“අරුණලු සෙරෙන් අරුණෝදයට” – ඒ අරුණෝදය කොහේද?


” බයස්ල ඇවිල්ල කෙළින්ම ගියේ කෑන්ටීන් එකට.එතකොට ළමයි උදේ කෑම කනව, බයර්ස්ල කුස්සියටත් ගියා, කන කෑම මොනවද කියල බැලුව, පස්සෙ එයාල මැනේජ්මන්ට් එකට කිව්වා උදේ කෑම එක දිය යුතු ක්‍රමය. එයාල ගොඩක් දුරට ළමයින්ගෙ පහසුකම් බලනව, කෑමබීම, ඇදුම් පැලදුම් විතරක් නෙවෙයි ගෙදර දොරේ තත්ත්වය පවා අහල දැන ගන්නවා. යුරෝපියන් බයස්ල ගොඩක් ෆැක්ට්‍රීස් වලින් ගාමන්ට්ස් ගන්න කලින් ෆැක්ට්‍රීස් වලට ඇවිල්ල හැමදේම හොයල බලනව. මා හිතන්නේ එයාල ඒ හැම දේකින්ම බලාපොරොත්තු වෙන්නෙ කොලිටී ගාමන්ට්ස් මිල දී ගන්න”

1999 දී තරම් ඈතක දී මා හා කතා බහක යෙදුන ඇගලුම් කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු වන මගේ මිතුරකු තම කර්මාන්ත ශාලාවේ වෙළද පළ තත්ත්වය ගැන මට කී ඒ කතාව ඒ පිළිබදව විමසා බැලීමට තරම් ආකර්ශනීය වූවක් විය. දස වද දෙමින් තුට්ටුවට දෙකට ශ්‍රමය සූරාකන ලංකාවේ බහුතරයක් ඇගලුම් කර්මාන්ත ශාලාවන්හි වෙළෙද පළ සංස්කෘතියට වෙනස්ව යන එක්තරා ප්‍රවනතාවක් ඒ වනවිට බොහෝ ඇගලුම් කර්මාන්ත ශාලා ආශ්‍රිතව සිදුවෙමින් පැවතුණි. මා අනතුරුව සොයා ගත් කරුණු අනුව මේ සංස්කෘතික වෙනස වෙළද පළ තුළ ඇතිවෙමින් පවතින්නේ දියුණු හා උසස් මට්ටමක වෙළද පළ තත්ත්වයන් ගැන සංවේදී ව්‍යවසාකයන්ට අයත් ඇගලුම් කම්හල් ආශ්‍රිතව මෙන්ම නිපදවන ඇගලුම් යුරෝපය වැනි ගුණාත්මක ඇගලුම් මිල දී ගන්නා වෙළද පළකට අළෙවි කරන කම්හල් ආශ්‍රිතව වීම විශේෂයකි. ලාභය ලැබීමට නම් අඩු වැටුප් ශ්‍රමය අත්‍යවශ්‍යයි යන මානසිකත්වයෙන් කටයුතු කරන නොදියුණු වෙළද පළ තත්ත්වයක කටයුතු කරන කම්හල් ආශ්‍රිතව තවදුරටත් පැවතියේ පරණ පුරුදු වහල් වෙළදාම මිස අනෙකක් නොවේ.

2003 වර්ෂයේ දී යුරෝපයට ඇගලුම් අපනයනය සම්බන්ධයෙන් අත්සන් කෙරුණ ගිවිසුමක දී මෙන්ම කම්කරු ශ්‍රමය පිළිබදව සංශෝධනය කළ නීතී අණ පනත්හි අන්තර්ගතය සියුම්ව විමසා බැලුවහොත් ධනේශ්වර වෙළද පළ හා අතිරික්ත වටීනාකම් පිළිබද තත්ත්වයන් එසේම ආරක්ෂා කරමින් කම්කරු ශ්‍රමය පිළිබදව වඩා වැඩි වටීනාකමක් ලබා දී තිබෙන බව අවබෝධ කර ගත හැකිය. එහිදී කම්කරු ශ්‍රමය පිළිබදව වෙනදා නැති උනන්දුවක් මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේ දී ඊට වැඩි ඉඩකඩක් ද තබා තිබුණේ ශ්‍රමය පිළිබද මාක්ස්වාදී අර්ථකතනයන්ට අනුව යැයි වරදවා තේරුම් ගත යුතු නැත. එහෙත් වෙනදා නැති උනන්දුවක් කම්කරු ශ්‍රමය සම්බන්ධයෙන් ධනේශ්වරය දැක්වූයේ ධනේශ්වරයේ ගෝලීය අවශ්‍යතා පුළුල් කිරීමට බව අවිවාදිතය. නමුත් කවර අරමුණකින් හෝ දැක්වූ ඒ උනන්දුව ශ්‍රමය පිළිබදව වන දේශපාලන කතිකාවේ දී අත්හල නොහැකි සාධයකි. නමුත් බොහෝ වාමාංශිකයෝත් වෘත්තීය සමිති ක්‍රියාධරයනුත් ධනේශ්වර වෙළද පළ තුළ සිදුවූ මේ ක්‍රම වෙනස දැකීමට තරම් සියුම් හෝ විමර්ශනශීලී හෝ නොවීම කනගාටුවට කරුණකි. ඒ නිසාම ධනේශ්වරයට එරෙහිව සංයුක්ත විකල්ප අරගලයක නිරතවීමට නිර්මාණාත්මක හැකියාවක් ඇති නොවුණි.

