ටැබූ සබ්ජෙක්ට්ස් හැක් කිරීම – එක්කෝ මිටීයක් වෙන්න නැත්නම් කිනිහිරියක් වෙන්න


පාඨකයන්ගේ ආකර්ශනය දිනා ගත් ටැබූ සබ්ජෙක්ට් බ්ලොග් අඩවිය තවදුරටත් අන්තර් ජාලයේ නොමැති වීම පසුගිය දින කිහිපයේ ආන්දෝලනාත්මක කරුණක් විය. එම බ්ලොගය ලියූ ටැබූ ලෙස අප හදුනාගත් පුද්ගලයාත් බ්ලොග් අඩවියේ ටැබූ සබ්ජෙක්ට් කරා ආ ගිය අයත් මේ සම්බන්ධයෙන් විවිධ මත පළ කළත් සිදුවූයේ කුමක්දැයි නිශ්ච්ත අදහසක් මේ වනතුරු පැහැදිලි නැත. අපට කලින් පරම්පරාවේ ඇසූ පිරූ ඇත්තකු වන අජිත් පැරකුම්ගේ අදහස හා සමීපවීමට ද පදනමක් සොයා ගැනීමට මම බොහෝ වෙහෙසුනෙමි. එහෙත් ටැබූ සබ්ජෙක්ට් සම්බන්ධයෙන් වන විවිධාකාර මත අතර පැරාගේ මතය ද තවත් එකක් පමණක් බව සිතමි. අන්තිමේ දී ටැබූ සබ්ජෙක්ට් බ්ලොග් අඩවියට සිදුවූ දේ ද ටැබූ සබ්ජෙක්ට් එකක් වී තිබේ.

අනෙක් හැමදේටම වගේ ධනේශ්වර සංවර්ධනය විසින් මාධ්‍ය නිදහස කඩ කිරීම, ඊට බාධා එල්ලකිරීම මාධ්‍ය මර්දනය යන ප්‍රස්තූතයන්ට ද නව අර්ථකථන දී ඇතැයි කිවහොත් එය නිවැරුදිය. ලසන්ත වික්‍රමතුංග මරා දැමූ විට අලුතින් ලසන්ත කෙනෙක් වහා නිෂ්පාදනය කර ගත නොහැක. ලංකා ඊ නිවුස් කාර්යාලයට කළ විනාශ කළ විට වහා සම්පත් සහිත නව කාර්යාලයක් බිහිකර ගත නොහැක. එහෙත් අප සතුටු විය යුත්තේ බ්ලොග් අඩවියක් විනාශ කළ සැනෙන් නව අඩවියක් බිහි කර ගැනීමට ඇති අපමණ වූ අවස්ථාව නිසාය. එහි අඩංගු ලිපි ලියවිලි යනාදී පරණ සම්පත් ඒ අකාරයෙන්ම යළි නිෂ්පාදනය කර ගත නොහැකි විය හැකිය. එහෙත් අවම වශයෙන් අලුත් බ්ලොග් අඩවියක් නිෂ්පාදනය කර ගත හැකිය. එසේ තිබිය දී ත් ටැබූ “පරණ හකුරටම හඩමින් සිටීම” මේ මොහොතේ ප්‍රශ්න කළ යුත්තකි.

