන් සිදුකළ සමාජ ප්‍රතිසංස්කරණය සරල එහෙත් විධිමත් බවින් යුක්ත වූවකි. එහෙත් 1978 දී සිදුකළ සමාජ ප්‍රතිසංස්කරණය සංකීර්ණ වූ නිසාම විධිමත් වූයේ ද නැත. සමාජ ක්‍රමය විසින් ඉල්ලා සිටී පරිදිම මෙම සමාජ ප්‍රතිසංස්කරණයන් දෙකම අත්‍යවශ්‍ය යෙන්ම සිදුවිය යුතුව තිබූ ප්‍රතිසංස්කරණයන් වේ. එහෙත් විශිෂ්ඨ පන්ති ඉවක් තිබූ ජේ ආර් ජයවර්ධන 1978 දී මූලිකත්වය ගෙන සිදුකළ සමාජ ප්‍රතිසංස්කරණය සමාජය ඉල්ලා සිටී තරම් මෝරා ගිය විනයකින් යුත් විද්‍යාත්මක වූවක් නොවේ. ඒ නිසා අක්‍රමවත් සමාජ සංවිධාන පද්ධතියක් ලාංකික සමාජයේ බිහි වූණි. සමාජ පන්තීන් ඒවාට හිමිවිය යුතු විචාරශීලීත්වය අත්හැර තිබූ අතර එම පන්තීන්ගේ සමාජ කාර්ය භාරය, සමාජ වගකීම හා පන්ති වගකීම අමතක කර තිබුණි. ලාංකික ධනේශ්වර පන්තිය සමාජයේ සෙසු පන්තීන්ගෙන් වියුක්ත නොවුණි. ඒ නිසා ධනේශ්වර සමාජයකට නායකත්වය දීමට තරම් ලාංකික ධනපති පන්තිය මෝරා නොතිබුණි.

මූල්‍ය ප්‍රාග්ධනය මූලික කර ගත් ලාංකික වෙළද පළ තුළ බිහි වී ඇත්තේ ලාභයම පමණක් ඉස්මතු කර ගත් වෙළෙද පන්තියකි. නිෂ්පාදනය මූලික කර ගත් සමාජයක ධනේශ්වර පන්තියට සංවේදී වන සමාජ ප්‍රශ්න ලූම්පන් වෙළද පන්තියට සංවේදී නොවීම ස්වභාවිකය. එවැනි පන්තියක් නායකත්වය දෙන සමාජයක සංස්කෘතිය පදනම් වන්නේ ද ලූම්පන් සමාජ භාවිතාවන් මතය. එවිට එවැනි සමාජයක දේශපාලන සංවිධාන හෝ දේශපාලන නායකයන් හෝ දියුණු ධනේශ්වර සදාචාරයන් මත පදනම් වේ යැයි සිහින දැකීම අර්ථ විරහිතය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට ගොස් ඊනියා ව්‍යවස්ථා ප්‍රතිසංකරණයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම විග්‍රහ කළ යුත්තේ ද මෙවැනි අර්ථයකිනි. ඒ සාකච්ඡා ලාංකික සමාජය ස්ථාන ගතව ඇති තැනින් ස්වල්පයකින් හෝ ඉහළට එසවීමට යම් දායකත්වයක් නොදරයි. අඩු වශයෙන් ලාංකික ධනේශ්වර සමාජ තීරුවේ අවුල් වියවුල් ලිහා ගැනීමටවත් යම් දායකත්වයක් නොදරයි. අවසානයේ සිදුවන්නේ පාර්ශ්වයන් දෙකෙන් එකක්, කල්ලි කණ්ඩායම්වාදී වූ හා සමාජ සංවර්ධනයට අල්ප මාත්‍රයක හෝ සේවයක් නොකරන පටු ජයග්‍රහණයක් ලබා සාකච්ඡාවන්ට අවසන් තිත තැබීම බව නොපැකිලව පැවසිය හැකිය.

Advertisements

2 thoughts on “කෝදුරු තෙලුත් නැත. හත් පට්ටයකුත් නැත. තවත් ටිකක් ගැන කවර කතා ද?

  1. Once you killed the “common sense” of the society that will never expected freedom of life but surrendering. This is what happening in Sri Lanka last few decades up-to today. I feel you have seeing the problem but not a core issue of the all problem.

  2. අලුත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන මාධ්‍ය විසින් දැන් දැන් හෙළිදරව් කරමින් තිබෙන කාරණා සලකා බැලූ කල ඔබ ඉදිරිපත් කළ කාරණාවල සත්‍යතාව ඔප්පු වේ. අඩු තරමේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට දායකත්වයක් සැපයීමට රනිල් සමත් වී ඇති බවක් නො පෙනේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s