ධනපති නීතියේ ලිට්මස් පරීක්ෂාව, අගවිනිසුරු හා තවත් අය


 

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ධනේශ්වර නීති පද්ධතියේ කඩා වැටීම ආරම්භ වූයේ 1977 දී රාජ්‍ය බලය ලබා ගත් ජයවර්ධන රෙජීමයේ ක්‍රියාකාරීත්වය නිසා යැයි පැවසිය හැකිය. එහෙත් බොහෝ විවේචකයන් පවසන පරිදි එය එසේ වූයේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ මුහුණේ ප්‍රශ්නයක් නිසා යැයි කෙසේවත් පැවසිය නොහැක. 1978 වනවිට ගෝලීය ප්‍රාග්ධනයට ශ්‍රී ලංකා භූමිය කරා ඒමට ඉඩ දීම එතිහාසික අවශ්‍යතාවක් වූ පරිදිම එතෙක් පැවති ධනපති ප්‍රජාතන්ත්‍රවාදය ද යම් යම් සංශෝධනයන්ට ලක් කිරීම එවැනිම තාර්කික අවශ්‍යතාවක් වුණි. ගෝලීය ප්‍රාග්ධනය නිදහසේ ගලා යෑමට ප්‍රජාතන්ත්‍රික සමාජයක ඉඩක් නොමැති නිසා ඒ බාධාවන් ඉවත් කර රාජ්‍යය ඊට ගැලපෙන සංශෝධනයන්ට ලක් කිරීම 78 ව්‍යවස්ථාවේ අරමුණ විය. කවුරු අකමැති වුවත් විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍යතාව වූයේ බාධාවකින් තොරව රට තුළ ගෝලීය ප්‍රාග්ධනයට ස්ථාපිතවීමට ඉඩ සැලසීමයි. නීතියේ ආධිපත්‍යය බිද දමමින් රාජ්‍ය බලය සහිත පන්තියේ අවශ්‍යතාවන්ට ඉතාම හොදින් ගැලපෙන ලෙස නීතිය හැසිරවීමට රාජ්‍යය කටයුතු කිරීම ද මේ සන්දර්භයෙන් පිටතට ගෙන කතා කිරීම අර්ථ විරහිතය. ඒ අනුව ජයවර්ධන රෙජීමයේ සිට රාජපක්ෂ රෙජීමය දක්වා රාජ්‍යය ඒකාධිපතිත්වය කරා ගමන් කිරීම ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතාවක් මිස දේශපාලන නායකයන්ගේ මුහුණේ ප්‍රශ්නයක් නිසා සිදුවන අගතියක් නොවේ.

නව ලිබරල්වාදය ධනේශ්වර ක්‍රමයේ එකම ආර්ථික උපමාරුව නොවූ අතර කේන්සියානු ආර්ථික ක්‍රමවේදයේ කඩා වැටීමට පිළියමක් ලෙස එය හදුන්වා දුනි. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපා රටවල ආර්ථිකය කඩා වැටීමත් සහ ලෝක ආර්ථිකය තුළ චීනය හා ඉන්දියාවේ නැගී ඒමත් සමග නව ලිබරල්වාදය සම්බන්ධ ධනේශ්වර නොසතුට අර්බුදයක් දක්වා වර්ධනය වුණි. ඒ නිසා නව ලිබරල්වාදී උපමාරුවේ අලුත් හැඩතල ගැන සාකච්ඡාවක් ඇති වීම වැළැක්විය නොහැකි කරුණකි. නමුත් පරිධියේ රටවලට හිමි කාර්යභාරය තුළ ශ්‍රී ලංකාව කරවටක් ගිලී සිටී බැවින් අලුත් හැඩතල ගැන කතා කිරීම තබා තියෙන හැඩතල හෝ නව මානයකින් ක්‍රියාත්මක කිරීමට උනන්දු නොවුණි. ඒ නිසා දේශපාලනය තුළ මර්වින් සිල්වා හා නීතිය තුළ සරත් එන් සිල්වා වැනි ව්‍යාතිරේකයන් බිහි වූ අතර ලාංකික රාජ්‍යයේ ධනපති ක්‍රම පද්ධතියට මේ ව්‍යාතිරේකයන් කළ හානිය අති මහත් ය.

