කළ යුත්තේ කුමක් ද?


moon1දකුණේ දේශපාලනය තීරණය කිරීමේ එල්ටීටීඊය සතු ඒකාධිකාරී බලයට මෙතෙක් කිසිම අභියෝගයක් එල්ල වී නොමැත. ආණ්ඩුවකට යම් අභියෝගයක් එල්ල කිරීමට හැකි සමාජ ව්‍යාපාරයක් තිබීම සතුටට කරුණකි. එහෙත් එල්ටීටීඊය සතු බලය මිලිටරිමය ෆැසිස්ට්වාදී නිසා ඇතිවන සතුට ද කාලකන්නි වීම නොවැලැක්විය හැකි ය.

දෙමළ අහිංසාවාදී සමාජ ව්‍යාපාරය තලා පොඩි පට්ටම් කිරීමට එල්.ටී.ටී. ය ද වගකිව යුතු ය. එල්ටීටීඊ ය එය කළේ මිලිටරිමය ව්‍යාපාරයක් වශයෙනි. එහෙත් ලංකා රජය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරමින් කළේ ද දෙමළ ජනතා ව්‍යාපාරය මර්දනය කිරීම ය. දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරය කවුරුන් විසින් මර්දනය කළ ද එය වැරදි ය. එහෙත් තේරුම් ගත යුතු දෙයක් තිබේ. කිසියම් වූ මිලිටරිමය ආයතනයක් විසින් යම් දේශපාලන ව්‍යාපාරයක් මර්දනය කිරීමට වඩා කිසියම් වූ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් විසින් එවැන්නක් මර්දනය කිරීමෙන් බරපතල දේශපාලන හා සමාජ ප්‍රශ්න ඇති විය හැකි බවය.

එහෙත් මෙය තේරුම් ගැනීමට අද දවසේ ක්‍රියාකාරී දෙමළ දේශපාලන නායකයන්ට නොහැකිය. ඒ නිසා එල්ටීටීඊ ය යුදමය වශයෙන් පරාජය කිරීමක් ගැන නන් දොඩවමින් දෙමළ ජනතාව සමූල ඝාතනය කිරීමට කැසකවන සිංහල ස්වෝත්තමවාදී දකුණේ ආණ්ඩුවට දර දිය අදිති. එල්ටීටීඊ ය පරාජය කිරීමට අනෙකුත් දෙමළ නායකයන්ට වුවමනා නම් ඔහුන් එක් විය යුත්තේ දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් පිළිගන්නා දකුණේ ආණ්ඩු විරෝධින් සමග මිස සිංහල ස්වෝත්තමවාදී ආණ්ඩුව සමග නොවේ. එහෙත් ආනන්ද සංගරීගේ සිට කරුණා අම්මාන් දක්වා දෙමළ ජනතාවගේ ගැලවුම්කරුවන් කදවුරු බැද ගෙන ඇත්තේ සතුරාගේ සතුරා සමග මිස දෙමළ ජනතාවගේ මිතුරන් සමග නොවේ.

දෙමළ නායකයන් පමණක් නොව මුස්ලිම් නායකයන් බහුතරයක් ද සංධාන ගතව ඇත්තේ මේ රටේ නිල උරුමක්කරුවන් සිංහල බෞද්ධයන් යැයි ද සුළු ජාතීන් එය පිළිගන්නේ නම් පමණක් මේ රටේ ජීවත් විය හැකි යැයි අනියමින් පවසන ආණ්ඩුවක් සමගය. තම ජාතියේ ආත්ම ගෞරවයට හා ජනතාවගේ ජීවත්වීමේ අයිතියට වඩා මෙම නායකයන්ට වැදගත් වී ඇත්තේ ආණ්ඩුවේ වරදානයන් ය.

මේ අර්ථයෙන් දෙමළ ජාතියේ පමණක් නොව සියළු සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම මත සටන් කළ යුතු සමාජ ව්‍යාපාරයකට ශ්‍රී ලංකා සමාජය තුළ ඇත්තේ කදිම ඉඩකඩකි. එපමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක් හා මානව අයිතීන්ට ගරු කරන පාලනයක් සදහා වූ සමාජ ව්‍යාපාරයකට දකුණේ දේශපාලන භූමිය පුරාම ඇත්තේ කදිම ඉඩකඩකි. එහෙත් ඊට ඇති අභියෝගය සුළු පටු නොවේ. එවැනි ප්‍රජාතන්ත්‍රවදී හා මානවවාදී සමාජ ව්‍යාපාරයකට උතුරේ දී හා නැගෙනහිර දී එල්ටීටීඊයෙන් ප්‍රබල මර්දනයක් එල්ලවීම මෙන්ම දකුණේ දී ආණ්ඩුවෙන් ප්‍රබල මර්දනයක් එල්ලවීම ද නොවැළැක්විය හැක්කකි. ඒ මර්දනයේ දී ආණ්ඩුවත් එල්ටීටීඊයත් සියළු වාද භේද අමතක කර කරන බවද ඇත්තකි.