ටැබූ විවාදාත්මක කරුණු කාරණා සම්බන්ධයෙන් සංවාදයක් මතු කර ගැනීමට උත්සාහ කළ බ්ලොග්කරුවෙකි. එහෙත් ඔහු ඊට මහන්සි වූයේ එම නිසා සමාජ අවශ්‍යතාවක් ඉටු කිරීමේ හා එමගින් යම් ධනාත්මක ප්‍රගතියක් සමාජයට ලබා දීමේ අරමුණෙන් යැයි පැවසීමට කිසිම සාක්ෂියක් ඔහු හා මා කළ ගනුදෙනුවේ දී නම් හෙළිදරව් නොවුණි. මා ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොගය අහම්බෙන් කියවූ පළමු අවස්ථාවේ දීම උත්සාහ ගත්තේ ඔහු හා යම් සංවාදයක් ගොඩ නගා ගැනීමට ය. යම් උත්සාහයකින් පසුව ජී ටෝක් මෘදුකාංගය හරහා ඔහු සම්බන්ධ කර ගැනීමට හැකි වුණි. ඔහුගේ කතා ස්වරය හා මා හට දැක්වූ ප්‍රතිචාරය මිත්‍රශීලී නොවූ යම් බලාධිකාරයක් මා මත පැටවීමේ උත්සාහයක් බව මට අවබෝධ වුණි. මා වහා කළේ මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කර ඇති බවත් වයස තිස්වැන්න පසු කර ඇති බවත් පැවසීමයි. දේශපාලනය, බ්ලොග් ලිවීම හා වෙනත් දෑ ගැන ඔහු ආඩම්බරයෙන් මා මත පටවමින් සිටී අදහසුත් ඔහු මා ආමන්ත්‍රණය කළ ස්වරයත් වහා වෙනස් වුණි. ඉන් අනතුරුව ඔහු කතා කළේ මිත්‍රශීලීවය. වයස ගැන විමසූවිට 25+ හෝ 30ට ඉතා ආසන්න යැයි හැගවෙන ඉගියක් ලබා දුනි.එසේම වහා යා යුතු යැයි පවසා මගෙන් සමුගත්තේ “භූමිතෙල් ගෑ වුණ ගැරඩියකු ඉවත යන අයුරිනි”. ඉන් අනතුරුව අවස්ථා කිහිපයක දීම ඔහු ජී ටෝක්ස් හි ඔන්ලයින් සිටීයත් මා සංවාදයකට ප්‍රවේශ වූ වහා වචනයක් වත් නොකියා ඉවත්ව ගිය අවස්ථා බොහෝය. එහෙත් ඒ සෑම අවස්ථාවකම මට අවබෝධ වූයේ ඔහු දර්ශනය නොවී ඔන්ලයින් සිටී බවකි. ඒ අනුව කිසිම කරුණක් සම්බන්ධයෙන් විවෘත කතා බහකට ටැබූ නොපැමිණියේ ය. එය ආරක්ෂාව සම්බන්ධයෙන් වූ උපක්‍රමයකට වඩා වෙනත් කපටීකමක් යැයි මම සිතමි.

ටැබූ සබ්ජෙක්ට් බ්ලොග් අඩවිය තනි පුද්ගලකයකුගේ නිෂ්පාදනයක් නොව මිතුරන් කිහිපදෙනෙකුගේ සාමූහික උත්සාහයක ප්‍රතිපලයක් බව කියවුණි. දීර්ඝ කාලයක් නිහඩව සිටීමෙන් අනතුරුව යළිත් ඔහු වචනයකට දෙකකට හෝ අදහස් හුවමාරු කර ගැනීම සදහා අල්ලා ගැනීමට මම සමත් වුණෙමි. මා සමග චැට් කරන්නේ එකම අයෙක් ද බ්ලොග් අඩවියට දායක වන කිහිප දෙනාගෙන් කෙනෙක් ද යන සැකය අවසන් කර ගැනීමට මේ එක අවස්ථාවක දී මට හැකි වුණි. ඔහු ඉතා නිරවුල්ව හා පැහැදිලිව මට ප්‍රකාශ කළේ ” මචං බය වෙන්න එපා, මේ එකවුන්ට් එකෙන් ලොග් වෙන්නෙ මම විතරයි” යන්නයි. ඒ අනුව ටැබූගේ ආකල්ප, සිතුම් පැතුම් හා මතයන් සැකයකින් තොරව අවබෝධ කර ගැනීමට මම සමත් වීමි.

