දරුස්මාන් වාර්තාව – අරුණෝදයට ප්‍රවේශයක්


පසුගිය සති අන්තය මා ගත කළේ කොළඹින් බැහැරව වයඹ පළාතේ ය. දේශපාලනික වශයෙන් කොළඹ තිබූ උණුසුම ඒ ගම්බද දකින්නට නොලැබුණි. එහෙත් නැවත කොළඹ කරා එන ගමනේ දී දකින්නට ලැබුණේ වෙනස් වූ අත්දැකීමකට ය. රාජපක්ෂ රෙජීමයේ ප්‍රාදේශීය දේශපාලකයකු විසින් මෙහේය වූ කිහිපදෙනෙක් නිට්ටඹුව බස් නැවතුම් පළ අසල ඝෝෂා නගමින් සිටීයහ. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කැදවා තිබූ වාර්තාවට එරෙහිව පෙත්සමකට අත්සන් එකතු කිරීමටයි. ඒ අන්දමේම වූ පෙත්සමකට අත්සන් එකතු කිරීමක් පිටකොටුව පෞද්ගලික බස් රථ නැවතුම් පළේ ද සිදුකරමින් තිබෙන අයුරු දකින්නට ලැබුණි.

මේ අවස්ථා දෙකෙහිම දී ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඝෝෂා නගමින් ආමන්ත්‍රණය කරමින් සිටීයේ ප්‍රාථමික වූ ආවේගාත්මක හැගීම් වලට මිස බුද්ධියට නොවේ. මේ දිනවල රාජපක්ෂ රෙජීමයේ කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම රෙජීමයේ සෑම පරපුට්ටෙක්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවට එරෙහිව ආමන්ත්‍රණය කරන්නේ ඒ අන්දමින් ජනමනසේ ළාමක ආවේගයන්ට පමණි. ශ්‍රී ලංකා රාජ්‍යය සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ මතවාදී ග්‍රහණයට ලක්ව පවතින නිසාත් ඒ මතවාදයේ පෝෂක සමාජ තීරුව වන්නේ අතර මැදි පන්තිය නිසාත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට බුද්ධිමය ප්‍රවේශයක් නොමැති වීම අහම්භයක් නොවේ.

රාජ්‍යයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ ආචාර්ය දයාන් ජයතිලක, මහාචාර්ය රජීව විජේසිංහ හා වෙනත් අල්ප වූ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් හැරෙන්නට රාජපක්ෂ රෙජීමය වටා සිටීන්නා වූ මහාචාර්ය, ආචාර්ය හා වෙනත් නාමධාරීන් බහුතරය අතර මැදි පන්තියේ සිවිල් චරිතයන් බැවින් ඔවුන්ට රාජතාන්ත්‍රික හැසිරීම් තේරුම් ගැනීමට නොහැකිවීම පන්තිමය දුර්වලතාවක් ලෙස හදුනා ගත හැකිය. ඒ නිසා රාජතාන්ත්‍රික හැසිරීමකින් ගැටළුව දෙස බලන්නා වූ බුද්ධිමතුන් මේ අවස්ථාවේ මුහුණ දෙන්නේ බරපතල දුෂ්කරතාවන්ට ය. එහෙත් ඔවුහු උත්ගත වෙමින් තිබූ තත්ත්වයට මුහුණ දීමට දැරූ උත්සාහය ප්‍රශස්තය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මෙම කමිටු වාර්තාව කැදවූ සැනෙන් ජීවිත පරිත්‍යාගයෙන් එය වැළක්වීමට සමහරු උත්සාහ දැරුවත් රෙජීමයේ අල්ප වූ බුද්ධිමත්හු ඒ සම්බන්ධයෙන් සංවාදශීලී ගනුදෙනුවකට පෙළඹුණි. කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණ කරුණු සොයා බැලීමට ප්‍රායෝගික ප්‍රවේශයක් නොතිබුණත් ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයාත් කමිටු සාමාජිකයනුත් හමුවී මේ සම්බන්ධයෙන් ධනාත්මක වූ ප්‍රවේශයක් සදහා ප්‍රශංසාත්මක ආකල්පයක රුදී සිටීයහ. ඒ නිසා රාජපක්ෂ රෙජීමයේ පරපුට්ටන් අද කුමක් පැවසුවත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ උත්සාහය වලංගු රාජතාන්ත්‍රික ක්‍රියාවක් බව රාජ්‍යය විසින්ම තහවුරු කර තිබේ.

