ස්තූතියි, වික්ටර් අයිවන්


 

නිශ්ච්තව හා එක එල්ලේ කතා කිරීම වික්ටර් අයිවන්ගේ මා දුටු ප්‍රශස්තම ගති ලක්ෂණය යැයි කීවොත් එය නිවැරදි යැයි මට සිතේ. එය ඔහුගේ පුද්ගල පෞර්ෂය ගොඩනැංවුණ ප්‍රබල ධාරකයක් ද විය. පුවත් පත් කලාවේදියෙකුට තිබිය යුතු එහෙත් මේ යුගයේ එවැනනන්ට නොමැති ඒ ලක්ෂණයට හානියක් කිරීමට මහින්ද ච්න්තනයට ද හැකියාවක් නොවුණි.

ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවවාදයකු ලෙස ජීවිතය ආරම්භ කළ ඔහු ඒ විප්ලවීය ජීවගුණය පුවත්පත් කලාවට එක් කරමින් “රාවය” සගරාව ආරම්භ කළේ පාලකයන් ලග දනින් වැටුණ මාධ්‍ය කලාවට ශක්තිමත් අභියෝගයක් එක් කරමිනි. ඒ නිසාම ඔහු පුවත් පත් කලාවට නව මානයන් එක් කරමින් ඊටම ආවේනික වූ සංස්කෘතියක් ඇති කිරීමට ගත්තේ ලොකු මහන්සියකි. ඔහු ඇති කළ මාධ්‍ය කලාවේ නව සංස්කෘතියට වෙනත් පුවත් පත් හෝ ජන මාධ්‍ය හෝ ඇතුළු වී යම් සමාජ කාර්ය භාරයක් කළා යැයි මා විශ්වාස නොකළත් ඒ සංස්කෘතියෙන් ජීවය ලැබූ ජනමාධ්‍යවේදීන් නම් අපමණ බව කිව යුතුය. ඒ නිසා පාලකයා කේන්ති නොගන්වා කරන්නා වූ දෙයක් කළ යුතු යැයි යන අර්ථයෙන් ගොඩ නැංවී තිබූ ලාංකීය පුවත් පත් කලාවට වික්ටර් දරුණු අභියෝගයක් විය.

විශේෂයෙන්ම 1990 සිට 1995 පමණ වන තෙක් පළ වූ “රාවය” පුවත් පත මෙරට ගොඩනැංවිය යුතු පරමාදර්ශී මාධ්‍ය කලාවේ පදනම් පවුරු වනවා නො අනුමානය. මෙරට අධිකරණ පද්ධතිය විසින් මවා ගෙන තිබූ බොරු පුරාචේරු මහන්තත්ත්වය වෙනස් කරමින් යුක්ත යුක්තිය ඉක්ම වූ නඩු තීන්දු විවේචනය කිරීම ආරම්භ වූයේ ඒ කාලයේ දී ය. බොරු මහන්තත්වයක් ආරූඩ කර ගත් ව්‍යවස්ථාදායකයේ වෙස් මුහුණු ගලවා පාර්ලිමේන්තු වරප්‍රසාදයන්ට නව අර්ථකථන දුන්නේ “රාවය” පුවත් පතයි. ඇත්තටම 1978 ව්‍යවස්ථාවෙන් භය ගන්වා අහෝසි කර තිබූ විපක්ෂය වෙනුවට පසු නූතන විපක්ෂය වූයේ “රාවය” පුවත් පතයි.

“රාවය” වික්ටර් අයිවන්ගේ තනි ජයග්‍රහයක් හෝ වික්ටර් අයිවන් දෙවියන් දුන් පරිත්‍යාගයක් ලෙසින් හෝ මම භාර නොගනිමි. මේ ප්‍රස්තූතයන් දෙකම භෞතික තර්කනයේ ප්‍රතිඵලයන් ය. “රාවය” පුවත් පත වික්ටර් අයිවන් නම් විශිෂ්ඨ නායකත්වයේ ප්‍රතිඵලයක් වන විට වික්ටර් අයිවන් ඔහු ඇසුරු කළ හා ඔහු වටා සිටී බුද්ධිමතුන්ගේ ප්‍රතිඵලයක් වුණි. මේ අනෝන්‍ය ගැලපුම ලාංකීය සමාජය බුද්ධිමත් කැළඹීමකට ලක් කිරීමට දායක වීම සමාජයක් ලෙස අප ලැබූ ජයග්‍රහණ යයි.

