අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම (iii)


2011 නව වසර උදාවූ මොහොතේ මෙරට ඉහළ මැද පාන්තික ජන සමාජයේ ස්ථර කිහිපයක් නියෝජනය කරන පුද්ගලයන් තිදෙනකු සමග දේශපාලන අදහස් හුවමාරු කර ගැනීමේ භාග්‍යය ලැබුණි. ඉන් දෙදෙනෙකු හා මා අතර පළමුවෙන්ම කතා බහ ඇදී ගියේ මහින්ද රෙජීමයේ වත්මන් දේශපාලන ක්‍රියාකාරකම් හා ආර්ථික තත්ත්වය පිළිබදව ය. ඉන් එක් අයෙක් ප්‍රේමදාසවාදියකු බව පෙනී ගිය අතර ඔහු වත්මන් රෙජීමය විවේචනය කරමින් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ගුණ ගැයීමක යෙදුණි. අනෙකා මාක්ස්වාදී දේශපාලනයක් ගැන විශ්වාසය නොතැබූවත් මනුෂ්‍ය සමාජයේ සාධාරණත්වය පිළිබදව උනන්දු වන්නෙකි. එබැවින් ඔහු නිතර නිතර සදහන් කළේ සිදුවන්නා වූ ඊනියා සංවර්ධනය මෙරට සමාජයේ දුප්පත් ස්ථරයට කිසියම් හෝ බලපෑමක් සිදු නොකිරීම පිළිබදවයි. අප තුන් දෙනාට එක් මතයකට පැමිණීමට නොහැකි වුවත් පසුව අපේ කතා බහට එක් වූ හතර වැන්නකු නිසා අප තිදෙනාට එක් මතයකට පැමිණීමට හැකි වුණි.

ඔහු වෘත්තියෙන් විශේෂඥ වෙදදුරෙකි. කොළඹ ප්‍රධාන පෙළේ රජයේ රෝහලක සේවය කරන හෙතෙම දුප්පත් පවුලකින් ඉහළට පැමිණ කප්පරක් දෑවැද්දක් සමග ව්‍යාපාරිකයකුගේ දියණියක් හා විවාහ වී සිටීන්නෙකි. ඔහුගේ අදහස වූයේ රාජපක්ෂ රෙජීමය සියල්ල ඉතා නිවැරදිව සිදුකරමින් පවතින බවයි. මිනීමරු එල්.ටී.ටී.යෙන් රට බේරා ගැනීම, ආර්ථිකය යහ මග යැවීම, දේශපාලනය නිවැරදිව කිරීම ආදී වූ කාරණා කිහිපයක් මත ඔහුගේ වත්මන් වීරයා වී තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ය. මේ විශේෂඥ වෙදදුරාට අනුව රාජපක්ෂ රෙජීමය විදේශ ප්‍රතිපත්තිය අතින් ද දැවැන්ත සාර්ථකතවයක් පෙන්නුම් කරයි. ජනාධිපතිවරයා ලන්ඩනයට ගොස් ඇතිවූ ප්‍රශ්නය මනා ලෙස කළමනාකරණය කර ගත් බව ඔහුගේ අදහසයි.

ආණ්ඩුවේ කිසියම් හෝ දේශපාලකයකුගේ වාචාල ප්‍රතිචාරයකින් උදම්ව විරුද්ධ පක්ෂයට ග්‍රාම්‍ය ලෙස පහරදීමත්, විරුද්ධ පක්ෂයේ මානුෂික දුර්වලතා වල දීත් පහර දී සියුම් වින්දනයක් ලැබීමත් හොර ඡන්ද දමා කෙසේ හෝ ජයග්‍රහණය කිරීමත් අවසානයේ උළු කැටයකින්, සෙවිලි තහඩුවකින් හෝ වැසිකිළි පෝච්ච්යකින් සෑහීමකට පත්ව පවතින ආණ්ඩුවටම පක්ෂවීම ජනමනසේ ජනප්‍රිය දේශපාලනයයි. බොහෝ කලක සිට සාමාන්‍ය ජනතාව රටේ දේශපාලනය පිළිබදව තීරණ ගන්නා වූ මෙවැනි මිනුම් දඩු ගැන අවබෝධයක් තිබූ බැවින් මේ වෙදදුරාගේ දේශපාලන සිතුවිලි ගැන පුදුමයක් ඇති නොවුණි. එහෙත් ඔහු ඉහළ සමාජය නියෝජනය කරන්නාවූ සිවිල් පුද්ගලයෙකි. ජන ජීවිතය ගැන අවබෝධයක් තිබිය යුත්තෙකි. ජන සමාජය නිවැරදි මගට යොමු කිරීමේ ලා ප්‍රදීපාගාරයක් විය යුතු චරිතයකි. එවැන්නකු මෙවැනි මත දැරීම අපේ කතා බහට අලුත් දිශානතියක් ලබා දුනි. ඔහුගේ මතයන් කැටී කර දැක්වුවහොත් මේ අන්දමින් පැහැදිලි කළ හැකිය.