ධනේශ්වර වෙළද පළ තුළ මේ ක්‍රම වෙනස ඇති වූයේ 1978 ජයවර්ධන රෙජීමය දියත් කළ ප්‍රතිසංස්කරණයන්හි ප්‍රතිඵලයක් වශයෙනි. මේ ප්‍රතිසංස්කරණයන් සමග ලාංකික වෙළද පළ ගෝලීය ධනේශ්වරය සදහා සූදානම් වූ අතර ඒ සමග එතෙක් පැවති රාජ්‍ය කේන්ද්‍ර කර ගත් ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයත් දේශපාලන ක්‍රමයත් වෙනස් වුණි. නව වෙනස තුළ “සූරාකෑම”, “ධනපති පන්තිය” හා “පීඩිත පන්තිය” යන මාක්ස්වාදී වාං මාලාවේ කෝෂාර්ථයන්ට අලුත් අර්ථකථන ලැබුණි. මේ නිසා ධනේශ්වරයට එරෙහිව අරගල කිරීමත් බොහොදුරට අවලංගු හා නිෂ්ඵල උත්සාහයන් බවට පත් වුණි. ලාංකික පොළව මත සිදුවූ ජනතා අරගලයන් අසාර්ථකවීමට මූලික කාරණාවන්ගෙන් එකක් ලෙස පැහැදිලි කළ හැක්කේ ක්‍රම වෙනසකට ලක්වූ ධනේශ්වරය හදුනා ගැනීමට තරම් “දැනුම” ලාංකික සමාජවාදීන් සතුව නොපැවතීම බව පැහැදිලි කරුණකි.

මේ නිසා ලාංකික සමාජවාදීන් තවදුරටත් ධනේශ්වරය අර්ථ දැක්වූයේ රාජ්‍ය කේන්ද්‍ර ගත ප්‍රපංචයක් ලෙසිනි. අරගල කළ යුත්තේ ධනේශ්වර රාජ්‍ය ප්‍රතිසංස්කරණයන් සදහා මිස සමාජවාදී සමාජ වෙනසකට නොවන බව ඔවුහු ප්‍රායෝගිකව ඔප්පු කළහ. මේ නිසා පීඩිතයන් වෙනුවෙන් මහපාරට බැස සටන් කරන විට එල්ල වන ධනේශ්වර මර්දනයේ දී කිසිම පීඩිත සමාජ බලවේගයකට ඊට සංයුක්තව මුහුණ දීමට හැකියාවක් නොවුණි. පීඩිතයන් ද පෙනී සිටීයේ ධනේශ්වරයේ පැවත්ම වෙනුවෙනි. ඒ අනුව “පීඩිත” හෝ “ධනේශ්වර” පන්තීන් අලුතින් හැඩ ගැසී “සූරාකෑම” ද අලුත් අර්ථකථනයන් තුළ සිදුවෙමින් තිබුණි.