වික්ටර් සමාජ සම්මූතීන් විශ්ලේෂණය කර ඊට නව අරුතක් එක් කළේ ය. ඔහුගේ ගැඹුරු විශ්ලේෂණය නිසාම සමාජයට අලුත් දැක්මක් එක් වුණි. ඔහු කිසිවිටෙක කෝපයෙන් හෝ වෙරයෙන් හෝ සමාජ විග්‍රහයන්ට දායක නොවුණි. වික්ටර්ගේ සමාජ විග්‍රහයන් ඇතැම් විට සාරසංග්‍රහවාදී විය. ඇතැම් විට කල් තියා එළඹුණු යම් අදහසකට සමාජ වලංගුභාවයක් ලබාගැනීමේ උත්සාහයක් විය. ඇතැම් විට රාජ්‍යය පරමාදර්ශය ලෙස ඔහු තම සමාජ විග්‍රහයන් තුළින් මතු කළේ ය. ඒ කෙසේ වෙතත් ඔහු තුළ වූ පුවත්පත්කලාවේදී ගුණාංග එමගින් අතාර්කික නොවීය.

එහෙත් වික්ටර් අයිවන් නැමැති විශිෂ්ඨ ගණයේ පුවත් පත් කලාවේදියා අපට අහිමි කර පාතාලයේ චොප්පේ කෙනෙකු නිර්මාණය කිරීමට “මහින්ද ච්න්තනය” සමත් වුණි. ඒ නිසා අපට ඉතුරු වූයේ ඒ විශිෂ්ඨ පුවත්පත්කලාවේදියාගේ පුරුෂාර්ථයන් නොව හාස්‍ය සමාජ ගත කරන්නා වූ බොරු වීරයෙකුගේ චන්ඩි පාට් ය. ඔහුගේ සමාජ විචාරයන්ට එකග වෙන්නට බැරි වූ අවස්ථාවක මා සතුටු වූයේ ඔහුගේ ලියවිල්ලෙන් මතුවන පෞර්ෂ ගුණාංගයන් අගය කරමිනි. එහෙත් ඔහුගේ විසුළු කතන්දරයන්ට කොහෙත්ම එකග නොවන මේ මොහොතේ මා තුළ ඇති වන අපුල මා මැඩ පවත්වා ගන්නේ තම ප්‍රතිවාදියාට පහර දෙමින් ඔහුගේ රීරි මාංශයම ඉල්ලන වික්ටර්ගේ පුවත්පත් කලා භාවිතයේ හාස්‍ය සිහි ගන්වමිනි. ඇත්තෙන්ම මේ මොහොතේ දී වික්ටර් අයිවන් යනු මහින්ද ච්න්තනය විසින් නිර්මාණය කළ හාස්‍ය ජනක විගඩමක් මිස අනෙකක් නොවේ.

මේ මොහොතේ දී වික්ටර් අයිවන්ගේ මතයන් අදහස් හා වෙනත් දෑ විවේචනය කරන්නන් අයිවන්ගේ හාස්‍ය ජනක විගඩම් වලට වේදිකා තනන්නන් ලෙස හැදින්විය හැකිය. වික්ටර්ට කොළම් අගලකින් ප්‍රතිචාර දක්වන්නාට “රාවයේ” පිටු කිහිපයකින් වුවද ප්‍රති උත්තර දීමට තරම් චන්ඩියෙක් බවට මහින්ද ච්න්තනය විසින් ඔහු වේශ නිරූපනයකට ලක් කර තිබේ. ඒ නිසා නූතනවාදී අර්ථයෙන් වික්ටර්ගේ මතයන් විවේචනය කිරීම පෙරලා ඔහුටම කරන්නා වූ සහායකි.

