ඒක යකාගෙ ප්‍රජාතන්ත්‍රවාදක්….



තේරී පත්වූ ජනාධිපතිවරයකුට දෙවරකට වඩා ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට නොහැකි වන පරිදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පවතින සීමාවන් හා 17 ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාත්මක වූ ඉහළ රාජ්‍ය නිලධාරීන් පත් කිරීමට අදාළ වූ ව්‍යස්ථාදායක සභාව අහෝසි කෙරෙන යෝජනා ඇතුලත් 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට රාජපක්ෂ රෙජීමය දක්වන්නේ මාරාන්තික උනන්දුවකි. සියළු සදාචාරමය සාරධර්මයන් නොතකමින් ද ධනපති ප්‍රජාතන්ත්‍රවාදී හරයන් නො ඉවසමින් ද රාජපක්ෂ රෙජීමය මේ සම්බන්ධයෙන් දක්වන හදිසිය ධනපති පංතිය තුළ ඇති කර තිබෙන්නේ ද කුකුසකි. සුළු ධනේශවර,පහළ මධ්‍යම පාංතික හා ලූම්පන් ස්ථරයන්ට විනෝදාස්වාදය ලබාගත හැකි කුකුල් පොරයක් ව්‍යවස්ථා සංශෝධන උත්සාහය තුළින් රාජපක්ෂ රෙජීමය ලබා දී තිබේ. ලාංකික ධනපති පංතියේ විළිලැජ්ජා නොමැති හැසිරීම නිසා ලාංකික පීඩිත සමාජ ස්ථරය තවත් අගාධයටම වැටෙමින් තිබේ.

ධනපති ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතා පරමාධිපත්‍යය මහජන නියෝජිතයන් මගින් ක්‍රියාත්මක කළ යුතු වුවත් මෙම නූතනවාදී දේශපාලන සංකල්පය ගෝලීය ප්‍රාග්ධනයේ නිදහස් හැසිරීමට බාධාවකි. ප්‍රාග්ධනය නිදහසේ ගෝලීයව ව්‍යාප්තවීමට නම් සියළු බාධාවන් ඉවත් කළ නිදහස් පරිසරයක් අවශ්‍ය වේ. ඊනියා මහජනතාව අවශ්‍ය වන්නේ මැතිවරණ ක්‍රියාවලියේ දී උසි ගන්වන්නා වූ දේශපාලන බලවේගයට ඡන්දය පාවිච්ච් කිරීමට පමණි.සමහර දේශපාලකයන් ද විචාරකයන් ද ජනමාධ්‍යවේදී ද කුමක් පැවසුවත් විධායක ජනාධිපති ක්‍රමය 1978 දී හදුන්වා දුන්නේ බල තණ්හාවට හෝ මෝඩකමට හෝ නොවේ. මනා පංති ඉවක් තිබූ ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති පාලන ක්‍රමය හදුන්වා දුන්නේ එය ගෝලීය ප්‍රාග්ධනයේ තර්කානුකූල අවශ්‍යතාවක් වූ නිසාය.

මැතිවරණයන් මගින් තේරී පත්වන මහජන නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යවස්ථාදායකය ගෝලීය ප්‍රාග්ධන සංචලනය තුළ අහෝසි විය යුතු ආයතනයකි. තවදුරටත් ව්‍යවස්ථාදායකය හෝ පළාත් සභා හෝ පළාත් පාලන ආයතන හෝ අවශ්‍ය වන්නේ නැත.බලයට පත්වන ජනාධිපතිවරයා මැතිවරණය අවසන් වූ වහාම ගෝලීය ප්‍රාග්ධනය හා සම්මුති ගත වන අතර මහජන නියෝජිතයන්ගෙන් සමන්විත ආණ්ඩුව බල රහිත වේ. ඒ සමගම රාජ්‍ය නැමැති ප්‍රපංචයට සුවිශාල බලයක් කේන්ද්‍රගත වන අතර ඊළග මැතිවරණය තෙක් ප්‍රාග්ධනයේ අයිතීන් පමණක් ආරක්ෂා කිරීම රාජ්‍යයේ ඒකායන වගකීම වේ.

