එයා දැන් මෙහෙ නෑ (He is no more here)

Posted April 18, 2012 by bumuthurunu
Categories: Uncategorized

මා ජීවත්වන පරිසරය තුළ දී අත්විදින දේශපාලනික සිදුවීම් පිළිබදව මගේ කියවීම සටහන් කර තැබීමට බුමුතුරුණු බ්ලොග් අඩවිය මට බෙහෙවින් උපකාර විය. 2007 දී තරම් ඈතක දී ආරම්භ කළ මේ බ්ලොග් අඩවිය පාඨකයන් අතර ප්‍රසිද්ධ කිරීම සියළු බ්ලොග්කරුවන් මෙන්ම මා ද මුහුණ දුන් අභියෝගයකි. අද මෙන් එදා සින්ඩිකේටරයන් නොවීම ඊට හේතුවයි.

මේ අභියෝගය ජය ගැනීමට මා ‍තෝරා ගත්තේ ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් මගින් අවශ්‍ය ප්‍රචාරය ලබාදීමයි.බ්ලොග් අඩවිය ප්‍රචාරය සදහා ව්‍යාජ නමක් භාවිතා කිරීමට සිදුවූයේ සත්‍ය නමින් පෙනී සිටිමින් මෙම බ්ලොග් අඩවියේ කතා කළ විෂයන් වල අයිතිය පිළිගැනීමට තරම් වාතාවරණයක් රටේ නොතිබූ බැවිනි. බොහෝ විට පාඨකයන්ගේත් සමාජයේ විවිධ පුද්ගලයන්ගේත් අදහස් දැන ගැනීමට මා යොදා ගත්තේ ද රවි නිරෝෂන් අකලංක නම් අදාළ ව්‍යාජ ෆේස් බුක් ගිණුමයි.

ෆේස් බුක් සමාජ ජාලයෙන් හදුනා ගත් මිතුරෙකුගෙන් මා නොදන්නා තාක්ෂණික කරුණු ගැන විමසීමට මා පුරුදු වී සිටි අතර ෆේස් බුක් චැට් මගින් නිතර හමුවෙමින් ඒ ගනුදෙනුව සිදුවූයේ ඔහු ද මගේ බ්ලොගයේ පාඨකයකු මෙන්ම දේශපාලනයට උනන්දු අයෙක් වූ බැවිනි. ඒත් එක්තරා සීමාවක දී මට ඔහුගේ කුළුපග මිත්‍රත්වය මෙන්ම අනගි තාක්ෂණික සහාය ද අහිමි වුණි. ඒ සමගම මට මගේ ව්‍යාජ ෆේස් බුක් ගිණුමේ පාලනය ද අහිමි වූයේ තාක්ෂණික උදව් ලබා ගැනීමට ගොස් ගිණුමේ රහස් අංකය ඔහු සතුව තිබූ බැවිනි. එය මුළුමනින්ම මගේ ප්‍රමාද දෝෂයකින් වූ හානියකි.

බුමුතුරුණු බ්ලොග් අඩවිය ප්‍රචාරය සදහා යෝදා ගත් ව්‍යාජ ෆේස් බුක් ගිණුම මේ අනුව තවදුරටත් මගේ පාලනයේ නොපවතින්නකි. එය වෙනත් අරමුණු සදහා යොදා ගනිමින් තිබෙන අතර ඒ නිසා මට හා මගේ බ්ලොග් අඩවියට යම් යම් හානි සිදුවෙමින් පවතී. එබැවින් එම ගිණුම මා පාලනයේ නොපවතින බව මගේ පාඨකයන්ට දැන්වීම යුතුකමක් සේ මම සැලකුවෙමි. ඒ අනුව රවි නිරෝෂන් අකලංක යන ව්‍යාජ ෆේස් බුක් ගිණුම බුමුතුරුණු බ්ලොග් අඩවියේ ප්‍රචාරය සදහා තවදුරටත් යොදා නොගන්නා අතර ඒ සමග කිසිම සම්බන්ධයක් නොමැති බව ද කාරුණිකව දන්වමි.

එහෙත් දේශපාලනය සම්බන්ධයෙන් වූ මගේ කියවීම මෙම අඩවිය තුළ තවදුරටත් සටහන් වන බව දන්වන්නේ සතුටිනි.

ආයුබෝවන්…. දයාන්….

Posted April 3, 2012 by bumuthurunu
Categories: Uncategorized


(ආචාර්ය දයාන් ජයතිලකයන්ගේ තානාපති සේවය අත්හි‍ටුවා නැවත කැදවූ 2009 ජුනි මාසයේ තරම් ඈතක දී පළ කළ මෙම ලිපිය නැවත පළ කිරීමට කල්පනා කළේ එහි කාලීන අවශ්‍යතාව සලකමිනි. ඉතිහාසයේ වරක් සිදුවූ යමක් නැවතත් සිදුවෙමින් තිබේ.) 

ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ දෑත් ශක්තිමත් කිරීමට යැයි පවසමින් රාජපක්ෂ රෙජීමය තුළට ඇතුළු වී රටේ සාරය හා ධන සම්පත් සූරාකන තක්කඩි පිරිස එන්න එන්නම වැඩිවෙමින් තිබේ. එහෙත් අතරින් පතර හෝ රෙජීමයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ අයෙක් දෙන්නෙක් එළියට වීසිවෙමින් සිටිති. ආචාර්ය දයාන් ජයතිලක ද එවැන්නෙකි. එහෙත් මතවාදීමය වශයෙන් වෙනස් මගක ගියත් ආචාර්ය දයාන් ජයතිලකයන්ට තක්කඩියෙක් යැයි කීමට මගේ හෘදය සාක්ෂිය මට ඉඩ නොදේ.

මේ රටේ සිංහල බුද්ධිමත්හු සිටිති. දෙමළ බුද්ධිමත්හු සිටිති. වෙනත් ජාතීන්ට අයත් බුද්ධිමත්හු සිටිති. නමුත් ශ්‍රී ලාංකික බුද්ධිමත්හු සිටින්නේ අතේ ඇගිළි ගණනටත් අඩුවෙනි. ජාතිය ඉක්මවා ශ්‍රී ලාංකික දැක්මකින් අදහස් පල කළ ආචාර්ය දයාන් ජයතිලක ඒ අතේ ඇගිළි ගණනටත් අඩු බුද්ධිමතුන් අතුරින් අයෙක් යැයි සතුටින් පැවසිය හැකිය.

සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී රාජ්‍යයෙන් දෙමළ ජාතියට එතිහාසික නොසැලකිල්ලක් සිදුවී ඇති බව දයාන් පිළිගත්තේය. ඒ නිසා දෙමළ ජනතාවට සාධාරණ දුක්ගැනවිල්ලක් ඇති බව ද ඔහු පිළි ගත්තේය. එහෙත් දයාන්ගේ විශේෂත්වය වූයේ මේ කිසිවක් නොවේ. දෙමළ ජනතාවගේ සාධාරණ දුක් ගැනවිලිවලට විසදුමක් ලබා දිමට නම් සිංහල ස්වෝත්තමවාදී රාජ්‍යය ප්‍රතිසංස්කරණය කළ යුතු බව ඔහුගේ විශ්වාසය විය. එහෙත් එදා මෙදා තුර සැමදාම දෙමළ වාර්ගික ගැටළුව සම්බන්ධයෙන් දයාන් ජයතිලකයන්ට තිබුණේ සංවර්ධනාත්මක ප්‍රවේශයකි. ඔහු ඒ වෙනුවෙන් නොබියව අදහස් පළ කළේය. ගැටළුවට තමන් විශ්වාස කරන්නා වූ විසදුම වෙනුවෙන් නොබියව පෙනී සිටියේය. ඔහු ගැටළුවේ පාර්ශවකරුවකු නොවී විසදුමේ පාර්ශවකරුවකුවීමට හැකි සෑමවිටම උත්සාහ කළේය. දෙමළ දුක්ගැනවිලි සිංහල පාලකයන්ගේ අත පල්ලෙන් බේරෙන යමකින් සංසිදවිය යුතු යැයි විශ්වාස කරන සමාජයක දයාන් ජයතිලකයන් ද වරෙක ද්‍රෝහියෙක් විය.

එහෙත් ආචාර්ය දයාන් ජයතිලක එල්.ටී.ටී.ඊ. සංවිධානය දුටුවේ ෆැසිස්ට් සංවිධානයක් ලෙසය. සිංහල සමාජයේ සතුරා ජනතා විමුක්ති පෙරමුණ වනවිට දෙමළ සමාජයේ සතුරා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය යැයි ඔහු විශ්වාස කළේය. මේ නිසා දයාන් එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් සෑමවිටම සිටියේ ඝෘණාත්මක ස්ථාවරයකය. ඔහු සෑමවිටම විශ්වාස කළේ කොටි සංවිධානයේ විනාශයයි. සෑම විටම ඒ සදහා ඔහු කටයුතු කළේය.සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට ආචාර්ය දයාන් කොන්දේසි විරහිතව ඉදිරියට ආවේ ද ඒ අරමුණෙන් යැයි මේ ලියුම්කරුගේ විශ්වාසයයි.

දයාන්ට කොටි සංවිධානය සමග පමණක් නොව රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග ද තිබුණේ ග්‍රාම්‍ය ගැටුමකි. දයාන් ඒ දෙදෙනාම පිළිකෙව් කළේය. එහෙත් රණසිංහ ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ යන නායකයන් හා දයාන් ලග සමාගමයක් පැවැත්වීය. ඒ තුළ වූයේ සංස්කෘතික ප්‍රශ්නයකැයි මේ ලියුම්කරු සිතයි. එහෙත් ඒ ගැටුම් නිසා පීඩනයටපත් වූයේ සමස්ත ශ්‍රී ලාංකික ජාතියයි. 2003 සටන් විරාමය සම්බන්ධයෙන් දයාන්ට තිබුණේ තාක්ෂණික ගැටලු කිහිපයකි. එහෙත් දයාන් සටන් විරාමය සම්බන්ධයෙන් දැරුවේ මන්දෝත්සාහී ප්‍රතිපත්තියකි. ඊට හේතුව වූයේ එය රනිල් වික්‍රමසිංහගේ සටන් විරාමයක් වූ නිසාවෙනි. ලංකාවේ බොහෝ බුද්ධිමතුන්ට ආවේනික මේ දුර්වලතාව දයාන් තුළ ද විය. ඒ නිසා සටන් විරාමය සම්බන්ධයෙන් දයාන්ගෙන් ලබාගත හැකිව තිබූ මහගු දායකත්වයක් රටට අහිමි වුණි. ලක්ෂ්මන් කදිරගාමර් සම්බන්ධයෙන් ද මේ ලියුම්කරුට ඇත්තේ එවැනි අදහසකි. මේ බුද්ධිමතුන්ගේ සේවය ලබාගැනීමට නායකයන්ට ද අවශ්‍ය නොවීම අවසනාවකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරය දරමින් දයාන් ශ්‍රී ලංකා රාජ්‍යයට කළ මෙහේය අපමණය. ස්වාමිවරුන්ගේ අණ නොතකමින් අයාලේ යෑමට උත්සාහ කරන විට ස්වාමිවරුන් දබරගිල්ල එසවූ අතර ඒ සෑමවිටම දයාන් තම පෞර්ෂය භාවිතා කරමින් ස්වාමිවරුන්ට සපථ කළේ එය එසේ නොවීමට වග බලා ගන්නා බවයි. දයාන්ගේ මේ වගකිව යුතු කාර්ය භාරය කොළඹ සනීප ජීවිත ගත කරමින් මාධ්‍ය මගින් යුද්ධ කළ බොහෝ පිරිස් වලට තේරුම් ගැනීමට නොහැකි විය. දයාන් රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් කළ මේ අමිල මෙහෙවර නිසා සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතීන් වෙනුවෙන් කතා කරමින් ඔහු එතෙක් ගොඩනගා ගෙන තිබූ ප්‍රතිරූපයට සිදුකර ගත් හානිය අති මහත් ය.

දයාන්ගේ අදහස් හා රාජපක්ෂ රෙජීමයේ අදහස් අතර ඇත්තේ නයි මුගටි සබදතාවක් යැයි කීවොත් එය වඩා නිවැරදිය. එහෙත් රාජපක්ෂ රෙජීමයේ පාලනය යටතේ කොටි සංවිධානය විනාශ කළ හැකි යැයි ඔහු විශ්වාස කළ නිසා බරපතළ පරස්පරතා මැද වුවත් රෙජීමයට දර දිය අදින්නෙකු බවට ස්වේච්ඡාවෙන්ම පත් විය. අවසාන ඉලක්කය වෙනුවෙන් ඉලක්කයේ ප්‍රවේශ මාර්ගය කුමක් වුවත් කමක් නැතැයි සිතන බොහෝ දෙනෙක් මෙන් ආචාර්ය දයාන් ද කොටි සංවිධානයේ විනාශය වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය හා එක පෙළට සිට ගැනීමට සිදුවීම ගැන ඔහු කනගාටු නොවීය. එසේම කොටි සංවිධානය විනාශ කළ දිනක තමන් විශ්වාස කරන්නා වූ විසදුම කරා යා හැකි යැයි යන අතිශය බොළද ස්ථාවරය දැරීය.

කොටි සංවිධානය දෙමළ ජාතියේ විමුක්ති අරගලයට කළ හානිය අතිමත් ය. එහෙත් කොටි සංවිධානය නැති සංදර්භය දෙමළ විමුක්ති අරගලයට කරන හානිය ඊටත් වඩා අති මහත් ය. දිනා ගත් නිදහස දේශපාලන විසදුම් වලින් පාවා නොදෙන්නැයි විවිධ බලවේග කෑමොර දෙන්නේ එබැවිනි. එළඹි යුද දේශපාලනික සංධර්භය තුළ දේශපාලන විසදුමකට තබා ඒ සදහා වූ කතා බහකටවත් ඉඩක් නැත. ෆැසිස්ට්වාදී කොටි සංවිධානය දේශපාලනිකව මර්දනය නොකර යුදමය ලෙස මර්දනය කිරීම දෙමළ විමුක්ති අරගලයට ද එකසේ හානි කරයි.ඒ යුදමය මර්දනය සදහා දයාන්ලාගේ දාඩිය වගුරු ප්‍රයෝජනයට ගත් පසු ඔහුන් ඇද දමන්නේ කුණු බක්කියටයි. ආචාර්ය දයාන් ජයතිලකයන්ට තේරුම් ගැනීමට නොහැකි වූයේ ද මේ සත්‍යයයි.

දයාන් අභාවවාචක අත්දැකීම් මැද නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ සුපුරුදු විශ්ව විද්‍යාල රුකියාව භාරගනී ද නැත්නම් රාජපක්ෂ රෙජීමය ලබාදෙන මානසික අල්ලසකින් සෑහීමකට පත්වේදැයි මේ ලියුම්කරුට අදහසක් නොමැත. එහෙත් සෑම කළු වළාකුලකටම පසු රිදී රේඛාවක් ඇතැයි කීවාක් සේ දයාන් යම්කිසි මතයක් මේ මොහොතේ ජනතාව ඉදිරියේ සපථ කර ඇත. එනම් බලය බෙදාහරිමින් රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් මගින් දෙමළ ජනතාවගේ අරගලයට රාජපක්ෂ රෙජීමය කිසිදා විසදුමක් ලබා නොදෙන බවයි.

කලක් මේ ලියුම්කරු ආචාර්ය දයාන් ජයතිලක සමග දුරකථනය ඔස්සේ කිට්ටු හිතවත්කමක් පවත්වාගෙන ගියේය. ඒ අවදියේ මේ ලියුම්කරුගේ පරමාදර්ශය වූයේ ඔහුගේ දැනුම හා බුද්ධියයි. එහෙත් ඔහු වෙනත් ගමනක යෙදෙමින් රාජපක්ෂ රෙජීමය හා අත් වැල් අල්ලා ගැනීම ගැන ඇතිවූයේ පිළිකුළකි. එහෙත් ඔහුට තිබූ ගෞරවය මදකින් හෝ අඩු නොවීය. මේ අවස්ථාවේ දී ත් මා ඔහුට ආයුබෝවන් යැයි පවසන්නේ වෙනස් මගක ගොස් නැවත පැමිණියත් ඔහුගේ බුද්ධිය සම්බන්ධයෙන් මා තුළ වූ ලෙන්ගතුකම එලෙසින්ම පවතින බැවිනි.

 
 

“අරුණලු සෙරෙන් අරුණෝදයට” – ඒ අරුණෝදය කොහේද?

