අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම


පහළ ඌවේ සශ්‍රීක බිම් වල යහමින් පෝෂණය වී තිබූ සිංහල සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ කර දැම්මේ සුදු අධිරාජ්‍යවාදීන් විසිනි. ඒ කෘර විනාශයෙන් පසුව පහළ ඌවේ සිංහල ජනතාවගේ රණකාමීත්වය නැවත උර ගා බැලුනේ 80 දශකයේ මුල් භාගයේ දී ය. ඌව වෙල්ළස්සේ සශ්‍රීක බිම් බුකර් සමාගමේ සුද්දන්ට පවරා පැල්වත්තේ දී සීනී නිෂ්පාදනය කිරීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තීරණය කළ විට රණකාමයෙන් ඔද වැඩුණ පහළ ඌවේ ජන පදනම් සොයා යූ.එන්.පී. විරෝධිහු එහි කදවුරු බැද ගත්හ. තැන තැන ගොවි සටන් ඇවිළුණේ තම ඉඩ කඩම්හි අයිතිය අධිරාජ්‍යවාදීන්ට පාවා නොදෙන ලෙස පාලක පන්තියට බල කරමිනි. ප්‍රවීන කවියකු වූ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවි සිතුවිලි නිහඩව තැබීමට මේ උණුසුම් වූ පහල ඌවේ රණකාමීත්වය තවදුරටත් ඉඩ නොදුණි. ඒ අනුව දේශපාලකයන් ද කලාකරුවන් ද ආදීවූ ඊනියා සංවේදී සමාජ තීරූන් අවධි වී මුළු ඌව වෙල්ළස්ස ප්‍රදේශයම සටන්කාමී යුධ බිමක් බවට පත් කළේ ජයවර්ධන රෙජීමය විසින් පෝෂණය කළ ගෝලීය ප්‍රාග්ධනයේ නිදහස් සංචරනයට එරෙහි වෙමිනි.

එවකට මොනරාගල දිස්ත්‍රික් අමාත්‍යවරයා වූ පාලක එක්සත් ජාතික පක්ෂයේ බණ්ඩාරවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද වූ ආර් ඇම් අප්පුහාමි ගෝලීය ප්‍රාග්ධනයේ ගලා යෑම දැක්කේ මේ රණකාමී ඌවේ දේශපාලනයට වෙනස් අයුරකිනි. විදේශීය ප්‍රාග්ධනය රුගෙන ලාංකික ගම් බිම් වල ආයෝජනය කිරීමට එන සුදු ජාතික කොම්පැනිකරුවන් මෙරටට සම්පතක් බැවින් ඔවුන් සිප වැළදගෙන පිළිගත යුතු බව ඔහුගේ මතය වුණි. ආර් එම් අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීමේ සංකල්පය කොම්පැනිකරණයට එරෙහිව පෙනී සිට් දේශපාලන රුස්වීම් වලද ජනමාධ්‍යයන් වලද හාස්‍යයට ලක් වුණි. මුළු ඌවම සුදු අධිරාජ්‍යවාදීන්ට පාවා දී ඇතැයි ද මේ රටේ දුප්පත් ගොවියන්ගේ ඉඩකඩම් උදුරාගෙන ඇතැයි ද තැන තැන අවලාද නැගුණි.