ටැබූ මා හා චැට් කිරීමටත් තම අදහස් ප්‍රකාශ කිරීමටත් පැකිලුණ ද මේ සම්බන්ධව කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සහෝදරයකුට පැවසූ විට ඔහු කීවේ වෙනත් අත්දැකීමකි. තවමත් යෞවන වියේ පසුවන මේ සහෝදරයා සමග පැය ගණන් චැට් කරන බව ඔහු පැවසූ විට මට ඇතු වූයේ කුකුසකි. එහෙත් ඔහු ප්‍රකාශ කළේ මා ටැබූ තුළින් දුටු බලාධිකාරය, දැඩි ස්වරය, පණ්ඩිතකම හා උද්දච්ඡකම නම් එලෙසම දකින්නට ලැබුණ බවය. ටැබූට අවශ්‍ය වූයේ ඔහු පවසන දෙයට ඇහුම්කන් දෙන තවත් ශ්‍රාවක ශිෂ්‍යයකු පමණි.

වරක් ටැබූගේ බ්ලොග් පොස්ට් කිහිපයක් සම්බන්ධයෙන් එල්ල වූවා යැයි කියූ තර්ජන නිසා ඒවා වහා ඉවත් කරමින් ලොකු ආලෝලනයකට මුල පිරීය. මෙය පොදු තර්ජනයක් ලෙස සලකමින් සිදුවූ දෑ විමසා මම ටැබූට ඊ මේල් පණිවුඩයක් යැව්වෙමි. එසේම ඒ සම්බන්ධයෙන් පොදු පාඨකයා දැනුවත් කරමින් මගේ බ්ලොග් අඩවියේ සටහනක් දැමීමි. එහෙත් ටැබූගේ ප්‍රතිචාරය කිසිත් සිදු නොවූවා මෙන් වුණි. බ්ලොග් පොස්ට් ඉවත් කිරීම සම්බන්ධයෙන් සාමාන්‍ය සටහනක් තම අඩවියේ දැමූ ඔහු නිහඩ වුණි. සිදුවූයේ කුමක්දැයි විස්තරාත්මකව පැවසීමට ඔහු මැලි විය. ආයාසයෙන් ජී ටෝක් චැට් කාමරයේ දී ඒ ගැන විමසුව ද ඔහු වහා පළා ගියේ සුපුරුදු ලෙසිනි.

ටැබූගේ හැසිරීම දිගින් දිගටම ගුප්ත වූවකි. එවැනි ගුප්ත හැසිරීමකට හොදම උදාහරණය නම් පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ඔහු දැක්වූ හැසිරීමයි. ජනාධිපතිවරණයේ දී ඔහුට නිශ්ච්ත මතයක් තිබූ බවට පැහැදිලි නොවුණි. ඔහු ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම එරෙහි වෙමින් වමේ අපේක්ෂකයකු සොයා ගියේ දෘෂ්ඨිමය එකගතාවකින් නම් නොවේ. ටැබූට නිශ්ච්ත දේශපාලන දැක්මක් හෝ තිබුණා යැයි මා නම් විශ්වාස කරන්නේ නැත. ඔහුට හැමෙකක් ගැනම විවේචනයක් තිබුණි. එහෙත් ඒ විවේචනය යම් කිසි ප්‍රතිපත්තියක් මත පදනම් වූවක් නොවේ. ඔහු බොහෝ විට මූලාශ්‍ර ලෙස ගත්තේ විකිපීඩියාවයි, නැතහොත් අන්තර් ජාලයේ මොකක් හෝ මූලාශ්‍රයකි. අන්තර ජාලය ඇසුරු කිරීම මේ යුගයේ දැනුම සොයා යෑමේ වැදගත්ම කාර්යභාරය බව ඇත්තකි. එහෙත් ඒ හා සමාන්තරව ප්‍රායෝගික සමාජ අත්දැකීම් ද අවශ්‍ය වන්නේ ය. ටැබූ සමාජය හැරදා ගොස් සයිබර් අවකාශයේ බඩ පිනුම් ගැසුවේ ඔහුටම ආවේනික සමාජ පදනම් නිසාය.ලාංකික සමාජ ක්‍රියාකාරින් වර්ගීකරණයන් තුනකට ලක් කළ හැකි බව මගේ මතයයි. ඒ 1956, 1971 හා 1978 දරුවන් වශයෙනි. ටැබූ අයත් වන්නේ 1978 පරම්පරාවට බව ඔහුගේ හැසිරීම සාක්ෂි දරයි.