ශවේන්ද්‍ර සිල්වා බැංකි මූන් හමුවී

යම් රටක අභ්‍යන්තර කටයුතු සොයා බලා ඊට මැදිහත්වීම ආක්‍රමණකාරී ක්‍රියාවකි. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ස්වාධින භූමිකාවක් නොමැති බව අතීතය ඔප්පු කර තිබේ. එහෙත් ගෝලීයකරණය විසින් ප්‍රපංචයන්ගේ අතීත කෝෂාර්ථයන්ට ලබා දී ඇත්තේ නව අර්ථකථනයන් ය. විශේෂයෙන්ම පරිධියේ රටවල ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාව හා රාජ්‍යයේ ඒකීයත්වය අලුත් අර්ථයකින් විග්‍රහ කිරීමට බල කෙරී තිබේ.රාජපක්ෂ රෙජීමය කොතෙක් අකමැති වුවද එය කොතෙක් අසාධාරණ වුවද යුද්ධයේ අවසන් කාලයේ දී ශ්‍රී ලංකාවේ සිදුවූ දෑ සම්බන්ධයෙන් වාර්තාවක් කැදවීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට හැකිවී ඇත්තේ එබැවිනි. ගෙවුම් ශේෂ හිගය පියවා ගැනීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ පිහිට පතන දුප්පත් රටක් වන ශ්‍රී ලංකාව “උඹ උඹේ වැඩක් බලාගෙන ඉදපං” යැයි බටහිර රටවලට කරන්නා වූ තර්ජනය විහිළුවක් වන්නේ එබැවිනි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කැදවා ඇති වාර්තාව අනුව චෝදනා නගා ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව පමණක් නොවේ. එල්ටීටීඊ සංවිධානයට එරෙහිවත් මෙම වාර්තාවෙන් බරපතල චෝදනා එල්ල වී තිබේ. ශ්‍රී ලංකා රාජ්‍යයට පමණක් නොව එල්ටීටීඊ සංවිධානයට එරෙහිව ද චෝදනා එල්ල කරන මෙම වාර්තාවට රාජපක්ෂ රෙජීමය විරුද්ධ ය. එසේම ශ්‍රී ලංකා රාජ්‍යයට පමණක් නොව එල්ටීටීඊ සංවිධානයට ද චෝදනා එල්ල කරන මෙම වාර්තාවට දෙමළ ජාතික සංධානය පක්ෂය. ඒ අනුව මෙම වාර්තාව ශ්‍රී ලංකාවේ දේශපාලනය අලුත් අර්ථයකින් ධ්‍රැවීකරණය කරන්නකි.

රාජපක්ෂ රෙජීමයේ පරපුට්ටන් මහත් ආශ්වාදනීය අභිමානයකින් ප්‍රකාශ කරන්නේ ත්‍රස්තවාදයට යළි හිස එසවීමට නොහැකි වන පරිදි එය මර්දනය කළ බවකි. ඒ නිසා පවත්වන්නා වූ සෑම මැතිවරණයකින්ම රාජපක්ෂ රෙජීමය අත්කර ගත්තේ විශිෂ්ට ජයග්‍රහණයකි.මෙතෙක් දේශීයව ලැබූ ඒ ජයග්‍රහණය තවදුරටත් අන්තර් ජාතික මට්ටමෙන් නම් ලබා ගැනීම දුෂ්කර එකක් බව නො අනුමානය. එහෙත් ගෝලීයකරණය යථාර්තයක් වී ඇති බැවින් ජාත්‍යන්තරයෙන් බැහැරව ශ්‍රී ලංකා රාජ්‍යයට පැවත්මක් ඇතැයි යමෙක් සිතන්නේ නම් එය බරපතල හාස්‍යයක් ඇති කරන්නා වූ විහිළුවකි. ශ්‍රී ලංකාව තම මිතුරන් හා එක්ව බටහිර රටවල අභියෝගයට මුහුණ දීමට උත්සාහ කිරීම ද රාජ්‍යතාන්ත්‍රිකව බැලූ විට අතුරේ යෑමකි.