එක තාලයකට අත්පුඩියක් ගහන්නවත් බැරිව මොන විකල්පයක්ද?

1. රාජපක්ෂ රෙජීමය කරන්නා වූ යෝධ සංවර්ධනය මෙරට කිසිම පාලකයෙක් නොකළ වැඩ කොටසකි.

2. එම අත්‍යවශ්‍ය සංවර්ධනයට අකුල් හෙලන්නේ ජනතා විමුක්ති පෙරමුණ වැනි මෝඩ පක්ෂයන් ය. එනිසා එම විරෝධතා විනාශ කර දැමිය යුතුය.

3. මෙවැනි රටක් සංවර්ධනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය බාධාවක් බැවින් එය ඉවත් කළ යුතුය.

වෙදදුරාගේ මේ අදහස් වලින් මගේ අනිත් වැඩිහිටී කතා සගයන් තිගැස්සෙනු මම දිටීමි. එහෙත් වෙදදුරාගේ ආවේගවත් අදහස් දැක්ම හමුවේ ඔවුහු මුනිවත රුකීමට ප්‍රිය වූහ. වෙදදුරාගේ අදහස් දැක්වීමට සාධාරණ හා ප්‍රමාණවත් කාලයක් ලබාදුන් මම ඔබ නියෝජනය කරන්නේ මෙරටේ සාමාන්‍ය ජනතාවගේ මතය යැයි ද ඔය ජනප්‍රිය මතයට වඩා වෙනස් කෝණයකින් දැකීමට ඔබට වගකීමක් ඇතැයි ද පැවසීමි. එහෙත් තමන් දකින්නේ නිවැරදි දේ බව ඔහු ප්‍රකාශ කළේය. ආණ්ඩුව කරන්නා වූ සංවර්ධන කටයුතු වලට බාධා කරන්නා වූ විරුද්ධ පක්ෂ මර්දනය කළ යුතු යැයි ඔබ කියන්නේ ආණ්ඩුව හැමවිටම නිවැරදි දේ කරන්නේ යැයි පූර්ව නිගමනයක හිදිමින් බැවින් වැරදිලාවත් පෘතග්ජන ආණ්ඩුව වැරද්දක් කළොත් එවිට කරන්නේ කුමක්දැයි මම ප්‍රශ්න කළෙමි. යෝධ සංවර්ධන ක්‍රම ක්‍රියාත්මක කළ එකම ආණ්ඩුව මේ ආණ්ඩුව නොවන බවත් ජේ ආර් ජයවර්ධනගේ පටන් විශාල සංවර්ධන යෝජනා ක්‍රියාත්මක වූ බවත් එහෙත් මහ බැංකුවේ වාර්තා අනුව දවසකට ඩොලර් දෙකකට අඩුවෙන් උපයන ජන සංඛ්‍යාව මුළු ජනගහණයෙන් 41.6% බවත් එසේ නම් ඔය යෝධ සංවර්ධන යෝජනා මේ සමාජයේ දුප්පත් ජනතාව නගා සීටුවීමට කිසියම්ම හෝ කාර්යක් කර නොමැති බැවින් ඔබ ඊට එකගදැයි වැඩිදුරටත් ප්‍රශ්න කළෙමි.


ඇමෙරිකානු ජනාධිපති ඔබමා චීනයේ දී

වෙදදුරා අපේ කතා බහට වහාම සමුදුන් අතර අප තිදෙනාට එකගතාවකට පැමිණීමට හැකි වූයේ අනතුරුවයි. මේ ධනේශ්වර සංවර්ධනය සමාජයේ එක් තීරුවක ආර්ථික මට්ටම වැඩි දියුණු කිරීමට සමත් වුවත් දුප්පතුන්ට ආර්ථික ශක්තියක් ලබාදෙන්නේ අවම සීඝ්‍රතාවකිනි. ඒ අර්ථයෙන් විශාල ඇති නැති පරතරයක් ඇති කිරීමට මෙම සංවර්ධන මාදිලිය හේතු වේ. යම් හෙයකින් මධ්‍යම පාන්තියක් බිහි කරමින් දුප්පතුන් අඩු කළත් ස්වාභාවික පරිසරයට කරන්නාවූ හානිය හා එය විසින් ලෝකයේ පැවත්මට එල්ල කරන්නා වූ තර්ජනය නොතකා හැරිය නොහැක්කකි. ඒ නිසා මේ ධනේශ්වර සංවර්ධනයේ ප්‍රතිඵල මානව විරෝධි වේ.