Posted October 27, 2011 by bumuthurunu
Categories: Uncategorized

” බයස්ල ඇවිල්ල කෙළින්ම ගියේ කෑන්ටීන් එකට.එතකොට ළමයි උදේ කෑම කනව, බයර්ස්ල කුස්සියටත් ගියා, කන කෑම මොනවද කියල බැලුව, පස්සෙ එයාල මැනේජ්මන්ට් එකට කිව්වා උදේ කෑම එක දිය යුතු ක්‍රමය. එයාල ගොඩක් දුරට ළමයින්ගෙ පහසුකම් බලනව, කෑමබීම, ඇදුම් පැලදුම් විතරක් නෙවෙයි ගෙදර දොරේ තත්ත්වය පවා අහල දැන ගන්නවා. යුරෝපියන් බයස්ල ගොඩක් ෆැක්ට්‍රීස් වලින් ගාමන්ට්ස් ගන්න කලින් ෆැක්ට්‍රීස් වලට ඇවිල්ල හැමදේම හොයල බලනව. මා හිතන්නේ එයාල ඒ හැම දේකින්ම බලාපොරොත්තු වෙන්නෙ කොලිටී ගාමන්ට්ස් මිල දී ගන්න”

1999 දී තරම් ඈතක දී මා හා කතා බහක යෙදුන ඇගලුම් කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු වන මගේ මිතුරකු තම කර්මාන්ත ශාලාවේ වෙළද පළ තත්ත්වය ගැන මට කී ඒ කතාව ඒ පිළිබදව විමසා බැලීමට තරම් ආකර්ශනීය වූවක් විය. දස වද දෙමින් තුට්ටුවට දෙකට ශ්‍රමය සූරාකන ලංකාවේ බහුතරයක් ඇගලුම් කර්මාන්ත ශාලාවන්හි වෙළෙද පළ සංස්කෘතියට වෙනස්ව යන එක්තරා ප්‍රවනතාවක් ඒ වනවිට බොහෝ ඇගලුම් කර්මාන්ත ශාලා ආශ්‍රිතව සිදුවෙමින් පැවතුණි. මා අනතුරුව සොයා ගත් කරුණු අනුව මේ සංස්කෘතික වෙනස වෙළද පළ තුළ ඇතිවෙමින් පවතින්නේ දියුණු හා උසස් මට්ටමක වෙළද පළ තත්ත්වයන් ගැන සංවේදී ව්‍යවසාකයන්ට අයත් ඇගලුම් කම්හල් ආශ්‍රිතව මෙන්ම නිපදවන ඇගලුම් යුරෝපය වැනි ගුණාත්මක ඇගලුම් මිල දී ගන්නා වෙළද පළකට අළෙවි කරන කම්හල් ආශ්‍රිතව වීම විශේෂයකි. ලාභය ලැබීමට නම් අඩු වැටුප් ශ්‍රමය අත්‍යවශ්‍යයි යන මානසිකත්වයෙන් කටයුතු කරන නොදියුණු වෙළද පළ තත්ත්වයක කටයුතු කරන කම්හල් ආශ්‍රිතව තවදුරටත් පැවතියේ පරණ පුරුදු වහල් වෙළදාම මිස අනෙකක් නොවේ.

2003 වර්ෂයේ දී යුරෝපයට ඇගලුම් අපනයනය සම්බන්ධයෙන් අත්සන් කෙරුණ ගිවිසුමක දී මෙන්ම කම්කරු ශ්‍රමය පිළිබදව සංශෝධනය කළ නීතී අණ පනත්හි අන්තර්ගතය සියුම්ව විමසා බැලුවහොත් ධනේශ්වර වෙළද පළ හා අතිරික්ත වටීනාකම් පිළිබද තත්ත්වයන් එසේම ආරක්ෂා කරමින් කම්කරු ශ්‍රමය පිළිබදව වඩා වැඩි වටීනාකමක් ලබා දී තිබෙන බව අවබෝධ කර ගත හැකිය. එහිදී කම්කරු ශ්‍රමය පිළිබදව වෙනදා නැති උනන්දුවක් මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේ දී ඊට වැඩි ඉඩකඩක් ද තබා තිබුණේ ශ්‍රමය පිළිබද මාක්ස්වාදී අර්ථකතනයන්ට අනුව යැයි වරදවා තේරුම් ගත යුතු නැත. එහෙත් වෙනදා නැති උනන්දුවක් කම්කරු ශ්‍රමය සම්බන්ධයෙන් ධනේශ්වරය දැක්වූයේ ධනේශ්වරයේ ගෝලීය අවශ්‍යතා පුළුල් කිරීමට බව අවිවාදිතය. නමුත් කවර අරමුණකින් හෝ දැක්වූ ඒ උනන්දුව ශ්‍රමය පිළිබදව වන දේශපාලන කතිකාවේ දී අත්හල නොහැකි සාධයකි. නමුත් බොහෝ වාමාංශිකයෝත් වෘත්තීය සමිති ක්‍රියාධරයනුත් ධනේශ්වර වෙළද පළ තුළ සිදුවූ මේ ක්‍රම වෙනස දැකීමට තරම් සියුම් හෝ විමර්ශනශීලී හෝ නොවීම කනගාටුවට කරුණකි. ඒ නිසාම ධනේශ්වරයට එරෙහිව සංයුක්ත විකල්ප අරගලයක නිරතවීමට නිර්මාණාත්මක හැකියාවක් ඇති නොවුණි.

ධනේශ්වර වෙළද පළ තුළ මේ ක්‍රම වෙනස ඇති වූයේ 1978 ජයවර්ධන රෙජීමය දියත් කළ ප්‍රතිසංස්කරණයන්හි ප්‍රතිඵලයක් වශයෙනි. මේ ප්‍රතිසංස්කරණයන් සමග ලාංකික වෙළද පළ ගෝලීය ධනේශ්වරය සදහා සූදානම් වූ අතර ඒ සමග එතෙක් පැවති රාජ්‍ය කේන්ද්‍ර කර ගත් ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයත් දේශපාලන ක්‍රමයත් වෙනස් වුණි. නව වෙනස තුළ “සූරාකෑම”, “ධනපති පන්තිය” හා “පීඩිත පන්තිය” යන මාක්ස්වාදී වාං මාලාවේ කෝෂාර්ථයන්ට අලුත් අර්ථකථන ලැබුණි. මේ නිසා ධනේශ්වරයට එරෙහිව අරගල කිරීමත් බොහොදුරට අවලංගු හා නිෂ්ඵල උත්සාහයන් බවට පත් වුණි. ලාංකික පොළව මත සිදුවූ ජනතා අරගලයන් අසාර්ථකවීමට මූලික කාරණාවන්ගෙන් එකක් ලෙස පැහැදිලි කළ හැක්කේ ක්‍රම වෙනසකට ලක්වූ ධනේශ්වරය හදුනා ගැනීමට තරම් “දැනුම” ලාංකික සමාජවාදීන් සතුව නොපැවතීම බව පැහැදිලි කරුණකි.

මේ නිසා ලාංකික සමාජවාදීන් තවදුරටත් ධනේශ්වරය අර්ථ දැක්වූයේ රාජ්‍ය කේන්ද්‍ර ගත ප්‍රපංචයක් ලෙසිනි. අරගල කළ යුත්තේ ධනේශ්වර රාජ්‍ය ප්‍රතිසංස්කරණයන් සදහා මිස සමාජවාදී සමාජ වෙනසකට නොවන බව ඔවුහු ප්‍රායෝගිකව ඔප්පු කළහ. මේ නිසා පීඩිතයන් වෙනුවෙන් මහපාරට බැස සටන් කරන විට එල්ල වන ධනේශ්වර මර්දනයේ දී කිසිම පීඩිත සමාජ බලවේගයකට ඊට සංයුක්තව මුහුණ දීමට හැකියාවක් නොවුණි. පීඩිතයන් ද පෙනී සිටීයේ ධනේශ්වරයේ පැවත්ම වෙනුවෙනි. ඒ අනුව “පීඩිත” හෝ “ධනේශ්වර” පන්තීන් අලුතින් හැඩ ගැසී “සූරාකෑම” ද අලුත් අර්ථකථනයන් තුළ සිදුවෙමින් තිබුණි.

අරගලය තවදුරටත් මාක්ස් ලෙනින්වාදී ඉගැන්වීම් තුළ පදනම්වීම අවශ්‍ය වුවත් ගොඩනගන්නට යන්නා වූ සමාජ ක්‍රමයට රුසියන් විප්ලවය හෝ අතීතයේ සිදුවූ වෙනත් කිසිම විප්ලවයක් ආදර්ශය ලෙස ගැනීම අවිද්‍යාත්මකය. නූතන අරගලය පදනම් විය යුත්තේ වර්තමාන සමාජ දේශපාලන බලවේගයන්ට ගැලපෙන අන්දමිනි. ඒනිසා අතීතයෙන් අත්දැකීම් ලබා ගැනීම වලංගු වුවත් අතීතයෙන් ආදර්ශයන් ලබා ගැනීම අවලංගු සාධකයකි. සමාජවාදී තැන් මාරුව වෙනුවෙන් පෙනී සිටීන්නන්ට මේ ධනේශ්වර සමාජ ක්‍රමයේ සිදුව ඇති වෙනස තේරුම් ගැනීමටත් ඒ අනුව තම අරගලය සකස් කර ගැනීම සදහාත් දැනුම නිර්මාණය කර ගැනීම සදහා අති විශාල සමාජ කතිකාවක් ගොඩ නගා ගැනීම මූලික අවශ්‍යතාවකි.

ලාංකික වෙළද පළ ගෝලීය ධනේශ්වරයට සම්බන්ධ වූයේ පුළුල් කතිකාවකින් නොවේ. එසේම සම්භාව්‍ය ධනේශ්වර අර්ථයෙන් වූ වෙළද පළ පුළුල්වීමකින් ද නොවේ. මේ නිසා ලාංකික ධනේශ්වර පන්තිය අද ඉතිහාසයේ බරපතලම අර්බූදයට ලක්ව තිබේ. මේ අර්බූදය නිසා රාජ්‍යයේ ආධිපත්‍ය ධනපති පන්තියෙන් ගිලිහී ධනය ඇති වෙනත් සමාජ තීරුවකට උරුම වුණි. මේ සමාජ තීරුව රාජ්‍ය ගැතිකම නිසා ආර්ථික හා දේශපාලන බලය ලැබූ පිරිසක් මිස සමාජ සංවේදී හෝ දේශපාලන අරමුණකින් යුත් සම්භාව්‍ය ධනපතියන් පිරිසක් නොවේ. එමෙන්ම මේ සමාජ තීරුව ආර්ථික ක්‍රියාකාරකම්හි වැඩි දායකත්වයක් දරන්නේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නොවේ. මේ සමාජ තීරුව සෑහෙන දුරකට පදනම් වී ඇත්තේ ලූම්පන් ආර්ථික කටයුතු වලය. ඒ නිසා ඔවුන්ගේ සමාජ දේශපාලන ක්‍රියාකාරකම් වැඩි සම්බන්ධයක් දක්වන්නේ ලුම්පන් දේශපාලන ක්‍රියාකාරකම් වලට ය.

ලාංකික රාජ්‍ය ධනේශ්වර අර්බූදයක ගිලී තිබීම බොහෝ වාමාංශිකයන් දකින්නේ ධනාත්මකවය. එහෙත් මේ අර්බූදය ධනේශ්වර විරෝධි අරගලය කරා ද පැමිණ ඇති බව බොහෝදෙනෙක් අවබෝධ කරගෙන නොමැත. ධනේශ්වරයේ ආධිපත්‍ය ධනය ඇති ලුම්පන් සමාජ තීරුවකට හිමිවීමට සාපේක්ෂව ලාංකික පීඩිත පන්තියේ ආධිපත්‍ය ද ලුම්පන් සමාජ බලවේගයන් විසින් ඩැහැගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ලුම්පන් සමාජ බලවේගයන්ට සමාජ සංවේදීතාවක් හෝ සමාජය ගැන දෘෂ්ටීමය හැගීමක් හෝ ඇතැයි පැවසිය නොහැක. ඒ නිසා එවැනි සමාජ තීරුවකින් සමාජ වෙනසක් සදහා අවශ්‍ය අරගලකාරී උත්සාහයකට බීජයන් ලබා නොදේ. මේ නිසා ගෝලීය ධනෙශ්වරයේ ක්‍රමෝපායන් හදුනා ගනිමින් සමාජවාදී සමාජ වෙනසක් ඇති කර ගැනීම සදහා අවශ්‍ය දැනුම නිර්මාණය කර ගැනීමට ලූම්පන් සමාජ තීරුවට දැරිය හැකි දායකත්වයක් ගැන විශ්වාස කිරීම අර්ථ විරහිත බලාපොරුත්තුවකි.

එහෙත් මේ අර්බූදය ජය ගත යුත්තේ ද “චෙක්මේට්” වී ඇති සමාජ බලවේගයන්ගේ හැසිරීම තුළින්ම ය. ලාංකික පීඩිත පන්තිය පමණක් නොව ධනපති පන්තිය ද ගිලී ඇති අර්බුදයෙන් ගලවා ගැනීමේ හැකියාව ඇත්තේ බුද්ධිමතුන්ට ය. සමාජ පන්තීන් දෙකෙහිම බුද්ධිමතුන් උත්සාහ දැරිය යුත්තේ සමාජය මේ හිරවීමෙන් ගලවා ගැනීමටය. සමාජවාදී සමාජ වෙනසක් සදහා යා යුතු ගමන දිගු ගමනක් වී ඇත්තේ එබැවිනි.

කෙටි මං නොමැති රතු මල් පිපුණු ජය මාවත කරා…….

Posted October 18, 2011 by bumuthurunu
Categories: Uncategorized

බලයේ සිටී රනිල් වික්‍රමසිංහගේ යූඑන්පී රෙජීමය පෙරලා දැමීම සදහා 2003 දී පමණ ජනතා විමුක්ති පෙරමුණේ මහ සෙනග ගාල්ලේ සිට කොළඹ බලා ආවේ පා ගමනකිනි. එම ජන බලය පෙරටුව ආ ජ.වි.පෙ. එවකට ප්‍රචාරක ලේකම් වූ විමල් වීරවංශගේ සුරතේ පිරිත් නූලක් බදිමින් ඔවුන්ව පිළිගත්තේ ප්‍රේමදාස රෙජීමයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ කුප්‍රකට ඇල්ලේ ගුණවංශයි. එම අවස්ථාවේ ගත් ඡායාරූපයක් රාවය පුවත් පත තම මුල් පිටුවේ පළ කරමින් එය හදුන්වා තිබුණේ ගුණවංශ හා වීරවංශ ලෙසිනි. උත්ප්‍රාසය දනවන මේ ඡායාරූපය හා එහි හැදින්විම ලාංකික වාමාංශික ව්‍යාපාරය බරපතල ප්‍රශ්න කිරීමකට ලක් කළත් ඒ පිළිබදව සමාජ සංවාදයක් නම් ඇති නොවුණි.

හැත්තේ එකේ කැරුල්ලේ ද සටන්කරුවකු වූ අදටත් ධනපති විරෝධි පෙරමුණේ සටන් සගයකු වන ගම්බදව ජීවත්වන පෙර පරම්පරාවේ සහෝදරයකු සමග ඒ දිනවලම ජනතා විමුක්ති පෙරමුණේ මේ අනග රුගුම ගැන කතා කළ විට තම ආත්මයම පීඩිත පන්තියේ විමුක්ති අරගලය වෙනුවෙන් කැප කළ මේ සහෝදරයා ගත් කටටම පැවසුවේ රට පාවාදෙන වික්‍රමසිංහ හා බැලූ කළ ගුණවංශගේ වැරුද්දක් නැති බවය. හදිසි නීතියට පක්ෂව ඡන්දය දෙන, බෙදුම්වාදය පරාජය කිරීම සදහා දේශප්‍රේමී බල මුළු තර කිරීම ගැන කතා කරන, ධනපති නායකයන් හා කදවුරු බදින ජනතා විමුක්ති පෙරමුණේ මේ දේශපාලන හැසිරීම ගැන පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයකු සමග කතා බස් කරන විට ඔහුගේ ප්‍රතිචාරය ද පෙර කී ගැමි සහෝදරයාගේ ප්‍රතිචාරයට නොවෙනස් වුණි.

ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටීය ද ඒ සදහා දේශපාලන අරගලයන්හි යෙදුන ද ඔවුන්ගේ න්‍යාය පත්‍රය තුළ සංයුක්ත විකල්පයක් තිබුණා යැයි පැවසිය නොහැක. ධනපති පන්තියේ අභ්‍යන්තර මත ගැටුම් හා පසුබෑම් දේශපාලන සංසිද්ධින් කර ගනිමින් ඒවා මත තම දේශපාලන න්‍යාය පත්‍රය සකස් කිරීම ජනතා විමුක්ති පෙරමුණේ එකම ඉලක්කය විය. ඒ අනුව ඔවුන් පදනම් වූයේ සුභ සාධනවාදය ඉලක්ක කර ගත් රාජ්‍ය කේන්ද්‍රීය ආණ්ඩු ක්‍රමයක් මතය. ඒ අර්ථයෙන් ඔවුන්ගේ සමාජවාදයේ ආකෘති ගත පදනම වූයේ 1970/77 ආණ්ඩුවයි.