එයිට්කන් ස්පෙන්ස් සමාගම කණ්ඩලම වැව් තාවුල්ලේ විශාල සංචාරක හෝටලයක් ඉදිකිරීමට පටන් ගත් විට එම සංචාරක හෝටලයේ ඉදිකිරීම් වලට එරෙහිව මුළු දඹුල්ලම නැගී සිටීයේ ඌව වෙල්ළස්සේ රණකාමීත්වය පරදවමිනි. යම් හෙයකින් මෙම කර්මාන්තය සම්පූර්ණ වුවහොත් මුළු දඹුල්ලම විනාශ වන බව මේ රණකාමී දේශපාලනයේ හැගීම වුණි. එතෙක් සිගිරි ළලනාවන්ගෙ නිරුවත පමණක් දැක තිබූ ඉනාමළුවේ සුමංගල ස්වාමීන් වහන්සේ පැවසුවේ මේ සංචාරක හෝටල් සංස්කෘතිය නිසා කණ්ඩලමේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ විය හැකි බවයි. කණ්ඩලම හෝටලය ඉදිකිරීම නවතා නොදැමුවහොත් තමන් වහන්සේ ගිනි තබාගෙන ජීවිතය විනාශ කර ගන්නා බව රංගිරි දඹුළු රාජ මහා විහාරාධිපති ඉනාමළුවේ සුමංගල හිමි තර්ජනය කළහ. සිදුකරන්නා වූ ගෝලීය ප්‍රාග්ධනයේ ගලා යෑම ග්‍රාමීය අර්ථයෙන් සාධාරණීකරණය කිරීමට මේ අවස්ථාවේ දී ද පාලක එක්සත් ජාතික පක්ෂයට “අප්පුහාමි” කෙනෙක් සිටීයහ. සංචාරක හෝටලය ඉදිකිරීමෙන් විය හැකි සංස්කෘතික හානීන් සම්බන්ධයෙන් වූ චෝදනාවන් ගැන එවකට සංස්කෘතික අමාත්‍යවරයා වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර පැවැසුවේ සංචාරය කිරීම යනු වන්දනාවේ යෑමක් නිසා වන්දනා මාන කිරීමෙන් සංස්කෘතියට හානියක් සිදු නොවන බවයි. වි.ජ.මු. ගෙ වන්දනා සංකල්පය ද විරුද්ධ දේශපාලකයන් හා ජන මාධ්‍යයන් විසින් පතුරු ගසන ලදි.

පැල්වත්ත සිනී කම්හල ඉදිකර පහළ ඌවේ සශ්‍රීක ගොවි බිම් බුකර් සමාගමට පවරාදීමත් කණ්ඩලම හෝටලය ඉදිකර දඹුල්ලේ සංචාරක ව්‍යාපාරයේ කටයුතු එයිට්කන් ස්පෙන්ස් සමාගමට පවරාදීමත් නොනැවතී සිදුවුණි. එමෙන්ම ඉරණවිල ඇමෙරිකන් හඩ සම්ප්‍රේශන මධ්‍යස්ථානය ද නොරොච්චෝලේ ගල් අගුරු තාප බලාගාරය ද ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ද ඉදිකිරීම් නොනැවතී සිදුවුණි.මේ අන්දමින්ම 1978 දී ජයවර්ධන රෙජීමය විසින් ආරම්භ කළ ගෝලීය ප්‍රාග්ධනයේ නිදහස් චලනයට අදාළ වූ සියළුම මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති නොනැවතී සිදුවුණි. මේ සංවර්ධන රුල්ලේ මහා පෙරලිය කොතෙක් විශාල දැයි කියන්නේ නම් එදා ජයවර්ධන රෙජීමය හා ප්‍රේමදාස රෙජීමය තුළ දී තම ජීවිතය පුදකර හෝ ගෝලීය ප්‍රාග්ධනයේ ගලනය නතර කිරීමට පෙරට ආ පිරිස් අද වනවිට තමන් විරුද්ධ වූ ප්‍රවාහයටම නමස්කාර කරමින් ඊට ආවඩමින් සිටීන අන්දම හාස්‍ය ජනකය. එහෙත් ගෝලීය ප්‍රාග්ධනයේ ගලනයට විරුද්ධව එදා නැගී ආ ග්‍රාම්‍ය විරෝධයට මෙන්ම අද නැග එන ග්‍රාම්‍ය අනුගතවීම පිටුපස ද දේශපාලන අර්ථයක් තිබේ.