ඒ අර්ථයෙන් විධායක ජනාධිපති පාලන ක්‍රමයක් ඇති කිරීමත් එය ස්ථාවරව ශක්තිමත් කිරීමත් ප්‍රාග්ධනයේ අවශ්‍යතාවකි. ඒ සදහා රාජපක්ෂ රෙජීමය මාරාන්තික උත්සාහයක යෙදෙන මේ මොහොතේ ලාංකීය ධනපති පන්තියේ අනෙකා වන එක්සත් ජාතික පක්ෂය විශේෂයෙන්ම එහි නායක රනිල් වික්‍රමසිංහ දීර්ඝ නිද්‍රාවකට පත්ව සිටීම තේරුම් ගත හැක්කකි. එහෙත් රාජපක්ෂ රෙජීමයේ ව්‍යවස්ථා කර්මාන්තය සම්බන්ධයෙන් වූ හදිසි තැත හත් පොලේ ගා ගෙන නන්දොඩවන සුළු ධනේශවර පහළ මධ්‍යම පාන්තික හා ලුම්පන් සමාජ සංවිධානයන්ගේ ළදරු හැසිරීම් හාස්‍යයජනකය. ඔහුන් මෙය දකින්නේ ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් වශයෙනි. එසේම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ තුළ කිසියම් හෝ නිදහසක් තිබුණා නම් මේ සංශෝධනය නිසා එය ද අහෝසි වන බව ඔවුන්ගේ මතයයි.ගෝලීය ප්‍රාග්ධනය කොහොමටවත් ප්‍රජාතන්ත්‍රවාදය හා ඇයි හොදයි පවත්වන්නා වූ ප්‍රපංචයක් නොවේ. එය ක්‍රියාත්මක වන්නේම නිර් ප්‍රජාත්‍රාන්තික රාමුවක ය.ගෝලීය ප්‍රාග්ධනයට පැවත්ම සදහා එවැනි රාමුවක් අවශ්‍යවීම නිසාම ඊට ගැලපෙන්නා වූ මර්ධනීය නීති පද්ධතියකින් යුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගන්නා ලදි. ලාංකීය ප්‍රජාවේ වසර 32ක අත්දැකීම් සාක්ෂි සපයන්නේ ඒ තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් කොහෙත්ම නොතිබූ බවකි.

ලාකීය පීඩිත සමාජ ස්ථරය ධනපති පාලකයන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටීම විහිළුවක් වන්නේ ඉල්ලන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදය ධනපති පන්තියේවත් ක්‍රියාත්මක නොවන බැවිනි. ජේ.ආර් ජයවර්ධනගේ සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක දක්වා සියළු ධනපති නායක නායිකාවන් තම පන්තියේම අනෙකාට බිය වූ තරම ඔවුගේ රෙජීමයන්ගේ පාලනයන් සිහියට නගා ගත්විට තේරුම් ගත හැකිය. ජේ.ආර්. ජයවර්ධන අතිවිශාල හයෙන් පහක බලයක් ලැබී තිබිය දී ත් සහෝදර අනෙක් පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා සිරිමා බණ්ඩාරනායකගෙන් අසීමිත ලෙස පලි ගත්තේ ය. එසේම සෑම නායක නායිකාවක්ම සෑම අවස්ථාවකම උත්සාහ කළේ තම අනෙකා දුර්වල කර අඩපන කිරීමට ය.ඒ අනුව මේ සෑම රෙජීමයක්ම පන්ති අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කළේ තම පන්ති සතුරාගේ පමණක් නොවේ. තම පන්තියේම අනෙකාගේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමට ද ඔවුහු නොපසුබට වුණි. ඒ අර්ථයෙන් මේ මොහොතේ දී ලාංකීය සුළු ධනෙශ්වරයේ, පහල මධ්‍යම පන්තියේ හා ලුම්පන් සමාජ ස්ථරයේ සමාජ සංවිධාන රාජ්‍යයෙන් ඉල්ලා සිටීන්නේ ධනපති පන්තිය තුළවත් නොමැති ප්‍රජාතන්ත්‍රවාදයකි.

පන්ති සමාජයක රාජ්‍යයේ බලය දරන පාලක ධනපති පක්ෂ අතර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය යුත්තේ බලයේ තුල්‍යතාව ආරක්ෂා කිරීමටය. යම් කාලයක් එක්තරා ධනපති පක්ෂයක් බලය දැරීමෙන් අනතුරුව පිරිහීමකට ලක් වූ පසුව තම පන්තියේ අනෙක් පක්ෂයට බලය පැවැරීම සම්භාව්‍ය ධනේශ්වර අර්ථයෙන් විය යුත්තකි. එහෙත් ඒ රීතීන්ට ගරු කිරීමට තරම් ලුම්පන් ධනපති නායකයන්ගේ සදාචාරය සංවර්ධනය වී නොමැත.ඒ නිසා බලය සදහා ඔහුන් එකිනෙකා කා කොටා ගැනීම එක් අතකින් පරිධියේ රටවල නොදියුණු දේශපාලන සංස්කෘතියේ ආවේනික ලක්ෂණයකි. එසේම මූල්‍ය ප්‍රාග්ධනය මත යැපෙන ආර්ථිකයක් සහිත රටක මෙවැනි නොදියුණු දේශපාලන සංස්කෘතියකට වඩා අනෙකක් බලාපොරුත්තුවීම ද අර්ථ විරහිත කරුණකි.