දරුස්මාන් කමි‍ටුව බැංකි මූන් සමග

ශ්‍රී ලංකා රාජ්‍යය තවදුරටත් නොබැදි ස්ථාවරයේ නොපවතී. ඒ තබා අසල්වැසි ඉන්දියාව සමග හෝ සතුටුදායක සම්බන්ධතාවක් නොපවත්වයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අතීතයේ මෙන් පරමාදර්ශී වූවක් නොව උපයෝගීතාව මත පදනම් වූවකි. මේ ප්‍රතිපත්තිය සමහර විට ගෝලීයකරණයේ තවත් බලහත්කාරී තෙරපුමක් විය හැකිය. අද වනවිට ලෝකයේ ප්‍රබල රටවල් කිහිපයක්ම තම විදේශ ප්‍රතිපත්තිය පදනම් කරගෙන ඇත්තේ උපයෝගීතාව මතය. මියන්මාර රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් චීනය පෙනී සිටීන්නේත් ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂාවට රුසියාව පෙනී සින්නේත් ඒ අර්ථයෙනි. එහෙත් යම් තීරණාත්මක අවස්ථාවක දී උපයෝගිතාවේ මිතුරු බැදීම් බිද වැටෙන බව සුඩානය සම්බන්ධයෙන් වෙනස් වූ චීන ස්ථාවරයෙන් ද ඉරානය සම්බන්ධයෙන් වෙනස් වූ රුසියානු ස්ථාවරයෙන් ද පැහැදිලි වේ. ලෝකයේ විවිධ රටවල පවත්නා විදේශ ප්‍රතිපත්තින් අධ්‍යනය කළ විට පැහැදිලි වන්නේ උපයෝගීතාව මත පදනම් වූ මිතුරු බැදීම් බිද වැටීම කාලය පිළිබද ගැටළුවක් පමණක් බවකි.

දරුස්මාන් වාර්තාවෙහි කුමක් අඩංගු වුවද එමගින් ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව දඩුවම්කාරී පියවරක් ගත නොහැක. එක්සත් ජාතීන් එමගින් උත්සාහ දරා ඇත්තේ පශ්චාත් යුද සමාජයේ ගැටළු කළමනාකරණය කර ගැනීම ඉක්මන් හා විධිමත් කිරීම සදහා යම් පෙළඹුමක් ඇති කිරීමයි. ඒ නිසා ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව ඉල්ල වී ඇති අභියෝගය ජය ගත යුත්තේ අභියෝගකරුවන් සමග සංවාදශීලී ගනුදෙනුවක් ආරම්භ කිරීමෙනි. ඒ සදහා හොදම ප්‍රවේශයක් දරුස්මාන් කමිටු වාර්තාව විසින්ම ලබා දී තිබේ. රාජපක්ෂ රෙජීමයේ පරපුට්ටන් කුමක් කීවද මෙම කමිටු වාර්තාව යුද්ධයේ පාර්ශ්වකරුවන් දෙදෙනාටම චෝදනා එල්ල කරන්නකි. එහෙත් එමගින් වැඩි උත්සාහයක් දරා ඇත්තේ පශ්චාත් යුද සමාජයේ ගැටළු කළමනාකරණය කර ගැනීමටයි. ඒ සදහා දරා ඇත්තේ සංවර්ධනාත්මක හා නිර්මාණාත්මක වූ ප්‍රවේශයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන එවන් ප්‍රවේශයක් මේ සම්බන්ධයෙන් ඇති කර ගත යුතු සංවාදයේ පදනම කර ගන්නේ නම් එය පාර්ශ්වයන් දෙකකින් ශ්‍රී ලංකාවට වැදගත් වන්නා වූ ආරම්භයකි.