ලාංකික සමාජයේ පන්ති සැකැස්ම සලකා බැලූවිට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන හැසිරීම මාක්ස් ලෙනින්වාදයට පරස්පර වූ බව ස්ථිරය. ඒ නිර්මාක්ස්වාදී දේශපාලන ක්‍රියාකාරීත්වයට එරෙහිව අභ්‍යන්තරයෙන් පිපිරීමක් ඇතිවීම තාර්කික හා න්‍යායාත්මකය. ජනතා විමුක්ති පෙරමුණේ මෙම අභ්‍යන්තර පිපිරීම බෝල්ෂෙවිකයන් දැකිය යුත්තේ ධනාත්මක ප්‍රගතිශීලී දේශපාලන නැගී සිටීමක් ලෙස මිස බටහිර කුමන්ත්‍රණයක් හෝ බෙදුම්වාදයේ නව සම්මුතියක් ලෙසින් හෝ නොවේ. වතුර බේසමේ කිඹුලන් දැකීමට බොහෝ වාමාංශිකයන් ලොල් කළත් සමාජවාදී දේශපාලන භාවිතයක් තුළ සමාජ සංවර්ධනයේ පදනම තහවුරු වන්නේ පැරුන්න ඉවත්ව ගොස් අලුත් දේ පැමිණීම මත හා එය ප්‍රගතිශීලී ලෙස දැකීම මතිනි. ඒ අර්ථයෙන් ජනතා විමුක්ති පෙරමුණ තුළ මේ වනවිට ඇති වී පවතින මතවාදී කතිකාව සුභවාදීව දැකීමට එම මතයන්ට එකගවීම හෝ එරෙහිවීම හෝ බාධාවක් නොවේ.

විප්ලවවාදී පක්ෂයක් තුළ මතවාද ඇතිවීම එම මතවාද දරන්නන්ගේ පශ්චාත් භාගයට පා පහර එල්ල වීමට හේතුවක් නොවේ. එසේම එම මතවාද දරන්නන් බටහිර ඔත්තුකරුවන්, බෙදුම්වාදීන්ගේ අතකොළු හෝ ආණ්ඩුවේ සුරතලුන් ලෙස හංවඩු ගැසීමට තරම් දේශපාලන වැරදිකරුවන් වන්නේ ද නැත. සමාජවාදය ලාංකික පොළොවේ බිහි කිරීමට අයිතිය ඇත්තේ තමන්ට බවත් ඒ සදහා තමන්ට අභියෝග කිරීමට නවකයන්ට අයිතියක් නොමැති බවත් ආදී වූ ගෝත්‍රිකවාදී කතා සමාජවාදී භාවිතයන්ට එකගවන්නේ කෙසේදැයි තම තමන්ම විග්‍රහ කර ගැනීම වඩා අර්ථාන්විතය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ සියළුම පාර්ශ්වයන් වඩා වැඩි වගකීමකින් මාක්ස් ලෙනින්වාදී භාවිතාවක හැසිරෙමින් මතුවී ඇති දේශපාලන පිපිරීම සංවාදයට ලක් කළ යුතුය.

1978 දී ලාංකික සමාජයේ ඇති වූ මහා දේශපාලන තැන් මාරුව (Paradigmatic shift) තුළ පන්ති විග්‍රහය වලංගුව පවතිමින්ම පන්ති දේශපාලනය අහෝසිවී ගියේ මාක්ස්වාදී දේශපාලනයට නව මානයන් එක් කරමිනි. තවදුරටත් සම්ප්‍රදායි මානයන්ගෙන් සමාජය දෙස බලමින් ඒ සමාජයේ සම්ප්‍රදායි සමාජවාදය ස්ථාපිත කිරීමට තැත් කිරීම සමාජ සංවර්ධනයේ ගතිකය තේරුම් නොගැනීමේ දුර්වලතාවකි. පැරණි දේ ඉවතලමින් නව දේවල් මතුකරමින් සමාජ සංවර්ධනයේ පිමි පනින්නා වූ අනවරත අරගලයේ දී මහජනතාව බලමුළු ගැන්වීම තවදුරටත් වලංගු වන්නේ නැත. ඒ අනුව පිකටීන් කරමින් වර්ජනය කරමින් ගිරිය පුප්පා අභියෝග කරමින් කරන්නා වූ සම්ප්‍රදායි දේශපාලනය ඉවත දමා විකල්පයන් තෝරා ගැනීමට තරුණ සමාජවාදී කොටස් මහන්සිවීම අනිවාර්ය අවශ්‍යතාවකි. ඒ අර්ථයෙන් න්‍යාය ප්‍රගුණ කරමින් ද එය භාවිතයට යොදා ගනිමින් ද බරපතල අධ්‍යයනයකට යා යුත්තේ සමාජය වෙනස් කිරීමේ උපාය උපක්‍රම යළි නිර්මාණය කර ගැනීමටයි. පාර්ලිමේන්තුවාදී සමාජවාදීන් කොතෙක් උත්සාහ කළත් ජනතා අරගලයන් මගින් වර්ථමාන ධනපති රාජ්‍ය ආකෘතිය හෝ සමාජ ආකෘතිය හෝ වෙනස් කිරීමේ හැකියාව අල්ප වූවකි. ඒ නිසා තවදුරටත් ජනතා අරගලයන් තුළ සමාජවාදීන් කොටුවීම අර්ථ විරහිත උපක්‍රමයකි.

සමාජය තුළ රික්තයක් ඇතිවී ඇත්තේ ධනපති දේශපාලනයේ හිඩැස් පිරවීමට යැයි වරදවා තේරුම් නොගත යුතුය. එමෙන්ම ධනේශ්වර රාජ්‍ය ආකෘතිය රුක ගනිමින් සුභසාධනවාදී ආණ්ඩුවක් ගොඩ නගා ගැනීමටත් නොවේ. සමාජවාදීන් අරගල කළ යුත්තේ තමන්ටම ආවේනික බලයකින් යුත් දේශපාලන, ආර්ථික හා සමාජීය අවකාශයක් නිර්මාණය කර ගැනීමටයි. ඒ සදහා පැරණි ධනපති සමාජ සංවිධාන හා මතවාදී බලවේගයන් සමග අරගල කළ යුතුය. එසේ අරගල කිරීමට මාක්ස්වාදය මත පදනම් වෙමින් දැනුම එකතු කර ගත යුතුය. ඒ දැනුම බෙදා හදා ගනිමින් න්‍යායාත්මක තලය තුළ අරගල කිරීමත් ඒ තුළින් ධනේශ්වර මතවාදයන්ට, මතවාදයන්ගේ ප්‍රචාරක උපකරණයන්ට හා සමාජයීය මූලයන්ට ශක්තිමත් අභියෝගයක් එල්ල කිරීම තරුණ සමාජවාදීන්ගේ ප්‍රධාන දේශපාලන ඉලක්කය විය යුතුය.

ගෝලීය ධනේශ්වරය තවදුරටත් විග්‍රහ කළ යුත්තේ පැරණි ජාතික ධනේශ්වරය විග්‍රහ කළ මානයන්ගෙන් නොවේ. ඒ අනුව සුභ සාධනවාදී රාජ්‍යය රුක ගැනීම සදහා ප්‍රතිසංස්කරණවාදී දේශපාලන අරගලයන්හි යෙදීම මේ යුගය තුළ සැබෑ සමාජවාදීන්ගේ ඉලක්කය වන්නේ නැත. සංයුක්ත සමාජවාදී වැඩපිළිවෙලක් සහිත මහජන ව්‍යාපාරයක් මේ මොහොතේ දී ධනේශ්වර සංවර්ධනය තේරුම් ගත යුත්තේ ධනාත්මකවයි. පූර්ණ ධනේශ්වර වර්ධනයක් තුළ මිනිසා අත්පත් කර ගන්නා සියළු ජයග්‍රහණයන් ඊලග සමාජය වන සමාජවාදී සමාජය නිර්මාණය කර ගැනීමට අනිවාර්ය වන බව මාක්ස් ප්‍රකාශ කළේ ය. ඒ අර්ථයෙන් ලාංකික සාමාජය ධනේශ්වර සංවර්ධනය අත්පත් කර ගත යුතු ආකාරය සම්බන්ධයෙන් වූ තියුණු කියවීමක් සමාජවාදීන්ට අත්‍යවශ්‍ය වේ.

සමාජ සංවර්ධනයේ දී ඉලක්කයන් කරා යෑමට කෙටී මාර්ගයන් නොමැති බව කාල් මාක්ස් පැහැදිලිවම ප්‍රකාශ කළේ ය.මේ මොහොතේ දී එතිහාසික හා ගෞරවනීය මෙහෙවරක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සහෝදර සහෝදරියන් මහන්සි වී අවබෝධ කරගත යුත්තේ එයයි.

කොටීකාවත්තේ සමූල ඝාතනය හා ශ්‍රී ලංකා රාජ්‍යයේ අශිෂ්ටත්වය

Posted October 10, 2011 by bumuthurunu
Categories: Uncategorized

බෙදුම්වාදය දේශපාලනිකව පරාජය කරනවා වෙනුවට දෙමළ විමුක්ති කොටී සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම සදහා ලාංකික සමාජයේ කැමත්ත ලබා ගැනීමට රාජපක්ෂ රෙජීමය දක්ෂ වුණි. වෙනසකට ලක් වූ ලාංකික සමාජ මතය ඊටත් වඩා දක්ෂ ලෙස කළමනාකරණය කරමින් තම පැවත්ම සදහා මහජන මතය නිර්මාණය කර ගැනීමට රෙජීමයට හැකිවී තිබේ. දෙමළ විමුක්ති කොටී සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමේ අවශ්‍යතාවත් ඒ මගින් එම සංවිධානය පරාජය කිරීමත් දකුණේ දී සාධාරණීකරණය කළේ කොටී සංවිධානය මිලේඡ ලෙස මනුෂ්‍ය ඝාතනයේ යෙදෙන තිරිසන් සංවිධානයක් යැයි පවසමිනි. එය මනුෂ්‍ය සදාචාරය තුට්ටුවකට මායිම් නොකළ අවි ආයුධ කෙරෙහි පමණක් විශ්වාසය තැබූ අති මිලේඡ එකතුවක් වශයෙන් හංවඩු ගැසීමට දකුණේ සිවිල් චරිත ද පසුබට නොවුණි. ඒ අර්ථයෙන් එම සංවිධානය කිසිදා සාකච්ඡාවකින් “දෙමළ ප්‍රශ්නය” විසදීමට ශ්‍රී ලංකා රාජ්‍ය සමග සම්මුති ගත නොවන බව ඉදුරාම පැවසූහ. රාජ්‍යයේ සාමය සදහා ඉතුරු වී ඇත්තේ මිලේඡයා ඝාතනය කර ” අහිංසකයා” ට ජීවත්වීම සදහා අවස්ථාව සලසා දීම බවට න්‍යායන් සකස් කර තහවුරු කළහ.

එසේ ලද සාමය තුළ දෑ අවුරුද්දකුත් මාස කිහිපයක් ගෙවී ගොස් ඇතත් දැනෙන සාමයක් පෙනෙන මානයක නොමැත. මර්දනයේ අණ පනත් එසේම ක්‍රියාත්මකව පවතී. නො එසේනම් අලුත් සැගවුණ මුහුණුවරකින් ඒවා කළ එළි බසී. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය තුළ නිදහස අහිමි වන්නේ පීඩිතයන්ට පමණක් වුවත් රාජපක්ෂ රෙජීමයේ සාමකාමී පාලනය තුළ පාලක පංතියට ද ඒ හැටී දැනෙන නිදහසක් නොමැති බව පෙනෙන්නට තිබේ. පළාත් පාලන මැතිවරණයේ තුන්වන වටය පැවති පසුගිය ඔක්තෝබර් අට වැනි සෙනසුරාදා පාලක පන්තියේ කල්ලි දෙකක් අතර වූ ගැටුමකින් මනුෂ්‍ය ඝාතනයන් තුනක් සිදුවීම මේ දේශපාලන යථාර්තය කදිමට පැහැදිලි කරන අවස්ථාවකි.

ගැටුම් මිනිස් සමාජයට අලුත් දෙයක් නොවූවත් ඒ ගැටුම් විසදා ගන්නා ක්‍රමෝපායන් නම් කාලානුරූපව වෙනස් වේ. ශිෂ්ට සම්පන්න සමාජයක් ගැටුම් විසදා ගන්නේ ශිෂ්ටත්වයට ගැලපෙන අයුරිනි. තම පක්ෂයේම ප්‍රතිවාදියාට පහර දී ඔහු බිම වැටුණ පසුව පිට පිට වෙඩි වර්ෂාවක් එල්ල කර අමු අමුවේම මහ මග මරා දැමීම ශිෂ්ට සමාජයක් විසින් පිළිකුලෙන් යුතුව හෙළා දකින සිද්ධියකි. මෙම ඝාතනය හුදු සිද්ධිමය ක්‍රියාවක් නොවී එය රාජ්‍යයේත් ලාංකික සමාජයේත් හෘදය සාක්ෂිය හා තරයේ සම්බන්ධ වූවක් නිසා සුළුකොට තැකිය හැක්කක් නොවේ. ඒ නිසා මෙම ඝාතන සිද්ධිය රාජ්‍යයේත් ශ්‍රී ලාංකික සමාජයේත් හෘදය සාක්ෂිය ප්‍රශ්න කරන්නා වූ අවස්ථාවක් බව නො අනුමානය.

තමන්ට යුදමය වශයෙන් අභියෝග කළ නිසා දෙමළ විමුක්ති කොටී සංවිධානය ලෙයින් හා කදුළින් මර්දනය කළ රාජ්‍යයක් උදාවූවා යැයි පවසන සාම කාලය තුළම කොටී සංවිධානයේ උපක්‍රමය වූ අවි මගින් ගැටුම් විසද ගන්නා ක්‍රමවේදය නැවත පෝෂණය කරන්නේ නම් එය රාජ්‍යයේ සුජාතභාවය පිළිබදව ප්‍රශ්නයක් බව ස්ථිරය. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයෙකි. ඇති වූ ගැටුමේ දී ඝාතනය කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉහළ තනතුරු දරන පුද්ගලයන් ද ගැටුම් විසදා ගැනීමට යොදා ගන්නේ කොටී සංවිධානයේ උපාය උපක්‍රමම නම් ත්‍රස්තවාදී හංවඩුව ගැසිය යුත්තේ කොටී සංවිධානයට පමණක් නොවේ. එසේම ඒ අර්ථයෙන් සමූල ඝාතනය කළ යුත්තේ කොටී සංවිධානය පමණක්ම නොවේ. ගැටුම් විසදා ගැනීමට ත්‍රස්ත ක්‍රම යොදා ගන්නා සියළු පාර්ශ්වයන්ට ත්‍රස්ත හංවඩුව පොදු විය යුතු අතරම ඔවුන් සමූල ඝාතනය කර “අහිංසකයන්ට” ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම ද පොදු විය යුතුය.

වරක් එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට තරග කළ දුමින්ද සිල්වා වැඩිම මනාප ලබා බස්නාහිර පළාත් සභාවට තේරී පත් විය. අනතුරුව පක්ෂ මාරුවකින් පසු එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මැතිවරණයට තරග කළ අතර එවරද වැඩිම මනාපයෙන් බස්නාහිර පළාත් සභාවට තේරී පත් වුණි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ආණ්ඩු පක්ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ දුමින්ද සිල්වා වහාම ආරක්ෂක අමාත්‍යංශයේ අධික්ෂණ තනතුරකට පත් වුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බාල වයස්කාර ස්ත්‍රී දූෂණ අපරාධ චෝදනා ලැබූවෙක් වන අතර පසුගිය දා ඔහුට එරෙහිව අධිකරණයේ ඇසෙමින් පැවති නඩුවක් නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීම නිසා ආන්දෝලනයක් ඇති වුණි. එසේම ඔහු තහනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට ද චෝදනා එල්ල වී තිබේ. සමාජයේ සුජාතාභාවයට හානිවන චෝදනා කොතෙක් ඔහුට එරෙහිව එල්ල වුවත් ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකත්වය ලබා ගැනීමට ඒවා බාධාවන් නොවීය. වැඩිම මහජන ඡන්දයක් ලබා ගැනීමට ද තම අශිෂ්ටකම බාධාවක් නොවූ අතර අධිකාරියේ තනතුරු වරප්‍රසාද ලබා ගැනීමට ද එමගින් බාධා එල්ල නොවුණි. ලාංකික සමාජයත් රාජ්‍යයේ අධිකාරීත්වයත් දිගින් දිගටම සුජාතභාවය සිදගත් චරිතයන්ට සමාජ වලංගුභාවයක් ලබාදීමත් සමාජ පිළිගැනීමක් ලබාදීමත් මේ සමාජයේත් රාජ්‍යයේත් සදාචාරය හා ශිෂ්ටත්වය පිළිබදව බරපතළ ප්‍රශ්න මතු කරන හැසිරීමක් බව නොකිවයුතුමනාය. ඒ අනුව පැහැදිලි වන්නේ අශිෂ්ටත්වය හා ත්‍රස්තවාදය තමාගේ ප්‍රතිවාදියා මර්දනය කිරීමට යොදා ගන්නා මෙවලමක් මිස ඊට විරුදධවීම පරමාදර්ශීව රකින්නා වූ ශීලයක් බවට පත් කර ගැනීමට ලාංකික සමාජයත් රාජ්‍යයත් පෙළඹී නොමැති බවයි.