1978 දී ලාංකික සමාජයේ සියළු ක්ෂේත්‍රයන් මතවාදීව වෙනසකට ලක් කළේ ගෝලීය ප්‍රාග්ධනය විසිනි. එතෙක් තිබූ සමාජ දේහයේ සැකැස්ම පවුරු පදම් වලින්ම වෙනස් කරමින් තැන් මාරුවකට ලක් වුණි. සියල්ල වෙළෙද පළ මත තීරණය වූ අතර ප්‍රාග්ධනයේ මැදිහත්වීමකින් තොරව කිසිම දෙයක් ක්‍රියාකාරී වූයේ නැත. වෙළෙද භාණ්ඩ පමණක් නොව අදහස්, මතවාද හා සංස්කෘතිය වැනි එතෙක් වෙළෙද පළ මත තීරණ තීන්දු නොගත් විෂයන් ද ඊට නතු වුණි. කෘෂිකාර්මික හා කාර්මික ආර්ථිකයකය සේවා ආර්ථිකයක් බවට හැරෙමින් විශාල මධ්‍යම පන්තියක් බිහි කළේ ද 1978 ප්‍රතිසංස්කරණයන් විසිනි. “එක්කෝ මිටීය විය යුතුය, නැතහොත් කිනිහිරිය විය යුතු යැයි මා අසා තිබේ. ඒ අර්ථයෙන් මේ මධ්‍යම පන්තියට කිසියම්ම හෝ සමාජ වගකීමක් නොවුණි. නිෂ්පාදන ක්ෂේත්‍රයට දායක නොවී වෙනත් ක්‍රම වලින් මුදල් ඉපයීම නිසා බිහි වූ මෙම පන්තිය එක් අතකින් නන්නත්තාර සමාජ පන්තියකි. වර්තාමානය වනවිට රාජ්‍ය බලය මෙහේයවීමේ හැකියාව මෙම පන්තියට ලැබී ඇතත් සමාජ ප්‍රගමනයේ දී මධ්‍යම පන්තිය කිසියම්ම වූ ප්‍රමගනයකට දායක වේ යැයි කිය නොහැක.

ටැබූ අයත් වූයේ ද 1978 දරුවන්ගේ නන්නත්තාර මධ්‍යම පන්තියටයි. ඔහුගේ දේශපාලන,සමාජීය හා ඇකඩමික හැසිරීම පෙන්නුම් කළේ මේ පන්තියට ආවේනික වූ නොසන්සුන්කමයි. ලාංකික ධනේශ්වරය ද ලාංකික නිර්ධනය ද ලූම්පන්කරණය වී ඇති කලක මධ්‍යම පන්තිය පමණක් සමාජ අගයන් රුක ගැනීමට පෙරට එන්නේ නැත. වඩාත්ම වේගයෙන් ලුම්පන්කරණ්ය වී කටයුතු කරන්නේ මධ්‍යම පන්තිය බව ඉතිහාසය සාක්ෂි දෙයි. ඇකඩමික විනයකට යටත් විය යුතු වුවත් ටැබූ බොළද ලෙස හැසිරීමට වැඩි ලොල් බවක් දැක්වූයේ එබැවිනි. සදහන් කිරීමේ පහසුව තකා ටැබූගේ බොළද හැසිරීම මෙලෙස කැටී කළ හැකිය.

