මීට වසර තුනකට පමණ පෙර 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ලැබූ ජයග්‍රහණය තවත් බ්ලොග්කරුවකු වූ මා නොදුටු මිත්‍ර ටැබූ සබ්ජෙක්ට් විසින් විග්‍රහ කර තිබුණේ සෝපාසයෙන් උපරිම වූ සංසන්දනය කිරීමකිනි. ටැබූ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සමාන කර තිබුණේ ස්ලම්ඩෝග් මිලියනයර් චීත්‍රපටයේ කුඩා පිරිමි ළමයා මහත් උත්සාහයක් දරා තම ප්‍රියතම නළුවා වූ අමිතාබ් බච්චන්ගේ සමරු අත්සනක් ගත් අවස්ථාවටය. ඒ කුඩා ළමයා වැසිකිළියට ගොස් සිටී අවස්ථාවක ඔහුගේ ප්‍රියතම නළුවා වූ අමිතාබ් බච්චන් හෙළිකොප්ටරයකින් එම ප්‍රදේශයට පැමිණේ. එහෙත් අමිතාබ් බච්චන් දැක බලා ගැනීමට යෑමට කොළුවාට නොහැකි වන්නේ ඔහුගේ මුරණ්ඩු සහෝදරයා නිසා ඔහු වැසිකිළි අඩස්සියට පත්ව සිටී බැවිනි. එහෙත් අමිතාබ් හමුවීමේ ඉවසුම් නොදෙන ආශාවකින් යුතුව වැසිකිළියෙන් පිටවීමට බලන කොළුවාට ඇස ගැටෙන්නේ එකම එක මාර්ගයක් පමණි. කොළුවා තම බඩතුරෙන් එළියට ගත් අමිතාබ්ගේ පින්තූරයක් එක් අතකින් ඉහළට ඔසොවාගෙන අනෙක් අතින් නහය වසාගෙන වැසිකිළි වල තුළට පනී. පොදු විවෘත වල වැසිකිළියක් වන එහි අනෙක් පසින් කොළුවා එළියට එන්නේ මුළු ශරීරය පුරා මිනිස් අශූචී තවරා ගනිමිනි. තම අරමුණ කරා ඉදිරියටම යන කොළුවා සහෝදර කොළු රූන පසෙකට කරමින් අමිතාබ් බච්චන් හමුවට ගොස් බඩතුරෙන් ගත් පින්තූරය මත සමරු අත්සනක් ලබාගැනීමට සමත් වේ. කරවටක් වැසිකිළි වලකට පැන මුළු ශරීරය පුරාම මිනිස් අසූචී තවරා ගනිමින් වුවද තම ඉලක්කය කරා ගිය කොළුවා ජයග්‍රහණය ලබා ගනී. මේ කොළුවා ලැබූ ජයග්‍රහණයට මහින්ද රාජපක්ෂගේ විජයග්‍රහණය සමාන කිරීමෙන් ටැබූ මතු කරන උපහාසය කෙතරම් නම් රසවත් ද?
අග විනිසුරු ධූරයෙන් ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම සදහා මහින්ද රාජපක්ෂ රෙජීමය විසින් අනුගනය කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමය ක්‍රියාදාමය ජයග්‍රහණය කර ඈ ධූරයෙන් ඉවත් කිරීමට හැකිවීම ද සමාන කළ හැක්කේ ස්ලම්ඩෝග් මිලියනයර් ච්ත්‍රපටයේ අමිතාබ් බච්චන් කෙසේ හෝ දැක බලාගෙන ඔහුගෙන් සමරු සටහනක් ලබා ගැනීමට කුඩා පිරිමි ළමයා දැක්වූ හැකියාවට ය. කරවටක් මිනිස් අසූච් ඇග තවරා ගනිමින් හෝ තමන්ගේ ඉලක්කයට යෑම ගැන ඒ කුඩා දරුවා සතුටු වූ අයුරින්ම රටේ මූලික නීතිය වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් හෝ ශිරාණි බණ්ඩාරනායකව තනතුරින් ඉවත් කිරීමට හැකිවීම මහින්ද රාජපක්ෂ රෙජීමය විසින් කිරි බත් කා සැමරීම ජුගුප්සාජනක ය. එය ශ්‍රී ලංකා රාජ්‍යයේ අශිෂ්ඨ කම නැවතත් ලෝකයාට පෙන්වීමකි. එසේම 1989 දී ත් 2009 දී ත් මිනිස් රුධිරය ද මාංශ ද හලා මිලියන ගණන් සම්පත් විනාශ කරමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රුක ගත් පන්ති මෙහෙවරේ සුජාතභාවය ද තමන් විසින්ම ප්‍රශ්න කර ගත් අවස්ථාවකි.