අරගලය තවදුරටත් මාක්ස් ලෙනින්වාදී ඉගැන්වීම් තුළ පදනම්වීම අවශ්‍ය වුවත් ගොඩනගන්නට යන්නා වූ සමාජ ක්‍රමයට රුසියන් විප්ලවය හෝ අතීතයේ සිදුවූ වෙනත් කිසිම විප්ලවයක් ආදර්ශය ලෙස ගැනීම අවිද්‍යාත්මකය. නූතන අරගලය පදනම් විය යුත්තේ වර්තමාන සමාජ දේශපාලන බලවේගයන්ට ගැලපෙන අන්දමිනි. ඒනිසා අතීතයෙන් අත්දැකීම් ලබා ගැනීම වලංගු වුවත් අතීතයෙන් ආදර්ශයන් ලබා ගැනීම අවලංගු සාධකයකි. සමාජවාදී තැන් මාරුව වෙනුවෙන් පෙනී සිටීන්නන්ට මේ ධනේශ්වර සමාජ ක්‍රමයේ සිදුව ඇති වෙනස තේරුම් ගැනීමටත් ඒ අනුව තම අරගලය සකස් කර ගැනීම සදහාත් දැනුම නිර්මාණය කර ගැනීම සදහා අති විශාල සමාජ කතිකාවක් ගොඩ නගා ගැනීම මූලික අවශ්‍යතාවකි.

ලාංකික වෙළද පළ ගෝලීය ධනේශ්වරයට සම්බන්ධ වූයේ පුළුල් කතිකාවකින් නොවේ. එසේම සම්භාව්‍ය ධනේශ්වර අර්ථයෙන් වූ වෙළද පළ පුළුල්වීමකින් ද නොවේ. මේ නිසා ලාංකික ධනේශ්වර පන්තිය අද ඉතිහාසයේ බරපතලම අර්බූදයට ලක්ව තිබේ. මේ අර්බූදය නිසා රාජ්‍යයේ ආධිපත්‍ය ධනපති පන්තියෙන් ගිලිහී ධනය ඇති වෙනත් සමාජ තීරුවකට උරුම වුණි. මේ සමාජ තීරුව රාජ්‍ය ගැතිකම නිසා ආර්ථික හා දේශපාලන බලය ලැබූ පිරිසක් මිස සමාජ සංවේදී හෝ දේශපාලන අරමුණකින් යුත් සම්භාව්‍ය ධනපතියන් පිරිසක් නොවේ. එමෙන්ම මේ සමාජ තීරුව ආර්ථික ක්‍රියාකාරකම්හි වැඩි දායකත්වයක් දරන්නේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නොවේ. මේ සමාජ තීරුව සෑහෙන දුරකට පදනම් වී ඇත්තේ ලූම්පන් ආර්ථික කටයුතු වලය. ඒ නිසා ඔවුන්ගේ සමාජ දේශපාලන ක්‍රියාකාරකම් වැඩි සම්බන්ධයක් දක්වන්නේ ලුම්පන් දේශපාලන ක්‍රියාකාරකම් වලට ය.

ලාංකික රාජ්‍ය ධනේශ්වර අර්බූදයක ගිලී තිබීම බොහෝ වාමාංශිකයන් දකින්නේ ධනාත්මකවය. එහෙත් මේ අර්බූදය ධනේශ්වර විරෝධි අරගලය කරා ද පැමිණ ඇති බව බොහෝදෙනෙක් අවබෝධ කරගෙන නොමැත. ධනේශ්වරයේ ආධිපත්‍ය ධනය ඇති ලුම්පන් සමාජ තීරුවකට හිමිවීමට සාපේක්ෂව ලාංකික පීඩිත පන්තියේ ආධිපත්‍ය ද ලුම්පන් සමාජ බලවේගයන් විසින් ඩැහැගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ලුම්පන් සමාජ බලවේගයන්ට සමාජ සංවේදීතාවක් හෝ සමාජය ගැන දෘෂ්ටීමය හැගීමක් හෝ ඇතැයි පැවසිය නොහැක. ඒ නිසා එවැනි සමාජ තීරුවකින් සමාජ වෙනසක් සදහා අවශ්‍ය අරගලකාරී උත්සාහයකට බීජයන් ලබා නොදේ. මේ නිසා ගෝලීය ධනෙශ්වරයේ ක්‍රමෝපායන් හදුනා ගනිමින් සමාජවාදී සමාජ වෙනසක් ඇති කර ගැනීම සදහා අවශ්‍ය දැනුම නිර්මාණය කර ගැනීමට ලූම්පන් සමාජ තීරුවට දැරිය හැකි දායකත්වයක් ගැන විශ්වාස කිරීම අර්ථ විරහිත බලාපොරුත්තුවකි.