1. විරුද්ධ මත දරන්නන් හා බුද්ධිමය සංවාදයකට නොගොස් ඔහුන්ට නිර්ධය ලෙස පහරදීම.
2. පුද්ගලික කාරණා ද ඈදා ගනිමින් දේශපාලනය කියවීමට යෑම.
3.මතයන් පරාජය නොකර පුද්ගලයන් පරාජය කිරීමට යෑම.
4. තමන් විසින් පරමාදර්ශය ලෙස ගොඩනැගූ රාමුවක් තුළට අන්‍යයන් ඇතුළු කිරීමට තැත් කිරීම.
5.තමන්ට වරදින අවස්ථාවක දී හෝ එය පිළිගැනීමට නිහතමානී නොවීම හා ඒ සදහා විනයක් නොමැතිවීම.
6. තමුන්ගේ මතය අන් අය මත පටවමින් සංවාදයකට ඉඩ නොතැබීම.
7. විරුද්ධ මතය කෙසේ හෝ පරාජය කිරීමේ නොතිත් ආසාව හා ඒ අරමුණු කරා යෑමේ දී සමාජ අගයන්ට ගරු නොකිරීම.

රාමචන්ද්‍ර, ඩබ්ලිව් 3 ලංකා හා මා සමග ද එකග නොවන අවස්ථාවන්හි දී ඔහු කළේ විෂයානු බද්ධව තර්ක කිරීම නොව පුද්ගලිකව පහරදීමයි. තමා නූතන දැනුමින් කටයුතු කරන්නකු යැයි නොපෙන්වමින්ම ඔහු ඩබ්ලිව් 3 ලංකාට, රාමචන්ද්‍රට හා මට පහර දුන්නේ අප මෝඩයන් ලෙස හදුන්වමිනි. වරක් එලෙස මගේ හා රාමචන්ද්‍රගේ මතයකට ඔහු පහර දුන්නේ එවැනි මතයක අප දෙදෙනා සිටීන්නේ අප විද්‍යා විෂයන් හදාරා නොමැති බව පවසමිනි. විද්‍යා විෂයයන් හැදෑරීමම නිවැරදි මතයක් දැරීමට හේතු නොවූවත් මා මගේ ප්‍රථම උපාධිය සදහා ශුද්ධ විද්‍යා විෂයයන් මෙන්ම ශ්‍රාස්ත්‍රීය විද්‍යා විෂයන් ද හදරා ඇති බව සාධක සහිතව ඔප්පු කළත් එය පිළිගැනීමට තරම් මේ 78 තරුණයාට ඇකඩමික විනයක් නොවීම කණගාටුවට කරුණකි.

කෙසේ හෝ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය තවදුරටත් අන්තර්ජාලයේ නොපවතී. ඒ සම්බන්ධයෙන් නොයෙක් කරුණු කාරණා පැවසිය හැකිය. ඔහු පවසන පරිදිම මෙය ජාතිවාදීන්ගේ ප්‍රහාරයක් විය හැකිය. ඔහුගේ ප්‍රතිවාදින් පවසන පරිදි මෙය ටැබූගේම ක්‍රියාවක් විය හැකිය. සියල්ල ඉතිහාසය විසින් ඔප්පු වන තෙක් එකක් නම් පැහැදිලිව ප්‍රකාශ කළ හැකිය. තමන්ම වැපුරූ බීජයන්ගේ අස්වැන්න තමන්ටම නෙළා ගැනීමට සිද්ධවීමේ කනගාටුදායක ඉරණමට මුහුණ දීමට ටැබූට සිදුවී තිබේ.

ටැබූ, එක්කෝ මිටීයක් වෙන්න නැත්නම් කිනිහිරිය වෙන්න…..

Advertisements

10 Comments

  1. saho mama ada udem dekapu lipyak nisaa mata therum giye nam taboo thamangema blog eka thaman wisinma hack karagaththa kiyana ekai … mokada taboo pawichchi kare gmail.. gmail recover karanna godak krama thiyanawa. anika hack akranna yana miniha email eka hack karapu gaman ikmanata blog eka ayin karala danawa misak email eka recover karanna thiyana krama wenas kara kara inneth nehe. meka taboo gema ranganayak

    http://eyugaya.blogspot.com/2011/03/blog-post_12.html

    menna me lipiye thiyanawa proofs ekkama … google walata boru karanna taboo ta amathaka una ..

