අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම (ii)



හම්බන්තොට මාගම්පුර වරාය විවෘත කිරීමෙන් අනතුරුව

රාජපක්ෂ රෙජීමයේ පරපුට්ටන් මහත් ආශ්වාදයකින් කතා කරන්නේ රෙජීමය විසින් ක්‍රියාත්මක කරමින් සිටීන්නා වූ වූ මහා පරිමාණ ව්‍යාපෘතීන්ගෙන් ඇති වේ යැයි කියන්නා වූ සංවර්ධනයේ මහත් ඵල මහානිසංසයන් ගැනය. එහෙත් ඒ සමබන්ධයෙන් මේ පරපුට්ටන්ට දෙවරක් සිතීමට හේතු විය හැකි යමක් කතානායක චමල් රාජපක්ෂ විසින් පසුගිය දා පවසා තිබුණි. පාරවල් වරායවල් හැදුවත් මහජනතාවගේ බඩට දැනෙන යමක් කළේ නැත්නම් මේ සංවර්ධනය අර්ථ විරහිත යැයි කියවෙන අදහසක් කතානායකවරා ප්‍රකාශ කර තිබුණි. ගෝලීය ධනේශ්වරය පරිධියේ රටවල ඇති කිරීමට බලාපොරොත්තු වන්නා වූ සංවර්ධනය සම්බන්ධයෙන් නොසලකා හැරිය නොහැකි යම් විරෝධයක් කතානායකවරයාගේ ප්‍රකාශය තුළ ගැබ්ව පවතී.

මහා පරිමාණ ව්‍යාපෘතීන්ගෙන් සමන්විත සංවර්ධනය මුලින්ම ලංකාවට හදුන්වා දුන්නේ ගෝලීය ප්‍රාග්ධනය මෙරටට ගෙන ආ ජනාධිපති ජේ ආර් ජයවර්ධන යැයි කිවහොත් වඩා නිවැරදිය. ගෝලීය ධනේශ්වරය පදනම් කර ගත්තේ විස්තෘත සංවර්ධනයක් නොවේ. එය මුළු එකක් ලෙස ස්ථාන ගත වූයේ මහා පරිමාණ ව්‍යාපෘතීන් මතය. ජේ.ආර් ජයවර්ධන තිස් අවුරුදු මහවැලි ව්‍යාපෘතිය සය වසරකට වේගවත් කළේත් ඊට සාපේක්ෂව එකී අරමුණු කරා යෑමට ගෝලීය ධනේශ්වරය එක පෙලට ඔහු සමග සිට ගත්තේත් එබැවිනි. මහින්ද රෙජීමයේ සංවර්ධනය එහි පරපුට්ටන්ට අරුමයක් වූවාට ජේ.ආර් ජයවර්ධන එදා ඇති කළ ආර්ථික ප්‍රතිසංස්කරණයන් සදහා මුළු ධනේශ්වර ප්‍රජාවම පෙනී සිටීයේ එය ප්‍රාග්ධනය ගෝලීයකරණය කිරීමේ එක් උපක්‍රමයක් වන බැවිනි.

විදේශ ණය මත පදනම් වී සිදුකළ ධනේශ්වර සංවර්ධනය නිසා යම් ආර්ථික වර්ධනයක් ඇති නොවූවා නොවේ. දළ ජාතික නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම හා උද්ධමනය වැනි ක්ෂුද්‍ර ආර්ථික නිර්ණායකයන්හි ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්වීම ද රහසක් නොවේ. ධනේශ්වර අර්ථයෙන් සිදුවූ මේ සංවර්ධන ප්‍රතිලාභයන් ගැන අර්ථ විරහිතව තර්ක කිරීම අසාධාරණය. ගෝලීය ධනේශ්වරය බලාපොරුත්තු වන්නේ ද සිහින දකින්නේ ද මේ අන්දමේ සාර්ව ආර්ථික වර්ධනයක් සම්බන්ධයෙන් පමණි. ඒ නිසා එවැන්නක් වූයේ නැතැයි තර්ක කිරීම ධනේශ්වර අර්ථයෙන් නොමේරුම් සහගතය.