ලාංකික දේශපාලනය තුළ සිදු වූ මේ පීලි පැනීම් වලට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානයන් විසින් ගෙන ගිය අරගලයන් මගින් බොහෝ දුරට නිරූපනය වූයේ මෙම පීලි පැනීම් ධනේශ්වර ක්‍රමයේ අවලක්ෂණ හැසිරීම් බවය. එම සංවිධානයන්ට ඒ පිළිබදව බරපතල විග්‍රහයක් තිබුනත් ඔවුන්ගේ අරගලයන් පරාජයන්ගෙන් කෙළවර වූයේ රාජ්‍ය නොවන සංවිධානයන්ට ආවේනික සීමාවන් තුළ ඒවා තර්කානුකූල අවසානයකට ආ බැවිනි. සිවිල් සංවිධාන හා සිවිල් නාමධාරී පුද්ගලයන් විසින් සිදුකළ අරගලයන්ට ද පෙර කී ඉරණම ම අත්වුණි. හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වාගේ අපකීර්තිමත් හැසිරීමට පමණක් නොව ඔහුගේ පත්වීමට එරෙහිව පවා රාවය හිටපු ප්‍රධාන කතෘ වික්ටර් අයිවන් ගෙන ගිය අරගලය විශිෂ්ඨ හා ධනපති නීතියේ ආධිපත්‍යය සුරකීම සම්බන්ධයෙන් ප්‍රශස්තය. එහෙත් ඒ අරගලය කොළඹ කේන්ද්‍රීය සිවිල් සමාජ රාමුව තුළ හෝ තාර්කික යථාර්ථයක් නොවුණි. සිවිල් සමාජයේත් රාජ්‍ය නොවන සංවිධාන වලත් අරගලයන් අතාර්කිකව අවසානය කරා ගියේ සමාජ සංවර්ධනයට බලපාන්නා වූ කිසියම් දෙයක් එම අරගලයන් තුළ නොවූ නිසා නොවේ. එහෙත් ප්‍රාග්ධනයේ ගෝලීයකරණය තුළ අරගලයන් මෙහේයවන මාදිලිය හදුනා ගැනීමට එම අරගලකාර සංවිධාන අසමත් වුණි. එම අරගල මාදිලිය හදුනා ගත්තත් එම සංවිධානයන්ට ආවේනික සීමාවන් තුළ පරාජයම හිමිවීම නොවැළැක්විය හැකිය.

රාජ්‍යයේ බලය ලබා ගන්න පන්තියේ දේශපාලන ක්‍රියාකාරීත්වය විමසිය හැක්කේත් ප්‍රශ්න කළ හැක්කේත් රාජ්‍යයේ ඊළගට බලය ලබා ගැනීමට සූදානම් වන දේශපාලන පක්ෂයට පමණි. මේ දේශපාලන පීලි පැනීම් ධනපති පන්තියේ ප්‍රශ්නයක් වන නිසා ඒවාට විසදුම් සෙවිය යුත්තේ ද ධනපති විකල්ප පක්ෂයයි. මේ පීලි පැනීම් මාක්ස්වාදී පක්ෂයකට නම් ඊනියා ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ සෙළුව පෙන්නුම් කරන්නා වූ ලක්ෂණ පමණි. මාක්ස්වාදී පක්ෂයක් ධනපති කඩමාළු සෝදමින් කාලය කා දැමීම අර්ථ විරහිතය. එක් අතකින් එය සංශෝධනවාදීවීමකි. ඒ නිසා අධිකරණය හා විධායකය අතර පැන නැගී ඇති වර්තමාන ගැටළුව පීඩිතයාගේ ගැටළුවක් නොවන බව කියමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒ සම්බන්ධයෙන් දක්වා ඇති ප්‍රවේශය ප්‍රශස්තය. එහෙත් සියල්ල අතහැර දමා සන්සුන්ව සිටීම එහි අරමුණ නොවේ.