  2. ටැබූ පිළිබඳ ඔබගේ විග්‍රහය පිළිබඳ කීමට මට යමක් නැතත් (ඒ ගැන මා නොදන්නා නිසා) ටැබූගේ බ්ලොග් අඩවිය නොපැවතීම සම්බන්ධයෙන් දැරිය යුතු හොඳම ස්ථාවරය වන්නේ ඔ‍බේ මතය බව මගේ අදහසයි. මන්ද ටැබූ සහ ඔහුගේ විරුද්ධවාදීන් යන දෙපිරිසම විශ්වාස කිරීමේ උවමනාවක් නොමැති බැවිණි. දෙපිරිසම එක ලෙසින් කපටියන් වන අතර එක් පාර්ශවයක් නිවැරදි විය යුතු නමුත් එය තීරණය කල නොහැක. ඇතැම් විට අවසානයේ දෙපිරසම හොඳ හෝ නරක විය හැක.

  3. ඇත්තටම ටැබූ සම්බන්ධව ඔබ කියන කාරණා බොහොමයක් ඇත්ත. ඔහුට තිබුනේ මේ බ්ලොග් අවකාශයේ ඉන්න නව යෞවන තරුණ තරුණියන් අතර පොරක් වීමේ වුවමනාව. කිසිදු සමාජ දේශපාලනික අවබෝධයක් නැති බ්ලොග්කරුවන් බොහොමයක් හුරේ දමමින් ඔහු වටා රොක් වීම මඟින් ඔහු ලොකු ත්‍රිල් එකක් ලැබුවා. තමන්ට එරෙහිව සංවාද කරන අය කිසිදු පදනමක් නොමැති බොරු තර්ක ඉදිරිපත් කරමින් යටපත් කිරීමට උත්සාහ කළ බව පැහැදිලිව පෙනුන කරුණක්. ඒවා සමහර වෙලාවට අපිට හාස්‍යජනක උනා. දැනුත් ඔහු කරන්නේ රඟපෑමක් බව අපිට නම් පැහැදිලියි.

  4. දැන් අන්න බයෙන්දපේමේ ගොයියත් රගපාන්න පටන් අරන්.මේකලා මේ තනන්නේ බොරදියේ මාලු බාන්ට
    සමහර උන් විහින් හැකාලා වෙන්න තනනවා.සමහර උන් ඒ ගැනම ලිය ලිය පොරවල් වෙන්න හදනවා.

    මෝඩ ආතල් ගන්න බුවාලත් ඒ අතරේ වැහි වැහැලා.
    උඹේ ලිපියනං මැද මාවතේ යන බවක් පේනවා කොල්ලෝ.
    ඔය කොයි එකත් හිට් ගන්න බලන සහ අතීත වැරදි මකන්න ගන්න උත්සහයක් විතරයි මේක.
    අපි නොදන්න හැකින්

  5. ඔබ කීවා හරි ය. එකක් හැක් ක‍ර විනාශ කළොත් වෙන එකක් පටන් අර ගන්නට බ්ලොග් අවකාශයේදී පුළුවන. තමන් ලියන දේ තමන්ට වටිනා නිසා ඕනෑ නම් බැකප් කර තබා ගත හැකි ය. බැකප් නැතිනම් හැකිං බල්ලාට දමා හෙට සිට අලුතෙන් ලියන්නට පුළුවන.

    “Workers of the World, Unite. You have nothing to lose but your chains!”

  6. Is it a necessary condition to have a puristic social and political reason to blog or to be recognized as a blogger?

    I think these conversations would be more fruitful if the focus is on taboos’ writings rather than taboo himself. Whatever said most of his writings were though provoking and hit the right areas. (Specially the blogs on Religion and Nationalism)

    It’s sensible to put our efforts to fighting the forces behind the oppression than criticizing differences between each other IMHO.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s