මේ ප්‍රවේශය රාජපක්ෂ රෙජීමයේ මහා පරිමාණ සංවර්ධනය සම්බන්ධයෙන් වන සංවාදයට ඝෘජුවම අදාළ වන්නකි. රාජපක්ෂ රෙජිමයත් එහි හිදමින් රටේ සාරය උරා බොන පරපුට්ටනුත් එක හඩින් කියන්නේ මේ සංවර්ධනය මහත් ඵල මහානිසංස ගෙන දෙන බවකි. සංවර්ධනයේ ධනේශ්වර මාදිලිය අනුව ගත් කළ එහි ඇත්තක් නැත්තෙමත් නැති බව මීට කලින් ද අවධාරණයට ලක් වුණි. එහෙත් ඒ සංවර්ධනය මුළු එකක් ලෙස ගත් විට සමාජයේ ඉහළ ස්ථරයට පමණක් යම් ප්‍රතිලාභයක් ගෙන එන්නකි. ඉහළ ස්ථරය ආර්ථික වශයෙන් තවත් ඉහළට යෑමේ වේගයට සාපේක්ෂව නොසැලකිය හැකි තරම් වේගයකින් දුප්පතුන්ගේ ආර්ථිකය ඉහළ යෑමේ වේගය පාලනය වන විට ඇති වන්නේ ආදායම් බෙදී යෑමේ විෂමතාවකි. එවිට ධනේශ්වර සංවර්ධනයේ ඊනියා ප්‍රථිපල වැඩියෙන් භුක්ති විදින්නේ ඉහළ සමාජ ස්ථරයයි. එහෙත් ඒ සදහා කරන්නා වූ ආර්ථිකමය කැපකිරීම් වල වැඩි වගකීමක් දැරිය යුත්තේ පහළ සමාජ ස්ථරයයි. ඊට අමතරව සමස්ත සමාජයම පරිසරය සූරා කෑමට වන්දි ගෙවිය යුතුය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්ට විරුද්ධ විය යුත්තේ ඒ අර්ථයෙනි. ඒ විරුද්ධවීම පමණක් සමාජ සංවර්ධනයට කිසියම්ම හෝ දායකත්වයක් දරන්නේ නැත. එබැවින් ධනේශ්වර විරෝධි විකල්ප සංවර්ධන මාදිලියක් සකස් කර ගත යුතුය.


ඉන්දියාවට ඇමෙරිකානු සහාය ග්‍රැ‍ෆික් ශිල්පියකු දු‍ටු අයුරු
ස්තුතිය: ඉන්දික දිසානායක

එහෙත් ලාංකික සමාජයේ බහුතරයක් මෙන්ම තුන්වන ලෝකයේ රටවල බහුතරය ද ධනේශ්වර සංවර්ධනයට විරුද්ධ වන්නේ මේ අර්ථයෙන් නොවේ. තවමත් ඉතුරු බිතුරු ලෙස ඉතිරිව ඇති වැඩවසම් බලවේග ද ද ග්‍රාම්‍ය සමාජවාදීහු ද ජාතික ධනේශ්වරයේ කුහක ස්ථරය ද තමන්ගේ බලය රුක ගැනීම සදහා ගෝලීය ප්‍රාග්ධනයේ ගලා යෑමට එරෙහි වෙති. ඌව වෙල්ලස්සට බුකර් සමාගම ආ විට ද ලාංකික සමාජයේ වම්මු ද කණ්ඩලමට එයිට්කන් ස්පෙන්ස් සමාගම ආ විට ඉනාමළුවේ සුමංගල හිමියන් ද සීපා ගිවිසුම ආ විට රාජපක්ෂ රෙජීමයේ පරපුට්ටන් ද විරුද්ධවීම ආශ්‍රිතව යහමින් සලකා බලන්නේ නම් මේ සත්‍යය තේරුම් ගත හැකිය. එහෙත් වැඩ වසම්, ග්‍රාම්‍ය සමාජවාදී හා කුහක ජාතික ධනපති බලවේග ජය ගැනීමට ගෝලීය ධනවාදයට සහජ හැකියාවක් පවතී. හින්දු ජාතිකවාදය වැළද ගනිමින් ඉන්දියාවටත් චීන වාමාංශිකයට ගරු කරමින් චීනයටත් ගෝලීය ප්‍රාග්ධනය ගලා ගියේ ඒ අයුරිනි

කුසට අහරක් නැති වතට ඇගලුමක් නැති දිළින්දන්ට ධනපති සංවර්ධනයේ අත පල්ලෙන් වැටෙන ඉදුල් පවා ලැබුණ විට ඒ පසු පස යෑම තාර්කිකය. එවිට ශ්‍රමයේ, ස්වාභාවික සම්පතේ සූරා කෑම හෝ පරිසර හානියේ හෝ මර ලතෝනිය ඇහෙන්නේ නැත. ධනේශ්වර සංවර්ධන මාදිලිය එක එල්ලේ ප්‍රතික්ශේප කරන්නා වූ විරෝධයත් එය එක එල්ලේ පිළිගන්නා වූ පක්ෂවීමත් සමාජ සංවර්ධනයට කරන්නේ එක හා සමාන විනාශයකි. ධනපති සංවර්ධනය හා පොර බදමින් ධනපති සංවර්ධනයේ ධනාත්මක දෑ ලබා ගනිමින් විකල්ප සංවර්ධන මාදිලියකට යා යුත්තේ එබැවිනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s