පශ්චාත් යුද සමාජය කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍යය තවමත් සිටීන්නේ නොමේරූ අවදියකය. ගෝලීය ප්‍රාග්ධනය උතුර නැගෙනහිර ප්‍රදේශ පුරා විසිරුවා හැරීම පශ්චාත් යුද කළමනාකරණය ලෙස අර්ථ දැක්විය නොහැක. විරසක වූ ජාතීන් දෙකක ජනයා ශක්තිමත්ව බැද තැබීමත් රාජ්‍යයේ ආධිපත්‍යය දෙමළ ජනයා විසින් ස්වයංව පිළිගෙන ඊට ගරු කිරීමත් එවන් වැඩපිළිවෙළක මූලික ඉලක්කයන් විය යුතුය. එය රාජ්‍යයේ ශක්තිමත්භාවයට පමණක් නොව රාජ්‍යය කෙරෙහි ජාත්‍යන්තර සමාජය දක්වන්නා වූ හොද හිත ගොඩ නැංවීමට ද බලපායි. විෂයානු බද්ධ සිදුවීම් වල පෙළ ගැස්මක ප්‍රතිථලයක් ලෙස කුරිරු යුද්ධයකට මුහුණ දීමට සිදුවූ බව ප්‍රකාශ කරමින් ඒ අමිහිරි අතීතය නැවත මතු නොවන පරිදි සමාජයේ බලවේගයන් කළමනාකරණය කර ගැනීමට තමන්ගේ ඇති සූදානම පෙන්වීමට ශ්‍රී ලංකා රාජ්‍යයට මෙය කදිම අවස්ථාවකි.
ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය දරන්නා වූ පමණින් රාජපක්ෂ රෙජීමයට පමණක් මෙම අභියෝගයෙන් ජය ගත නොහැක. ඒ සදහා අවශ්‍යයෙන්ම විපක්ෂයේ සියළු පක්ෂයන්ගේ පොදු දායකත්වය අවශ්‍ය වේ. එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ද දෙමළ ජාතික සංධානයේ ද සහාය මත පමණක් අභියෝගය ජය ගැනීම සදහා වූ සංවාදය ගොඩනැංවිය හැකිය. මෙය සුව පහසු කටයුත්තක් නොවුනත් එය අත්‍යවශ්‍ය වන්නා වූ සංවාදයකි. ශ්‍රී ලංකා රාජ්‍යයේ මතවාදී හැඩ තලයන් වෙනස් කර ගනිමින් පරිපූර්ණ රාජ්‍යයක අර්ථයෙන් ව්‍යහාත්මක ප්‍රතිසංස්කරණයකට යෑම සදහා දරුස්මාන් වාර්තාව යොදා ගන්නේ නම් එය මේ යුගයේ ශ්‍රී ලංකාව ලැබූ ලොකුම ජයග්‍රහණය වනවා නො අනුමානය.

Advertisements

1 Comment

  1. මෙම වාර්තාව පිළිබඳ රජයේ ප්‍රතිචාරය මේ වන විට යම් විනයගරුක ස්වභාවයක් ගනිමින් තිබේ. මහින්ද අබේසුන්දර, කීර්ති වර්ණකුලසූරිය වැනි අඥාන මාධ්‍යකරුවන්ගේ මුග්ධ සිංහල ලිපි හැරුණු කොට, වගකිව යතු මට්ටමේ දේශපාලකයන්ගේ අප්පල්ල කටවල් වට කර වැට බැඳීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව පෙනේ.

    ආණ්ඩුව ගෝලීය ධනවාදය තමන්ගෙන් අපේක්ෂා කරන ව්‍යූහාත්මක වෙනස්කම් පිළිබඳ සංවේදී වීමට මෙම අවස්ථාව යොදා ගැනීමට ඉඩ ඇත.

    එහෙත්, මහින්ද රාජපක්ෂ පාලනයේ පංතිමය මූලෝපායයන් නව ලිබරල් අපේක්ෂාවන්ට වඩා වෙනස් ය. රාජපක්ෂලාට අවශ්‍ය රජය නම් පවුල් කොම්පැනිය ශක්තිමත් කරමින් එයින් ලාභ ගරා ගැනීමටයි. එය මේ වන විට පෞද්ගලික අංශයේ ධනපතීන්ට ගැටලුවක් වී තිබේ.

    මෙම ගැටුම ධනවාදයේ ගැටලුවකි. ඒ ඔස්සේ පීඩිත ජාතීන්ට යම් සාධනීය තත්වයක් අපේක්ෂා කරන්නට පුළුවන. ඉන් එහා දෙයක් නැත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s