ක්‍රම විරෝධි දේශපාලනයක නිරත වූ රෝහණ විජේවීර මෙන්ම වේළුපිල්ලේ ප්‍රභාකරන් ද තම දේශපාලන ගමන ශෝචනීයව අවසන් කර ගත් පසු ගෝලීය ප්‍රාග්ධනයේ චලනයට එරෙහිව එතෙක් තිබූ පැහැදිලි බෙදුම් රේඛාව අහෝසි වුණි. එදා ගෝලීය ප්‍රාග්ධනයට එරෙහි වූ දේශපාලන බලවේගයන් අද නියෝජනය කරන්නේ ඊට පක්ෂ දේශපාලන බලවේගයයි. එදා ඊට පක්ෂව කටයුතු කළ දේශපාලන බලවේගයන් අද නිද්‍රාශීව පවතී. බුකර් සමාගමේ ආගමනය සිදුවුවහොත් විය හැකි යැයි දෙපාර්ශ්වයම පළ කළ අනාවැකි මිරිගුවක් වී තිබේ. එයිට්කන් ස්පෙන්ස් සමාගම කණ්ඩලමේ ඉදිකරන හෝටලය නිසා ද විය හැකි යැයි දෙපාර්ශ්වයම පළ කළ අනාවැකි මිරිගුවක් වී තිබේ. ෆැන්ටසිය යථාර්තයෙන් ඈත් වූයේ පහළ ඌවේ දීත් කණ්ඩලමේ දීත් පමණක් නොවේ. ඉරණවිල දීත් නොරොච්චෝලේ දීත් සිදු වූයේ එයයි.

එදා එක්සත් ජාතික පක්ෂය ගෝලීය ප්‍රාග්ධනයේ නිදහස් ගලනයට සියළු පහසුකම් සපයමින් අත පල්ලෙන් වැටෙන සංවර්ධනයේ ක්‍රමෝපායන් කෙරෙහි බලාපොරුත්තු තබා ගත් විට ඊට ජීවිත පරිත්‍යාගයෙන් විරුද්ධ වූවෝ අද රාජපක්ෂ රෙජීමය විසින් ඒ ප්‍රතිපත්තියම ක්‍රියාත්මක කරද්දී නිහඩව සිටීති. එදා එක්සත් ජාතික පක්ෂයේ සිටීමින් ගෝලීය ප්‍රාග්ධනයේ චලනයට දායකවූවෝ අද රාජපක්ෂ රෙජීමයේ ගෝලීයකරණ ප්‍රතිපත්තීන්ට විරුද්ධ වෙති. විරුද්ධවීම පමණක් නොව ගෝලීයකරණයට පක්ෂවීම ද නූතනත්වය තුළ සිදුකර ඇත්තේ අර්ථ විරහිත ප්‍රතිඵලයන් ය.