වික්ටර්ගේ මතයක් සමග යම් ප්‍රති මතයක් සමාජ ගත කරන්නට ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අවස්ථා දෙකක දී තැත් කර තිබුණි. ඒ සෑම අවස්ථාවකම දණ්ඩෙන් පහර කෑ නාගයකු සේ කිපෙමින් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනට “චොප්පේ පාට්” දැමීමට වික්ටර් සමත් වුණි. එහෙත් “පිල් විදහා නටන මොනරාගේ පසු පස සෙළුව” වසා ගැනීමට වික්ටර් අසමත් වුණි. වික්ටර්ගේ නූතනවාදී මතයන්ගේ අතාර්කිකත්වය ආචාර්ය විජේසිරිවර්ධන ඔප්පු කළේ පසු නූතන අර්ථයෙනි. මේ පසු නූතන සමාජ විග්‍රහයන් හදුනා ගැනීමට අවශ්‍ය කියවීම හා බුද්ධිය මහින්ද ච්න්තනය විසින් වික්ටර්ට ලබා දී නොතිබුණි. වික්ටර් අයිවන් ඉදිරි වැටුණි.

බුද්ධියට හිමි සමාජ බලය හෙජමොනික වන්නේ සමාජ යුගයට සාපේක්ෂවය. මේ යුගය තුළ වික්ටර් අයිවන් අතාර්කික හාස්‍යජනක ප්‍රපංචයකි. එහෙත් ඔහු අතීතයේ දී සමාජය ඉහළින් ඔසොවා තැබීමට දැරූ දායකත්වය අල්ප මාත්‍රයකින් හෝ ලඝු නොවන බව ඔහුට ගෞරවයක් වශයෙන් සටහන් කර තබමි.

(රාවය පුවත් පතේ ප්‍රධාන කතෘ ධූරයෙන් වික්ටර් අයිවන් විශ්‍රාම ගැනීම වෙනුවෙනි )

8 thoughts on “ස්තූතියි, වික්ටර් අයිවන්

  1. Very good summing up. I too respected the gentlemen for what he did during the worst part of the UNP regime. But we cannot say the same for his behaviour after MR succeeded CBK.

  2. හොඳ විග්‍රහයක්. නරක වැඩි වැඩියෙන් මතුවෙන කාලෙ විශ්‍රාම යන්න තීරණය කල එකත් හොඳ දෙයක්.

  3. ස්තුතියි මේ අත්‍යාවශ්‍ය සටහනට. ඔහු අද මොනවා කලත්, මාධ්‍ය ඉතිහාසයේ අසීරුම වකවානුවක ඔහු කල කාර්යභාරය අමතක කල යුතු නෑ.

  4. මහින්ද චින්තනය විසින් ජීවත් වන සියලු ප්‍රතිරුප වල සළු පිලි ගලවා නිරුවත් කරන ලදී.වික්ටර් අයිවන් ද එසේ නිරුවත් වී තම ප්‍රතිරුපය කෙලවා ගත්තෙකි.

  5. මම ඔබගේ ලිපියේ බොහො දේ සමග එකගවෙමි. නමුත් ඔබ අවසානයේ කියන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ගේ දේශපාලන භූමිකාව සහ ඔහු විසින් විටින් විට සමාජගත කරන මතවාදයන් පිළිබද මට සිහිවන්නෙ රාජ්‍ය නොවන සංවිධාන සදහා නිදි මරා ගෙන සදාගන්නා පොජෙක්ට් හා සමාන බවක්ය. එ කාරනා හෙතු කොට ගෙන අයිවන් විජේසිරිවර්ධනට වඩා පුයොගිකව පොහොසත් බව මගෙ හැගිමයි… ඔබට ජය…

Leave a reply to sarath Cancel reply