ප්‍රචණ්ඩත්වය හා මර්දනය රාජ්‍යයට හිමි ආවේනික ලක්ෂණයක් වුවද ලුම්පන්කරණය වෙමින් රාජ්‍යයේ සුජාතභාවය හා ශිෂ්ටත්වය පිළිබදව රාජ්‍යය බරපතළ ප්‍රශ්න ඇතිකර ගත්තේ 2005 දී රාජපක්ෂ රෙජීමය එහි බලය ලබාගත් පසුවය. මතවාදීමය ලෙස සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී තැන් පෙරළියකට යොමුවෙමින් රාජ්‍යයේ ආකෘතිය වෙනස් කළ පසු එහි ආධිපත්‍යය මුළුමනින්ම වාගේ අත්පත් කර ගත්තේ ආරක්ෂාව හා මාධ්‍යය සම්බන්ධයෙන් වූ රාජ්‍ය ආයතන විසින් ය. එම ආයතනයන් යුද්ධය සම්බන්ධයෙන් ගොඩ නගා ගත් බලය තුළින් සමාජය මත ද ආධිපත්‍යයක් ගොඩනගා ගත් අතර ඒ නිසා සුපිරි වලංගුතාවක් ඊට ලැබුණි. ප්‍රජාතන්ත්‍රවාදය, යහ පැවත්ම, ජාතික එක්සත්කම, අන් මත ඉවසීම හා මානව හිමිකම් වැනි සංකල්පයන්ට ඒ අනුව ලැබුණේ අඩු පිළිගැනීමකි. නො එසේනම් එම සංකල්ප රාජ්‍යයේ පැවත්මට බාධාවක් ලෙස දැක ඒවාට සමාජ අවලංගුභාවයක් ලබාදී ඒවා වෙනුවෙන් කතා කරන්නන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසූහ. ආරක්ෂාව සම්බන්ධයෙන් වූ රාජ්‍ය ආයතන අර්ථ දක්වන දේ නිවරුදිම දේ වූ අතර ඒවා ප්‍රශ්න කර අභියෝගයට ලක් කිරීමට ව්‍යවස්ථාදායකයටවත් අවස්ථාවක් නොවීය. ඒ අනුව රාජ්‍යය මුළුමනින්ම ඒකාධිපති ලක්ෂණ වලින් යුක්ත වූ අතර තීන්දු තීරණ ගන්නා වූ මර්මස්ථානයන් හි ආධිපත්‍යය ලූම්පන් සමාජයේ විවිධ පුදගලයන්ගේ ග්‍රහණයට ලක්වුණි. ලූම්පන් සමාජ තීරුවට ශිෂ්ටභාවය හෝ සමාජ සදාචාරය හෝ පිළිබදව බරපතළ හැගීමක් හෝ වගකීමක් හෝ නොමැති නිසා ප්‍රශ්නය තවත් බරපතල වුණි.

ශ්‍රී ලංකා රාජ්‍යයත් ලාංකික සමාජයත් පරමාදර්ශීව පෙනී සිටීන්නේ අශිෂ්ටත්වය වෙනුවෙනි. මේ අනුව කොටී සංවිධානය සමූල ඝාතනය කර ඊට සමාජ වලංගුභාවයක් ලබාගැනීම සදහා ගොඩනැගූ ප්‍රපංචයන් වෙනුවෙන් පෙනී සිටීමට ලාංකික සමාජයට හෝ ශ්‍රී ලංකා රාජ්‍යයට හෝ කිසිම සදාචාරමය සුජාතභාවයක් තවදුරටත් හිමි වන්නේ නැත. දකුණේ සනීප ජීවිත ගත කරමින් රාජ්‍යයේ පැවත්ම වෙනුවෙන් දරදිය අදින නෝනාවරු මහත්වරුන් දැන්වත් තම නිරුවත වසා ගත යුතු බව කොටීකාවත්තේ ඛේදවාචකය බරපතල හැගවීමක් කරයි.

ධනය ඇති පන්තිය, කොල්ල කෑම හා මිලින්ද මොරගොඩ

Posted October 6, 2011 by bumuthurunu
Categories: Uncategorized

රාජපක්ෂ රෙජීමය තුළ දක්ෂිණාංශිකයන්ගේ සිට වාමාංශිකයන් දක්වා ද ජාත්‍යන්තරවාදීන්ගේ සිට ජාතිවාදීන් දක්වා ද එකට එක් වී සිටීම බොහෝදෙනෙක් දකින්නේ ධනාත්මක ලෙසිනි. ඒ නිසා එම එක් රොක්වීම බොනපාට්වාදී ස්වරූපයක් ලෙස යමෙකුට දැකිය හැකිය. එසේනම් වැළිකඩ බන්ධනාගාරයට ඇත්තේ ද බොනපාට්වාදී ස්වරූපයක් බව කිව හැකිය. බන්ධනාගාරය තුළ සිටීන්නේ ද විවිධ අදහස් දරන විවිධ පුද්ගලයන් ය. එහෙත් ඒ සියළු විවිධත්වයන් පරදා එක් පොදු සාධකයක් බන්ධනාගර රුදවියන් තුළ පවතී. ඒ නිසාම එය තුළ ජීවත්වන්නේ ධනපති සිවිල් නීතිය කඩ කළ හෝ කඩ කළා යැයි චෝදනා ලැබ හෝ ධනපති විනිශ්චයාතන විසින් දඩුවම් ලෙස රදවා තැබූවන්ය. ඒ අර්ථයෙන් ඒ තුළ බොනපාට්වාදී ස්වරූපයක් නොපවතී. මහින්ද රාජපක්ෂ රෙජීමයට බොනපාට්වාදී ස්වරූපයක් නැත්තේත් ඒ අන්දමින්ම ය. රාජපක්ෂ රෙජීමය තුළ විවිධ මතිමතාන්තර දරන්නන් සිටීයත් ඒ තුළ ඇති මහා පොදු සාධකය අනුව මහින්ද රාජපක්ෂ පාලනය බොනපාට්වාදී රෙජීමයක් වශයෙන් හැදින්වීමට වඩා මා වඩාත් ලොල් කරන්නේ එය ආඩි හත්දෙනාගේ කැද හැලිය ලෙස හදුනා ගැනීමටය.

මර්වින් සිල්වා රාජ්‍ය සේවකයන් ගස් බදිමින් රාජ්‍යයේ සිවිල් නීතිය කඩ කළත් යහ පාලනය ගැන කතා කරන මිලින්ද මොරගොඩට ඒවා අදාළ නොවේ. “ඔන්න ඔය මොකක්ද පනතක් ආව තමා ඒත් ඒක අපි පරද්දල දැම්මා” යැයි තොරතුරු දැන ගැනීමේ පනත ගැන පරිසර ඇමති අනුර ප්‍රියදර්ශන යාපා සැහැල්ලුවෙන් පැවසුවත් කොළඹ මහ නගර සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන බව බැරූරුම් ලෙස පැවසීමට මිලින්ද මොරගොඩට හැකිවී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරන දුමින්ද සිල්වා කොළඹ පාතාළයේ ප්‍රධාන නායකයකු වී ඇතත් මිලින්ද මොරගොඩ ප්‍රජාතන්ත්‍රවාදී මහජන නියෝජනයේ වාසිය ගැන සිරස රූපවාහිනියෙන් ජනතාවට පැහැදිලි කරයි. විවිධ පුද්ගල චරිතයන් තමන්ටම ආවේනික වූ විවිධාකාර ආඛ්‍යානයන් පාමින් රාජපක්ෂ රෙජීමය තුළ යහතින් පැවත්ම තහවුරු කර ගැනීමට හැකිවී ඇත්තේ මේ උභතෝකෝටීකය නිසාය. ඒ තුළ ශක්තිමත් දේශපාලන මතයක් වෙනුවෙන් ගොනුවීමක් දක්නට නැතත් විවිධ අදහස් දරන්නන්ගේ තක්කඩිකම මහා පොදු සාධකය ලෙස ඉස්මතුවී තිබේ.

රාජ්‍ය සේවකයන්ට අදාළව ක්‍රියාත්මක වන ආයතන සංග්‍රහය අනුව රජයේ මාණ්ඩලික නිලධාරීන්ට පක්ෂ දේශපාලන කටයුතු වල යෙදීමට නොහැක. අමාත්‍යංශයක ලේකම් ධූරයක් වැනි අතිශය බලසම්පන්න තනතුරක් දරන්නෙකුට පක්ෂ දේශපාලනයේ යෙදීමට කොහොමටවත් බැරිය.එහෙත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා කොළඹ මහනගර සභා මැතිවරණයේ දී පාලක එක්සත් ජනතා නිදහස් සංධානයට පක්ෂව දේශපාලන කටයුතු වල යෙදෙන්නේ යහ පාලනය ගැන කතා කරන්නා වූ මිලින්ද මොරගොඩ සමගය. සිරස රූපවාහිනියෙන් න්‍යායාත්මකව කතා කරන යහ පාලනය ප්‍රායෝගික ජීවිතයේ දී අමතක කරන මොරගොඩ එහිදී අශිෂ්ඨ ග්‍රාම්‍ය පාලන ක්‍රමයක ස්වරූපය ඉවසා සිටීයි. එහිදී දියුණු ප්‍රජාතන්ත්‍රවාදී මිලින්ද මොරගොඩ හැසිරෙන්නේ මර්වින් සිල්වාට ද නොදෙවැනි ලෙස නොදියුණු හා අශිෂ්ඨ ලෙසිනි.

මේ උභතෝකෝටීකය පැන නගින්නේ රාජපක්ෂ රෙජීමයේ අතනින් මෙතනින් හෝ තෝරාගත් එක් තැනකින් දෙකකින් හෝ පමණක් නොවේ. රෙජීමයේ සමස්ත ස්වරූපයම මේ අන්දමේ හෝ වෙනත් අන්දමක හෝ උභතෝකෝටීකයක් තුළ ගිලී පවතී. එහෙත් මර්වින් සිල්වා හෝ රෙජීමයේ වෙනත් සාමාජිකයකු හෝ ශිෂ්ඨ ප්‍රජාතන්ත්‍රවදී සම්ප්‍රදායන් කඩ කළ විට අඩු වශයෙන් මිලින්ද මොරගොඩ හෝ ඒවා ප්‍රශ්න කරන්නේ නැත. ඔහු එසේ මුනිවත රුකීම ඔහුගේ අදහස් ප්‍රචාරණය කරන මාධ්‍යවේදීන් හෝ ඔහුගේ අදහස් වලට ආගම් භක්තියෙන් සවන් දෙන කිසිවෙක් හෝ ප්‍රශ්න කරන්නේ ද නැත. ඒ අර්ථයෙන් එය මිලින්ද මොරගොඩගේ ගේ හෝ වෙනත් අයකුගේ හෝ ප්‍රශ්නයක් වන්නේ ද නැත. රාජ්‍යයේ ස්වරූපය, ආකෘතිය හා එහි ඉලක්කයන් පදනම් වී ඇති සමාජ භාවිතාව දේශපාලනයේ හෘද සාක්ෂිය තීන්දු කරන බැවින් මේ උභතෝකෝකයට හේතු වන්නේ ද රාජ්‍යයේ ස්වරූපය, ආකෘතිය හා ඉලක්කයයි.

Thank Indika Dissanayake
1978 දී ලාංකික සමාජයේ සිදුවූයේ ඇත්ත වශයෙන්ම සිදුවිය යුතු සමාජ ප්‍රතිසංස්කරණයකි. එය 1815 දී ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය ලාංකික සමාජයේ ඇති කළ ප්‍රතිසංස්කරණයන් හා ඒකමතික වේ. එහෙත් ඉංග්‍රීසීන් මෙරට සමාජයේ රිද්මය තේරුම් නොගෙන කටයුතු කළ අයුරින්ම1978 ප්‍රතිසංස්කරණයන් මගින් ද මෙරට සමාජයේ රිද්මයට බලපෑම් කළේය. ඒ නිසා එය සමාජයේ ආකෘතියට මෙන්ම සමාජයක් පදනම් වන හර පද්ධතියට ද කළ බලපෑම බරපතල ය. 1978 සමාජ ප්‍රතිසංස්කරණයන් ධනේශ්වර ඉතිහාසයේ එතිහාසික ප්‍රගමනයේ ප්‍රතිඵලයකි. ඒ නිසා එය වැළැක්විය නොහැක්කක් වුවත් ලාංකික සමාජයේ ධනේශවර සංවර්ධනයේ ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතුව තිබූ ප්‍රතිසංස්කරණයක් බව නොරහසකි. කිසියම් හෝ හේතුවක් නිසා ලාංකික ධනේශ්වර පන්තිය 1978 ප්‍රතිසංස්කරණයන් හදුන්වා දුන්නේ එවැනි ප්‍රමිතියකින් නොවේ.ධනේශ්වර පන්ති කතිකාවකින් තොරව සිදු කළ ඒ ප්‍රතිසංස්කරණයන් නිසා ලාංකික සමාජයේ පවුරු පදනම් වලට සිදුවූ හානිය අති මහත් ය.

මේ හානියේ බරපතලම සාධකය වන්නේ සමාජයේ පන්ති ස්ථරයට සිදුවූ හානියයි. ඒ නිසා සම්ප්‍රදායි ධනපති හා පීඩිත පන්තිය ආකෘතිමව වෙනස් වී ඒවාට ලූම්පන් ස්වරූපයක් ලැබුණි. එසේම අතිවිශාල මධ්‍යම පන්තියක් ද නිර්මාණය වුණි. ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ අයහපත් බලපෑම නිසා බිහිවූ ලූම්පන් ස්ථරය මෙන්ම නව මධ්‍යම පන්තිය ද සමාජ සංවර්ධනයේ දී කිසියම්ම හෝ දායකත්වයක් දරන්නේ නැත. එහෙත් මෙම පන්ති ස්ථරයන් සමාජ ප්‍රගමනයට කරන්නා වූ හානිය බරපතලය. ප්‍රශ්නකාරී තත්ත්වයන් මැද වුවත් ලාංකික පාලක පන්තියේ ආධිපත්‍ය පැවතුණේ සම්ප්‍රදායි ධනේශ්වර පන්තිය මත වුවත් 2005 දී පාලක පන්තියේ ආධිපත්‍ය ලූම්පන් ධනේශ්වරයේ ආධිපත්‍යයට නතු වුණි. ඇත්ත වශයෙන්ම එය ලූම්පන් වෙළෙද අරමුණකින් යුත් ධනය ඇති පන්තියක් මිස ධනපති පන්තියක් නොවේ. ධනපති මුහුණකින් යුත් ශරීර හැඩරුවක් ඊට තියෙන්නට පුළුවන් වුවත් එහි මොළය ක්‍රියා කරන්නේ සම්භාව්‍ය ධනපති අර්ථයෙන් නොවේ. එය මුළුමනින්ම කොල්ලකාරී අරමුණු වලින් යුත් ස්වාර්ථයම ප්‍රාර්ථනා කරන්නා වූ අවස්ථාවාදී එකතුවකි.ලාංකික රාජ්‍යයේ බලය ධනපති පන්තියෙන් ගිලිහී ධනය ඇති මුත් කොල්ලකාරී අරමුණු වලින් යුත් පාදඩ ස්ථරයකට හිමිවීම එතිහාසිකව සිදුවූ බරපතල වැරද්දකි. මේ නිසා ධනේශ්වර සංවර්ධනයට කිසිම ප්‍රතිලාභයක් අත් වන්නේ නැත.

මේ තත්ත්වයට සමාන්තරව සමාජයේ ආධිපත්‍ය අතර මැදි ස්ථරයටත් ලූම්පන් පීඩිත පන්තියටත් නතුවීම රාජ්‍යයේ ස්වරූපය තවදුරටත් වෙනස් කිරීමට හේතු වුණි. ඒ නිසා පාලක පන්තියේ හැසිරීම් පාලිත පන්තියට බරපතල නොවූ අතර පාලිත පන්තියේ හැසිරීම පාලක පන්තියට බරපතල නොවුණි. පාලක හා පාලිත පන්තීන් දෙකෙහිම පන්ති ස්වරූපය වෙනස් වීම නිසා ඒ පන්තීන් දෙකම කටයුතු කළේ අවස්ථාවාදී කොල්ලකාරී අරමුණු වලින් මිස සමාජ වගකීමක් දරන්නා වූ බරපතල පන්ති අරමුණකින් නොවේ. ඒ නිසා ලාංකික පාලක පන්තිය මෙන්ම පාලිත පන්තිය ද කොයි ආකාරයේ විසුළු ආඛ්‍යානයන් දැක්වුවද ඒවා තවමත් බරපතල සංවේදී කාරණාවන් බවට පත්වී නොමැත.