එහෙත් මේ අර්බූදය ජය ගත යුත්තේ ද “චෙක්මේට්” වී ඇති සමාජ බලවේගයන්ගේ හැසිරීම තුළින්ම ය. ලාංකික පීඩිත පන්තිය පමණක් නොව ධනපති පන්තිය ද ගිලී ඇති අර්බුදයෙන් ගලවා ගැනීමේ හැකියාව ඇත්තේ බුද්ධිමතුන්ට ය. සමාජ පන්තීන් දෙකෙහිම බුද්ධිමතුන් උත්සාහ දැරිය යුත්තේ සමාජය මේ හිරවීමෙන් ගලවා ගැනීමටය. සමාජවාදී සමාජ වෙනසක් සදහා යා යුතු ගමන දිගු ගමනක් වී ඇත්තේ එබැවිනි.

Advertisements

4 Comments

  1. ගොඩක් දුරට එකඟයි ඔබේ දැක්මත් එක්ක.
    මට දැනෙන්නේ “ගෙදර ගියොත් අඹු – මග හිටියොත් තෝ” වාගේ ස්ටේල් මෙට් ගතියක්….

  2. ධනේෂ්වර පංතිය හා ධනය ඇති වෙනත් සමාජ කොටසක් යන දෙකම එකක් නොවන්නේ ඇයි?
    ඔබ පවසන ධනේෂ්වර ආධිපත්‍ය තුළද ලුම්පන් දේශපාලන ක්‍රියාකාරකම් ඇතුළත්‍ නොවන්නේද?
    ලංකාවෙ සමාජවාදීන්ට සිදුවූයේ ධනේෂ්වරය හඳුනාගැනීමට තරම් “දැනුම” නැති කමද එසේ නොවන්නේනම් ඔවුන් හසල සමාජවාදී උගතුන් මිස සමාජවාදී පුද්ගල ගුණාංගයන්ගෙන් තොර වූ සමාජවාදී දේශපාලන භාවිතය රැකියාව සහ පුද්ගල ප්‍රතිරූපය වෙනුවෙන් පමණක් භාවිතා කරන පුද්ගල ස්වරූපයෙන් යුතු වීම නොවේද?

  3. ඉතා වැදගත් අදහසකි. ලංකාවේ සමාජවාදීන්, වාමාංශිකයන් කියන්නේ ද ලුම්පන් මධ්‍යම පංතික හැතිකරයකි. ඒ බව ජවිපෙ වත්මන් අර්බුදය තුළ සිදු වන දේවලින් ද, රාජ්‍ය නොවන සංවිධානවලට හා දෙමළ ඩයස්පෝරාවට කොළපත දික්කරගෙන යදින සෙසු වාමාංශික රොඩීන්ගේ (කුලවාදී අර්ථයකින් ‍තොරව තේරුම් ගන්න) කුහක නිශ්ශබ්දතාවෙන් ද ඔප්පු වේ. සමාජවාදය මුන්ගෙන් ගලවා ගැනීම අද දවසේ ඇති ලොකු ම අභියෝගයයි.

    මොවුන් මේ කිසිදු සංවාදයකට සහභාගි වනු ඔබ දැක තිබේ ද? ඒ මුන්ට ඉන්ටනෙට් නැති නිසා නො වේ. ඇතැමුන් මුළු දවස ම කරන්නේ ෆේස්බුක් ය. මෙතැන ලිංගික ප්‍රශ්නයක් ද ඇත.

  4. මුළු හදින්ම එකඟයි ශාන්….සමාජවාදය යනු ගලේ කෙටූ සෙල් ලිපියක් මෙන් ස්ථිර වූවක් නොව වර්තමාන සමාජ ගතිකයන්ට අනුව සංශෝධනය විය යුතු එසේම සංශෝධනය කොටගත යුත්තකි.ඒ පිළිබඳව පුළුල් කතිකාවතක් ඇරඹීමට මේ සුදුසුම කාලයයි….”කාලෝ අයං තේ”…මේ ඔබට කාලයයි….

    ඉහත මැයෙන් පරිබාහිර වුවද ඉතා වැදගත් යයි මා තරයේම අදහන පැනයක් ඔබෙන් විමසීමට අවසර….වසර හැත්තෑවක් තරම් කෙටි කාලයකදී සෝවියට් දේශයේ සමාජවාදය බිඳ වැටීමට හේතුව පිළිබඳ ඔබේ දැක්ම කුමක්ද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s