අගවිනිසුරු සරත් එන් සිල්වා විසින් ශ්‍රී ලංකාවේ අධිකරණයට කළ විනාශයේ තරම මේ වනවිට ඔහු විසින්ම පාපෝච්චාරණය කරමින් සිටීයි. ඔහු අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීම සදහා වූ දෝෂාභියෝගයක් පසුගිය එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් ජරාජීර්ණ දේශපාලන ජාලය තුළ එම දෝෂාභියෝගය අවලංගු වුණි. අද කුමක් කතා කළත් රනිල් වික්‍රමසිංහට ද එදා අවශ්‍ය වූයේ සරත් එන් සිල්වා “ගෙදර යන ගමන්” කුමක් කළ ද තමන්ගේ රෙජීමයට අවශ්‍ය පරිදි අධිකරණ තීන්දු තීරණ දෙන්නේ නම් එය ප්‍රමාණවත් බවකි. විධායකය වෙනත් පක්ෂයකට හිමිව තිබිය දී ව්‍යවස්ථාදායක බලය තුළින් පමණක් අභියෝගයන්ට මුහුණ දීමට එදා රනිල් වික්‍රමසිංහට අපහසු වූවා විය හැකිය. ඒ නිසා උඩිනුත් ගින්දර යටීනුත් ගින්දර අවුලවා ගැනීමට තරම් ඔහු අදූරදර්ශී නොවූවා විය හැකිය. එහෙත් සරත් එන් සිල්වා පැතිරවූ දුර්ගද ඒ අයුරින් තේරුම් ගත් බවක් නම් පෙනෙන්නට නොතිබුණි.

ඒ අනුව විධායකය හා අධිකරණය අතර උත්සන්න වී ඇති අර්බූදයට වගකිව යුත්තේ පාලක රෙජීමය පමණක් නොවේ. විපක්ෂය ද ඊට වගකිව යුත්තේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදය තුළ විපක්ෂයටත් කාර්යභාරයක් පවතින බැවිනි. රාවය හිටපු ප්‍රධාන කතෘ වික්ටර් අයිවන් පුන පුනා ලියන මාගල් වැනි ලිපි වලින් විග්‍රහ කරන්නේ මෙරට අධිකරණය පත්ව ඇති ජරාජීර්ණ තත්ත්වයයි. එහෙත් ඒ එකම කරුණක් හෝ ව්‍යවස්ථාදායකයේ අවධානයට ලක් නොවීම කනගාටුවට කරුණකි. අධිකරණය විසින් නිසි පටීපාටීය අනුගමනය කිරීම පැහැර හරින අවස්ථා වල දී පමණක් නොව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නා වූ අවස්ථා වල දී පවා ව්‍යවස්ථාදායකය මුනිවත රුකීම දේශපාලන බිද වැටීමක ප්‍රථිපලයකි. ඒ තත්ත්වය තුළ විධායකය විසින් අත්තනෝමතිකව අධිකරණය පාලනය කිරීම පිළිබදව විමසීම හා ඒ සම්බන්ධයෙන් උනන්දු වීම කෙසේවත් විය නොහැක්කකි. විධායකය විසින් අධිකරණයට බලපෑම් කරන බව මීට ටීක දිනකට පෙර අධිකරණ සේවා කොමිසන් සභාව විසින්ම ප්‍රසිද්ධ ප්‍රවෘත්ති නිවේදනයක් මගින් හෙළි කරන ලදි. ඒ අවස්ථාවේ දී එම නිවේදනයට සංවේදී විය යුත්තේ ඈත මොනරාගල දුප්පත් අප්පුහාමි හෝ ඈත මන්නාරමේ දුප්පත් තම්බිමුත්තු හෝ නොවේ. ධනපති පාලනය විධිමත් නම් එවැනි නිවේදනයකට පළමුව ප්‍රතිචාර දැක්විය යුත්තේ ව්‍යවස්ථාදායකයයි. එහෙත් ඔවුහු එවැන්නක් නොඇසූ සවනෙන් නොදැකූ දෙනෙතින් කාලය ගත කළහ.එසේ වන්නේ මේ ධනපති පාලන පද්ධතියේ අක්‍රමවත් බව නිසාය යන්න ස්ථිරය.