මේ නිසා මර්වින් සිල්වාට මෙන්ම මිලින්ද මොරගොඩට ද ඇති තරම් විහිළු තහළු කරමින් තම පැවත්ම ස්ථාවර කර ගැනීමට සමාජ වලංගුභාවයක් ලැබී තිබේ. මර්වින්ගේ කටයුතු මෙන්ම මිලින්දගේ කටයුතු ද තවදුරටත් ලාංකික සමාජය බරපතලව ප්‍රශ්න කරන්නේ නැත. ඒ නිසා මේ දෙදෙනාම තමන් කරන්නා වූ කටයුතු සමාජ සංවර්ධනයේ ලා කිසිම දායකත්වයක් නොකළත් දිගටම ඒ කටයුතු කිරීමට පසුබට වන්නේ ද නැත. මේ දෙදෙනාම කටයුතු කරන්නේ තමන්ගේ හෘදය සාක්ෂියට එකගව වන්නට පුළුවන. දෙදෙනාම තමන්ගේ කටයුතු බරපතල යැයි විශ්වාස කරනවා ඇත. එහෙත් ධනේශ්වර අර්ථයෙන් මේ දෙදෙනාම “ප්‍රෙඩී සිල්වලා” මිස අනෙකෙක් නොවේ.

එහෙත් ධනය ඇති පන්තියත්, ලූම්පන් පීඩිත පන්තියත් හා අතර මැදි පන්තියත් මිලින්ද මොරගොඩ වටා එක් වෙමින් සිටීන්නට මේ මොහොතේ වැඩි ඉඩකඩක් පවතී. මේ පන්ති ස්ථරයන් සියල්ලටම ඇත්තේ කොල්ලකාරී වෙළෙද අරමුණු මිස අනෙකක් නොවේ. ඒ නිසා රාජ්‍යයේ බලය දරන පාලක පන්තිය හා එක්වීම හැර වෙනත් විකල්පයක් මේ ස්ථරයන්ට නොමැත. නමුත් ප්‍රතිවිරෝධාත්මක වූ ද උභතෝකෝටීකයක් වූ ද සමාජ තත්ත්වයන් මතු කරමින් ඊනියා සංවර්ධන අරමුණු ගැන මිලින්ද මොරගොඩ මේ මොහොතේ කරන්නා වූ ප්‍රකාශයන් ගැන සම්භාව්‍ය ධනපති පන්තිය තුළ සියුම් සිනහවක් මතු වී ඇති බව නොරහසකි.

එහෙත් රාජ්‍යයේ ආධිපත්‍ය තම පන්තියෙන් ගිලිහී ඇති නිසා ධනපති පන්තියට ඒ සිනහවෙන් ඔබ්බට කළ හැකි වෙනත් සමාජ කාර්යක් ඉතුරුවී නොතිබීම මේ මොහොතේ ලාංකික සමාජය මුහුණ දෙන බරපතලම ප්‍රශ්නයයි. ඒ අර්ථයෙන් රාජ්‍යයේ ආධිපත්‍ය නැවත සම්භාව්‍ය ධනපති පන්තිය නතු කර ගැනීමෙන් මෙහා වෙනත් විකල්ප විසදුමක් ඉතුරු වී නැත. ඒ දේශපාලන ප්‍රතිසංස්කරණයන් හුදු මුහුණු මාරුවකින් කළ හැක්කක් නොවේ. 1978 දී උඩු යටීකුරු කළ ආර්ථිකය නැවත මහ පොළොව මත සිටුවා තැබීමත් ඊට සමාන්තරව සමාජ සැකැස්ම යළි සකස් කිරීමත් වහා සිදුකිරීම ධනපති සමාජ ප්‍රගමනයේ අවශ්‍යම කාර්යයකි. ඒ සදහා අති විශාල සංවාදයක් අවශ්‍ය වන්නේ ය. මේ මොහොතේ දී ලාංකික ධනපති පන්තිය එක් රොක් විය යුත්තේ මිලින්ද මොරගොඩ වැනි දේශපාලනික විරූපීන් පරාජය කිරීමට පමණක් නොවේ. මේ දේශපාලනයේ පන්ති විරූපිය වෙනස් කිරීමට මේ මොහොතේ එක් රොක් වීම ධනපති පන්තිය මත පැටවී ඇති බරපතලම කාර්ය භාරයයි.

එවැනි දේශපාලන ප්‍රතිසංස්කරණයකින් තොරව මිලින්ද මොරගොඩලා පරාජය කිරීම අර්ථ විරහිතය.

කුකුල් පොර වාද, පිට කසා ගැනීම් හා ගිරියේ හයිය

Posted May 18, 2011 by bumuthurunu
Categories: Uncategorized

දයාසිරි ජයසේකරට අවසන් පිළිතුරක්

බුමුතුරුණු බ්ලොග් අඩවිය මා පවත්වාගෙන යන්නේ විනෝදයට නොවේ. මගේ කාන්සිය මකා ගන්නටවත් නොවේ. එසේම අභාවවාචක අත්දැකීම් නිසාවත් නොවේ. මා මහන්සි වී කළ අත්දැකීමක ප්‍රතිථලයන් තුළින් සමාජය විනිවිද දැකීම මගේ උත්සාහයයි. එවිට මට මුහුණදීමට වූයේ මිහිරි අත්දැකීම් වලට පමණක් නොවේ. රටෙන් මුළු බහුතරය යුද්ධය වෙනුවෙන් එක පෙළට පෙනී සිටීද්දී මා යුද විරෝධියෙක් වූයේ දේශපාලන ප්‍රශ්නයකට දේශපාලන විසදුමක්ම අවශ්‍ය බව තරයේ විශ්වාස කළ බැවිනි. ඒ නිසාම මට දහසකුත් එකක් කයි කතන්දර ඇසීමට ද මරණ තර්ජනයන්ට ඇහුන්කන් දීමට ද සිදුවුණි. එහෙත් මට ඒවා විෂය නොවූයේ මා දේශපාලකයකු නොවූ බැවිනි.

යුද කාලයේ දී සිදුවූ මානුෂික අයිතීන් කඩ කිරීම් ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධි දෑ සම්බන්ධයෙන් නිකුත් වූ දරුස්මාන් වාර්තාව ලාංකිකයන්ගේ හෘදය සාක්ෂිය නැවත කියවීමට දැරූ බලවත් උත්සාහයක් ලෙස හැදින්වුවහොත් එය වඩා නිවරුදිය. මේ වාර්තාව නිකුත්වීමත් සමග ලාංකීය දේශපාලනය අලුතින් ධ්‍රැවීකරණය වුණි. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ හැසිරීම විග්‍රහ කිරීමට මා ලියූ ලිපිය රාවය පුවත් පත පළ කර තිබුණි. ඒ නිසා එම ලිපියට වැඩි ප්‍රසිද්ධියක් ලැබුණි. කුරුණෑගල දිස්ත්‍රික් එ.ජා.ප මන්ත්‍රී දයාසිරි ජයසේකර වල්ගෙ ගිනි ගත් හනුමන්තා ලෙස මට පිළිතුරු දීමට ඉදිරියට ආවේ මෙම ලිපිය දැකීමෙනි. එහෙත් මා මතු කළ දේශපාලන කාරණාවන්ට පිළිතුරු දීමට වඩා දයාසිරිට අවශ්‍ය වූයේ මගේ ලිපියෙන් පාර්ශ්විකව මතු වූ හා මතුවේ යැයි ඔහු බලාපොරුත්තු වූ අදේශපාලනික කාරණා කිහිපයක් ඉදිරියට ඈදා ගනිමින් ඒ ඔස්සේ පිළිතුරු බැදීමටයි.

ඒ නිසා ඔහුගේ පිළිතුරු ලිපිය නිසා මගේ දේශපාලන කරුණු වලට යම් අගතියක් වුවද ඒවා නොතකා හැර දේශපාලනිකව වැදගත් වන කරුණු කිහිපයක් ඉදිරියට ගැනීමට මගේ පිළිතුරු ලිපියෙන් උත්සාහ ගත්තෙමි. එහෙත් දෙවැනි වරට ද දයාසිරි උත්සාහ ගෙන ඇත්තේ මා මතු කළ දේශපාලනික කාරණාවන් සංවාදයට ලක් කිරීමට වඩා ඔහුගේ පෞද්ගලික දේශපාලන ප්‍රතිරූපයට සුදු හුණු ගා ගැනීමටයි.2011.05.15 දින රාවයේ පළ වූ එම දෙවැනි පිළිතුරෙහි යුනිකොඩ් මෘදු පිටපත ගෙන්වා ගැනීමට දෙවරක්ම ඊ මේල් පණිවුඩ යැව්ව ද පිළිතුරක් නොලැබුණි. ඒ නිසා ඔහුගේ පිළිතුර මගේ බ්ලොග් අඩව්යේ පළ නොකර ඊට පිළිතුරු දීමට මට සිදුවී තිබේ.

මේ සංවාදය රූපවාහිනී චැනලයන්හි කුකුල් පොරයක් හෝ සිංහල පත්තර වල පිට කසා ගැනීමේ සම්මුඛ සාකච්ඡාවක් හෝ පාර්ලිමේන්තුවේ කරන්නා වූ ගිරියේ ශක්තිය පෙන්නුම් කරන වාදයක් හෝ වනවා දකින්නට මා කැමැති නැත. ඒ නිසා දයසිරිගේ පුද්ගලික දේශපාලන අවශ්‍යතා සමග තර්ක කිරීමට මට අවශ්‍ය නැත. මා මතු කළ දේශපාලන කරුණු මග හැර යෑමට දයාසිරි කොතෙක් ලොල් කරනවාදැයි කියනවානම් සටන් විරාමය බිද වැටීමට එක්සත් ජාතික පක්ෂය ද වගකිව යුතු යැයි මා කළ චෝදනාවට පවා මේ වනතුරු පිළිතුරක් දී නොමැත. ඔහුට අවශ්‍ය වූයේම තමන්ගේ පුද්ගලික දේශපාලන ජීවිතය සුදු පිරියම් කර ගැනීම පමණි. ඒ සදහා වැල්වටාරම් ද කරුණු විකෘති කිරීම් ද අසත්‍යයන් ද හිතළූන් ද බොළද තර්කයන් ද ඇති පදම් ගෙන එයි.

දයාසිරි ජයසේකර තබා වෙන කිසිම දේශපාලන චරිතයක් ගෝලීය ප්‍රග්ධනය ක්‍රියාත්මක යුගයක තීරණාත්මක සාධයක් වන්නේ නැත. අනෙකක් තබා ලාංකීය කොදෙව්වේ ඊනියා මහජන මතය ද දේශපාලනය තීරණය කිරීමේ ලා වැදගත් නොවේ. ඒ නිසා පුද්ගලික චරිත විවේචනය සමාජය කිසියම් හෝ ධනාත්මක කාර්යක් නොකරන බව මා මගේ පළමු ලිපියෙන්ම කීවෙමි. එහෙත් දයාසිරි සිතන්නේම මට අවශ්‍ය වී ඇත්තේ දයාසිරිගේ පුද්ගලික දේශපාලන ජීවිතයට හානි කිරීමට අවශ්‍ය බවකි. ගැරඩින්ට පහර දී පව් සිද්ධ කර ගැනීමට මා අකමැති බව ප්‍රකාශ කිරීමට වෙනත් ගෞරවනීය වචන මගේ ශබ්ද කෝෂයේ නොවීම ගැන මා කම්පා වෙමි. මගේ උත්සාහය එවැනි පටු අවශ්‍යතාවකට කොටු කිරීමට යම් දවසක විහිළුවට හෝ මට අවශ්‍ය වුව ද ඒ සදහා මා දයාසිරි ජයසේකරව තෝරා නොගන්නා බව ස්ථිරය. මන්ද දයාසිරි ජයසේකර මට අනුව සීරියස් චරිතයක් නොවන්නා බැවිනි.

ඒ නිසා තවදුරටත් දයසිරි හා කුකුල් පොර වාදයක කොටුවීමට මට අවශ්‍යතාවක් නොමැත. මා මතු කළ කිසිම දේශපාලන කරුණකට ඔහු ඝෘජු පිළිතුරක් ලබා දී නොමැත. ජාතිය ඉක්මවූ සිංහල බෞද්ධ නායකයකු තැනීම වැනි නිශ්ථල හරසුන් කතා කියමින් සිටීම හැර වෙනත් වැදගම්මකට ඇති යමක් ඔහු ප්‍රකාශ නොකරයි. ඒ අර්ථයෙන් තව දුරටත් ඔහු හා වාද කරමින් මගේ වටීනා කාලයත් රාවයේ වටීනා ඉඩකඩත් නාස්ති කිරීමට මට අවශ්‍ය නොවේ.

දයාසිරි ජයසේකරගෙන් පිළිතුරක්

Posted May 1, 2011 by bumuthurunu
Categories: Uncategorized

රාජපක්ෂ රෙජීමයේ බරවා කකුලට යූඑන්පියේ කර තැබීම මැයෙන් මා තැබූ බ්ලොග් සටහන 2011.04.24 දින රාවය පත්‍රය උපුටා දක්වා තිබුණි. ඒ අනුව එය දුටු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප) දයාසිරි ජයසේකර ඊට ලියූ පිළිතුරක් 2011.05.01 දින රාවයේ පළ කර තිබුණි එම පිළිතුරු ඔහු විසින් මෙම බ්ලොග් අඩවියට ද එවා තිබූ අතර එය මගේ පිළිතුර ද සමග මෙහි පළ කරන්නෙමි.

රාජපක්ෂ රෙජීමයේ බරවා කකුලට යුඑන්පියේ බර තැබීම යනුවෙන් bumuthurunu.wordpress.com බ්ලොග් අඩවියෙන් උපුටාගෙන මාගේ දේශපාලනය හා දේශපාලනයේ දී මා ගත් ක්‍රියාමාර්ගවලට පුද්ගලික චරිතානුරෝපණයකරමින් කරුණු හරි හැටි නොදැන රාවය 10 වන පිටුවේ පළවූ අදහස් පිළිබඳව අදහසක් පල කල යුතුයැයි අදහස් කරමි.2006 මා ඇතුළු දේශපාලන නායකයන් පිරිසක් විසින් පවත් වන ලද රැලියට මර්වින් සිල්වා ඇතුළු පිරිසක් පහර දීමේ සිට මෙම ලිපිය ආරම්භ වේ.