නුගේගොඩ ගුවන් පාළම

පැල්වත්තේ සීනී කර්මාන්ත ශාලාව ඉදිකිරීමේ සිට හම්බන්තොට මාගම්පුර වරාය ඉදිකිරීම දක්වා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්ගෙන් බලාපොරුත්තු වන්නේ වේගවත් වර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් කරා යෑමටයි. ඒ සදහා මේ මහා ව්‍යාපෘතීන් ඉදිකළේත් ඉදිකරන්නේත් විදේශ ණය වලිනි. ධනේශ්වර සංවර්ධන උපායමාර්ග තුළ විදේශ ණය ලබා ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තකි. ඒ ණය ගෙවන්නේ රටේ පොදු මහජන මුදල් වලින් වන අතර ඒ නිසා ගන්නා වූ ණය යොදවා ක්‍රියාත්මක කරන්නා වූ ව්‍යාපෘතීන් ද අවශ්‍යයෙන්ම පොදු මහජනතාවට ප්‍රතිලාභයන් ලබාදෙන්නක් විය යුතුය. එහෙත් මහා ව්‍යාපෘතී ඉදිකිරීමේ සංවර්ධන උපාය උපක්‍රමයන්හි උභතෝකෝටීකය පැන නගින්නේ මෙතැනෙනි. පොදු මහ ජනතාවගේ වත්කමින් ගෙවීමට ගන්නා වූ ණය මුදල් යොදා ඉදිකරන්නා වූ ව්‍යාපෘතීන්හි ප්‍රතිලාභයන් ලැබෙන්නේ ඒ පොදු ජනතාවට නොවේ නම් මහා ව්‍යාපෘතීන් සේම එමගින් බලාපොරුත්තු වන්නා වූ සංවර්ධනය ද අර්ථ විරහිතය.

දුප්පත්කම ගැන ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිර්ණායකය කුමක් වුව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්ණායකය අනුව දිනකට ඇමෙරිකන් එක්සත් ජනපද ඩොලර් දෙකකට වඩා අඩුවෙන් උපයන ප්‍රමාණය මුළු ජනගහනයෙන් 41.6% කි. සංඛ්‍යා ලේඛන වඩාත් බියකරු ච්ත්‍රයක් මවන්නේ ලාංකිකයන්ගේ ආදායම් බෙදී යෑම සලකා බලනවිටය. සමස්ත ජනගහන්යෙන් 20% ක් වන පොහොසත් පිරිස උපයන ආදායම දළ ජාතික නිෂ්පාදනයෙන් 42.8% වන විට සමස්ත ජනගහනයෙන් 20% ක් වන දුප්පත් පිරිස උපයන ආදායම දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව උපයන්නේ 8% ක් පමණි. මේ දත්ත මනා ලෙස ප්‍රකාශ කරන්නේ මහා පරිමාණ ව්‍යාපෘති මත පදනම් වන ධනේශ්වර සංවර්ධනය ප්‍රතිලාභ ලබාදෙන්නේ ඉහළ ආදායමක් උපයන සමාජයේ ධනපති තීරුවට පමණක් බවය.