කේන්ද්‍රයේ ධනපති රටවල පවතින භාවිත ප්‍රජාතන්ත්‍රවාදය පරිධියේ රටවල දකින්නට නොලැබීම ධනේශ්වර ක්‍රමයේ ආවේනික ලක්ෂණයක් යැයි බොහෝදෙනෙක් පවසති. ඒ නිසාම පරිධියේ රටවල ඇත්තේ විකෘති ප්‍රජාතන්ත්‍රවාදයක් නොව ධනේශ්වර ක්‍රමයේම ප්‍රජාතන්ත්‍රවාදී උප සංස්කෘතියක් යැයි ඔවුහුම පවසති. ශ්‍රී ලංකාව වැනි පරිධියේ රටක නිෂ්පාදන ක්‍රමයේ හා ධනපති පන්ති ස්ථරයේ ආවේනික ගැටළු මත දියුණු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති නොවීම ගැන පවතින න්‍යායාත්මක විශ්ලේෂණයන්ට එරෙහි නොවූවත් මෙම ඌන ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණයන්ට සමාජ සංස්කෘතික චලනයන්ගේ ප්‍රතිඵලයන් ද බලපාන බව කිව යුතුය. ඒ අර්ථයෙන් ජේ. ආර්. ජයවර්ධන තමන්ට ලැබී තිබූ අති විශාල පාර්ලිමේන්තු බලය යොදා ගනිමින් අත්තනෝමතිකව කටයුතු කිරීමත් මහින්ද රාජපක්ෂ ඊටත් වඩා අඩු පාර්ලිමේන්තු බලයක් තුළ අත්තනෝමතිකව කටයුතු කිරීමත් සසදා බැලීම වටී. ඒ නිසා මහින්ද රාජපක්ෂ රෙජීමයේ අත්තනෝමතික ක්‍රියාවන් වඩාත් ඌනනය කළ හැක්කේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ ආවේනික ලක්ෂණයන්ට නොව රෙජීමයේ සංස්කෘතික මූලයන්ට ය.
අපේ රටේ ස්වෝත්තමවාදීන්ගේ පරමාදර්ශය වී ඇති චීනය හා රුසියාව පවා විදේශ ප්‍රතිපත්තිය ලෙස යොදා ගෙන ඇත්තේ උපයෝගීතාවයි. සුඩාන ගැටළුවේ දී තම ස්ථාවරයන් චීනය හා රුසියාව විසින් බටහිර රටවලට අවශ්‍ය පරිදි වෙනස් කළේ එබැවිනි. එසේම බටහිර රටවල මානව අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදය පෙරලා ප්‍රශ්න කරන චීනය, මියන්මාරයේ දී අනුගමනය කරන්නේ ද එවැනිම ප්‍රතිපත්තියකි. ඒ අනුව ධනේශ්වර දියුණු රටවල ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් හා ප්‍රතිපත්තීන් ගැන අමුතු ගැටළුවක් පැන නගින්නේ නැත. ඒ අනුව පරිධියේ රටවල භාවිත ප්‍රජාතන්ත්‍රවාදයේ ජුගුප්සාජනක අපුල උපදවන හැසිරීම් කේන්ද්‍රයේ රටවලට සංවේදී වන්නේ පරමාදර්ශී අර්ථයෙන් නොවේ. ඒ නිසා ඔවුන් ඊට විරෝධය පළ කරන්නේ හුදු උපයෝගිතා අර්ථයෙනි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූල ඝාතනය කිරීම මෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අග විනිසුරු ධූරයේ වෙනසක් සිදුකිරීම ද බටහිර ශිෂ්ඨත්වයේ රාමුව තුළ සිදු නොකිරීම නිසා රාජපක්ෂ රෙජීමයට පරිධියේ රටවලින් බරපතල විවේචනයක් ඇති බව සත්‍යයකි. ඒ විවේචනය තුළ කනෙන් ඇල්ලීම් කෝටුවෙන් යන්තමට පහරදීම් වැනි තරවටු කිරීම් ද නැතිවා නොවේ. එහෙත් ජිනීවා රුස්වීම් වසරක් පාසා පැවත්වුවද රෙජීමයට දැනෙන දඩුවමක් ලැබුණේ නැත. ඔවුන් තවමත් තැත් කරන්නේ රෙජීමය ආණ්ඩු මට්ටු කිරීමට මිස පරමාදර්ශී ධනපති රාජ්‍යයක් බවට පත් කිරීමට නොවේ. මේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ පරිධියේ රාජ්‍යයන්ට එවැන්නක් අවශ්‍ය වන්නේ නැත. එහෙත් එසේ එල්ල වන්නා වූ තරවටු කිරීම් කළමනාකරණය කර ගනිමින් රාජ්‍යය