ඇත්ත වශයෙන්ම මෙම ලිපිය ලියු කවුරුන් හෝ පුද්ගලයා මේ රැලිය කුමක් ද මෙහි සටන් පාඨ මොනවාද, ඒ පිටුපස සිටි නායකයන් කවුද යන්නවත් හරි හැටි නොදැන තම හිතුමතයට මා කෙරෙහි ඇති කරගත් වයිර සහගත චේතනාවෙන් පෞද්ගලික චරිත ඝාතනයක් ලෙස මෙම කාරණා ඉස්මතු කරයි.මෙම සංවිධානය නිදහස් ජනතා ව්‍යාපාරය නමැති සංවිධානයයි.එහි මුලිකත්වය ගෙන ක්‍රියාකාරීව කටයුතු කලේ වෙන කවුරුවත් නොව එස්.බී.දිසානායක,සිරිතුංග ජයසුරිය,මනෝ ගනේෂන්,කුසල් පෙරේරා,ශිරාල් ලක්තිලක සහ තවත් වාමාංශික අදහස් දැරූ පිරිසකි.මෙහි නායකයන් දෙස බලු කල මෙම ලිපිය ලියන්නා විසින් චෝදනා කරනු ලබන කොළඹ කුල්ටුර් සමාජයට අයත් කිසිවකු මේ නම් සඳහන් කල ය අතුරෙන් සොයාගත හැකිද නොහැකිද යන්න ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි කාරණයකි.එම රැලිය යුද්ධයට එරෙහිව ගොඩනැගු රැළියක් නොව යුද ජයග්‍රහණයට පෙළ ගැසුණු ජනතාවගේ ආශිර්වාදයෙන් රට කරන රාජපක්ෂ ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය,මාධ්‍ය නිදහස සහ අනෙකුත් නිදහසේ අයිතීන් වල දමන යුගයක ඊට එරෙහිව පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සංවිධානය කරන ලද රැළියකි.එම රැලියේ අරමුණු වත් නොදැන එය යුද්ධයට එරෙහි රැළියක් ලෙස අර්ථ ගැන්වීම එම ලියුම්කරුගේ මුග්ධ භාවය පිළිබිඹු කරන්නකි.එම රැලිය ආරම්භ කිරීමට පෙර මර්වින් සිල්වා ඇතුළු පිරිසක් පැමිණ එම රැලිය සංවිධානය කරමින් සිටි පිරිසට පහර දී එය කඩාකප්පල් කර දැමීය.එම පහරදීම සිදුවන අවස්ථාව වන විට මා සිටියේ පාර්ලිමේන්තුවේ වන අතර පහර දුන් අවස්ථාවේ හිස් ලූ ලූ ඇත දිව යන්නට මා එතන නොසිටි බව විශේෂයෙන් සඳහන් කල යුතුය.මෙම පහරදීමෙන් පසුව ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගත යුතු බවට මුහුණ දුන් අය හට මා පෞද්ගලිකව ප්‍රකාශ කළ ද ඔවුන් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් නොවීම නිසා එයට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම අතහැර දමන්නට සිදු වූ බව මෙහි දී ප්‍රකාශ කල යුතුය.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර යුද්ධය පිළිබඳව මාගේ අදහස මේ ලියුම්කරු හුදෙක් රුපවාහිනී චැනලයක යන වචන දෙක තුනකින් තීරණය කිරීම ගැන කණගාටු වෙමි.මා පුවත්පත් සාකච්චාවක හෝ වෙනත් කාරණයක දී කියනු ලබන සියලු කාරණා සලකා නොබලමින් කරන මේ අවලාද උපහාසයෙන් යුතුව බැහැර කරමි.කිසි විටෙක මා එල්ටීටීඊ ත්‍රස්තවාදය මර්දනය කිරීම උදෙසා ශ්‍රී ලංකා රජය ගෙන ගිය සටනට එරෙහිව සටන් පාඨ ප්‍රකාශ කලේ නැත.දශක ගණනක් තිස්සේ සාම ක්‍රියාවලිය තුළ අසාර්ථක වී සිටි එල්ටීටීඊ ය විසින් කැදවාගනු ලැබූ මේ යුද්ධයේ දී එම යුද්ධය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් කරන්නේ ද වෙනත් කිසිවෙකු විසින් කරන්නේද යන්න නොව අපේ රටේ හමුදාවන් එල්ටීටීඊ ය පරාජය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග මම හැම විටම අගය කොට ඇත්තෙමි.එහෙත් එම යුධ වාතාවරණය තුලදී හිතා මතා කරන ලද මරා දැමීම්,අතුරුදහන් කිරීම් සහ මානුෂික අයිතීන් උල්ලංඝනය කිරීම් මෙන් ම යුද්ධය මුවාවෙන් දකුණේ සිවිල් සමාජ අයිතීන් මර්දනය කිරීම මා දැඩි ලෙස විවේචනය කල අතර එම අසාධාරණකම් වලට එරෙහිව පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් නොබියව කටයුතු කළෙමි.යුද්ධය වෙනුවෙන් ආණ්ඩුව කරන ලද සියලු ක්‍රියාකාරකම් කිසි විටෙක අන්ධානුකරණයෙන් යුතුව ආරක්ෂා නොකළෙමි.

යුද්ධය ජයග්‍රහණයත් සමග ජනාධිපතිවරයාටත් ත්‍රිවිධ හමුදාවන්ටත් මාගේ ගෞරවය පල කරමින් ශ්‍රී ලාංකිකයකු ලෙස හා රටට ආදරය කරන ජනතා නියෝජිතයෙකු ලෙස මා සුභාශින්ෂණ බැනරයක් ප්‍රදර්ශනය කිරීමේ දී කිසිවෙකු මට පහර නොදුන් අතර එහි ඇතිවූ සත්‍ය සිද්ධිය මේ මුළු ලිපිය පුරාම ලියුම්කරු කරුණු නොදැන කරන චෝදනා මෙන් ම අවලංගු චෝදනාවකි.

මා හට ලියුම්කරුට වැඩි හෘදය සාක්ෂියක් ඇති බව මා පැහැදිලිව ප්‍රකාශ කළ යුතුය.මෙගාස්ටාර් ගායන තරගාවලියට මගේ සහභාගී වීම දේශපාලනයේ දී දේශපාලනය කරන ජනතා නියෝජිතයෙකුට සුදුසු කාරණයක් නොවුනත් එම වැඩසටහන මුලාරම්භයේ දී ආණ්ඩුවේත් විපක්ෂයේත් ජනතා නියෝජිතයන් ගණනාවක් මේ සඳහා ඉදිරිපත් වන බව දැන්වීමෙන් අනතුරුව ඒ සඳහා ඉදිරිපත් වූ අතර රාවය පුවත්පතට ලියන කිහිප දෙනෙකු හැර කොළඹ කේන්ද්‍රීය සිවිල් නායකයන් කිසිවෙකු මගෙන් ඒ සඳහා ඉදිරිපත් නොවන ලෙස ඉල්ලීමක් කර හෝ විවේචනය කිරීමක් කර හෝ නැත.කලාව හා දේශපාලනය මා සලකන්නේ වෙනත් ආකාරයකට ය.ගුණදාස කපුගේ ජෙවීපීකරයෙකුයැ’යි කියා ධනපති දේශපාලන පක්ෂයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලෙස මා ඔහුගේ ගීත නොඅසා සිටින්නේ නැත.ගුණදාස කපුගේ මට විශිෂ්ට ගායකයෙකි.ජැක්සන් ඇන්තනී රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන කොන්ත්‍රාත් කරන්නෙකු ලෙස මා ඔහුට එකඟ නොවුණ ද ඔහුගේ නිර්මාණ,ඔහුගේ හැකියාවන් මම ඉතා අගයකොට සලකමි.සෝමරත්න දිසානායක මහින්ද ආණ්ඩුවට ගැතිකම් කරන්නෙකු ලෙස දේශපාලනමය වශයෙන් එකඟ නොවුණත් ඔහුගේ නිර්මාණවලට, ඔහුගේ කලා කටයුතු වලට මාගේ ගෞරවය දක්වමි.එබැවින් ලියුම්කරු කලාව හා දේශපාලනය තේරුම් ගන්නා ආකාරයෙන් මට එය තේරුම් ගන්නට සලස්වන්න ඔහුට අයිතියක් නැත.

එසේම කොළඹ සිවිල් සමාජයට උවමනා ලෙස හෝ වෙනත් කිසිවෙකුට උවමනා ලෙස එය කරන්නට ද මා සුදානම් නැත.මගේ දේශපාලනය හා කලාව පිළිබඳව මට ඇති අදහස නිදහස් මිනිසෙකු ලෙස මා හට පාවිච්චි කිරීමට අවකාශ තිබිය යුතුය.ඉන් ඇතිවන හොඳ හෝ නරක සඳහා මුහුණ දෙන්නට මට කොන්දක් සහ කශේරුකාවක් ලියුම්කරුට වඩා ඇති බව මෙහි දී සිහිපත් කළ යුතුය.

ජනමතය පිළිබඳව හෝ රටේ ප්‍රශ්න පිළිබඳව මාගේ අදහස් දැක්වීම ලියුම්කරුට මහා දැවැන්ත ප්‍රශ්නයක් බවට පත්වී තිබේ.මාගේ ක්‍රියාකාරිත්වය සමාජයට ධනාත්මක දායකත්වය ලබා දෙන්නේ නැද්ද යන්න මෙම ලියුම්කරුට පමණක් තීරණය කළ හැකි කාරණයක් නොවේ.කිසි විටෙක මාගේ කාර්යභාරය සමාජ ප්‍රගමනයට මිස සමාජ පසුගාමීත්වය සඳහා ලබා දී නොමැත.මේ මුළු ලිපියේම කරුණු නොදැන මා විවේචනය කර ඇති ලියුම්කරු එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වර්තමානයේ ඇතිවී ඇති ගැටළුවද එලෙස දකී.ඔහු ප්‍රකාශ කරන්නේ මා බෑන් කී මුන්ගේ කමිටු වාර්තාවට එරෙහිව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහාය දෙන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන්නට ඔවුන් කටයුතු කලහොත්ය යන කොන්දේසිය මත බවයි.මා විසින් කරනු ලබූ පුවත්පත් සාකච්චාවේ පුර්ණ විස්තරය හරි හැටි පුවත්පත් වලින් කියවුවා නම් මෙවැනි ගැටළු සහගත තත්වයකට ලියුම්කරු පත්වන්නේ නැත.රාත්‍රී කාලයේ ගෙදර ගොස් රුපවාහිනී චැනලයක යන තත්පර 10 ක 15 ක කතාවකට ඇහුම්කන් දෙමින් මුළු පුවත්පත් සාකච්චාවම හා මුළු අදහසම මෙය මේ යැයි උපකල්පනය කරමින් මා හට විරුද්ධව මෙලෙස චෝදනා කරන්නේ කාරණා හරිහමන් ලෙස අවබෝධ කර නොගත්තවුන් මිස කාරණා අවබෝධ කරගත්ත වුන් නොවේ.ඉතාම පැහැදිලි ලෙස මා ඒ පුවත්පත් සාකච්චාවේ දී ප්‍රකාශ කලේ අන්තර්ජාතික ප්‍රජාවෙන් එල්ලවන මෙම චෝදනා වලට රටක් ලෙස සියලු දෙනා එක්වී මුහුණ දිය යුතු බවත් මෙවැනි කාරණා වලට හේතු සාධක වී තිබෙන්නේ රට අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව හිමිකම් උල්ලංඝනය කිරීම්,දුෂණ,වංචා,මාධ්‍ය මර්දනය ,ජාතික අර්බුධයට රාජ්‍යයන් හා එකඟවූ විසඳුම් ලබා නොදීම වැනි කාරණා මත පදනම් වූ කාරණා නිසා බවත් එක්ව ක්‍රියාකරන්නට අවශ්‍ය නම් ඒ සඳහා රට තුළ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ඇති කර 17 ආණ්ඩුක්‍රම සංශෝධන පණගැන්වීම ආදිය කළ යුතු බව මුලික කාරණා ලෙස මම එහි දී සඳහන් කළෙමි.මේ සඳහා ආරම්භයක් ලෙස යුද්ධයේ වීරයා වූ දැනට දේශපාලන සිරකරුවකු ලෙස සිරගෙයි ගතකරන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම ආරම්භක පියවරක් ලෙස වැදගත් වන්නේයැ ‘යි මම ප්‍රකාශ කළෙමි.ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කිරීම කොන්දේසියක් කර ගනිමින් ලෝකය ඉදිරියේ අසරණ වී ඇති රාජපක්ෂ ආණ්ඩුව රැක ගැනීමට කිසිදු අවස්ථාවක මා පුවත්පත් සාකච්චා පැවැත්වුයේ නැති බව මෙම ලියුම්කරුට හරි හමන් ලෙස මෙම පුවත්පත් සාකච්චාවේ කරුණු කියවා බලන්නේ නම් තෝරා ගත හැකියැ’යි විශ්වාස කරමි.සතුරා සමග හෙට්ටු කිරීම මගින් සතුරාට මුහුණ දීමේ මෝඩ තකතීරු අදහස් තුළ කිසි දිනක මා සිට නැත.

මෙම ගැටළුවේදී අපි ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වී ඇති අභියෝගයන්ට මුහුණ දිය යුතු වන්නෙමු.දේශපාලනමය වශයෙන් තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු මේ රටට අවශ්‍ය වන්නේ නැත.එහෙත් රටේ සියලු ජනතාවට පිළිගත හැකි සිංහල,දෙමළ,මුස්ලිම් ඇතුළු සියලු ජාතීන් වෙනුවෙන් පෙනී සිටින සිංහල බෞද්ධ නායකයෙකු රටට අවශ්‍ය වී තිබේ.එබැවින් ලියුම්කරු විවිධ කාරණා පිළිබඳව මා සමඟ වාද කරන්නට සුදානම් නම් මා පිළිබඳව ඔහුගේ ඇති කියවීම මීට වඩා වෙනස් වනු ඇතැ’යි මම විශ්වාස කරමි.හුදෙක් ජනප්‍රිය මතවාද හෝ කාරණා මත පදනම්ව දේශපාලනය කරන්නෙකු ලෙස නොව සමාජ මතවාදයන් රට ගෙන යා යුතු නියම ගමන් මාර්ගය කුමක් ද යන්න හරිහැටි අවබෝධයකින් යුක්තව ක්‍රියා කරන්නට මා සැමදා කැපවී කටයුතු කරන බව පමණක් මෙහි දී අදාළ ලියුම්කරුට මතක් කර දිය යුතුය.

~දයාසිරි ජයසේකර~

බිත්තරත් නොබිද ඔම්ලට් කෑම

දයාසිරි වරෙක පුංච් තිරයේ සිහින කුමරාය. තවත් වරෙක සීරියස් දේශපාලනය ගැන කෙස් පැලෙන තර්ක ගෙන එන විද්වතෙකි. ඊ ලගට ආණ්ඩු විරෝධි ගිනි කෙළි පත්තු කරන්නා වූ දේශපාලන වීරයෙකි. ඒ අර්ථයෙන් දයාසිරි ජයසේකර යනු මේ යුගයේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන්නා වූ දේශපාලන චරිතයකි.

එහෙව් විදග්ධ චරිතයකට බුමුතුරුණු නම් බ්ලොගයක් ලියන්නා වූ අයෙකු කැට කැබලිත්තකින් ගැසීම මොන තරම් වෙනසක් සිදුකර තිබේ ද?

මගේ ලිපියෙන් මතු කරන්නා වූ දේශපාලන ප්‍රශ්න කිරීමට අඩු තක්සේරුවක් ලබාදෙමින් ඔහු වැඩි උත්සාහයක් ගෙන ඇත්තේ තමන්ගේ විවිධ වූ දේශපාලන ආඛ්‍යානයන්ට සමාජ වලංගුභාවයක් ලබා ගැනීමටයි. ඒ නිසා දයාසිරිට වරෙක අසත්‍ය ප්‍රකාශයන් ද වරෙක අර්ධ අසත්‍ය ප්‍රකාශයන් ද කිරීමට සිදුවී තිබේ. ඒ අනුව දයාසිරි තම පිළිතුරු ලිපිය පුරා කරන්නා වූ නන්දෙඩවීම් වලට පිළිතුරු සැපයීමට උත්සාහ කිරීම අර්ථ විරහිත ක්‍රියාවකි. එහෙත් අවශ්‍යයෙන්ම ඒම ප්‍රකාශයන් මෙහිදී උධෘතයන් ලෙස ගෙන හැර දක්වන්නේ පාඨකයන්ට සත්‍ය කුමක්දැයි තේරුම් ගැනීමටයි.

1. නුගේගොඩ දී 2008 (මුල් ලිපියේ දී 2006 දී යැයි සදහන් කළ ද ඒ 2008 දී යැයි කුසල් පෙරේරා විසින් මා නිවරුදි කර තිබේ) පැවැත්වීමට නියමිතව තිබූ රුළිය යුද්ධයට එරෙහි රුළියක් නොවේ.

2. යුධ ජයග්‍රහණයෙන් පසුව ජනාධිපතිවරයාට සුභාශිංසන බැනයක් එල්ලීමට ගියවිට කිසිවකු දයාසිරි ජයසේකරට පහර දුන්නේ නැත.

3. මර්වින් සිල්වාගේ විනිශ්චයට ලක් වූ ස්වර්ණවාහිනීයේ මෙගාස්ටාර් තරගයෙන් ඉවත්වන ලෙස කොළඹ කේන්ද්‍රීය සිවිල් නායකයන් කිසිවෙක් දයාසිරි ජයසේකරගෙන් ඉල්ලීමක් කර නොතිබුණි.

මේ යුගය තුළ දී කිසිවෙක් සීරියස් චරිත වන්නේ නොමැති බව තේරුම් ගැනීමට හොදම නිදර්ශනය වන්නේ දයාසිරිගේ මෙම ප්‍රකාශයන් ය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ගිය දයාසිරිට මර්දනය කැදවා දුන් මර්වින් සිල්වාම තවත් තැනක දී විශිෂ්ඨ කලා විචාරකයෙකි. දයාසිරි ජයසේකරට අනුව කලාව දේශපාලනයෙන් වෙන් කර හදුනා ගැනීමට ද ඔහුට සුවිශේෂී වූ හැකියාවක් තිබේ. අනේ දයාසිරි මහත්තයෝ ඔය තමුන්නාන්සේගේ අපිරිමිත හැකියාවක් නොවේ. ඔය තමුන්නාන්සේගේ තක්කඩිකම මිස වෙනකක් නොවේ.

දයාසිරි ජයසේකර අර්බූදයට යන්නේ පුද්ගලිකව පමණක් නොවේ. දේශපාලනිකව ද දයාසිරි ගමන් කරන්නේ පතුලක් නොපෙනෙන අගාධයකටයි. එය අවබෝධ කර ගැනීමට දයාසිරි තම පිළිතුරු ලිපියේ සදහන් කර ඇති අදහස් දෙකක් පමණක් වුවද ප්‍රමාණවත් ය. ඒ අනුව දයාසිරිගේ දේශපාලන ආස්ථානය කෙතරම් වූ පරස්පරතා ඇති කරන්නක්දැයි තේරුම් ගත හැකිය.