එහෙත් ධනේශ්වරයට මේ සදහා ඔවුන්ගේම වූ විසදුමක් පවතී. ධනපති සංවර්ධනය හුදකලා වූවක් නොවන බවත් සමාජයේ ඉහළ තීරුව ආදායම් ලබන විට එහි ප්‍රතිලාභයන් සමාජයේ පහළ තීරුව කරා ගලා එන බවත් ධනපති ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. ඔවුන්ගේ පමණක් නොව ජේ ආර් ජයවර්ධනගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා රේජීමයන්ගේ නායක පරපුටු භේදයකින් තොරව ප්‍රකාශ කළේ එයයි. කාල් මාක්ස් අර්ථ නොදැක්වූ වා යැයි පවසන මධ්‍යම පන්තිය බිහිවූයේ එසේ යැයි ඔවුහු තවදුරටත් පවසති.එහි අර්ථයක් නැත්තේම නොවේ . විශාල පරිමාණ ව්‍යාපෘතීන් බිහිවන විට ඒ ආශ්‍රිතව යම් ප්‍රාග්ධනයක් පහළ සමාජ තීරූන් කරා යෑමක් (Trickle Down Effect) සිදුවිය හැකිය.ශ්‍රී ලංකාවේ අත්දැකීම් අනුව එය ඇසට දැක ගන්නත් මොළයට තේරුම් ගන්නත් හැකි පරිදි සිදුවී තිබේ. ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ගියවිට දකින්නට ඇත්තේ එවැනි සංවර්ධනයකි. එය ප්‍රතික්ශේප කිරීමක් කිසිසේත්ම සිදුකළ නොහැක.

ධනේශ්වර සංවර්ධනය ප්‍රතික්ශේප කිරීම කළ යුත්තේ ධනේශ්වර අර්ථයෙන් දැකිය හැකි සමාජ සංවර්ධනය ආධානාග්‍රාහී ලෙස නොදැක සිටීමෙන් නොවේ. ඒ සංවර්ධනය තේරුම් ගැනීම අවශ්‍යයෙන්ම කළ යුතුය. එහෙත් සමාජ සංවර්ධනයේ දී සිදුවිය යුත්තේ මේ ආකාරයේ සංවර්ධනයක් නොවන බව අවශ්‍යයෙන්ම තේරුම් ගත යුතුය. සමාජයට අවශ්‍ය වන්නේ කුමන සංවර්ධන මාදිලියක් දැයි නොදැන දකින්නා වූ භෞතික දියුණුව මතින් සංවර්ධනයේ ප්‍රතිලාභ ගණන් බැලීමට යෑමත් විනාශය දකින්නට යෑමත් අතිශයෙන්ම භයානකය. එහෙත් ශ්‍රී ලාංකික සමාජය සිදුකරමින් සිටීන්නේ ද මේ භයානක සෙල්ලමයි.

රාජපක්ෂ රෙජීමයේ පරපුට්ටන් දෙඇස් ගිනි කන වට්ටාගෙන සංවර්ධනයේ මහත්ඵල මහානිසංස බලාපොරුත්තුවෙන් ඉදීමත් රෙජීමයේ විරුද්ධ පාර්ශ්වයන් සියල්ලටම විරුද්ධවීමත් මේ වනවිටත් සිදුවෙමින් තිබේ. ඉහළ කොත්මලේ ජල විදුලි බල ව්‍යාපෘතිය, නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය, මීගමු කළපුවේ සී ප්ලේන් ව්‍යාපෘතිය, කොළඹ නගරයෙන් ජනාවාස ඉවත් කිරීම හා අධිවේග මාර්ග ඉදි කිරීම වැනි වත්මන් මහා පරිමාණ ව්‍යාපෘතීන් විග්‍රහ කළ යුත්තේ ද එවන් මනසකිනි. පාලම ඉදිකිරීමත් සමග තොටීයාගේ එතිහාසික කාර්ය අවසන් වුවද පාලම ඉදිකිරීම කළ යුතුමය. තොටීයා පත්වන අසරණ තත්ත්වය සලකා පාලම ඉදිනොකිරීම මෝඩ ක්‍රියාවකි. එහෙත් තොටීයාගේ පැවත්මට අවශ්‍ය බරපතල තීරණයක් ගැනීමෙන් වැළකීම පාලම ඉදිකිරීමේ සත් කාර්යයෙන් සාධාරණීකරණය වන්නේ ද නොවේ. ධනේශ්වර සංවර්ධනය ධනාත්මකව කළ හැක්කේ අසහනයට පත්වන සමාජ තීරූන්ට සහනයක් ලබාදීමෙන් බව ගෝලීය ප්‍රාග්ධනය තේරුම් ගෙන නොමැති අතර රාජපක්ෂ රෙජීමයට එය කොහෙත්ම තේරෙන්නේ නැත.