ස්ව කැමැත්තෙන්ම සුජාත කර ගැනීමට ලාංකික පාලක පන්තියට අවශ්‍යතාවක් ඇති නොවන්නේ පන්ති අදූරදර්ශීභාවය හා සංස්කෘතිකමය පාදඩභාවය නිසාය. චීන මහ බලවතාගේ උදව් පදව් මත ඒකාධිපති ලෙස හැසිරුණ මියන්මාර හමුදා ජුන්ටාව පවා කල් යල් බලා “ප්‍රජාතන්ත්‍රවාදී යහ මගට ” ආවත් රාජපක්ෂ රෙජීමයට ඒ බුද්ධිය පහළ නොවන්නේ උද්දච්ඡකම නිසාය. ඒ නිසා ඒ අර්ථයෙන් උද්දච්ඡ පාලක පන්තියක අවශ්‍යතාවන්ට ඉඩ දී ක්‍රමය විනාශ කර ගැනීමට පරිධියේ රටවල් ඉඩ දේ යැයි සිතිය නොහැක. ඒ සම්බන්ධයෙන් වූ යම් තීරණයක් ගන්නේ නම් මාර්තු මාසයේ පැවත්වෙන ජිනීවා සමුළුවේ දී ඒ පිළිබද ඉගියක් බලා නිකුත් විය හැකිය.
දෝෂාභියෝගය මගින් අගවිනිසුරුවරිය ඉවත් කිරීමට රාජපක්ෂ රෙජීමය සමත් වූයේ ලාංකික දේශපාලනයේ ප්‍රපංචයන් කිහිපයක්ම එහි අභ්‍යන්තරයෙන් ප්‍රශ්න කරමිනි. ඒ අතුරින් විශාලම ප්‍රශ්න කිරීම වූයේ මේ යුගය තුළ පරිධියේ රටවල දේශපාලනය මහජන උත්ඝෝෂණ වලින් හෝ මහ පාරේ දී හෝ තීරණය වන්නේ යැයි බලාපොත්තු වූ සම්ප්‍රදායි ලාංකික මතවාදය තුළය. ඒ ප්‍රශ්න කිරීම ධනේශ්වර විරෝධි කදවුර තුළ සතුටට හේතුවිය යුතු වුවත් ධනේශ්වර ප්‍රතිසංස්කරණයන් සමාජවාදය ලෙස කල්පනා කරන්නා වූ ලාංකික වමට එය තවමත් සංවේදී වී නොමැත. 1978 සිට බැලුවහොත් සාපේක්ෂව ආණ්ඩු විරෝධි දේශපාලන න්‍යය පත්‍රයන්ට උරුම වූයේ පරාජයමය. ඊට යම් ජයග්‍රහණයක් ලැබුනා නම් ලැබුණේ “ධනේශ්වර පාලනයේ කුට්ටම ඇනීම” ක්‍රමය පවත්වාගෙන යෑමට අවශ්‍ය කාරණාවක් බව ඔවුහු දන්නා බැවිනි. ප්‍රාග්ධන ගෝලීයකරණය 1978 දී නව ආරකින් ආරම්භ වූවාට පසුව ” ආණ්ඩු විරෝධි දේශපාලනය” ද නව කියවීමකට යා යුතු වුවත් එය එසේ සිදුවූයේ නැත. ඒ නිසා ප්‍රාග්ධන ගෝලීයකරණයේ නව ආර ශ්‍රී ලංකාවට හදුන්වා දී විසි පස්වන අවුරුද්ද ගෙවෙන මේ මොහොතේදී ත් පාරට බැසීම හැර වෙනත් විසදුමක් පීඩිතයන්ට නොවීම අවාසනාවකි.
ජනතා විමුක්ති පෙරමුණ 1971 දී හා 1988 දී කැරළි ගසන විටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රමුඛ දෙමළ සටන්කාමීන් යුද වදින විටත් රාජ්‍යයේ එකම චෝදනාව වූයේ නීත්‍යානුකූලව බලයට පත් වූ ආණ්ඩුවකට එරෙහිව අවි අතට ගැනීමට කිසිම අයිතියක් නොමැති බවය. මහ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට ඇති උත්තරීතර අයිතිය රාජ්‍යයක් විසින් නොපිළිගැනීම තේරුම් ගත හැකිය. එහෙත් මේ තර්කයම යොදා ගනිමින් රාජපාක්ෂික කේවට්ටයන් විසින් දිගින් දිගටම ප්‍රකාශ කළේ නීත්‍යානුකූලව තේරී පත් වූ ආණ්ඩුවකට එරෙහිව අවි අතට ගැනීම න්‍යායාත්මකව නිවැරදි නොවන බවය. එය මර්දනය කැදවා ගැනීමක් බවද ආණ්ඩු, මර්දනය සදහා යොමු කරවන්නේ මෙවැනි කැරළි වලින් බවද මේ කේවට්ටයන්ගේ ප්‍රධානම තර්කයක් වුණි. එසේම ඒ සටන්කාමී සංවිධාන යකඩෙන් හා ලෙයින් මර්දනය කිරීමට තවත් අපූරු තර්කයක් ද යොදා ගත්තේය. එනම් සටන්කාමීන් රටේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නොපිළිගන්නා බවයි.