ඔහු මෙසේ පවසයි.

“දශක ගණනක් තිස්සේ සාම ක්‍රියාවලිය තුළ අසාර්ථක වී සිටි එල්ටීටීඊ ය විසින් කැදවාගනු ලැබූ මේ යුද්ධයේ දී එම යුද්ධය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් කරන්නේ ද වෙනත් කිසිවෙකු විසින් කරන්නේද යන්න නොව අපේ රටේ හමුදාවන් එල්ටීටීඊ ය පරාජය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග මම හැම විටම අගය කොට ඇත්තෙමි.එහෙත් එම යුධ වාතාවරණය තුලදී හිතා මතා කරන ලද මරා දැමීම්,අතුරුදහන් කිරීම් සහ මානුෂික අයිතීන් උල්ලංඝනය කිරීම් මෙන් ම යුද්ධය මුවාවෙන් දකුණේ සිවිල් සමාජ අයිතීන් මර්දනය කිරීම මා දැඩි ලෙස විවේචනය කල අතර එම අසාධාරණකම් වලට එරෙහිව පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් නොබියව කටයුතු කළෙමි.”

දයාසිරිට යුද්ධයත් අවශ්‍යය. එහෙත් මරා දැමීම්, අතුරුදහන් කිරීම්, මානුෂික අයිතීන් උල්ලංඝනය කිරීම් හා දකුණේ සිවිල් සමාජ අයිතීන් උල්ලංඝනය කිරීම් ද ඉවසිය නොහැක. දයාසිරිගේ මේ අදහස් මොනතරම් විහිළුවක් ද? දයාසිරිට ඔම්ලට් කන්නත් අවශ්‍යය. බිත්තර බිදෙනවා දකින්නටත් නොහැකිය. මරා දැමීම්, අතුරුදහන් කිරීම්, මානුෂික අයිතීන් උල්ලංඝනය කිරීම් හා සිවිල් සමාජ අයිතීන් උල්ලංඝනය කිරීම් සිදුනොවන්නා වූ යුද්ධය ඇත්තේ කොහේද? 88/89 කාලයේ දී ජ.වි.පෙ අරගලය එජාප ආණ්ඩුව විසින් මර්දනය කළේත් එවැනි ධාර්මික යුදධයකින් ද?

දයාසිරි මෙසේත් පවසයි.

“දේශපාලනමය වශයෙන් තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු මේ රටට අවශ්‍ය වන්නේ නැත.එහෙත් රටේ සියලු ජනතාවට පිළිගත හැකි සිංහල,දෙමළ,මුස්ලිම් ඇතුළු සියලු ජාතීන් වෙනුවෙන් පෙනී සිටින සිංහල බෞද්ධ නායකයෙකු රටට අවශ්‍ය වී තිබේ.”

මේ ඔබ සටන් කරන්නේ යුඑන්පී මහින්ද රාජපක්ෂ කෙනෙකු බිහිකර ගැනීමට මිස වෙනකකට නොවේ. මහින්ද රාජපක්ෂගේ සිංහල බෞද්ධ නායකත්වයට අලගු තැබීමටවත් රනිල් වික්‍රමසිංහට හෝ සජිත් ප්‍රේමදාසට හෝ නොහැක. එසේ කළ හැකි වුවත් රට ඉල්ලා සිටීන්නේ එවැනි නායකත්වයක් හෝ සිංහල බෞද්ධ මතවාදයක් කර පින්නා ගත් දේශපාලන ව්‍යාපාරයක් හෝ නොවේ. එක් අතකින් සිංහල බෞද්ධ නායකයකුම ඔබ ඉල්ලා සිටීම ඔබේ වර්ගවාදී දේශපාලන මතවාදයේ හා ජනතා ඉල්ලුමක් සහිත පසුගාමී අවශ්‍යතා තෘප්ත කරන්නා වූ ප්‍රතිපත්තියේ ප්‍රතිථලයකි. අනෙක් අතින් සිංහල බෞද්ධ මතවාදයක් කර පින්නා ගත් නායකයෙක් සිංහල.දෙමළ, මුස්ලිම් යන සියළු ජාතීන් වෙනුවෙන් පෙනී සිටීම යන්නත් විහිළුවකි. ජාතිකත්වය ඉක්මවා නොසිතන්නෙකුට සියළු ජාතීන් වෙනුවෙන් පෙනී සිටීය නොහැක.

ඉන්දීය සමාජයේ නායකත්වයට පත්වන්නේ හින්දූන් පමණක් නොවේ. සීක්වරු පවා සමස්ත භාරතයට නායකත්වය ලබාදෙන්නේ ඔහුන් තම ජාතිකත්වය ඉක්මවා තම ආකල්ප ගොඩ නගා ගෙන ඇති බැවිනි. ඒ මට්ටමට ශ්‍රී ලංකාවේ සමාජය තවමත් පත්ව නැති බව ඇත්තකි. එහෙත් ඒ තත්ත්වය ශ්‍රී ලංකාවේ ද ගොඩනැගිය යුතුව තිබේ. නමුත් දයාසිරි ජයසේකර උත්සාහ ගන්නේ ඒ අසීරු එහෙත් කළ යුතු කාර්ය සදහා නොවේ. පසුගාමී සමාජයේ ඉල්ලුමක් සහිත දේශපාලන අවශ්‍යතාවන්ට සැපයුම ලබාදී සම්ප්‍රදායී දේශපාලනයක් කිරීමටයි. එය අවස්ථාවාදීකම හැරෙන්නට වෙන අන්දමකින් අර්ථ දක්වන්නේ කෙසේදැයි මම නොදනිමි.

දරුස්මාන් වාර්තාව – අරුණෝදයට ප්‍රවේශයක්

Posted April 27, 2011 by bumuthurunu
Categories: Uncategorized

පසුගිය සති අන්තය මා ගත කළේ කොළඹින් බැහැරව වයඹ පළාතේ ය. දේශපාලනික වශයෙන් කොළඹ තිබූ උණුසුම ඒ ගම්බද දකින්නට නොලැබුණි. එහෙත් නැවත කොළඹ කරා එන ගමනේ දී දකින්නට ලැබුණේ වෙනස් වූ අත්දැකීමකට ය. රාජපක්ෂ රෙජීමයේ ප්‍රාදේශීය දේශපාලකයකු විසින් මෙහේය වූ කිහිපදෙනෙක් නිට්ටඹුව බස් නැවතුම් පළ අසල ඝෝෂා නගමින් සිටීයහ. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කැදවා තිබූ වාර්තාවට එරෙහිව පෙත්සමකට අත්සන් එකතු කිරීමටයි. ඒ අන්දමේම වූ පෙත්සමකට අත්සන් එකතු කිරීමක් පිටකොටුව පෞද්ගලික බස් රථ නැවතුම් පළේ ද සිදුකරමින් තිබෙන අයුරු දකින්නට ලැබුණි.

මේ අවස්ථා දෙකෙහිම දී ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඝෝෂා නගමින් ආමන්ත්‍රණය කරමින් සිටීයේ ප්‍රාථමික වූ ආවේගාත්මක හැගීම් වලට මිස බුද්ධියට නොවේ. මේ දිනවල රාජපක්ෂ රෙජීමයේ කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම රෙජීමයේ සෑම පරපුට්ටෙක්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවට එරෙහිව ආමන්ත්‍රණය කරන්නේ ඒ අන්දමින් ජනමනසේ ළාමක ආවේගයන්ට පමණි. ශ්‍රී ලංකා රාජ්‍යය සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ මතවාදී ග්‍රහණයට ලක්ව පවතින නිසාත් ඒ මතවාදයේ පෝෂක සමාජ තීරුව වන්නේ අතර මැදි පන්තිය නිසාත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට බුද්ධිමය ප්‍රවේශයක් නොමැති වීම අහම්භයක් නොවේ.

රාජ්‍යයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ ආචාර්ය දයාන් ජයතිලක, මහාචාර්ය රජීව විජේසිංහ හා වෙනත් අල්ප වූ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් හැරෙන්නට රාජපක්ෂ රෙජීමය වටා සිටීන්නා වූ මහාචාර්ය, ආචාර්ය හා වෙනත් නාමධාරීන් බහුතරය අතර මැදි පන්තියේ සිවිල් චරිතයන් බැවින් ඔවුන්ට රාජතාන්ත්‍රික හැසිරීම් තේරුම් ගැනීමට නොහැකිවීම පන්තිමය දුර්වලතාවක් ලෙස හදුනා ගත හැකිය. ඒ නිසා රාජතාන්ත්‍රික හැසිරීමකින් ගැටළුව දෙස බලන්නා වූ බුද්ධිමතුන් මේ අවස්ථාවේ මුහුණ දෙන්නේ බරපතල දුෂ්කරතාවන්ට ය. එහෙත් ඔවුහු උත්ගත වෙමින් තිබූ තත්ත්වයට මුහුණ දීමට දැරූ උත්සාහය ප්‍රශස්තය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මෙම කමිටු වාර්තාව කැදවූ සැනෙන් ජීවිත පරිත්‍යාගයෙන් එය වැළක්වීමට සමහරු උත්සාහ දැරුවත් රෙජීමයේ අල්ප වූ බුද්ධිමත්හු ඒ සම්බන්ධයෙන් සංවාදශීලී ගනුදෙනුවකට පෙළඹුණි. කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණ කරුණු සොයා බැලීමට ප්‍රායෝගික ප්‍රවේශයක් නොතිබුණත් ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයාත් කමිටු සාමාජිකයනුත් හමුවී මේ සම්බන්ධයෙන් ධනාත්මක වූ ප්‍රවේශයක් සදහා ප්‍රශංසාත්මක ආකල්පයක රුදී සිටීයහ. ඒ නිසා රාජපක්ෂ රෙජීමයේ පරපුට්ටන් අද කුමක් පැවසුවත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ උත්සාහය වලංගු රාජතාන්ත්‍රික ක්‍රියාවක් බව රාජ්‍යය විසින්ම තහවුරු කර තිබේ.

ශවේන්ද්‍ර සිල්වා බැංකි මූන් හමුවී

යම් රටක අභ්‍යන්තර කටයුතු සොයා බලා ඊට මැදිහත්වීම ආක්‍රමණකාරී ක්‍රියාවකි. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ස්වාධින භූමිකාවක් නොමැති බව අතීතය ඔප්පු කර තිබේ. එහෙත් ගෝලීයකරණය විසින් ප්‍රපංචයන්ගේ අතීත කෝෂාර්ථයන්ට ලබා දී ඇත්තේ නව අර්ථකථනයන් ය. විශේෂයෙන්ම පරිධියේ රටවල ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාව හා රාජ්‍යයේ ඒකීයත්වය අලුත් අර්ථයකින් විග්‍රහ කිරීමට බල කෙරී තිබේ.රාජපක්ෂ රෙජීමය කොතෙක් අකමැති වුවද එය කොතෙක් අසාධාරණ වුවද යුද්ධයේ අවසන් කාලයේ දී ශ්‍රී ලංකාවේ සිදුවූ දෑ සම්බන්ධයෙන් වාර්තාවක් කැදවීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට හැකිවී ඇත්තේ එබැවිනි. ගෙවුම් ශේෂ හිගය පියවා ගැනීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ පිහිට පතන දුප්පත් රටක් වන ශ්‍රී ලංකාව “උඹ උඹේ වැඩක් බලාගෙන ඉදපං” යැයි බටහිර රටවලට කරන්නා වූ තර්ජනය විහිළුවක් වන්නේ එබැවිනි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කැදවා ඇති වාර්තාව අනුව චෝදනා නගා ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව පමණක් නොවේ. එල්ටීටීඊ සංවිධානයට එරෙහිවත් මෙම වාර්තාවෙන් බරපතල චෝදනා එල්ල වී තිබේ. ශ්‍රී ලංකා රාජ්‍යයට පමණක් නොව එල්ටීටීඊ සංවිධානයට එරෙහිව ද චෝදනා එල්ල කරන මෙම වාර්තාවට රාජපක්ෂ රෙජීමය විරුද්ධ ය. එසේම ශ්‍රී ලංකා රාජ්‍යයට පමණක් නොව එල්ටීටීඊ සංවිධානයට ද චෝදනා එල්ල කරන මෙම වාර්තාවට දෙමළ ජාතික සංධානය පක්ෂය. ඒ අනුව මෙම වාර්තාව ශ්‍රී ලංකාවේ දේශපාලනය අලුත් අර්ථයකින් ධ්‍රැවීකරණය කරන්නකි.

රාජපක්ෂ රෙජීමයේ පරපුට්ටන් මහත් ආශ්වාදනීය අභිමානයකින් ප්‍රකාශ කරන්නේ ත්‍රස්තවාදයට යළි හිස එසවීමට නොහැකි වන පරිදි එය මර්දනය කළ බවකි. ඒ නිසා පවත්වන්නා වූ සෑම මැතිවරණයකින්ම රාජපක්ෂ රෙජීමය අත්කර ගත්තේ විශිෂ්ට ජයග්‍රහණයකි.මෙතෙක් දේශීයව ලැබූ ඒ ජයග්‍රහණය තවදුරටත් අන්තර් ජාතික මට්ටමෙන් නම් ලබා ගැනීම දුෂ්කර එකක් බව නො අනුමානය. එහෙත් ගෝලීයකරණය යථාර්තයක් වී ඇති බැවින් ජාත්‍යන්තරයෙන් බැහැරව ශ්‍රී ලංකා රාජ්‍යයට පැවත්මක් ඇතැයි යමෙක් සිතන්නේ නම් එය බරපතල හාස්‍යයක් ඇති කරන්නා වූ විහිළුවකි. ශ්‍රී ලංකාව තම මිතුරන් හා එක්ව බටහිර රටවල අභියෝගයට මුහුණ දීමට උත්සාහ කිරීම ද රාජ්‍යතාන්ත්‍රිකව බැලූ විට අතුරේ යෑමකි.

දරුස්මාන් කමි‍ටුව බැංකි මූන් සමග

ශ්‍රී ලංකා රාජ්‍යය තවදුරටත් නොබැදි ස්ථාවරයේ නොපවතී. ඒ තබා අසල්වැසි ඉන්දියාව සමග හෝ සතුටුදායක සම්බන්ධතාවක් නොපවත්වයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අතීතයේ මෙන් පරමාදර්ශී වූවක් නොව උපයෝගීතාව මත පදනම් වූවකි. මේ ප්‍රතිපත්තිය සමහර විට ගෝලීයකරණයේ තවත් බලහත්කාරී තෙරපුමක් විය හැකිය. අද වනවිට ලෝකයේ ප්‍රබල රටවල් කිහිපයක්ම තම විදේශ ප්‍රතිපත්තිය පදනම් කරගෙන ඇත්තේ උපයෝගීතාව මතය. මියන්මාර රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් චීනය පෙනී සිටීන්නේත් ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂාවට රුසියාව පෙනී සින්නේත් ඒ අර්ථයෙනි. එහෙත් යම් තීරණාත්මක අවස්ථාවක දී උපයෝගිතාවේ මිතුරු බැදීම් බිද වැටෙන බව සුඩානය සම්බන්ධයෙන් වෙනස් වූ චීන ස්ථාවරයෙන් ද ඉරානය සම්බන්ධයෙන් වෙනස් වූ රුසියානු ස්ථාවරයෙන් ද පැහැදිලි වේ. ලෝකයේ විවිධ රටවල පවත්නා විදේශ ප්‍රතිපත්තින් අධ්‍යනය කළ විට පැහැදිලි වන්නේ උපයෝගීතාව මත පදනම් වූ මිතුරු බැදීම් බිද වැටීම කාලය පිළිබද ගැටළුවක් පමණක් බවකි.

දරුස්මාන් වාර්තාවෙහි කුමක් අඩංගු වුවද එමගින් ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව දඩුවම්කාරී පියවරක් ගත නොහැක. එක්සත් ජාතීන් එමගින් උත්සාහ දරා ඇත්තේ පශ්චාත් යුද සමාජයේ ගැටළු කළමනාකරණය කර ගැනීම ඉක්මන් හා විධිමත් කිරීම සදහා යම් පෙළඹුමක් ඇති කිරීමයි. ඒ නිසා ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව ඉල්ල වී ඇති අභියෝගය ජය ගත යුත්තේ අභියෝගකරුවන් සමග සංවාදශීලී ගනුදෙනුවක් ආරම්භ කිරීමෙනි. ඒ සදහා හොදම ප්‍රවේශයක් දරුස්මාන් කමිටු වාර්තාව විසින්ම ලබා දී තිබේ. රාජපක්ෂ රෙජීමයේ පරපුට්ටන් කුමක් කීවද මෙම කමිටු වාර්තාව යුද්ධයේ පාර්ශ්වකරුවන් දෙදෙනාටම චෝදනා එල්ල කරන්නකි. එහෙත් එමගින් වැඩි උත්සාහයක් දරා ඇත්තේ පශ්චාත් යුද සමාජයේ ගැටළු කළමනාකරණය කර ගැනීමටයි. ඒ සදහා දරා ඇත්තේ සංවර්ධනාත්මක හා නිර්මාණාත්මක වූ ප්‍රවේශයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන එවන් ප්‍රවේශයක් මේ සම්බන්ධයෙන් ඇති කර ගත යුතු සංවාදයේ පදනම කර ගන්නේ නම් එය පාර්ශ්වයන් දෙකකින් ශ්‍රී ලංකාවට වැදගත් වන්නා වූ ආරම්භයකි.