රාජපක්ෂ රෙජීමය විසින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් රුසක් ආරම්භ කර ඇති මේ මොහොතේ දී ඒ හා සමාන වූ සංවර්ධන ව්‍යාපෘතීන් රුසක් ක්‍රියාත්මක කළ ජයවර්ධන යුගයේ දී සිදුවූයේ කුමක්දැයි විග්‍රහ කර බැලීම සෑම මානයකින්ම අර්ථාන්විතය. තියුණු පන්ති ඉවකින් යුක්තව දේශපාලනය කළ ජනාධිපති ජේ ආර් ජයවර්ධන 1978 දී ගෝලීය ප්‍රාග්ධනයට ශ්‍රී ලංකාව විවෘත කළ අවස්ථාවේ ඊට විරුද්ධ වූ දේශපාලන බලවේගයන් තුළ නියෝජනය වූයේ හුදු ධනේශ්වර ප්‍රාග්ධනයේ ගෝලීය ව්‍යාපෘතියට මාක්ස්වාදීව එරෙහිවූවන් පමණක්ම නොවේ. ඒ විරෝධය තුළ ග්‍රාම්‍ය වැඩවසම්වාදයේ ඉතුරු බිතුරු වලින් මෙන්ම ජාතික ධනේශ්වරයේ කුහක මානසිකත්වයෙන් පිරුණ පිරිස් ද වූහ. ප්‍රාග්ධනය ගෝලීයව පැතිරී යෑම එතිහාසිකව තේරුම් නොගත් මේ සමාජ තීරූන් සියළු අගතීන් ද සුගතීන් ද සූරාකෑම නම් ධනේශවරයේ ජනප්‍රිය විවේචනයට කැටී කළහ. එහෙත් පහළ ඌවේත් කණ්ඩලමේත් පමණක් නොව ඉරණවිලත් නොරොච්චෝලේත් දේශපාලනය ධ්‍රැවීකරණය වූයේ මීට වෙනස් මානයකිනි. ප්‍රාග්ධනය රුගෙන ලාංකික දුෂ්කර ගැමි ගම්මාන කරා ආ විදේශීය ආයෝජකයන්ව මේ ගැමියන් විසින් ඉඹලා පිළිගන්නට ගියේ නැත. එසේම ඔවුන් එන්නේ වන්දනාවේ යැයි සිතුවේ ද නැත. නමුත් පහළ ඌවේත් කණ්ඩලමේත් ගැමි ජන සමාජයට ගලා ආ විදේශීය ප්‍රාග්ධනය ගැමියන්ගේ අතමිට සරු කිරීමට යම් තරමකින් දායක වුණි.

ගෝලීය ප්‍රාග්ධනය ගැමි ගම්මාන කරා ගලා යන්නේ අහිංසකව නොවේ. ඒ නිසා තවදුරටත් ගැමියන්ගේ සරළ විස්තෘත ආර්ථිකය රුක දීමට එය උත්සාහ නොගනී. එය ගැමි සමාජයේ වැඩවසම් සමාජ සම්බන්ධතා ආරක්ෂා කරන්නේ ද නැත. මේ සියළු සමාජ සම්බන්ධතා විනාශ කරමින් නව සමාජ සම්බන්ධතා බිහි කිරීම ගෝලීය ප්‍රාග්ධන චලනයේ ආවේනික ස්වභාවයයි. ඒ නිසා ග්‍රාම්‍ය, නොදියුණු හා වැඩවසම් සමාජ සම්බන්ධතාවන්ගෙන් එල්ල වන බාධාවන් නිසා තම අනවරත ගමන අතර මැද නතර කිරීමට ගෝලීය ප්‍රාග්ධනය යොමුවන්නේ නැත. නමුත් සමාජ සංවර්ධනයේ දී සමාජය ඉදිරියට ගමන් කරන්නේ නරක දේ පරාජය කරමින් හොද දේ ඉස්මතු කරමින් බව අවශ්‍යයෙන්ම පැවසිය යුත්තකි.

Advertisements

One thought on “අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම

  1. සංවර්ධනය පිළිබඳ ධනවාදී සංකල්පයට විකල්ප දැක්මක් නැති වීම හේතුවෙන් සියලු දෙනා සංවර්ධනය ලෙස වටහා ගන්නේ එක ම දෙයක්. එනම් ආර්ථික වෘද්ධිය ඉහළ යන්නට ඉවහල් වන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි. නව ලිබරල් ධනවාදීන් මේවා ක්‍රියාත්මක කරන විට ඒවාට විරුද්ධ වන වාමාංශිකයන් හා ජාතිකවාදීන් තමන් අතට බලය ලැබුණු පසුව ද කරන්නේ ඒවා ම ය.

    සංවර්ධනය පිළිබඳ විකල්ප දැක්මක් ගොඩ නඟා ගැනීමේ සංවාදයක් සිවිල් සමාජය තුළ ඇති නමුත් බල දේශපාල‍නයේ යෙදෙන අය එම සංවාදයට සම්බන්ධ වී ඇත්තේ ප්‍රමාණවත් නො වන තරමිනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s