වාර දෙකක් අවසානයේ බලයෙන් ඉවත්වී තම පන්තියේ අනෙකා වන එක්සත් ජාතික පක්ෂයට බලය පවරා දීමට රාජපක්ෂ රෙජීමය පැකිලෙන්නේ රෙජීමයට ආවේනික අශිෂ්ඨ සංස්කෘතිය නිසාය. ලාංකික කොදෙව්ව තුළට ගෝලීය ප්‍රාග්ධනය කැන්දා ගත් ස්වරූපයේ අත පසුවීම් ද ඊට හේතු වන්නට ඇත.මහින්ද රාජපක්ෂ නායකතවය දෙන්නේ පහළ මධ්‍යම පාන්තික ග්‍රාම්‍ය සිතුවිලි වලින් බල ගැන්වුණ දේශපාලන දෘෂ්ටීයකට ය. ඒ සමාජ තීරුව ධනේශ්වර සංවර්ධනයට ලක් වූ ප්‍රජාවක එකතුවක් නොවේ. ග්‍රාමීය අසංස්කෘතික හා ලූම්පන් දෘෂ්ටීයක් එහි අන්තර්ගත වේ.ඒ දෘෂ්ඨිය මහින්ද රාජපක්ෂගේ ගෝත්‍රවාදී අදහස් වලට බාධා කරන්නේ නැත. ඒ නිසා ධනේශ්වර බල තුලනයට වඩා වැදගත් වන්නේ තම ගෝත්‍රයේ ඊලග සාමාජිකයාට බලය ලබාදීම බව මහින්ද රාජපක්ෂ විශ්වාස කරයි. ඒ අනුව ඔහු තෝරා ගන්නේ තම පක්ෂයේ දක්ෂ සාමාජිකයකු හෝ නොවේ. ගෝත්‍රවාදයේ උපරිමයට යමින් ඔහු තෝරා ගන්නේ තමන්ගේම පුත්‍රයා ය.

ඒ අර්ථයෙන් ව්‍යවස්ථා සංශෝධන ප්‍රයත්නය නිසා උත්ගතව ඇත්තේ පීඩිත සමාජ තීරුවේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම පිළිබද ගැටළුවක් නොවේ. එය පැහදිලිවම ලාංකීය ධනේශ්වර පන්තියේ සංස්කෘතිය හා සදාචාරය පිළිබද ගැටළුවකි. ඒ නිසා මේ මොහොතේ දී පීඩිතයන් උපරිම ශක්තිය යොදා සටන් කළ යුත්තේ තමන්ගේ අයිතීන් උදුරා ගන්නා වූ ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිවය. ධනපතියන්ට ප්‍රජාතන්ත්‍රවාදය දිනා දීමට සටන් කළ යුත්තේ ඉන් පසුවය.

Advertisements

2 Comments

  1. හොඳම දේ රාජපක්ෂ මහත්තය කිව්ව කියල ඊයෙ එක් නාලිකාවක ප්‍රවෘත්ති වලට කීවෙ “මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් කෙරෙන්නෙ ජනාධිපති ධූරයේ පවතින ඒකාධිපති ස්වරූපය වෙනස් කිරීම කියල.”
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ මේ රටේ මිනිස්සු උදේ හවස ගංජ ගහල ඉන්නව වෙන්න ඇති නැත්නම් මේ කතා විශ්වාස කරන්න හෝ ඒ වෙනුවෙන් පෙනී සිටින්න සිහියෙන් ඉන්න මිනිහෙක්ටනම් බෑනෙ.

  2. ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව සටන් කිරීම ද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන සටනකි. මන්ද, දියුණු සමාජවාදය ද ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් විය යුත්තක් මිස පෙරටුගාමී පක්ෂයේ නිර්ධන පංති ආඥාදායකත්වය මත පදනම් වන්නක් නො විය යුතු හෙයිනි. ආඥාදායකත්වය කුමන අර්ථයෙන් ගත්තත් අවසානයේදී එකම මූලික ලක්ෂණ සහිත පසුගාමී පාලන ක්‍රමයකි.

    ප්‍රජාතන්ත්‍රවාදය ද ධනපතියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය හා පීඩිතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය කියා දෙකක් නො වේ. එක ම දෙයකි. ධනපතියන්ට ප්‍රජාතන්ත්‍රවාදය දිනා දීම කියා දෙයක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය යනු පොදු ධර්මතාවකි.

    ගෝලීය ධනවාදය විසින් ඉල්ලා සිටින ප්‍රාග්ධනයේ නිදහස් සංචලනය සඳහා වූ අයිතිය ලෝක වෙළඳ සංවිධාන ක්‍රියාවලිය තුළ පැහැදිලි ව හඳුනා ගත හැකි ය. දිළිඳු ජාතීන්ගේ ධනේශ්වර පංති ද එය හමුවේ පීඩිත තත්වයට පත් වී තිබේ.

    පීඩිතයින් යන සමාජ කණ්ඩායම විග්‍රහ කර ගැනීම ද පහසු කාර්යයක් නො වේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s