රටේ උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථ දැක්වීම සම්බන්ධයෙන් ලබාදුන් අර්ථ නිරූපනය ඉවත දමමින් රාජපක්ෂ රෙජීමය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත් ඒ සමගම නීති විරෝධි ලෙස නව අගවිනිසුරුවරයෙක් පත් කිරීමත් සමගම මේ කේවට්ටයන්ගේ තර්ක අවලංගු වූවා පමණක් නොව ධනපති රාජ්‍යයේ නීති විරෝධි කටයුතු ඉදිරියේ කළ යුත්ත කුමක්දැයි නොදැන “දේශපාලනිකව ස්ටෝල්මේට්” වීමක් සිදුවුණි. රාජ්‍ය වැරදි කරද්දීත් ඊට එරෙහිව සටන් කිරීමට අයිතියක් නැත්නම් රාජ්‍ය වැරදි කරන විට කළ යුත්තේ කුමක්දැයි මහ ජනතාවට පැහැදිලි කිරීම මේ කේවට්ටයන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වේ. එහෙත් ධනපති මූලික නීතිය ධනපති රාජ්‍යය විසින්ම අමු අමුවේ උල්ලංඝනය කරන විට කළ යුතු එකම දේ වන්නේ තවදුරටත් නිහඩව සිටීම බව “කේවට්ටයන්ගේ නිහඩතාව” විසින් ශබ්ද නගා පවසයි. ඒ අනුව ධනපති රාජ්‍යයේ ස්වභාවය අත්තනෝමතිකභාවය උරුම කරගත් මර්දනයේ හස්තයක් බව නැවතත් ඔප්පු කර අවසන්ය.
ධනපතියන්ගේ නීතිය, සදාචාරය හා විනය ඇතුලත් භාවිත ප්‍රජාතන්ත්‍රවාදය ධනපතියන්ම අවලංගු කරද්දී මාක්ස්වාදීන් කළ යුත්තේ නීතිය, සදාචාරය, විනය ඇතුලත් භාවිත ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මහ පාරට බැසීම නොවේ. ධනපතියන් විසින්ම අවලංගු කළ භාවිතාව අතාර්කික කරමින් දේශපාලනිකව ක්‍රමය ප්‍රශ්න කිරීමකට ලක් කිරීම මාක්ස්වාදීන්ගේ අද දවසේ කාර්යභාරයයි. ඒ අර්ථයෙන් ක්‍රමය අතාර්කික කරන මහගු අවස්ථාවක් දෝෂාභියෝග ක්‍රමවේදය තුළ ඉදිරියට ආවේය. ව්‍යවස්ථාදයකය ප්‍රශ්න කරමින් අධිකරණය විසින් නොතීසි නිකුත් කළ විට ධනපති ව්‍යවස්ථාදායකය ධනපති අධිකරණය විසින්ම අභියෝගයට ලක් කිරීම ශක්තිමත් කිරීම මාක්ස්වාදීන්ගේ වගකීම වුණි. දෝෂාභියෝගය විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයකු වූ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයා අධිකරණයේ දැනුම් දීම මත එහි පෙනී සිටීමින් උත්තරීතර වන්නේ කුමන ධනපති ආයතනය ද යන ප්‍රශ්නය තුළ ක්‍රමය අර්බුදයට යැවීමට යම් දායකත්වයක් දැරූවත් එය ප්‍රබල ලෙස සමාජ ගත කිරීමට අපොහොසත් වීම කනගාටුදායක ය. ඇත්ත වශයෙන්ම එම අවස්ථාවේ දී ධනපති ක්‍රමය අර්බූදයකට යැවීම සදහා මෙරටේ පීඩිත පන්තිය මෙහේයවීමට සියළු මාක්ස්වාදීන්ට ශක්තියක් ලැබුනා නම් එය මාක්ස්වාදීන්ගේ යෝධ පිම්මක් වීමට ඉඩ තිබුණි.