දේශපාලන භූමිය තුළ කොයි ආකාරයේ රික්තයක් තිබුණ ද මේ රටේ කිසිම දේශපාලන පක්ෂයක් පවතින දේශපාලන අර්බූදය තේරුම් ගත් බවක් පෙනෙන්නට නැත. වාස්තවික විශ්ලේෂණයකින් සාරාංශ කර ගත් දේශපාලන න්‍යාය පත්‍රයක් නොමැති නිසා අන්ධයන් අලියාගේ හැඩ රුව කී ආකාරයෙන් අද දවසේ ලාංකික දේශපාලනයේ අර්බුදය ගැන ඩ්පා දූප කියවති. එක් දිනක තෙල් මිල ගැනද තවත් දිනක දකුණට එන මළ මිනී ගැනද ඔවුහු වාක්‍ය රචනා ලියති. පසුව ඒවා වරද්ද වරද්දා (‍ඩ්පාදූප වාර්තාකරුවන්) ඉදිරියේ කියවති. අද දවසේ පවතින දේශපාලන අර්බුදය මේ රටේ දේශපාලන පක්ෂ විසින් ලඝු කර ඇත්තේ එවැනි ලිද ලග සංගමයක කතා බහකට ය.

දැවෙන දේශපාලන හා සමාජ ප්‍රශ්නයන්ගේ පුපුරා යෑම වැළැක්වීමට රාජපක්ෂ ආණ්ඩුවට, එල්ටීටීඊ සංවිධානයට, යූඑන්පීයට හෝ ජවිපෙට නොහැකිය. ඔහුන් දේශපාලන බැලුන් බෝල සෙල්ලම් කරමින් සිටියත් මේ රටේ පීඩිත ජනතාව ඒකරාශී වීම ද වැළැක්විය නොහැකය.එහෙත් සමාජ ව්‍යාපාර එක රුයෙන් ගොඩනැගෙන්නේ ද නැත. අර්බූදය පුපුරා ගිය දා සමාජ ව්‍යාපාරයක නායකයන් නම් එක රුයෙන් බිහිවීම අනිවාර්ය ය.

2 thoughts on “කළ යුත්තේ කුමක් ද?

  1. ලාංකීය දේශපාලනයේ මේ මොහොත එක් අතකට සංදිස්ථානයකි. යම් ගැටළුවක්, සරලව පිළිතුරක් නැති යම් දෙයක් සැබෑවටම පවතින බව සමාජය වෙත දැනෙමින් පවතී. එහෙත් එය නිවැරදිව වටහාගන්නට, එය කුමක්දැයි කියාදෙන්නට කිසිවෙකුත් නැත.

    ඔබ කිවු අයුරින්ම, අර්බුධය වාස්තවික ලෙස විශ්ලේෂණය කරගනු වෙනුවට, ඉතිහාසය පුරාම සෑම පිරිසක්ම අර්බුධය හඳුනාගත්තේ තමන්නේ දැක්මට, මතවාදවලට කොටුව වෙයි. ඒය ලාංකීය දේශපාලනයේ නොමැකියහැකි සලකුණු තැබූ විජේවීර ප්‍රබුඛ ජනතා විමුක්ති පෙරමුණටද පොදුය. 1986 දී ‘දෙමල ඊලාම් අරගලට විසඳුම කුමක්ද’ යන කෘතිය තුලින් විජේවීර යම් ඉදිරිගාමී පියවරක් තැබුවද ප්‍රායෝගික තලයේදී ජවිපෙ දේශපාලනය ඒ ඉදිරිගාමී ආස්ථානය ආරක්ෂා කර ගත්තේ නැත. එමෙන්ම දකුණේ බිහිවු කිසිදු ප්‍රබල සමාජ ව්‍යාපාරයක් තමන්ගේ ව්‍යාපාරයට තුලට දෙමල ජනතාවද එක්කර ගැනීමට ප්‍රමාණවත් උත්සහයක් නොදැරෑ අතර, එක් අතකට එය එසේ වී නම් අද පවතින මේ ඊනියා විමුක්තිකාමී යුද්ධය මෙවන් ආගාධයක් කරා නොයනු ඇත.

    බොහෝ වුන් LTTE ය දෙස බලන්නේ හුදු ෆැසිස්ට්වාදී ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පමණි. වත්මන් සන්දර්භය තුල එය සත්‍යයක් වෙයි. එහෙත් LTTE යේ බිහිවීමට, නිවැරදිව කියන්නේ නම් නැඟීමට තුඩු දුන් සමාජ-දේශපාලනික ගැටළු කුමක්දැයි ඒ කිසිවෙකුත් වටහාගන්නට උත්සහ නොගනී.

    මේ මොහොතේ පවතින අනිවාර්්‍ය අවශ්‍යතාවයක් ලෙස LTTE ය පරාජය විය යුතුය. ඒ ගැන තර්කයක් නැත.
    එහෙත් ඉන් අනතුරුව ලංකාව පරාදීසයක් වන්නේ නැත. අර්බුධය වෙනත් තැනකින් පුපුරා යනු මිස එය විසදෙන්නේත් නැත.
    ඉඳින් මේ මොහොත වූ කලී ප්‍රගතිශීලී දැක්මක් සහිත සමාජ ව්‍යාපාරයක බිහිවීමට සුදුසු කාලයයි. එසේ නොමැති වුවහොත් යුද්ධයෙන් අනතුරුව බිහිවන හිඩැස අන්තවාදී වුවමනා එපාකම් මඟින් පිරෙවෙනු ඇත. එය මඟින් ලාංකීය ජාතිය තවත් අඳුරු යුගයකට ගෙනයනු ඇති අතර, සහෝදරත්වය-සහජීවනය වෙනුවට නැවත නැවතත් වෛරය වපුරනු ඇත.

Leave a comment