පශ්චාත් යුද සමාජය කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍යය තවමත් සිටීන්නේ නොමේරූ අවදියකය. ගෝලීය ප්‍රාග්ධනය උතුර නැගෙනහිර ප්‍රදේශ පුරා විසිරුවා හැරීම පශ්චාත් යුද කළමනාකරණය ලෙස අර්ථ දැක්විය නොහැක. විරසක වූ ජාතීන් දෙකක ජනයා ශක්තිමත්ව බැද තැබීමත් රාජ්‍යයේ ආධිපත්‍යය දෙමළ ජනයා විසින් ස්වයංව පිළිගෙන ඊට ගරු කිරීමත් එවන් වැඩපිළිවෙළක මූලික ඉලක්කයන් විය යුතුය. එය රාජ්‍යයේ ශක්තිමත්භාවයට පමණක් නොව රාජ්‍යය කෙරෙහි ජාත්‍යන්තර සමාජය දක්වන්නා වූ හොද හිත ගොඩ නැංවීමට ද බලපායි. විෂයානු බද්ධ සිදුවීම් වල පෙළ ගැස්මක ප්‍රතිථලයක් ලෙස කුරිරු යුද්ධයකට මුහුණ දීමට සිදුවූ බව ප්‍රකාශ කරමින් ඒ අමිහිරි අතීතය නැවත මතු නොවන පරිදි සමාජයේ බලවේගයන් කළමනාකරණය කර ගැනීමට තමන්ගේ ඇති සූදානම පෙන්වීමට ශ්‍රී ලංකා රාජ්‍යයට මෙය කදිම අවස්ථාවකි.
ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය දරන්නා වූ පමණින් රාජපක්ෂ රෙජීමයට පමණක් මෙම අභියෝගයෙන් ජය ගත නොහැක. ඒ සදහා අවශ්‍යයෙන්ම විපක්ෂයේ සියළු පක්ෂයන්ගේ පොදු දායකත්වය අවශ්‍ය වේ. එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ද දෙමළ ජාතික සංධානයේ ද සහාය මත පමණක් අභියෝගය ජය ගැනීම සදහා වූ සංවාදය ගොඩනැංවිය හැකිය. මෙය සුව පහසු කටයුත්තක් නොවුනත් එය අත්‍යවශ්‍ය වන්නා වූ සංවාදයකි. ශ්‍රී ලංකා රාජ්‍යයේ මතවාදී හැඩ තලයන් වෙනස් කර ගනිමින් පරිපූර්ණ රාජ්‍යයක අර්ථයෙන් ව්‍යහාත්මක ප්‍රතිසංස්කරණයකට යෑම සදහා දරුස්මාන් වාර්තාව යොදා ගන්නේ නම් එය මේ යුගයේ ශ්‍රී ලංකාව ලැබූ ලොකුම ජයග්‍රහණය වනවා නො අනුමානය.

රාජපක්ෂ රෙජීමයේ බරවා කකුලට යූඑන්පියේ කර තැබීම

Posted April 20, 2011 by bumuthurunu
Categories: Uncategorized


මූන් – මහින්ද – විමල්

ඒ ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම සදහා රාජපක්ෂ රෙජීමයට තිබූ නොතිත් ආශාව මත යුද්ධය ආරම්භ කර තිබූ මුල් අවධියයි. යුද්ධය සදහා ජන වරමක් නොතිබුණ ද ලාංකීය සමාජය රාජපක්ෂයන් හා එක පෙළට සිටගෙන සිටියහ. එහෙත් අතරින් පතර හෝ රුධිර වැගිරීමකට එරෙහිව කැට කැබිලිත්තක් විසි නොවුණාම නොවේ. කොළඹ කුල්ටූර් සමාජයේ සිවිල් නායකයන් කිහිපදෙනෙකු යුද්ධයට හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් කප්පාදුවට එරෙහිව නුගේගොඩ දී රුළියක් සංවිධානය කළේ එබැවිනි. කාලවකවානු අනුව නම් ඒ 2006 දී පමණ වන අතර එම රුස්වීමේ තේමාව අනුව නම් යුද්ධයට එරෙහි වූවකි.

එහෙත් රට එක් සේසත් කරන්නට යන මොහොතක මොන ප්‍රජාතන්ත්‍රවාදයක් ද? දුටුගැමුණු පරම්පාවේ ද සිල්වා තම සේනාව සමග පැමිණ මුළු නුගේගොඩම තම අණසකට ගත්තේ රුළිය ආරම්භවීමටත් කලින්ම ය. රුස්වීම් සංවිධායකයෝ හිස් ලූ ලූ අත දිව ගොස් ජීවිතය බේරා ගත්හ. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර ද වූ අතර කිසිම දේශපාලන විරෝධයකින් තොරව මර්වින් සිල්වාගේ මැර ප්‍රහාරය භාර ගනිමින් පසු බා යෑමට ඔහුට සිදුවුණි.


එක්සත් ජාතීන්ගේ (හිස් පු‍ටු) සමුළුව අමතන ශ්‍රී ලංකා ජනාධිපති

අන්තිමේ දී රාජපක්ෂ රෙජීමය මුළු රටම එක් සේසත් කළේය. ලෙයින් හා යකඩයෙන් එහි මිල නියම වී තිබුණ ද ලාංකික කොදෙව්වාසීන්ට ශිෂ්ඨත්වයේ යහ ගුණ වැදගත් නොවේ. මුළු රටම කිරි බත් කමින් ප්‍රීතිවෙමින් සිටින විට දයාසිරි ජයසේකරට පමණක් නිහඩව සිටීමට නොහැකි වුණි. 2006 දී යුද්ධයට එරෙහි වුණ ඔහු 2009 දී යුද්ධය දිනා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂට සුභාශිංසනය කිරීමට පෙරට ආවේය. එහෙත් සිදුවූයේ අභග්ගයකි. රට එක්සේසත් කිරීමේ දී ඊට විරුද්ධ වූ දහසකුත් එකක් කට වාචාලකම් කියූ දයාසිරි ජයසේකර යුධ ජය ලැබූ පසුව ජනාධිපතිවරයාට සුභාශිංසන පුද කිරීමට පෙරට ඒම ඒ ජනාධිපතිවරයාගේ ප්‍රාදේශීය අනුගාමිකයන්ගේ පිළිකුලට හා විරෝධයට ලක්වීම අහම්භයක් නොවේ. සුභාශිංසන පිදීමට බැනරයක් එල්ලීමට ආ දයාසිරි ජයසේකරට ඔවුහු වට කර පහර දී කෝපය නිවා ගත්හ. දයාසිරිට රෝහල් ගතවීමට සිදුවූ අතර රූපවාහිනී කැමරා හමුවේ තම දුක කීවේ කදුළු සලමිනි.

දයාසිරි ජයසේකරගේ විළි ලැජ්ජා නැති හෘදය සාක්ෂිය එතැනින් නොනැවතුණි. ස්වර්ණවාහිනී නාලිකාව මෙහේය වූ සංගීත වැඩසටහනකට සහභාගී වෙමින් ලාංකික සමාජයේ ඒකාධිපතිවාදයේ අශිෂ්ඨත්වයේ හා ගැතිකමේ ප්‍රතිමූර්තියක් වන මර්වින් සිල්වා ගේ විනිශ්චයක් බලාපොරුත්තුවෙන් එහි රුදී සිටියේ ය. එසේම සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී දිග පළල ගැන 2006 දී දයාසිරිට ඉගැන්වූ මර්වින්ගෙන්ම කලාව පිළිබදව පාඩම් අසා ගැනීමට දයාසිරිට තිබුණේ නොතිත් ආශාවකි. මෙම වැඩසටහනින් ඉවත් වන ලෙස කොළඹ කේන්ද්‍රීය සිවිල් නායකයන් ඉල්ලා සිටි විට දේශපාලනය හා කලාව යනු දෙකක් බවත් ඒ දෙක එකට පටලවා ගැනීමට තමන්ට අවශ්‍ය නැති බවත් දයාසිරි ජයසේකර මාධ්‍යයන්ට කීවේය. ඒ අර්ථයෙන් මර්වින් සිල්වා දේශපාලනික ප්‍රපංචයක් බවත් දයාසිරි ජයසේකර අදේශපාලනික ප්‍රපංචයක් බවත් පැහැදිලි වේ.

පුද්ගලික චරිතයන්ගේ හැසිරීම හුදකලා ක්‍රියාකාරීත්වයක් වන තෙක් සමාජ ප්‍රගමනයේ දී කරන්නා වූ කාර්ය භාරයක් නොමැත. ඒ අර්ථයෙන් දයාසිරි ජයසේකරගේ හෝ අනෙකුගේ හැසිරීම විවේචනය කිරීම ද සමාජ සංවර්ධනයේ දී කිසිම ධනාත්මක දායකත්වයක් දරන්නේ නැත. එහෙත් සමාජ සංවර්ධනයේ ලා ඉතා වැදගත් ගැටළු පැන නගින සෑම විටම මෙවැනි අදේශපාලනික චරිත ඉදිරිට පැන කටමැත දෙඩවීමත් ඒ සදහා සමාජයේ ලොකු පිළි ගැනීමක් ලැබීමත් සැලකිය යුක්තකි. ඒ අනුව යම් දේශපාලන පෙළ ගැස්මක දී ජනමතය අවුල් හා සංකීර්ණ කර එය පෙරළා පසුගාමීත්වයටම සේවය කරයි නම් අදාළ පුද්ගලික චරිතයන්ගේ හැසිරීම හෙළිදරව් කිරීමේ යම් වටිනාකමක් පවතී.

දයාසිරි ජයසේකරගේ කතා බහක් යළි ඉස්මත්තට පැමිණ ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි මහලේකම් වරයාට උපදෙස් ගැනීමට පත් කළ කමිටුවේ හෙළි නොවු වාර්තාව ශ්‍රී ලංකා රජයට භාරදීමත් සමගයි. විපක්ෂ නායක නිල නිවසේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු පවසන්නේ සිරගත කර ඇති ජනරාල් සරත් ෆොන්සේකාට නිදහස ලබාදෙන්නේ නම් අදාළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව හා එක්ව මුහුණ දීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවකි. දයාසිරිගේ මේ ප්‍රකාශය අර්ථයන් දෙකකින් වැරදිය. ඇත්තටම මේ ප්‍රශ්නයේ දී ආණ්ඩුව හා එකට සිටිමින් සතුරාට මුහුණ දීමට අවශ්‍ය නම් ඒ සදහා හෙට්ටු කිරීම බරපතල වරදකි. එහෙත් මෙහිදී ප්‍රශ්න කිරීමට අදහස් කරන්නේ එවැනි දේශපාලන සදාචාරමය කාරණයක් නොවේ. එය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නයකි. එහෙත් රාජපක්ෂ රෙජීමයේ දහසකුත් එකක් ප්‍රජාතන්ත්‍ර විරෝධි මානව විරෝධි හැසිරීම අමතක කරමින් රාජපක්ෂ රෙජීමය අන්තර් ජාතිකව අසරණ වී ඇති එම කාරණයේ දී ඊට දිරි දී මහින්ද රාජපක්ෂයන්ගේ දෑත් තවත් අර්ථයකින් ශක්තිමත් කිරීමට එක්සත් ජාතික පක්ෂයට ඇති තදියම අවශ්‍යයෙන්ම පරීක්ෂා කර බැලිය යුක්තකි.


අත බලා නායකත්වය පැතීම

රාජපක්ෂ රෙජීමයට දෙමළ ජාතික අරගලය කුඩු පට්ටම් කර දැමීමට තිබූ උනන්දුව ගෝලීය ප්‍රාග්ධනයට ඒ සදහා තිබූ උනන්දුව ඉක්මවා යන්නකි. එහිදී ධනපති ශිෂ්ඨ ආචාර ධර්මයන් තුට්ටුවකට හෝ මායිම් කළේ නැත. දෙමළ අරගලය ගෝලීය ප්‍රාග්ධනයේ නිදහස් චලනයට එල්ල වූ බාධාවක් බැවින් එය අවසන් කර දැමීමේ වුවමනාව තිබුණේ ගෝලීය ධනපති පන්තියටයි. ඒ සදහා සාමය මගින් රනිල් වික්‍රමසිංහ ද යුද්ධය මගින් මහින්ද රාජපක්ෂ ද කෙවිට ලෙස යොදා ගැනීමට තරම් ඔවුහු තීක්ෂණ වූහ. මහින්ද රාජපක්ෂ පමණක් නොව රනිල් වික්‍රමසිංහ ද ඒ ඒ අවස්ථාවන්හි දී සීමාව ඉක්මවා යෑමට කටයුතු කළහ. එල්ටීටීඊ සංවිධානයට රනිල් වික්‍රමසිංහ 2002 දී එලෙස ලබාදුන් අනවශ්‍ය ගෞරවයක් නිසා ආධාර කණ්ඩායමේ රුස්වීමට සහභාගීවීමට තම රටට යෑම සදහා එල්ටීටීඊය ට වීසා නොදීමට එක්සත් ජනපදය කටයුතු කළේය. අවසානයේ එය සාම සාකච්ඡා අසාර්ථකවීමට ද බලපෑවේ ය. බටහිර බලවතුන් ඇද දුන් රාමුවෙන් පිට පනිමින් එල්ටීටීඊය විනාශ කිරීම සදහා මහින්ද රාජපක්ෂ ඉදිරියට ගිය නිසා දැන් එය විමසීමට එක්සත් ජාතීන් පෙළඹී තිබේ. ඒ පිටුපස ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතා නැත්තේම නොවේ.කෙසේ වුවත් දැන් රාජපක්ෂ රෙජීමය අන්තර ජාතික ගැටයකට හසුවී තිබේ. රෙජීමයේ පරපුට්ටන්ගේ උද්ද්ච්ඡ කතා නිසා දයාන් ජයතිලක, රජීව විජේසිංහ හා වෙනත් රාජතාත්‍රිකයන්ට ද තත්ත්වය සමහන් කිරීමට අපහසු වී තිබේ.

රාජපක්ෂ රෙජීමය ජාතිකව ලබා ඇත්තේ විශිෂ්ඨ ජන ප්‍රසාදයකි. එහෙත් අන්තර් ජාතිකව ලබා ඇත්තේ කණගාටුදායක ඉරණමකි. ඊට හේතු වූයේ රාජපක්ෂ රෙජීමයට බටහිර බලවතුන්ගේ නැත්නම් ගෝලීය ප්‍රාග්ධනයේ ඇති අප්‍රසාදයක් නොවේ. ආන්තිකවාදී කොටස් පවසන පරිදි බටහිර රටවල මතවාදයට එරෙහිවීමේ ප්‍රතිඵලයක් ද නොවේ. එහෙත් මේ යුගය තුළ දී රෙජීමයක පැවැත්ම පවතින්නේ දේශීය ජනමතය මත නොව අන්තර් ජාතික අවශ්‍යතා අනුවය. ඒ නිසා රෙජීමය ආරක්ෂා කිරීමට මේ මොහොතේ දී එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ඒම හාස්‍යජනකය.

රාජපක්ෂ රෙජීමය නියෝජනය කරන්නේ අතර මැදි පන්තියේ දේශපාලන මතවාදයයි. ඒ නිසා ශ්‍රී ලංකා රාජ්‍යය සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ආස්ථානයේ පිළිබුඹුවකි. රාජ්‍යය හැසිරෙන්නේ මෙම මතවාදයේ පැවැත්ම වෙනුවෙනි. මෙය ධනේශ්වර අර්ථයෙන් යහපත් ස්ථාන ගතවීමක් නොවේ. එහෙත් මෙම විකෘතිය නිවැරදි කිරීමට තරම් එක්සත් ජාතික පක්ෂය අද සිටින්නේ ශක්තිමත් ස්ථානයක නොවේ. අන්තර් ජාතික බලපෑම් වලින් මිදීමට නම් රාජ්‍යයට නිවැරදි ධනේශ්වර අර්ථයකින් ස්ථාන ගත කිරීමක් අවශ්‍ය බව එම පක්ෂයට තේරෙන්නේ නැත. මේ නිසා රාජපක්ෂ රෙජීමය මෙන්ම අතර මැදි පන්තියේ ප්‍රසාදය ලබා ගැනීමට දේශපාලනිකව කටයුතු කිරීම එක්සත් ජාතික පක්ෂයේ ද වත්මන් කාර්ය භාරය වී තිබේ.


Follow

Get every new post delivered to your Inbox.