ජරාජීර්ණ ලාංකික ධනපති පාලනය අතනින් මෙතැනින් ගෙන පිරිසිදු කිරීමත් ඊට විලවුන් ගැල්වීමත් අතාර්කික හා නොවටීනා මහන්සියකි. එය සමස්තයක් ලෙස ගෙන කළ යුතු කාර්යභාරයකි. නව ලිබරල්වාදය පසු බැස  ගෝලීය ප්‍රාග්ධනය වෙනත් මුහුණුවරකින් ගලා එන මේ යුගයේ දී ධනපති පන්තිය සතු කාර්යභාරය මෙන්ම පීඩිත පන්තිය සතු කාර්යභාරය ද වෙන වෙනම හදුනා ගත යුතුය. ඒ අර්ථයෙන් ධනපති අධිකරණයේ  නිදහස සම්බන්ධයෙන් පූර්ණ විවේචනයක් හා ඊට අදාළ ප්‍රතිසංවිධානයක් කිරීම ධනපති පන්තියේ ඉදිරිගාමීන්ගේ අද දවසේ වගකීමයි.

Advertisements

One thought on “ධනපති නීතියේ ලිට්මස් පරීක්ෂාව, අගවිනිසුරු හා තවත් අය

  1. මගේ අදහස නම් ශාන්, අද ලංකාවෙ පවතින දේශපාලන තත්වය ගැන විග්‍රහ කිරීමට තැත් කිරීම පවා නිරර්ථක වෑයමක්.අනාදිමත් කාලයක ඉඳල අපි අනුදත් දේශපාලන /ආර්ථික ක්‍රම තියනවනෙ. ධනවාදී, සමාජවාදී මේ දෙකේම මිශ්‍ර…ඔන්න ඔය වගේ.මේ න්‍යායන් වල තියනව ප්‍රශස්ත තත්ව යටතේ එම ක්‍රමයන් පවත්වාගැනීමට අනුගමනය කලයුතු අවම තත්වයන් ….ධනවාදී ආර්ථික ක්‍රමයක් සාර්ථකව පවත්වා ගැනීමට නීතියේ ආධිපත්‍යය සහ ඒ කෙරෙහි ප්‍රජාවෙහි විශ්වාසය සහ ගෞරවය රැකගැනීම ඉතාම අත්‍යාවශ්‍යයයි.

    ඔය න්‍යායයන් කිසිවක් අද රටේ තත්වයට ගැලපෙන්නෙ නැහැ. අද පවතින්නෙ මේ කිසිම න්‍යායකට අඩංගු නොවන වැඩවසම් පාලනයක්.නීතියේ ආධිපත්‍යය වැදගත් වෙන්නෙ වැඩවසම් පාලනයට අවශ්‍ය දේ කෙරෙන කල් විතරයි.එතනින් එහාට අධිකරණය කියන්නෙත් වැඩවසම් පාලනයේ වන්දිභට්ටයෙක් විතරයි.

    මහාම ඛේදවාචකය රටේ කිසිවකු, ඊනියා බුද්ධිමතුන්, විපක්ෂය, ඒ වගේම පොදු ජනයා, ඒ කිසිවෙකු මේ අපි ඉතා වේගයෙන් ඇදීයන මහ විනාශය, ඇද වැටෙන්නට අනිවාර්යයෙන් නියමිත මහා ප්‍රපාතය පිළිබඳව සංවේදී නොවීමයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s