වැසි ජලයෙන් යටවූ පාර්ලිමේන්තුව – සංවර්ධනයේ මහත් ඵල මහානිසංස

පැල්වත්තේ සීනී කම්හල ඉදිකිරීමේ සිට හම්බන්තොට මාගම්පුර වරාය ඉදිකිරීම දක්වා ඊට විරුද්ධ වූ බලවේග මතු කළ භයානක සමාජ විනාශයන් සිදු වූයේ නැති අතර අනාගතයේ දී සිදුවන්නේත් නැත. එසේම ඒ මහා පරිමාණ ව්‍යාපෘතීන් නිසා සමස්තයක් ලෙස සමාජයට ලැබුණු ප්‍රතිලාහයක් ද නැත. එය පැහැදිලිවම ප්‍රතිලාභයක් ලබාදෙන්නේ ධනේශ්වර සමාජ තීරුවට පමණි. ඒ නිසා එයට විරුද්ධවීම ද අර්ථ විරහිතය. එහෙත් ධනේශ්වර සංවර්ධනය ධනාත්මකව දකිමින් ඒ හා පොර බදිමින් පොදු ජනතාව කේන්ද්‍ර කර ගත් සංවර්ධන මාදිලියක් ඉලක්ක කර ගැනීම විකල්ප සමාජ දේශපාලන ව්‍යාපාරයක අද දවසේ අත්හල නොහැකි වගකීම බව විශේෂයෙන්ම සදහන් කළ යුතුය.

ඡායා: අන්තර්ජාලය ඇසුරෙනි

Advertisements

2 thoughts on “අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම (ii)

  1. “පැල්වත්තේ සීනී කම්හල ඉදිකිරීමේ සිට හම්බන්තොට මාගම්පුර වරාය ඉදිකිරීම දක්වා ඊට විරුද්ධ වූ බලවේග මතු කළ භයානක සමාජ විනාශයන් සිදු වූයේ නැති අතර අනාගතයේ දී සිදුවන්නේත් නැත.”

    ඉහත ප්‍රකාශය වැරදි ය. නිදසුනක් ලෙස, පැල්වත්ත සීනි කම්හල නිසා වෙල්ලස්සේ පරිසර පද්ධතිය විනාශ විය. පස නිසරු විය. උක් අස්වැන්න අඩු විය. ගොවීන්ට වගාවෙන් ලාභ නැති විය. ගත් ණය ගෙවා ගත නො හැකි විය. ගොවීහු තව තවත් දිළිඳු වූ හ. විසි වසරකට පමණ පසුව තවමත් පැල්වත්ත සීනි කම්හල පවත්වාගෙන යනු ලබන්නේ මහජන මුදලින් දෙනු ලබන සහනාධාර මත ය.

    සංවර්ධනය අවශ්‍ය කුමට ද? දිළිඳුකම නැති කරන්නට නම්, එය සිදු වී නැත. වැඩි වන ජනගහණයට සරිලන සේ රැකියා උත්පාදනය කරන්නට නම් එය ද සිදු වී නැත.

    අවශ්‍යතා වැඩි වීම යනු සංවර්ධනය ද?

    අවශ්‍ය වන්නේ ධනේශ්වර සංවර්ධනය දෙස සුබවාදී වීම නො ව සංවර්ධනය අලුතින් අර්ථකථනය කිරීමයි.

    ධනේශ්වර සංවර්ධනය මිනිසාත්, සොබාදහමත් සූරාකෑම මත පදනම් වේ.

    සම්මුති විරහිතව එය විවේචනය කළ යුතු ය.

    1. ඔබගේ අදහස මා කිසිම තැනක ප්‍රතික්ශේප කර නොමැත. මගේ අදහස ඔබේ අදහස හා සමාන්තර වේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s